“බබෙක් හම්බෙන්න ආවා කියලා ඔච්චර බය වෙන්න ඕනද ලිහිණි?”
තිදස් ඒක ඇහුවේ හරියට නිකන් “හෙට වැස්සොත් මොකද කරන්නේ?” කියලා අහනවා වගේ හරිම සැහැල්ලුවෙන්. ඒත් ඒ ඇස් දෙක මගේ මූණට තද වෙලා තිබුණේ මගේ හිත ඇතුළේ තියෙන හැම හුස්මක්ම කියවන්න වගේ. මම එයාට හැමදේම කිව්වා. මනුසත් එක්ක ගෙවිච්ච ඒ මූසල දවස්වල ඉඳන්, ඊයේ රෑ අර හතරැස් බාත්රූම් එක ඇතුළේ මම විඳපු අපා සහගත හැඟීම වෙනකම් හැමදේම මම එයා ඉස්සරහා වැමෑරුවා.
” ඔයාට ඒක ලේසියට හිනාවෙලා අහන්න පුළුවන්,” මම මගේ වෙව්ලන කටහඬ කන්ට්‍රෝල් කරගන්න උත්සාහ කරන ගමන් තමයි එයා දිහා බැලුවෙ. “ඔයා පිරිමියෙක්. ඔයාට ඔය ප්‍රශ්නෙ පේන්නේ වෙනම විදිහකට. ඒත් ගෑනියෙක් විදිහට තමන්ගේ ඇඟ ඇතුළේ තවත් ජීවිතයක් පණ ගහනවා කියලා දැනෙද්දී, තමන් ඉන්නෙ තමන්ගෙ කසාදෙන් පැනලා එන්න ප්ලෑන් කරගෙන කියලා හොඳට දැනගෙන ඉද්දි දැනෙන ඒ බය ඔයා දන්නේ නැහැ. ඔයාලට ඒක තේරෙන්නෙ නෑ. කවදාවත් තේරුංගන්නත් බෑ තිදස්. ගෑනුන්ට උහුලන්න වෙන ලොකුම වේදනාවලින් එකක් තමයි දරුවෙක්ව මේ ලෝකෙට අරගෙන එනවා කියන එක. ඒ වේදනාව ඒ වගේ දස දහස් ගුණයක් වැඩිවෙනවා ඒ ලැබෙන්න ඉන්න දරුවට තාත්තෙක් නෑ කියලා දනිද්දි.තමන්ගේ කුස ඇතුළේ වැඩෙන්නේ තමන් ආදරේ කරපු, ඒත් පස්සෙ තමන්ව පාරට ඇදලා දාපු පිරිමියාගේ දරුවෙක් කියලා දැන දැන ඒක උහුලගෙන ඉන්න සිද්ධ වෙන එක තරම් අපායක් මේ ලෝකේ තවත් තියෙනවද? ඒ බාත්රූම් එක ඇතුළේ තනි වුණ විනාඩි පහට මම මැරි මැරී ඉපදුණා.මම වැරදි කළා තමයි, ඒත් ඒ වැරැද්දට මම ගෙවන්න වෙන වන්දිය මගේ මුළු අනාගතයම වෙයි කියලා හිතෙද්දී මට දැනුණේ මාව හුස්ම හිර කරලා මරනවා වගේ. ඔයාලට ඒක කවදාවත් තේරෙන්නේ නැහැ තිදස්. තාත්තෙක් නැති දරුවෙක්ව ලෝකෙට අරන් එන්න සිද්ධ වෙන ගෑනියෙක්ගේ හිත ඇතුළේ තියෙන ඒ මරණ බය වචනවලින් කියන්න මට තේරෙන්නේ නැහැ. මම බය වුණේ මම නැති වෙයි කියලා නෙවෙයි, මම ජීවත් වෙලා ඉද්දීම මගේ ආත්මය විනාස වෙලා යයි කියලා.”
මම ඇස් දෙක පියාගත්තා. මගේ කම්මුල් දිගේ කඳුළු රූටලා ගියා. තිදස් මගේ වෙව්ලන අත් දෙක එයාගේ අත්ල ඇතුළේ හිර කරලා තද කරලා අල්ලගත්තෙ සමහරවිට එයාට එවෙලෙ තේරෙන්න ඇති මට එහෙම දෙයක් මේ මොහොතේ ඕන කියලා..
“ඔයා හිතුවේ ඒ රිසල්ට් එක පොසිටිව් වුණා නම් මම ඔයාව අතෑරලා යයි කියලාද?” ඒ කටහඬේ තිබුණේ මහා බරක්. “ඔයා ගෑනියෙක් විදිහට බය වුණ එකේ වැරැද්දක් නැහැ. ඒත් පිරිමියෙක් විදිහට මට කියන්න තියෙන්නේ එක දෙයයි. මම ඔයාට ආදරේ කළේ ඔයා වැරදි නොකරන කෙනෙක් හින්දා නෙවෙයි. ඔයා අතින් වැරැද්දක් වුණා නම්, ඒ වැරැද්දේ බර කරගහන්න තරම් මගේ පපුව හයියයි.”
“ඔව්ව කියද්දි කියන්න ලේසි තිදස්. කරද්දි කරන්නයි අමාරු. ආදරේ අන්ධයි කියන්නෙ ඔන්න ඔය වගේ දුර දිග නොහිත අපි කියන දේවල් නිසා වෙන්නැති. දරුවෙක්ට ආස නැතුව නෙවෙයි. හැබැයි මේ වෙලාවෙ ඒ දරුවා ආවා නම්, මනුසත් නැතුව ඔයා එක්ක උනත් ඒ දරුවව හදාගන්න මට සිද්ද උනා නම් මං සමහරවිට දරුවට වෛර කරන්න තිබ්බා. එයා කරුමයක් කියලා හිතන්න තිබ්බා. ඕනම ගෑනියෙක්ම දරුවෙක් ලැබිච්ච පමණින් අම්මෙක් වෙන්න බෑ තිදස්. අම්මෙක් කියන්නේ ටයිටල් එකක් නෙවෙයි. යුතුකමක්, වගකීමක්. උත්තරීතර දෙයක්.
ඒ දරුවා ලැබුණත් හිතේ සැනසීමක් නැතුව, ඒ මූණ දකිද්දී මනුසත් මට රිද්දපු හැටි මතක් වෙනවා නම් මම කොහොමද ඒ දරුවට ආදරේ කරන්නේ? එහෙම වුණොත් මම මටම වෛර කරයි. මට බය මම ගැන තිදස්. මේ ලෝකේ කිසිම වැරැද්දක් නොකරපු අහිංසක පණක්, මගේ වැරදිවලට වන්දි ගෙවන්න ඕනද? මම අම්මෙක් වුණත් ඒ දරුවට අම්මා කෙනෙක් වෙන්න බැරි වෙයි කියන බයයි මට වැඩියෙන්ම තිබුණේ.
ඔයා කියනවා ඔයා ඒ බර කරගහන්න ලෑස්තියි කියලා. හැබැයි තිදස්, ඔයාගේ පපුව කොච්චර හයිය වුණත්, ලෝකෙ මිනිස්සුන්ගේ කතාවලින් මාව බේරගන්න ඔයාට හැමදාම බැරි වෙයි. ඔයා මාව භාරගත්තත්, මගේ කුස ඇතුළේ වැඩෙන්නේ වෙන කෙනෙක්ගේ දරුවෙක් කියලා දැන දැන ඔයා මගේ දිහා බලන හැම වතාවකම මට මැරි මැරී ඉපදෙන්න වෙයි. ඒ දරුවා ඔයාගේ නෙවෙයි කියලා දැනෙද්දී, ඔයා මට ආදරේ කරන එක අස්සෙත් ලොකු වේදනාවක් හැංගිලා තියෙයි. මට ඕන නැහැ මගේ වැරදිවලට ඔයාගෙන් පලිගන්න, ඔයාට රිද්දන්න. ඔයා වගේ පිරිමියෙක්ට ඒ වගේ පවක් උරුම කරන්න තරම් මම නපුරු නැහැ තිදස්. මම විඳවන්න ඕන දේ ඔයාගේ කර උඩ තියලා මට නිදහස් වෙන්න බැහැනෙ.”
තිදස් එහෙම කියද්දී මට දැනුණේ මගේ කකුල් පණ නැති වෙලා යනවා වගේ. ලෝකෙම මට ඇඟිල්ල දික් කරද්දී, මම මගේ කියලා හිතපු මිනිහා මාව මගහරිද්දී, කිසිම බැඳීමක් නැති මේ මනුස්සයා මගේ නූපන් දරුවෙකුටත් තාත්තෙක් වෙන්න ලෑස්ති වෙනවා කියලා ඇහෙද්දී පපුව ඇතුළේ ඇති වුණේ විස්තර කරන්න බැරි ගැස්මක්. ඒක හරියට මහා ගින්දරක පිච්චි පිච්චි උන්නු මට එකපාරටම සීතල වතුර දෝතක් ලැබුණා වගේ හැඟීමක්. පිරිමියෙක් කියන්නේ තමන්ට ඕන දේ විතරක් අරගෙන මාරු වෙන කෙනෙක් නෙවෙයි, තමන් ආදරේ කරන ගෑණිගේ නරකම කාලෙදිත් ඒකිව අතහරින්නේ නැති හෙවනැල්ලක් වගේ කෙනෙක් නේද කියලා මට තේරුණේ එතකොටයි. ඒ වචන ටික ඇතුළේ තිබුණේ මාව රවට්ටන්න හදන ආදරයක් නෙවෙයි, ඕනෑම කුණාටුවකට ඔරොත්තු දෙන මහා මෙරක් වගේ විශ්වාසයක්.
මම එකපාරටම තිදස්ව බදාගත්තා. එයාගේ පපුවට මූණ තියාගත්තම මට දැනුණේ මම ආයෙත් ජීවත් වෙන්න පටන් ගත්තා වගේ. මනුසත් එක්ක ගත කරපු ඒ සෝබන දවස්වල මම හෙව්ව සැනසීම තිබුණේ මෙන්න මේ නිහඬ පිරිමියාගේ පපුව ඇතුළේ නේද කියලා හිතෙද්දී මට මං ගැනම තවත් ලැජ්ජ හිතුණා.
“ආයෙ කවදාවත් තනියම බය වෙන්න එපා ලිහිණි,” තිදස් මගේ නළලට හාදුවක් තියන ගමන් මිමිනුවා. “ඔයා මට ඒක නොකියා හිටියත්, මම කොහොමහරි ඒක හොයාගෙන ඔයා ළඟට එනවා. ඔයාගේ ඊගෝ එක හින්දා ආයෙත් මාව මගහරින්න හදන්න එපා. ඔයාට තියෙන ඕනම කරදරයකදී ඔයාට පේන්න හරි නොපෙනී හරි මම ඉන්නවා.”
මම එයාගේ ඇඟට තවත් තුරුළු වුණා. මගේ හිතේ තිබුණ අන්තිම බයත් දිය වෙලා ගිහින්, ඒ වෙනුවට මහා ලොකු ආදරයක් විතරක් ඉතුරු වුණා. මම වේදනාවෙ දොරකඩටම ගිහින් ආවේ මනුසත් වගේ රැවටිලිකාරයෙක්ව මගේ ජීවිතෙන් සදහටම අතුගාලා දාලා, තිදස් වගේ මැණිකක් මගේ පපුවට තද කරගන්නයි කියලා මට තේරුණෙත් එවෙලෙ.
තිදස්ගේ පපුවේ උණුහුම අස්සේ මම මහා වෙලාවක් කිසිම දෙයක් නොකිය නිහඬ වෙලා හිටියා. ඒ නිහඬතාවය ඇතුළේ මම මනුසත්ට තුරුල් වෙද්දි නොලැබිච්ච, තිදස් නිසා ලැබෙයි කියලා මම හීනෙකින්වත් නොහිතපු සැනසීමක් තිබුණා. මාව පොඩ්ඩකට එයාගෙ පපුවෙන් ඈත් කරපු තිදස් මගේ ඇස් දෙක දිහාම එයා බලාගෙන හිටියේ හරිම බැරෑරුම් විදිහකට. එයාගේ මූණේ තිබුණ අර දඟකාර හිනාව මැකිලා ගිහින් එතන තිබුණේ මට තේරුම් ගන්න බැරි අමුතුම දෙයක්. අමුතුම ෆීලින් එකක්.
“ලිහිණි… මම එක දෙයක් අහන්නම් මට ඇත්තම කියනවද,”
මම හුස්ම අල්ලගෙන එයා දිහා බලාගෙන හිටියෙ තිදස් මගෙන් මොනවා අහන්න බලාපොරොත්තු වෙනවද කියලා දන්නෙ නැති හන්දා.
“ඔයාට තාම හිතෙනවද මනුසත්ව ඔයාගේ ජීවිතේට තව දුරටත් ඕන කියලා? ඒ කියන්නේ… ඔයාගේ හිතේ කොහේ හරි මුල්ලක තාම එයා ගැන බලාපොරොත්තුවක් තියෙනවද? එයා ආයෙත් ඇවිත් ඔයාගෙන් සමාව ඉල්ලුවොත්, ඔයා ආයෙත් එයා ගාවට යනවද?”


