කලුවර රෑ සඳක් වගේ – 61

0
894

“දැන් ඉතින් මොන තරං රංගන දාන්න හැදුවත් වැඩක් නෑ. ඇඳේ උන්නත් පුතා උනත් දැනගන්නෝන තමන්ට මෙයාකාරව ඇඳක් උඩට වෙලා ඉන්න සිද්ද උනේ කා හන්දද කියන එක. ඇයි දෙයියනේ අම්මා කෙනෙක් විදියට මට කොච්චර අමාරුද මං දහ දුක් විඳලා හදාපු දරුවා මෙහෙම ඇඳක් උඩ වැටිලා ඉන්නවා දකිද්දි? අම්මා කෙනෙක්ගෙ ඇස් දෙකට දරාගන්න පුළුවන් විදියෙ වේදනාවක්ද මේ?

මං පුතාට කසාද බඳින්න කලින්ම කොච්චර නම් කිව්වද ඔය දෙවනි කසාදෙකට යන්න කාලෙද වයසද කියලා? පුතා නැහුවයින්නෙ මේ හැම සන්තෑසියක්ම උනේ”

ඇඳේ ඔහේ වැටිලා ඉන්න මනුසත්ට නෙවි එයාලයි අම්මා ඕව කියන්නේ මේ මට ඇහෙන්න කියන එක මම දැනගෙන හිටියෙ නැත්තෙ නෑ. ඒ උනාට ඉස්සර වගේ මට ඕවට මල පැන්නෙ නෑ. ගෙවිච්ච කාලෙ ඇතුලත මම ඇත්තටම මගේ වයස වගේ දෙතුන් ගුණයකින් වයසට ගිහිල්ලා උන්නා. ඒ නිසාමද මන්ද මිනිස්සු මගේ හිත රිද්දන්න කියන වචන උනත් හිනාවෙලා භාරගන්න මට පුළුවන් වෙලා තිබුණා. ඒක විශේෂයෙන්ම තිදස් ගැන එක එක පණිවිඩ අරගෙන එන උෂාණිටත් පොදු වෙලා තිබුණා. හැමෝම වගේ දැක්කෙ මම තිදස්ව අමතක කරලා මනුසත්ව බලාගන්න ආව එක වරදක් වගේ. ඒක වරදක් වෙන්නැති. ඒත් මනුස්සකම කියන කතන්දරේ ඉස්සර මං උන්නෙ වැරදි දාහක් කරන්න උනත් මග බලාගෙන කියන එක දැනගෙන උන්නෙ මං විතරයි. මනුසත්ව බලාගන්න එක මම හරියටම කරේ මගේ තාත්තට සාත්තු සප්පායම් කරනවා වගේ නිරාමිස සන්තෝසෙකින් කියන එක දැනගෙන උන්නෙ මං විතරයි. ඒ සාත්තු සප්පායං කිරිල්ල පිටිපස්සෙ මම කිසිම භෞතික සැප සම්පතක් මනුසත්ගෙන්වත් වෙන කෙනෙක්ගෙන්වත් මම බලාපොරොත්තු උනේ නෑ කියන එක දැනගෙන උන්නෙ මම විතරයි. 

“මනුසත්, ඔයා ඔය සද්දවලට කන් දෙන්න එපා. මම මෙතන ඉන්නේ මට ඕන නිසා. මට මගේ හිතට එකඟව මගේ යුතුකම කරන්න ඕන නිසා. ඔයා කාටවත් ණය නෑ, මම කාටවත් ණය නෑ. අපි මේ ගෙවන්නේ අපේම කර්ම පල විතරයි,” මම බොහොම සන්සුන්ව කලින් දවසක එයාලයි අම්මා මට අනං මනං කිව්ව එකට හිත රිද්දගෙන උන්න මනුසත් මට අමාරුවෙන් සොරි කියන්න හදද්දි මං එයාට කිව්වා. ඒත් මනුසත් උන්නෙ වෙච්ච දේවල් ගැන වගේම වෙමින් පවතින දේවල් ගැනත් බොහොම හිත් වේදනාවෙන් කියන එක මම දැනගෙන උන්නා. ඒත් මනුසත්ගෙ අම්මගෙ වචනවලට විරුද්ධ වෙන්න හයියක් මට ඒ වෙද්දි කොහොමත් තිබුණෙ නෑ. මාව වයිෆ් විදියට භාරගත්තෙ මනුසත් විතරයි. මනුසත්ගෙ අම්මා කොහොමත් මුල ඉඳලම මාව ගණන් ගත්තෙවත් ලේලි විදියට භාරගත්තෙවත් නැති එකේ මට ඒ මනුස්සයගෙන් බලාපොරොත්තුවෙන්න කිසිම දෙයක් තිබුණෙ නෑ.

“මොක උනත් උඹ තිදස්ට කරපු දේ වැරදි” කියලා උෂානි මාත් එක්ක අමනාපෙන් වගේ කියද්දි උනත් මං කරේ කිසිම අමනාපයක් නැතුව හිනාවෙලා ඒ චෝදනාව භාරගත්ත එක විතරයි.

“මට ඔහොම චෝදනා කරන්නෙ උඹ දැන් නෙ. මං මනුසත් ලෙඩ ඇඳට වැටිච්ච වෙලේ ඒ මනුස්සයා දිහා ඇහැක් ඇරලා නොබලා තිදස් එක්ක උන්නා නම් සමහරවිට උඹයි තිදසුයි දෙන්නම හිතන්න තිබුණා මම කවදහරි ඒකම තිදස්ටත් කරාවි කියලා. මිනිස්සු රියැක්ට් කරන්නෙ එවෙලෙ එවෙලෙ වෙන දේවල් වලට අනුව උෂාණි. එහෙම නැතුව මෙහෙම දෙයක් උනොත් මෙහෙම රියැක්ට් කරනවා කියලා හිතලා අපි වැඩ කරන්නෙ නෑනෙ. මං හිතනවා මනුසත්ගෙ ප්‍රශ්නෙ වෙලාවෙදි මම රියැක්ට් කරපු විදිය හරි කියලා. කවුරු මං ගැන මොන විදියට හිතුවත් මං හිතනවා මං කරපු දේ හරි කියලා”

“මනුසත් කවදහරි නැති දවසක් එනවා ලිහිණි”

“ඔව් මං දන්නවා”

“එදාට උඹට කවුරුහරි ඉන්නෝන?”

“ඉතින් උඹ මට කියන්නෙ ඒ හන්දා මං තිදස්ව නැති කරගත්තෙ අපරාදෙ කියලා”

“ඔව්”

“තිදස් කියන්නෙ මගෙ ජීවිතේ මනුසත්ගෙ රිප්ලේස්මන්ට් එක වෙන්නෝන මනුස්සයා නෙවෙයි උෂාණි. තිදස්ව ඒ වගේ පල්ලෙහා තැනකට ඇදලා දාන්න මට කිසිම උවමනාවක් නෑ. ඒ හන්දා මේ වෙච්ච දේ ගැන මට දුකක් නෑ උෂානි. මං හිතනවා වෙන්නෝන දේවල් උනේ වෙන්නෝන හොඳම විදියට කියලා

සමහරවිට තිදස්ට මං නැති වෙච්ච එකම හොඳ දෙයක් වෙන්න ඇති උෂාණි. මම වගේ ප්‍රශ්න ගොඩක් අස්සේ හිරවුණු, තමන්ගෙම කියලා තීරණයක් ගන්න බැරුව පරක්කු වෙච්ච ගෑනියෙක් එක්ක මෝඩයෙක් වගේ ජීවත් වෙනවට වඩා, එයාට නිදහස් ලෝකයක් ලැබෙන එක හොඳයි. මට මනුසත් එක්ක තිබුණේ පපුව රිද්දගන්න ගනුදෙනුවක් විතරයි. ඒත් තිදස් එක්ක තිබුණේ ඊට වඩා වෙනස් බැඳීමක්. එහෙම බැලුවම සමහරවිට මට තිදස් එක්ක තියෙන්න ඇත්තෙ අපි එවෙලෙ උන්න සිටුවේශන් එක නිසා හයිප් අප් වෙච්ච සිටුවේශන්ශිප් එකක් වෙන්න ඇති. සමහරවිට මම ඒක වෙන්නැති එච්චර ලේසියෙන් මේ පප්‍රශ්නවලින් තිදස්ව ඔය විදියට හරි නිදහස් කරලා දැම්මෙ. 

මම දැන් තිදස් ගාවට ගියා කියලා හිතන්නකො. මම එතන ඉන්නෙ කොහොමද? හැම තිස්සෙම මගේ හිතේ වරදකාරී හැඟීමක් තියේවි නේද මනුසත් මෙහෙම ඇඳක් උඩ අසරණ වෙලා ඉද්දි මම මගේ සතුට හොයාගෙන ගියා නේද කියලා. ඒ වරදකාරී හැඟීම අස්සෙ මට තිදස්ට හදවතින්ම ආදරේ කරන්න පුළුවන් වෙයිද? නැහැ බං. මම හැමදාම ඉන්නෙ මැරි මැරී. තිදස් වගේ තරුණ කොල්ලෙක් ඇත්තටම මං වගේ කසාද බැන්ද ගෑනියෙක් වෙනුවෙන් එහෙම නහින්න ඕන නෑ නේද? මම වගේ පවුකාරියක් මොකටද එයාට? එයාට ලැබෙන්න ඕනෙ හිතේ නිදහස තියෙන, ලස්සනට හිනාවෙලා ඉන්න පුළුවන් කෙල්ලෙක්. මම දැන් ඒ හිනාව අහිමි වෙච්ච ගෑනියෙක් උෂාණි.

මනුසත් මට කරපු දේවල් එක්ක මට එයාව දාලා යන්න ඕනෙ තරම් හේතු තිබුණා. ඒත් මනුස්සකම කියන්නෙ හේතු හොයන එක නෙවෙයි බං. තමන්ට වැරදි කරපු මිනිහෙක් පණ ඇද ඇද ඉද්දි අහක බලාගන්න තරම් මගේ හිත ගල් වෙලා නෑ. තිදස් මට වෛර කරනවා නම් ඒක කරන්න එයාට අයිතියක් තියෙනවා. සමහරවිට එයා හිතනවා ඇති මම මනුසත්ගෙ සල්ලි වලට, මේ ගේ දොරට ලෝබකමේ ආවා කියලා. එහෙම හිතලා හරි එයා මාව අමතක කරනවා නම් ඒක මට සහනයක්. මගේ පස්සෙන් ඇවිත් එයාගෙ කාලෙ විනාස කරගන්නවට වඩා ඒක කොච්චර හොඳද?

අනික උඹ කියනවා වගේ මම මේ මනුසත්ගෙන් දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි මේ සාත්තු කරන්නේ. මේ මාලිගා, මේ යාන වාහන මට වැඩක් නෑ බං. මනුසත් මැරුණ දවසට මම මේ ගෙදරින් යන්නෙ මගේ ඇඳුම් ටික විතරක් අරගෙන. මට ඕනෙ මගේ හිත නිදහස් කරගන්න විතරයි. එදාට මට පාරෙ හිඟා කන්න වුණත් මගේ හිතේ බයක් නෑ, මොකද මම දන්නවා මම මගේ යුතුකම අකුරටම කළා කියලා. තිදස් මට කවදා හරි සමාව දෙයි උෂාණි… ඒත් මම මට කවදාවත් සමාව දෙන එකක් නෑ මම අද මෙතන නැති වුණා නම්”

“උඹට අවුලක් නැද්ද මිනිස්සු කියන කතන්දර අහගෙන ඉන්න එක?”

“මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න දීපන් බං. මනුසත්ගෙ අම්මා මට සාපයක් කිව්වත්, උඹ මට මෝඩියක් කිව්වත් මට ඒවට දැන් රිදෙන්නෙ නෑ. මම මාවම හොයාගත්තෙ මේ මනුසත්ගෙ ලෙඩ ඇඳ අයිනෙදි. තිදස් කියන්නෙ මගේ ජීවිතේ ලස්සනම හීනයක්. ඒ හීනය ඇත්ත කරගන්න ගිහින් මේ වර්තමානය අපායක් කරගන්න මට බෑ. ඒකයි මම මේ තීරණය ගත්තෙ. දැන් මට තියෙන්නෙ මනුසත් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරලා, දවසක නිදහසේ මේ හැමදේම අතෑරලා දාන්න විතරයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here