කලුවර රෑ සඳක් වගේ – 58

0
208

“ෂා… මාරයිනේ ලිහිණි. ඇත්තටම මම මේ තරම් දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ ඔයාගෙන්.ඔයා මෙච්චර මනුස්සකම් දන්න කෙනෙක් කියලා මං ඇත්තටම හිතුවෙනෑ” කියලා කියද්දි තිදස්ගේ කටහඬේ තිබුණේ මාව හිරිවට්ටනවා වගේ සමච්චල් සහගත හිනාවක්. 

සමහර වෙලාවට ගෑනුන්ට තීරණ ගන්න වෙනවා තමන්ගේ සන්තෝසෙ ගැන බිංදුවක්වත් හිතන්නේ නැතුව. අපේ හිත් ඇතුළේ තියෙන ආසාවල්, බලාපොරොත්තු, ආදරේ මේ හැමදේම එක මොහොතකදී හෘද සාක්ෂිය ඉස්සරහා දණ ගහනවා. මම තිදස් එක්ක අලුත් හීනයක් දැක්කා තමයි, ඒත් පණ ඇද ඇද ඉන්න මනුස්සයෙක්ව මම ඉල්ලපු නිදහස වෙනුවෙන් මරණයට තනි කරලා යන එක මට කවදාවත් සැනසීමක් දෙන එකක් නැහැ කියලා මට හිතිච්ච හින්දා තමයි මම මේ විදියට මගේ ඩිසිශන් එක වෙනස් කරන්න හැදුවෙ. මගේ සතුට කියන්නේ තවත් කෙනෙක්ගේ මරණය නෙවෙයි කියලා මට හිතන්න මගේ හිත මට බල කළා.

ගෑනියෙක් විදියට මම මාවම පාවා දුන්නා වගේ හැඟීමක් එක පැත්තකින් දැනෙද්දී, අනිත් පැත්තෙන් මනුස්සකම මාව ශක්තිමත් කළා. මම ආවේ මගේ සතුට සොයාගෙන නෙවෙයි, මගේ යුතුකම ඉටු කරන්න කියලා මං මටම නිතර නිතර කියාගත්තෙ අන්න ඒ හන්දා. මනුසත්ගේ වයිෆ් විදියට ආයෙත් ඒ ගෙදර හැම වැඩක්ම මං කරට ගත්තා. මම කෑම උයලා, ගේ අස් පස් කරලා, මනුසත්ට අවශ්‍ය හැමදේම ලෑස්ති කළේ මහා බරක් හිතේ හිර කරගෙන. මගේ අතින් මනුසත්ව ඇඟ හෝඳලා පිරිසිදු කරද්දී, එයාගේ කැත කුණු අස් කරද්දී මට තිදස්ව මතක් වුණා. මම මේ කරන්නේ මනුසත්ට තියෙන ආදරේකට වඩා, මට මනුස්සයෙක් විදියට මාවම මගහරින්න බැරි හන්දා කියලා මම දැනගෙන හිටියා. හැබැයි මේ තීරණය මගේ ජීවිතේ ලස්සනම වසන්තය මගෙන් උදුරගනීවිද කියන බය මගේ හිතේ හැම තත්පරේකම වැඩ කළා. මං ඒ නිසාම මෙ හැමදේම කරන්නෙ මනුස්සකමට කියලා මාවම සාධාරණීකරනය කරගන්න මටම දේවල් කියාගත්තා.

“ඔයා මහ ලොකුවට කිව්වෙ නම් කොහොමද? ආයෙ මනුසත්ව ඕන නෑ, මං බලන් ඉන්නෙ එයාගෙ ගැලවෙන්න, ඒක හිරකූඩුවක් කියලා. ඒත් අන්තිමේදී මොකද වුණේ? තමන්ව තඹ සතේකටවත් ගණන් ගත්තේ නැති, තමන්ව පයට පෑගුණ දූවිල්ලක් තරම්වත් වටිනාකමක් නුදුන්න මිනිහෙක්ගේ කක්කයි චූයි අදින්න ඔයාට ආයෙත් දුවගෙන යන්න වුණා නේද? ඇත්තටම ඒක මාර කැප කිරීමක් ලිහිණි. ඔයාට මනුස්සකම ගැන සම්මානයක් පවා දෙන්න වටිනවා.”

මගෙ මූණට ගහන්න වගේ තිදස් එහෙම කියාගෙන කියාගෙන යද්දි මං උන්නෙ මං කියන්නෝන දේ කියන්න වචන හොයාගන්න හදන ගමන්.

 “තිදස්, ප්ලීස්… මට ඔහොම කතා කරන්න එපා. මම දන්නවා ඔයා ඉන්නේ මාර තරහකින් කියලා. මනුසත් මාව තඹ සතේකටවත් ගණන් නොගත්ත බව ඇත්ත, මට රිද්දපු බවත් ඇත්ත. ඒත් මට බෑ තිදස් මනුස්සකම් අමතක කරලා මේ වගේ වෙලාවක ඒ මනුස්සයව තනි කරන්න. මනුසත් ඉන්නේ මැරෙන්න වැටිලා. එයාට හුස්ම ගන්නත් අමාරු තැනක ඒ මනුස්සයා ඉන්නෙ. ඔෆිස් එකේ බට ගහගෙන ඉඳලා යන්තන් දැන් ඇඳේ හාන්සිවෙලා ඉන්න පුලුවන් තරමට ඇවිත් තියෙන්නෙ මම කොහොමද තිදස් ඒ වගේ වෙලාවක මගේ පරණ තරහවල් පිරිමහන්නේ? මම මනුස්සයෙක් නෙවෙයිද එතකොට?”

“ඔයා ඔය කතා කරන්නේ මොන මනුස්සකමක් ගැනද ලිහිණි? ඔයාට මනුස්සකම මතක් වුණේ ඔයාව හැමදාම අඬවපු මිනිහෙක් ගැන විතරද? ඔයාගේ ඔය මනුස්සකම් මං සම්බන්ධයෙන් නම් වැඩ කරන්නේ නෑනෙ නේද? මම ඔයා වෙනුවෙන් කරපු දේවල්, මම ඔයාට දීපු ආදරේ ඒ සේරම අර පණ ඇද ඇද ඉන්න මිනිහෙක්ගේ එක අසරණකමක් ඉස්සරහා බිංදුවට වැටුණා නේද? මම හිතුවේ මම ඔයාගේ ජීවිතේ අංක එක කියලා. ඒත් අන්තිමට බලද්දී ඔයාට මට වඩා වටින්නේ ඔයාව පන්නලා දාපු මිනිහගේ අසනීපෙ. ඇත්තටම මම පව් ලිහිණි, මම හිතුවේ ඔයා මට ආදරෙයි කියලා.මමයි මෙතන අසරණ වෙලා ඉන්නෙ. එහෙම නැතුව ඔයාවත් මනුසත්වත් නෙවෙයි”

“එහෙම කියන්න එපා තිදස්… මම ඔයාට ආදරෙයි. ඒත් මේක මගේ යුතුකමක්.මට ඒ යුතුකම මගාරින්න බෑ මෙතනදි” 

“යුතුකමක් නෙවෙයි ලිහිණි, මේක ඔයාගේ තියෙන ලොකුම දුර්වලකමක්, කොන්ද පන නැති කමක්, තීරණ ගන්න බැරි කමක්. ඔයාට බෑ ඒ මිනිහගෙන් වෙන් වෙන්න. ඔයාට පුරුදු ඒ මිනිහගෙ දෙපතුල් ලෙවකකා ඉඳලා. ඔයා ඉන්නෙ ඒ මිනිහගෙ හිර කූඩුවට පුරුදු වෙලා. මනුසත් දැන් මරණාසන්නයි කියලා ඔයා හිතනවා ඇති ඔයා ලොකු පින්කමක් කරනවා කියලා. ඒත් ඔයා කරන්නේ මාව පණ පිටින් මරන එක. ඔයාට තේරෙන්නේ නැද්ද මට දැනෙන වේදනාව? මගේ ඇස් ඉස්සරහා මගේ ආදරේ කරන ගෑණි තව මිනිහෙක්ව නාවන්න, උගේ කක්කා චූ අදින්න යනවා බලන් ඉන්න මට පුළුවන්ද? ඔයාට මාව ඒ තරම්ම වටින්නෙ නැද්ද ලිහිණි?”

“වටින්නේ නැත්තේ කොහොමද තිදස්? ඔයා හොඳාකාරවම දන්නවා මම ඔයාට කොච්චර ආදරේද කියලා. ඒත් ප්ලීස්… මගේ තත්වෙත් පොඩ්ඩක් හිතන්න. මනුසත් කියන්නේ නිකම්ම පිරිමියෙක් නෙවෙයි, එයා නීතියෙන් තාමත් මගේ හස්බන්ඩ්. එයා සිහි නැතුව වැටිලා ඉද්දී මම කොහොමද තිදස් මගේ සතුට ගැන විතරක් හිතලා අහක බලාගන්නේ? ඇයි ඔයාට ඒකෙ නොතේරෙන්නෙ?”

“ෂා… නීත්‍යානුකූල සැමියා! මාරයි ලිහිණි. එතකොට මම කවුද? ඔයාගේ පාලුව මකාගන්න පාවිච්චි කරපු එක්කෙනෙක් විතරද? ඔයාට දැන් මනුසත්ගේ ගෞරවය රකින්න ඕන වෙලා තියෙන්නෙ මොකද එකපාරටම. එයා ඔයාව පන්නලා දාද්දී, කලින් ගැනි එක්ක හිනා කතා දාද්දි ඔය නීත්‍යානුකූල බැඳීම කොහේද තිබුණේ? එතකොට ඔයාට තිබුණේ නැති අනුකම්පාවක් දැන් ආවේ කොහෙන්ද?”

“ඒ වෙලාවේ එයාට පණ තිබුණා තිදස්! එයාට හොඳ නරක තේරුණා. ඒත් දැන් එයාට ඇස් ඇරලා බලන්නවත් පණක් නැහැ. මම එයාව අතහැරියොත් ඒ මනුස්සයා අදම මැරෙයි. මට ඒ පවට කරගහන්න බැහැ. මට මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න ඉඩ දෙන්න තිදස්. මම ආයෙත් මනුසත්ට ආදරේ කරන්න ගත්තා කියලා හිතන්න එපා.

තිදස් ප්ලීස් මං වෙනුවෙන් තව ටිකක් ඉවසන්න. මට තව ටිකක් කල් දෙන්න. මනුසත් මෙහෙම ඉන්න එකක් නෑනෙ හැමදාම. ඩොක්ටර්ස්ලා කියන්නේ එයාව හොඳට බලාගත්තොත් අපිට ආයෙ එයාව බැක් ටු නෝමල් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙනුවෙන් තව පොඩි කාලයක් මට දෙන්න. මං ඊට පස්සෙ, එහෙම එන පලවෙනි චාන්ස් එකේදිම මනුසත් එක්ක ඩිවෝස් එක ගැන කතා කරන්නම්. මට එයාව මග මෙහෙම අසනීපෙන් ඉද්දි දාලා එන්න බෑ තිදස්. මම මේ දේවල් කරන්නේ මනුසත් ගැන තියෙන ආදරේකට නෙවෙයි තිදස්, මට මගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බැරි හින්දා.”

“කල් දෙන්න? ෂා… ඔයාගේ ප්ලෑන් එක මාරයිනේ. මනුසත් මැරෙනකම් මම වේටින් ලිස්ට් එකේ ඉන්න ඕනෙද? මම ඔයාට ඕන තරම් කල් දුන්නා ලිහිණි. ඒත් ඔයා හැමදාම කළේ මාව රවට්ටපු එක. අදින් පස්සේ මට ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔයා කැමති දෙයක් කරගන්න. හැබැයි මතක තියාගන්න, ඔයා අද මාව මගහැරියේ මනුස්සකම නිසා නෙවෙයි, මගේ ආදරේට වඩා ඔයාට මනුසත්ව අතීතය වටින නිසා. පරණ කුණු ගොඩවල් අස්සේම ඔයා ඉන්න… මම අදින් පස්සේ ඔයාට කරදර කරන්නේ නැහැ. ඔයාගේ ඔය මනුස්සකං දන්න රෝල් එක ලස්සනට කරගෙන යන්නකො. ඔයාට කවදහරි මතක් වෙයි මං කියලා කෙනෙක් ඔයාගෙ ජිවීතේ උන්නා කියලා. 

එදාට ඔයා සෑහෙන්න පසු තැවෙයි ලිහිණි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here