කලුවර රෑ සඳක් වගේ – 57

0
730

ඒ ඇහුණේ භානුකීගේ කටහඬ කියලා තේරුණ වෙලාවේ මගේ පපුව පිච්චිලා ගියා වගේ දැනුණෙ.

 තිදස් වෙනුවෙන් මම මගේ ආත්ම ගරුත්වය පවා පැත්තකට දාලා ගත්ත කෝල් එකට මනුසත් වෙනුවට භානුකී උත්තර දෙද්දී මට දැනුණේ මම ආයෙත් පරණ කුණු ගොඩ අස්සෙම හිරවෙලා වගේ. ඒත් විනාඩියක් යන්න කලින් භානුකී කියපු දේවල් එක්ක මගේ මුළු ලෝකයම උඩුයටිකුරු වුණා. මම හිටියේ ඉස්පිරිතාලේ සුදු පාට බිත්ති අතරේ මගේ හුස්ම හිරවෙන මට්ටමට ඇවිත්.

“හෙලෝ…?”

“ලිහිණි… මං මේ ඔයාට කතා කරන්න ගියා විතරයි,” භානුකීගේ කටහඬේ තිබුණේ මම බලාපොරොත්තු වෙච්ච, මං මීට කලින් එයාගෙන් අහලා තිබුණ සෝබන, පොෂ් ගතිය නෙවෙයි, මොකක්දෝ බිඳිච්ච අසරණ ගතියක්. ඒත් ඒක මට මතක් උනෙත් පස්සෙ ආයෙ ඒ වචන මතක් කරද්දි. එවෙලෙ මං උන්නෙ භානුකී ෆෝන් එකට ආන්ස්වර් කරපු එක ගැන තරහෙන්.

“ඇයි ඒ? මගේ මිනිහව උදුරගත්ත එකේ තව මොනවද ඔයාට මගෙන් ඉල්ලන්න තියෙන්නේ? ෆෝන් එකට ආන්ස්වර් කරනවත් ඇත්තෙ දැන් දෙන්නම මම නෑ කියල හිතන් ඉන්න නිසා වෙන්නැති නේ නේද?”

“ලිහිණි… ප්ලීස්,” භානුකී මගේ කතාව මැද්දෙන් පැනලා කිව්වා. “ඔයා මාත් එක්ක මොන විදියෙ තරහක් පිරිමහගන්න හැදුවත් කමක් නෑ. මට බණින්න, මට වෛර කරන්න… ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි. මනුසත්ව හොස්පිටල් ඇඩ්මිට් කළා. එයා ඉන්නේ ගොඩක් අමාරුවෙන් ලිහිණි. ඔයාට දැන්ම මෙහේ එන්න පුළුවන්ද?”

භානුකී මාව එක්කගෙන ගියේ දැඩි සත්කාර ඒකකයට. වීදුරු දොරෙන් එහා පැත්තේ, සුදු පාට ඇඳක් උඩ වැටිලා ඉන්න ඒ රූපය දැක්කම මම මගේ කට අතින් වහාගත්තේ කෑගැහිලා ඇඬෙන්න ආපු හින්දා. 

හැමදාම ටයි පටිය දාලා, පර්ෆියුම් නාලා, හරිම සෝබනේ හිටපු මනුසත් අද කිසිම පණක් නැති රබර් බෝනික්කෙක් වගේ නහයෙන් බට දාලා, කටින් තවත් බටයක් සම්බන්ධ කරලා ඇඳක් උඩ ඔහේ වැටිලා උන්නා. 

එයාගේ පපුව ඉස්සෙන්නේ වැටෙන්නේ එයාගේ පණ නිසා නෙවෙයි, ඒ ඇඳ අයිනෙන් තියලා තිබුණ මැෂින් එකේ රිදම් එකට බව මට තේරුණා. ඒ මැෂින් එකෙන් එන බීප් සද්දෙ මගේ කන් අඩි පසාරු කරගෙන ගියා වගේ මට හිතුණෙ. එයාගේ අතපය වෙව්ලන්නේවත් නැහැ. ඒ මූණ අද හරිම පාලුයි, මැරිලා වගේ සුදුමැලි වෙලා. ඇස් දෙක පියවෙලා තිබුණේ හරියට ආයෙ කවදාවත් මේ ලෝකය දකින්න බලාපොරොත්තුවක් නැති ගාණට.

ඒ මනුසත් කියලා අදහාගන්නත් මට අමාරු වුණා ඇත්තටම කිව්වොත්. මං එයාව අන්තිමට දැක්ක වෙලේ උන්නයින් භාගයයි දැන්. මම කොච්චර වෛර කළත්, කොච්චර ඩිවෝස් එකක් ඉල්ලන්න ලෑස්ති වුණත්, මෙහෙම අසරණ වෙච්ච පිරිමියෙක්ව දකින්න මගේ හිතේ කොහේවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. 

ජීවිතය කියන්නේ මෙච්චර පොඩි දෙයක්ද කියලා මට හිතුණේ එතකොටයි. මම තිදස් එක්ක වාද කර කර, මගේ නිදහස ගැන හිත හිත ඉද්දී, මගේ නීත්‍යානුකූල සැමියා මරණයත් එක්ක සටන් කරමින් ඉඳලා තියෙන්නේ මෙහෙමයි. මැෂින් එකේ තිරය උඩ යන ඒ රේඛා දිහා බලන් ඉද්දී මට දැනුණේ මගේ පපුවත් නතර වෙන්න වගේ.

භානුකී කතා කළේ හරිම හීන් හඬින්, හරියට ඒ හඬ මනුසත්ගේ මේ මරණීය නිහඬතාවයට බාධාවක් වෙයි කියලා බයෙන් වගේ.

“ලිහිණි, මම දන්නවා මම මේ වෙලාවේ මොනවා කිව්වත් ඔයාට ඒක බොරුවක් වගේ දැනෙයි කියලා. ඔයා ගෙදරින් ගිහින් තිබුණා කියන එක මම දැනගත්තෙත් මනුසත් දවස් ගානකින් අපිට කෝල් එකක්වත් නුදුන්න හන්දා ගිහින් බලද්දියි. මනුසත් ඒ දවස් ටිකේම යුනිවසිටි ගිහිල්ල තිබ්බෙත් නෑ.”

එයා වීදුරුවෙන් එහා පැත්තේ ඉන්න මනුසත් දිහා බලාගෙන ගැඹුරු හුස්මක් ගත්තා.

“ලිහිණි… ඔයා කොච්චර අපි දිහා වැරදි විදියට බැලුවත් මමවත් මනුසත් අතරවත් ඔයාට රිද්දන විදියෙ වැරදි බැඳීමක් තිබුනෙ නෑ. ඒකයි ඇත්ත. ඔව්, සමහර විට අපි අපිට පුරුදු වෙලා හිටිය එක, අපි තාම අපේ දරුවන්ගෙ මව් දෙමව්පියො විදියට සම්බන්ධයි කියන එක, අපි නිතරම කතා කරපු එක ඔයාට හිත රිද්දගන්න හේතුවක් වෙන්නැති. ඒක අපෙන් වෙච්ච ලොකු වරදක්. මම ඒක පිළිගන්නවා. අපි දැනගන්න තිබුණා අපේ අතීතය නිසා ඔයාගේ වර්තමානය ගිනිගන්න පුළුවන් කියලා.”

මම කිසිම දෙයක් නොකියා බිම බලාගත්තා. මගේ හිත ඇතුළේ තිබුණේ මහා පටලැවිල්ලක්. මම වැරදිද? නැත්නම් මනුසත් වැරදිද?

“ඒත් ලිහිණි, ගෙදරින් නොයා ඔයිට ලස්සනට ඔයාලා දෙන්නටම ඕක කතා කරලා විසඳගන්න තිබුනා කියලා මට හිතෙනවා. ඔයා එකපාරටම යන්න ගිය එක මනුසත්ට දරාගන්න බැරි වුණා. මනුසත් අසනීප උනේ චුට්ට චුට්ට. එයා ඒ හැමදේම හිතේ හිර කරගෙන තනියම විඳවලා තියෙනවා. එයාට හාට් ඇටෑක් එකක් එක්ක මේ සිහි නැතිවෙන එක ආවෙ අහම්බෙන් වගේ. ඩොක්ටර්ස්ලා ඒත් කියනවා මැශින් වලින් තමයි මේන්ටේන් කරන්නෙ කියලා. එයාගේ මොළයට ලොකු හානියක් වෙලා ලිහිණි. මොක උනත් අපිට අමතක නොකර ඉන්න තිබුනා මනුසත් කියන්නෙ වයසක මනුස්සයෙක් කියන එක. තරුණ කෙල්ලො ප්‍රශ්න දිහා බලනවා වගේ නෙවෙයි ලිහිණි අපි වගේ වයසක මිනිස්සු ප්‍රශ්න දිහා බලන්නෙ”

භානුකී මගේ අතක් හෙමින් අල්ලගත්තා. ඒ අත වෙව්ලනවා මට දැනුණා.

“ඔයා මනුසත්ට ආදරේ කළා කියලා මම දන්නවා. ඒත් ඒ ආදරේ වෛරයකට පෙරළෙන්න කලින් මේ වගේ දෙයක් වුණ එක කොච්චර අවාසනාවක්ද? මම දන්නවා මනුසත් ඔයා ඉස්සරහා මොන ජාතියෙ සද්ද දාන් හිටියත් එයා හිත ඇතුළෙන් හරිම අසරණ මනුස්සයෙක්. එයා ඔයාට ආදරේ කළා ලිහිණි, ඒත් ඒක පෙන්නන්න එයා දැනගෙන හිටියේ නැහැ. එයා හිතුවේ හැමදේම සල්ලිවලින්, සෝබන වචනවලින් වහන්න පුළුවන් කියලා. අන්තිමට බලන්න ඉතින් වෙච්ච දේ.”

භානුකීගේ වචන මගේ හිතේ තිබුණ වෛරය හෙමින් හෙමින් දිය කරලා දානවා වගේ මට දැනුණෙ. මම තිදස් එක්ක අලුත් ලෝකයක්, මනුසත් නැති ලෝකයක් හදාගන්න මහන්සි වෙද්දි, මගේ නීත්‍යානුකූල සැමියා මේ වගේ මරණීය සීතලක තනි වෙලා ඉඳලා තියෙන්නේ කියන එක මට මාර විදියට රිද්දුවා. මට දැනුණේ මම මහා ලොකු පාවාදීමක් කළා වගේ හැඟීමක්.

“දැන් මේ හැමදේම සිද්ධ වෙලා ඉවරයි ලිහිණි. මනුසත් තව දවස් කීයක් මේ විදිහට ඉඳියිද කියලා කවුරුත් දන්නේ නැහැ. ඩොක්ටර්ස්ලා කියන්නේ එයාව හරියට බලාගත්තෙ නැත්තම් එයාගේ අන්තිම මොහොත ඕනම වෙලාවක එන්න පුළුවන් කියලා…” කියද්දි භානුකීගේ කටහඬ බිඳුණා.

ඇත්තටම ඒ මොහොත හරිම පුදුම සහගතයි කියලා තමයි මට හිතුණෙ.

 එකම මිනිහෙක් වෙනුවෙන්, එකම වේදනාවකින් ගෑනු දෙන්නෙක් ඒ විදිහට එකම තැනක බයෙන් ගැහෙමින් ඉඳියි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. අනික ඒ ගෑනු දෙන්නා මමයි මගෙ හස්බන්ඩ්ගෙ මට පෙන්නන්නම බැරි කලින් ගෑනි වෙයි කියන එක මම කවදාවත් හිතලා තිබුණෙ නෑ. මම මනුසත්ගේ වර්තමානය වෙද්දී, භානුකී කියන්නේ එයාගේ අතීතය. අපි දෙන්නා අතරේ මීට කලින් තිබුණේ ලොකු තරහක්, එකිනෙකාට පේන්න බැරි වෛරයක්. ඒත් අද ඒ මැෂින් එකෙන් ඇහෙන සද්දය ඉස්සරහා අපි දෙන්නම එක සමානව අසරණ වෙලා හිටියා. මනුසත් කියන ඒ පිරිමියා අපේ ජීවිතවලට මොන තරම් බලපෑමක් කරලා තිබුණාද කියනවා නම්, එයාගේ හුස්ම පොදක් වෙනුවෙන් අද අපි දෙන්නටම එකට බලාපොරොත්තු තියාගෙන, දෙයියන්ගෙන් ඉල්ලන්න සිද්ධ වෙලා තිබුනා. වෛරය, ඉරිසියාව, කුහකකම ඒ හැමදේම ජීවිතේ ඉස්සරහා දියවෙලා ගිහින් තිබුණා. අපි දෙන්නම බයෙන් හිටියේ ඒ මැෂින් එකේ දුවන රේඛාව එකපාරටම නතර වෙයි කියලා. ඒ වෙලාවේ මට හිතුණේ, ගෑනු විදිහට අපි කොච්චර වලි දාගත්තත්, අවසානයේ අපි හැමෝම එකම දුකක, එකම වේදනාවක කොටස්කාරයෝ නේද කියලා.

“ලිහිණි, දැන් ඔයා තීරණයක් ගන්න ඕනේ. නීතියෙන් තාම එයාගේ වයිෆ් ඔයා නේ. ඔයාට පුළුවන්ද ආයෙත් ගෙදර ඇවිත් මනුසත් වෙනුවෙන් ඒ වගකීම ගන්න? එහෙම නැත්නම්… ඔයාට ඒක කරන්න බැරි නම් මනුසත්ව අපිට බාර දෙන්න. එයාගේ දරුවන්ගේ අම්මා විදිහට මම එයාගේ අන්තිම මොහොත වෙනකම් ළඟ ඉන්නම්. හැබැයි ඒ හැමදේම ඩිසයිඩ් කරන්නෝන ඔයා ලිහිණි.

මොකද ඔයා තමයි මනුසත්ගෙ වයිෆ්. ලීගලි හැම දේම ඔයාගෙ. මනුසතුත් ඔයාගෙ”

මම ගොළු වුණේ අන්න ඒ වචන ළඟ.

 එක පැත්තකින් පණ අදින මනුසත්, අනිත් පැත්තෙන් මගේ අලුත් ජීවිතේ බලාපොරොත්තුව වුණ තිදස්. 

මගේ එක අත්සනකින් මනුසත්ගේ ජීවිතේ තීරණය වෙනවා කියන එක මට දරාගන්න බැරි බරක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here