කලුවර රෑ සඳක් වගේ – 55

0
907

ඇත්තටම ජීවිතේ කියන්නේ හරියට පරිසරයේ සෘතු වෙනස් වෙනවා වගේ වැඩක්.

 එක කාලෙකට මහ පෑවිල්ලක් ඇවිත් හිතේ තිබුණ හැම බලාපොරොත්තුවක්ම කර කරලා දානවා. තවත් කාලෙක නොහිතපු කුණාටු ඇවිත් මුළු ජීවිතේම මඩ ගොඩක් කරලා යනවා. හැබැයි ඕනම දරුණු ගිම්හානෙකට පස්සේ හිත නිවන වසන්තයක් එනවා කියන එක පරිසරයට වගේම අපේ ජීවිතවලටත් පොදුයි.

මගේ ජීවිතේටත් ඒ වසන්තය උදා වුණේ තිදස් හරහා. මනුසත් එක්ක ගත කරපු කාලය හරියට දරාගන්න බැරි සීතලක් තිබුණ මූසල ශීත සෘතුවක් වගේ කියන එක මට තේරුණේ තිදස්ගෙ ආදරේ වස්සාන කාලෙ මට මගේ ඇස් දෙකෙන් දැකලා පපුව පුරා විඳ දරාගන්න ඉඩකඩ ලැබුණයින් පස්සෙ. මනුසත් එක්ක උන්න ඒ කාලේ මගේ හිත තිබුණේ හිරිවැටිලද කියලා හිතෙන තරම් තිදස් හන්දා මම සන්තෝසෙන් උන්නා. අද තිදස් මගේ ළඟ ඉද්දි, ඒ පපුවේ උණුසුම මට දැනෙද්දී මට තේරෙනවා මගේ හිතේ තිබුණ ඒ හිරිවැටුණ මතකයන් දිය වෙලා යනවා කියලා.

පරිසරයේ වගේම ආදරයෙත් සෘතු භේදයක් තියෙනවා. සමහරු එන්නේ සරත් සෘතුව වගේ, හැලෙන කොළ වගේ ලස්සනට පෙනුණට ඒ ආදරේට පදනමක් නැහැ. හුළඟට ගහගෙන යනවා. හැබැයි තිදස් කියන්නේ වසන්තය වගේ මනුස්සයෙක්. එයා ආවේ මගේ හිතේ තිබුණ පෑවිල්ල නිවලා, මගේ හිතට ආයෙත් ජීවත් වෙන්න ආසාවක් හීමින් සැරේ දළු ලන්න ඉඩ දීලා.

“ඔයාට තාම හිතෙනවද මනුසත්ව ඔයාගේ ජීවිතේට තව දුරටත් ඕන කියලා? ඒ කියන්නේ… ඔයාගේ හිතේ කොහේ හරි මුල්ලක තාම එයා ගැන බලාපොරොත්තුවක් තියෙනවද? එයා ආයෙත් ඇවිත් ඔයාගෙන් සමාව ඉල්ලුවොත්, ඔයා ආයෙත් එයා ගාවට යනවද?” කියලා තිදස් අහද්දි ඇත්තටම මට කෙළින්, දෙපාරක් නොහිත ඒකට උත්තර දෙන්න පුළුවන් වුනේ ඒ වෙද්දි තිදස් හන්දා මගේ හිතේ මනුසත් නිසා ඇතිවෙච්ච හිරිවැටීම්, ඉරි තැලීම් මැකිලා යන්න පටන් අරගෙන තිබුණ නිසා වෙන්නැති.

“මනුසත් කියන්නේ මට මේ ලෝකේ දි ඇස් දෙක ඇරගෙන හැබෑකරගන්න පුළුවන් වෙච්ච හීනයක්. ඒක ඇත්ත. ඒත් ඒ හීනෙ ඇතුළේ තිබුණේ මාව විනාස කරන විසක් කියලා මම දැනගත්තේ එදා එයා මාව එළියට ඇදලා දැම්ම දවසෙ වගේම ඊයෙ  රෑ හිත පිච්චි පිච්චි ඉද්දි. එයා මාව රැවැට්ටුවා විතරක් නෙවෙයි තිදස්, එයා මාව අගාධයකටම ඇදලා දාන්න හදලා තියෙනවා කියන බය මට තේරුණෙත් ඊයෙ. මම මනුසත්ට ආදරේ කළා. ඒත් ඒ ආදරේ අද මගේ හිතේ මැරිලා ඉවරයි. එයා මට දුන්නේ බයකුයි, වේදනාවකුයි විතරයි.

මනුසත් ආයෙත් මගේ ඉස්සරහට ඇවිත් දණගැහුවත් මට එයා ගැන දැනෙන්නේ පිළිකුලක් විතරයි තිදස්. මම මනුසත් ගාව හෙව්වේ නැති රැකවරණය අද මම ඔයා ගාව දකිනවා. ඔයා මාව පිළිකුල් කරන්න ඕනම වෙලාවකත් මාව රකින්න ඉදිරිපත් වුණා. ඉතින් ආයෙත් මනුසත් ගැන නොහිතන්න, ආයෙ එයා කතා කරත් නොගිහින් ඉන්න තරම් මට මොළයක් තියෙන්නෝන නේද.”

මම එහෙම කියද්දී තිදස් සෑහෙන වෙලාවක්  කිසිම දෙයක් නොකියා මගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. ඒ බැල්මේ තිබුණේ මාව සැක කරන ගතියක් නෙවෙයි, මම මේ කියන්නේ මගේ හිතේ තියෙන ඇත්තම නේද කියලා තහවුරු කරගන්න හදන බැරෑරුම් පාටක්. එයා හෙමින් මගේ අත අතෑරලා එළිය බැලුවා. හවසට වැටෙන ඉර එළිය එයාගේ මූණට වැටිලා තිබුණේ හරියට අලුත් බලාපොරොත්තුවක සේයාවක් වගේ.

“මම ඔයාව විශ්වාස කරනවා ලිහිණි. ඒත් මට තියෙන එකම බය… මනුසත් ආයෙත් කවදා හරි ඔයාගේ දුර්වලකම පාවිච්චි කරයි කියන එකයි. ඔයා දන්නවානේ එයාට ඕනම කෙනෙක්ව වචනවලින් අන්දවන්න පුළුවන් කියලා. ඔයා ඒ වචනවලට ආයෙ රැවටෙයිද කියන පොඩි බයක් මගේ හිතේ කොහේ හරි තියෙනවා. මොකද මම දන්නවා ඔයාගේ හිත හරිම ඉක්මනට උණු වෙනවා කියලා.”

“එයාට මාව ආයේ නම්මගන්න බැහැ තිදස්. මොකද මම දැන් දන්නවා ඇත්තටම මට ජීවිතෙන් ඕන කරන්නෙ මොකද්ද කියන දේ. ආදරේ කියන්නේ ලස්සන වචනවලට වඩා, අමාරුම වෙලාවකදී අල්ලගන්න ඒ හයිය අත කියලා මම ඉගෙන ගත්තේ ඔයාගෙන්,” ම

“එහෙනම් ලිහිණි… මට එක දෙයක් කරන්න ඉඩ දෙන්න. එතකොට මට හිතාගන්න පුළුවන් මනුසත් ඔයාගේ ජීවිතෙන් ඇත්තටම අයින් වෙලාද කියලා. ඔයාට මාව විශ්වාස නම් විතරක් මේක කරන්න. දැන්ම මනුසත්ගේ නම්බර් එක ඩිලීට් කරලා, එයාව බ්ලොක් කරලා දාන්න ලිහිණි. ඔයාට ඒක මම ඉස්සරහම කරන්න පුළුවන්ද? ආයේ කවදාවත් ඒ මනුස්සයට ඔයාගේ හිතට රිංගන්න පාරක් ඉතුරු කරන්නේ නැතුව, හැමදාටම මේක මෙතනින් ඉවර කරන්න ඔයාට පුළුවන්ද?”

තිදස් එහෙම කියලා මගේ ඉස්සරහට මගේම ෆෝන් එක දික් කළේ හරියට මගේ මුළු අතීතයම එක මොහොතකින් අළු කරලා දාන්න මට අභියෝග කරනවා වගේ. ඒත් ඒ වෙලාවේ මගේ හිතේ ඇති වුණේ තිදස් බලාපොරොත්තු වුණ විදිහේ සහනයක් නෙවෙයි. ඒ වෙනුවට මගේ පපුව ඇතුළේ ඇති වුණේ මහා බරක්. මම ඒ ෆෝන් එක දිහා මොහොතක් ගල් ගැහිලා බලාගෙන හිටියා. තිදස් හිතන්නේ මේක නිකන්ම නිකන් අංකයක් මකලා දානවා වගේ සරල වැඩක් කියලා. පිරිමියෙක්ට ඒක හරිම ලේසියි. තමන්ට දරාගන්න බැරි ඕනෑම බැඳීමක් එක පාරටම කපලා දාලා නිදහස් වෙන්න පිරිමියෙක්ට පුළුවන් වුණාට, ගැහැනියක් විදිහට මම ඉන්නේ ඊට වඩා ලොකු වගකීම් සහ ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් මැද්දේ. තිදස්ට නොතේරෙන ප්‍රශ්න ගොඩක් මැද්දෙ.

“තිදස්…” මම හෙමින් මිමිනුවා. මගේ කටහඬේ තිබුණේ වෙහෙසකර බවක් වෙන්නැති. ඇත්තටම මම උන්නෙ ජීවිතෙන් හොඳටම මහන්සිවෙලා. මම මගේ වෙව්ලන ඇඟිලිවලින් ෆෝන් එක අතට ගත්තත්, ඒකේ බ්ලොක් බට්න් එක ඔබන්න තරම් හිතට හයියක් ආවේ නැහැ. ඒක මනුසත්ට තියෙන ආදරේ නිසා වෙච්ච දෙයක් නෙවෙයි. ඒත් එහෙම කරන්න බැරි විදියෙ නෛතික බැඳිමකින් මමයි මනුසතුයි ඒ වෙද්දිත් බැඳිලා උන්නා.

“ඔයාට හිතෙනවා ඇති මේක නිකන් බොළඳ කෙල්ලෙක් වගේ නම්බර් එකක් බ්ලොක් කළාම ඉවර වෙන ප්‍රශ්නයක් කියලා. ඒත් ඔයාට එක දෙයක් අමතක වෙනවා තිදස්. මම තාම මනුසත්ගේ වයිෆ්. නීතියෙන් මම තාම එයාට බැඳිලා ඉන්නේ. මම කොහොමද හරියට නිකන් ලෝකෙ ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙල්ලෙක් වගේ මගේ ජීවිතේ තීරණාත්මකම දේවල්වලින් එච්චර ලේසියෙන් පැනලා යන්නේ? මම දැන් එයාව බ්ලොක් කළා කියලා මගේ ජීවිතේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැනෙ. මට තාම එයා එක්ක විසඳගන්න දේවල් දහසකුත් එකක් තියෙනවා.”

මම ෆෝන් එක ආයෙත් මේසය උඩින් තිබ්බෙ එහෙම කියල. තිදස්ගේ මූණේ තිබුණ ඒ බලාපොරොත්තුව සහ උනන්දුව ටිකෙන් ටික අපැහැදිලි වෙලා යනවා මම දැක්කා උනත් එවෙලෙ මට දෙන්න ඊට වඩා හොඳ උත්තරයක් තිබුණෙ නෑ. මොක උනත්, මොන තරං සුරංගනා කතන්දර අපෙ කනට ඇහුණත් අපිට රියලිටි එකෙන් පැනලා යන්න පුළුවන්කමක් නෑ.

“මනුසත් මාව රවට්ටපු එක ඇත්ත. එයා මාව ප්‍රශ්න ගොඩකට ඇදලා දැම්මා කියන එකත් ඇත්ත. හැබැයි ඒ ප්‍රශ්නවලින් ගොඩ එන්න නම් මට මනුසත් එක්කම මුණට මුණ බලාගෙන, කතා බහ කරලා මේ සේරම ඉවර කරන්න වෙනවා. මම දික්කසාදෙකට යනවනම් ඒකෙ වැඩ තියෙනවා. අපේ ගෙවල්වල අයට, නීතියට, මේ ලෝකෙට උත්තර දෙන්න කලින් මට එයා එක්ක තියෙන ඒ නීත්‍යානුකූල බැඳීම ඉවර කරන්න වෙනවා. එතකන් මට මනුසත් එක්ක කතා කරන්න වෙනවා. මම එයාව බ්ලොක් කළා කියලා එයා මගේ ජීවිතෙන් මැකිලා යන්නේ නැහැ. මම ප්‍රැක්ටිකල් ඉශූස් ගැන හිතන්නෝන තිදස්.

ඔයා හිතනවා නම් මම නම්බර් එක බ්ලොක් කරන්නේ නැත්තේ මගේ හිතේ තාම එයා ගැන තියෙන ආදරේ හින්දා කියලා ඔයාට වැරදිලා. ඒක ඔයා මට කරන අසාධාරණයක්. මම මනුසත් එක්ක ගනුදෙනු කරන්නේ මට එයා ඕන නිසා නෙවෙයි, මට එයාව සදහටම මගේ ජීවිතෙන් අතුගාලා දාන්න ඕන නිසයි. ඒ වැඩේ මම කරන්න ඕනේ පැනලා ගිහින් නෙවෙයි, කෙළින්ම මුහුණ දීලා. මට ඕනේ අනාගතේ දවසක ඔයාගේ ඉස්සරහට එද්දී කිසිම නීතිමය ගැටලුවක් නැති, සම්පූර්ණයෙන්ම නිදහස් වුණ ලිහිණි කෙනෙක් විදිහට එන්න. එතකන් මට මේ බැඳීම මග අරින්න විදියක් නෑ තිදස්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here