සමහරවෙලාවට අපි පුරුදු වෙන්න ඕන ආදරේදි බොරු කියන්න. ඇත්ත කිව්වම කොච්චර කරත් අපේ හිත් අස්සෙ පොඩි නොරිස්සුමක් වගේ දෙයක් ඇතිවෙනවා. මනුසත්ගෙ නම්බර් එක බ්ලොක් කරලා එයා එක්ක කතා කරන එක සහමුලින්ම මට නවත්තන්න විදියක් නෑ කියලා තිදස්ට කිව්වයින් පස්සෙ තිදස් ඒක තේරුම් ගත්තෙ මම තාමත් මනුසත්ට ආදරෙන් ඉන්නවා කියලා.
මම එයාට කොච්චර කරුණු පැහැදිලි කරලා දුන්නත්, මම මේ ගනුදෙනු කරන්නේ මනුසත් කියන පිරිමියා එක්ක නෙවෙයි, මගේ අනාගතය අහුරලා තියෙන ඒ නීතිමය බැඳීම එක්ක කියලා එයාට තේරුම් කරන්න මට ඒක ඇත්තටම කරන්න ලේසි වුණේ නෑ. ගෑනියෙක්ට ආදරේ කරන පිරිමියෙක්ට තමන්ගේ ගෑනි තවමත් ඒ ගෑනිගෙ පරණ මිනිහා එක්ක පොඩ්ඩක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා දරන්න අමාරුයි තමයි. ඒත් තිදස් වගේ පරිණත මනුස්සයෙක්ගෙන් මම මීට වඩා ඉවසීමක් බලාපොරොත්තු වුණා කිව්වොතින් හරියටම හරි. අනික මොක උනත් තිදස් මාත් එක්ක යාළුවෙන්න එද්දිත් එයා දැනගෙන උන්නා මම තාම මනුසත්ගෙ වයිෆ් කියන එක. මට තාම මනුසත් එක්ක නීතිමය බැඳීමක් තියෙනවා කියන එක. ඒත් තිදස් උන්නෙ ඒ ඇත්ත පිළිගන්න, තේරුම් ගන්න අවස්ථාවක් නෙවෙයි.
එදායින් පස්සේ අපේ මැද තිබුණ ඒ ලස්සන බැඳීම මොහොතකින් අතුරුදන් වුණා වගේ මට දැනුණා. තිදස් මාව කිසිම දේකදි මග ඇරියෙ නෑ, ඒත් එයාගේ කටහඬේ තිබුණ අර මාව විශ්වාස කරනවා,මාත් එක්කම ඕන දේකට ඉන්නවාය කියන ගතිය තවදුරටත් එයාගෙ වචන අස්සෙ, බැල්ම අස්සෙ තිබුනෙ නැද්දෝ කියලා මට හිතුනා. අපි දෙන්නම උන්නෙ දෙන්නට දෙන්නා කියාගන්න බැරි මොකක් හරි හිරවීමක් අස්සෙ හිරවෙලා. මම දන්නවා, එයාගේ හිත ඇතුළේ මම ගැන ලොකු සැකයක්, එහෙමත් නැත්නම් ලොකු වේදනාවක් පැළපදියම් වෙලා තියෙනවා කියන එක.
පිරිමි හරි පුදුමයි. වැරැද්දක් වුණොත් ඒකේ බර කරගහන්න මගේ පපුව හයියයි කියලා කියපු තිදස්ට, මනුසත්ගේ නම්බර් එක ඩිලීට් නොකරපු එක මං එයාට කරපු මහා ලොකු පාවාදීමක් වගේ දැනුණේ ඇයි කියලා මට හිතාගන්න බැහැ. එයා මාව විශ්වාස කරනවා කියලා කිව්වට, ඒ විශ්වාසය තිබුණේ මගේ අතේ තිබුණ ෆෝන් එකේ නම්බර් එකක් බ්ලොක් කරන එක මත විතරද කියලා මම මාවම ප්‍රශ්නෙ කරේ අන්න ඒ හන්දා.
අනික තිදස් මොනවා කිව්වත් මට මනුසත්ව සම්පූර්ණයෙන්ම මගෙ සිතුවිලි වලින් අයින් කරලා දාන්න පුළුවන්කමක් තිබුණෙ නෑ.
මම දවස පුරාම ෆෝන් එක දිහා බලාගෙන හිටියෙ අන්න ඒ හන්දා. මනුසත්ගෙන් මැසේජ් එකක් එන හැම වතාවකම මගේ හදවත ගැහෙන්න ගත්තෙ ඒ මැසේජ් එක අස්සෙ එයා අපේ ඩිවෝස් එක ගැන කතා කරලා තියේවිද කියලා හිතද්දි. කොච්චර මනුසත්ගෙන් ඩිවෝස් වෙන්න මට ලොකුවටම උවමනාව තිබුණත් එහෙම දෙයක් ගැන හිතද්දි හිත ගැස්සෙන එක ඕනම කසාද බැඳපු ගෑනියෙක්ට තියෙන සාධාරණ බයක් වෙන්න පුළුවන්. මටත් ඒ සාධාරණ බය තිබ්බා. ඩිවෝස් වෙච්ච ගෑනියෙක් විදියට සමාජෙට මූණ දෙන්න බයක් තිගැස්මක් මගෙ හිතේ තිබුණා.තිදස් හන්දා මනුසත්ගෙ කූඩුවෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා මම හිතාගෙන උන්නට, ආදරේ කියන්නේ නිදහසක් වෙන්න ඕන වුණාට, අද මට දැනෙන්නේ මම තවත් කූඩුවකට හිර වෙලා වගේ කියන සිතුවිල්ලෙන් මට මිදෙන්න එච්චර ලේසි වුණේ නෑ. මට දැනුනෙ උන්න හිර කූඩුවකට වඩා ලස්සන හිර කූඩුවක මම හිර වෙලා වගේ.
මම ඇත්ත කිව්වේ තිදස්ව රවට්ටන්න මට බැරි නිසා. හැබැයි අද මට හිතෙනවා, එදා මම තිදස් ඉස්සරහම බොරුවට ඒ නම්බර් එක බ්ලොක් කරලා පස්සේ ආයෙත් අන්බ්ලොක් කළා නම් මීට වඩා සැනසීමක් අපි අතරෙ ඉතුරු වෙයි කියලා. ඇත්ත කියන එක හැම වෙලාවකම යහපතක් කරන්නේ නැහැ කියලා මට තේරෙන්නේ දැන්.
තිදස් එදායින් පස්සේ හිටියේ හරියට පුපුරන්න බලාගෙන ඉන්න ගිනි කන්දක් වගේ. එයා වචනයකින්වත් මට දොසක් කිව්වේ නැහැ, හැබැයි එයාගේ හැම ඉරියව්වකම තිබුණේ මාව සැක කරන ගතියක්. අපි මුණගැහෙන හැම වෙලාවකම, කතා කරන හැම තත්පරයකම වගේ එයාට අහන්න තිබුණේ එකම එක ප්‍රශ්නයයි.
“මනුසත් එක්ක ඩිවෝස් එක ගැන කතා කරාද?”
තිදස් එහෙම ඇහුවේ මගේ ඇස් දෙක පසාරු කරගෙන යන බැල්මක් එක්ක. ඒ කටහඬේ තිබුණේ මහා නොරිස්සුමක්. හරියට මම හිතාමතාම මේ වැඩේ පරක්කු කරනවා වගේ හැඟීමක් එයාගේ මූණේ තිබුණා. මම ගැඹුරු හුස්මක් ගත්තා. මගේ පපුව ඇතුළේ මහා බරක් හිරවෙලා වගේ දැනුණේ.
“තිදස්, ඔයාට තේරෙන්නේ නැද්ද මම ඉන්න තත්ත්වෙ? මම එහෙම එකපාරටම ගිහින් මනුසත්ගෙන් ඩිවෝස් එක ගැන අහපු ගමන්, මේ හැමදේකටම මුල් වෙච්ච කෙනා විදිහට වැරැද්ද වැටෙන්නේ මගේ පිටටනේ. එතකොට ලෝකෙ මිනිස්සු දකින්නේ මමයි මේ කසාදේ කඩාගන්න හදිසි වෙන්නේ කියලා,” මම ටිකක් සද්දෙන් කිව්වේ මගේ හිතේ තිබුණ පීඩනය දරාගන්න බැරිම තැන.
“දැන් ඔයාට ලෝකෙ මිනිස්සු හිතන එකත් ප්‍රශ්නයක් වුනාද ඒ පාර?” කියලා තිදස් අහපු කතාව අස්සෙ තිබුණෙ “මෙච්චර දේවල් කරද්දි නම් ලෝකෙ මිනිස්සු හිතන දේවල් ගැන ඔයාට වගක් තිබ්බෙ නෑ නේද?” කියන කතාවද කියලා හිතන්න මම මහන්සි වුණේ නෑ. මොකෝ එවෙලෙ මගෙ ඔලුවෙ ඊට වඩා හිතන්න දේවල් ඉතුරු වෙලා තිබුණා.
“අන්න එතනයි ප්‍රශ්නේ තිදස්. මට තාම හිතාගන්න බැහැ මම මොකක්ද මනුසත්ගේ පිටට පවරන වරද කියලා. ඔව්, මම දන්නවා එයා මට කළේ ලොකු අසාධාරණයක් කියලා. හැබැයි නීතිය ඉස්සරහා ඔප්පු කරන්න පුළුවන් වරදක් මනුසත් අතින් වුණාද? මම කොහොමද උසාවියක කියන්නේ ‘මනුසත් තාම එයාගෙ දරුවන්ගෙ අම්මා එක්ක කතා කරනවා, ඒ නිසා මට ඩිවෝස් එක ඕනේ’ කියලා? මම ඩිවෝස් එක ඉල්ලපු ගමන් මනුසත් ඒක මගේ වැරැද්දක් විදිහට පාවිච්චි කරයි කියන බය මට තියෙනවා. එයා අනිවාර්යයෙන්ම කියයි මට වෙන සම්බන්ධයක් තියෙන නිසා මම එයාව දාලා යන්න හදනවා කියලා. එහෙම නැත්තම් මං එයාගෙ ගෙදරින් පිට වෙලා ආවා කියලා. ඇත්තටම උනෙත් ඒකනෙ. එයා මට යන්න කිව්වට බලෙන්ම එලියට බැහැලා ආවෙ මමනෙ. එහෙම නැතුව එයා මාව ඇදලා එළියට දැම්මෙ නෑනෙ. එතකොට වැරදිකාරිය වෙන්නේ මම නේද.
තිදස්, මටත් ඕනේ මේකෙන් නිදහස් වෙන්න තමයි. ඒත් මට ඕනේ නෑ ආයෙ වතාවක් මම චාටර් වෙලා ඒක ඉවර කරන්න. ඔයා මෙහෙම දිගින් දිගටම මට බලපෑම් කරද්දී මට දැනෙන්නේ මම ආයෙත් හිර කූඩුවක් අස්සෙ කොටු වෙනවා වගේ. මට පොඩ්ඩක් හුස්ම ගන්න ඉඩ දෙන්න. හැමදේම ඔයා හිතන තරම් ලේසි නැහැ. කියන්න ලේසි උනත් කරන්න ලේසි නෑ”
තිදස් තප්පරයක් සද්ද නැතුව මං දිහා බලාගෙන ඉඳලා, කිසිම දෙයක් නොකියා එතනින් අයින් වෙලා ගියා. ඒ සයිලන්ස් එක මගේ හිතට ලොකු බයක් එකතු කළා කිව්වොතින් හරි. අපි දෙන්නා අතර තිබුණ ඒ ලස්සන බැඳීම මේ ප්‍රශ්න මැද්දේ හෙමින් හෙමින් දිය වෙලා යනවා වගේ මට දැනුණෙ.
ඒ සයිලන්ස් එක අස්සේ තිබුණේ දහසකුත් එකක් චෝදනා. මම දන්නවා, මට තිදස්ව නැති කරගන්න කොහොමටවත් බැහැ. එයාගේ හිතේ මං ගැන ඇති වෙලා තියෙන ඒ නොරිස්සුම මකලා දාන්න නම්, මම අකමැත්තෙන් වුණත් ඒ ගින්දරට අත තියන්නම ඕනේ කියලා මම හිත හදාගත්තෙ අන්න ඒ හන්දා. ආදරේ වෙනුවෙන් මම මගේ ආත්ම ගරුත්වය පවා පෝරකය ඉදිරියට අරන් යන්න තීරණය කලේ අන්න ඒ හන්දා.
මම වෙව්ලන ඇඟිලිවලින් ෆෝන් එක අතට අරගෙන මනුසත්ගේ නම්බර් එක ඩයල් කරද්දී මගේ පපුව ගැහෙන්න ගත්තේ මහා හයියෙන්.
“අද මම මනුසත්ට කෙළින්ම කියනවා මට ඩිවෝස් එක ඕනේ කියලා. තිදස් කියලා හරි කමක් නෑ මාව මේ මර උගුලෙන් ඉක්මනට ගැලවෙනවා නම් එච්චරනෙ” කියලා මම හිතින් දහස් වාරයක් මුමුණ ගත්තෙ මාව කලබල වෙන එක නතර කරගන්න.
මම හුස්ම හිර කරගෙන බලාගෙන හිටියේ මනුසත් දැන් ෆෝන් එක ආන්ස්වර් කරයි, දැන් ආන්ස්වර් කරයි කියලා. මට එක තප්පරේකට හිතුනා මේ කෝල් එක කට් කරන්න. එතකොට මනුසත් මිස් කෝල් එක දැකලා ගනිවීනෙ. ඒ වෙද්දි මට මොනා හරි කියන්නෝන දෙයක් හදාගන්න පුලුවන් වෙයිනෙ කියලා. ඒත් එක්කම තමයි අනික් පැත්තෙන් කෝල් එක සම්බන්ධ වුණේ.
“හෙලෝ…?”
මම එකපාරටම ගල් ගැහුණා.
මුළු ලෝකෙම කඩාගෙන වැටෙනවා වගේ මට දැනුණෙ.
අහන්න බලාපොරොත්තු වෙච්ච මනුසත්ගෙ කටහඬ වෙනුවට මට ඇහුනෙ ගෑනු කටහඬක්.
ෆෝන් කෝල් එකකින් උනත් මට අඳුරගන්න පුළුවන් කටහඬක්.
ඒ භානුකී!


