මනුසත්ගේ හත් දවසේ දානෙත් ඉවර වුණා.
ගෙදර පිරිලා හිටපු නෑදෑයෝ, යාළුවෝ හැමෝම තමන්ගේ පාඩුවේ යන්න ගියාට පස්සේ ඒ මහ මන්දිරය ඇතුළේ ඉතුරු වුණේ මහා මූසල නිහඬතාවයක් විතරයි. මම තවමත් හිටියේ ඒ ගෙදරමයි. යන්න තැනක් නැතිකමට වඩා, මගේ හිතේ තිබුණේ මනුසත්ගේ අවසාන කාලේ මම කරපු ඒ කැපවීමට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියන කුතුහලය. ඒත් ඒ කුතුහලය වැඩි දවසක් තියාගන්න මනුසත්ගේ අම්මා මට ඉඩ දුන්නේ නැහැ.
එදා හවස් වරුවේ මම මගේ කාමරේ ජනේලෙන් ඈත බලාගෙන ඉද්දි, නැන්දම්මා කාමරේට ආවේ මට කතාවක් තියෙනවා වගේ බැරෑරුම් මූණක් දාගෙන. එයා ළඟින් මන්දාරත් හිටියා.
“දැන් ඉතින් ලිහිණි… පුතා නැති වෙලා දවස් දහයකුත් ගෙවුණා නේද? මම බැලුවේ දැන් ඉතින් ඔයා තවදුරටත් මෙහෙ ඉඳලා වැඩක් නැහැ නේද කියලා.” නැන්දම්මා කිසිම හිරිකිතයක් නැතුව කෙලින්ම මගේ මූණටම කියද්දි ඇත්තටම මට හිතාගන්න බැරිවුණා මම මොකද්ද කියන්නෝන ඒ කතාවට කියලා.
මම පුදුමයෙන් එයා දිහා බලද්දී, එයා තවදුරටත් කතා කළා.
“ඔයත් තරුණ ළමයෙක්නේ. තවත් මෙහෙ ඉඳලා කාලේ නාස්ති කරගන්න එපා. ඔයාට ඔයාගේ පාඩුවේ ජීවිතයක් හදාගන්න පුළුවන්. දන්නවනේ… මේ ගේ දොර, දේපළ සේරම මගේ පුතා හම්බ කරපුවා. මන්දාරාටයි අහස්ටයි තමයි මේවා අයිති වෙන්න ඕනේ හරිනං. ඉතින් ඔයා මේවා අස්සෙ පැලපදියම් වෙලා ඉන්න එක එච්චර ලස්සන නැහැනෙ නේද.” කියලා කියද්දි තමයි මට තේරුණේ මේ මනුස්සයා මේ යාප්පුවෙන් කතා කරගෙන එන්න හදන්නෙ මොකටද කියන එක.
මට ඇත්තටම හිනා ගියා. මනුසත්ගේ මිණිය පවා තාම රස්නෙන් මිදිලා නැතුව ඇති. ඒත් මේ මිනිස්සුන්ට ඕන වුණේ මාව ඉක්මනට පන්නලා දේපළ ටික බේරගන්න. මම මනුසත්ට කරපු සාත්තු සප්පායම්, මගේ ජීවිතේ මම කරපු කැප කිරීම් මේ එක වචනයකින් අළු වෙලා ගියා වගේ මට දැනුණෙ. අනික ඉතින් කොහොමත් ඒක එහෙම වෙන්න ඕනනෙ. ඒවායේ වටිනකම තියෙන්නෙ මනුසත් ට මිසක්කා මේ අයට නෙවෙයිනෙ කොහොමත්.
“අම්මා හිතනවා නම් මම මේ දේපළවලට ලෝබකමේ ඉන්නවා කියලා, ඒක වැරදියි. මම මෙහෙ හිටියේ මනුසත් වෙනුවෙන් මගේ යුතුකම ඉවර වෙනකම් විතරයි.” මම හීන් හඬින් කිව්වෙ ඇත්තටම මනුස්සයත් මැරිච්ච එකේ මට තව ඒ මනුස්සයගෙ පවුලෙ ඈයන්ගෙන් කයි කතන්දර අහන්න උවමනා වෙච්ච නැති හන්දා.
“යුතුකම? යුතුකම කියන්නේ ඉතින් ඔය සාත්තු කරපු එකනේ. ඒක ඉවරයිනේ දැන්. මගෙ රත්තරන් පුතාත් වල පල්ලට ගියා. දැන් ඉතින් ඔය යුතුකම් හෑල්ල පැත්තක තියලා යන්න තැනක් බැලුවොත් නරකද? මම කියන්නෙ නැහැ අදම යන්න කියලා, හැබැයි ඉතින් සතියක් දෙකක් ඇතුළත ඔයාගේ බඩු ටික අස් කරගත්තොත් හොඳයි. මොකද ළමයො දැන් මේවයි උනත් පිළිවෙලක් තියෙන්න එපාය. කවදහරි දවසක මන්දාරාල මේ ගෙවල්වල පදිංචි වෙන්න එන දවසක ඔය ළමයා කොහොමත් යන්න තැනක් හොයාගන්න ඕනනෙ.” නැන්දම්මා කිසිම හිරිකිතයක් නැතුව ඇඳ උඩ තිබුණු මනුසත්ගේ පින්තූරය පැත්තකට කරලා එතන වාඩි වුණා.
මට දැනුණේ මගේ පපුව මැදින් ගින්දරක් ඇවිළුණා වගේ. අද මනුසත්ගේ හුස්ම ටික නැති වුණ ගමන් මම මේ ගෙදරට බල්ලෙක්ටත් වඩා අන්ත අසරණ විදිහට පේන්න අරන් නේද කියලා මට තප්පරේකට හිතුනා.
“අම්මා හිතන්නේ මම මේ සේසතම ලියාගන්න මාන බලන් ඉන්නවා කියලද? මම ආවේ හිස් අතින් අම්මේ. මම යන්නෙත් හිස් අතින්. මට මනුසත්ගේ සල්ලිවත්, මේ මහ මන්දිරේවත් වැඩක් නැහැ. මට ඕන වුණේ මනුසත්ට නිදහසේ ඇස් පියාගන්න ඉඩ දෙන්න විතරයි. ඒක මම කළා. අම්මා බය වෙන්න එපා, මම මේ සති අන්තය වෙද්දී මගේ රෙදි කෑලි දෙක තුනත් අරන් මෙහෙන් යනවා. හැබැයි එකක් මතක තියාගන්න… මනුසත් මේ දේපළ හම්බ කළේ මන්දාරාටයි අහස්ටයි විතරක් නෙවෙයි, එයාගේ අන්තිම කාලේ තමන්ගේ ළඟ හිටපු මිනිස්සුන්ට සලකන්නත් එක්ක. අනික අම්මා මට මේ ගෙදරින් යන්න කියන්නෙ මොන අයිතියකින්ද කියන්නකො”
“අයිතියක් ගැන මං නැතුව වෙන කවුද ළමයො කතා කරන්නෙ? මේවා පුතා කොහොමත් තමන්ගෙ දරුවො දෙන්නට ලියල තියෙන එකේ ඔය ළමයට හැමදාම මෙතන වැටිලා ඉන්න බෑනෙ”
මම කාමරෙන් එළියට ආවේ මගේ හිතේ තිබුණු හැම බරක්ම එතනම දාලා. මට මගේ අම්මාගේ කෝල් එක මතක් වුණා. ඒ පැත්තෙන් දේපළ ගන්න පොරකනවා, මේ පැත්තෙන් දේපළ බේරගන්න පොරකනවා. මේ හැමෝම මැද්දේ මම තනි වෙලා වගේ මට දැනුනෙ.මට ඕන වුනා කාගෙ හරි උරහිසකට වාරුවෙලා මේ හැම දුකක්ම කියලා ඔඇයක් විතර හයියෙන් අඬන්න. මං උන්නෙ පුදුමාකාර මහන්සියක. මට ඕන වුණේ මනුසත්ගේ මතකයත් එක්ක මේ ගෙදරින් ඈතට යන්න විතරයි. ආයෙත් කවදාවත් මේ අසත්පුරුෂ මිනිස්සුන්ගේ මූණවත් නොපෙනෙන මානයකට.
කොටින්ම මට අපේ අම්මලවත් එපා වුණේ මෙච්චර කල් “ගමේ උනාට අපේ අම්මලා මනුස්සකං දන්නවා” කියලා හිතන් උන්න මගේ හිතුවිල්ල වෙනස් කරන්න අපේ අම්මා කිව්ව එකම එක කතාවක් හේතු වෙච්ච හන්දා.
“උඹට පිස්සුද ලිහිණි? මොන මෝඩකමක්ද ඔය කියන්නේ? මනුස්සයා මැරුණා කියලා ගෙදරින් එළියට බහින්න උඹ හිඟන්නියක්ද? උඹලා දෙන්නා නීත්‍යානුකූලව කොලේ අත්සන් කරලා නේද බැන්දෙ? එහෙම නම් මනුස්සයා මැරුණම ඒ සේරම දේපළ අයිති වෙන්නේ කසාද ගෑණිට. ඒ ගෙදරින් අඟලක්වත් හෙල්ලෙන්න එපා!” අම්මාගේ කටහඬේ තිබුණේ මහා ලොකු තණ්හාවක්.
“අම්මේ… මට ඒ සල්ලි වැඩක් නැහැ. මම මනුසත්ට ආදරේ කළේ නැති වුණත්, මම ඒ මනුස්සයා වෙනුවෙන් මගේ මනුස්සකම ඉටු කළා. ඒ ඇති මට.”
“මනුස්සකමෙන් බඩ පිරෙන්නේ නැහැ ළමයෝ! උඹේ වයස කීයද? තව අවුරුදු කිහිපයකින් උඹට කවුද ඉන්නේ? වෙන මිනිහෙක් උඹව බාරගනී කියලා හිතනවද?. උඹට තියෙන්නේ දැන් ඔය දේපළවලට නඩු කියලා හරි උඹේ අයිතිය ගන්න එක. මැරිච්ච මනුස්සයා ගැන ආදරයක් නැති එක ගැන දැන් කතා කරලා වැඩක් නෑනෙ. ඒ මනුස්සයා මැරිලා ඉවරයි. ඒකට කමක් නැහැ, අඩුම ගානේ උඹේ අනාගතේ ගැනවත් හිතපන්!”
අම්මාගේ කතාව අහගෙන ඉද්දි මට දැනුණේ මහා පිළිකුලක්. මනුසත්ගේ අම්මා දේපළ රැකගන්න මාව පන්නන්න හදනවා. මගේ අම්මා දේපළ ගන්න මාව එතනම නතර කරන්න හදනවා. මේ හැමෝම මැද්දේ මම කියන මනුස්සයා කොහේ හරි අතරමං වෙලා ඉන්නවා.
“උඹලා දෙන්නා කොලේ අත්සන් කරලා බැන්දා නේද? එහෙම නැතුව නිකන් නෙවි නේද ඒ මනුස්සයගෙ ගෙදර ගියේ? කියන්න බෑනෙ ඉහේ ඉඳන් මෝඩකමනෙ. එහෙනම් උඹට නීතියෙන් අයිතියක් තියෙනවා. අර ගෑණිට කියපන් උඹ කොහේවත් යන්නේ නැහැ කියලා.” අම්මා ෆෝන් එක තියද්දි මම ෆෝන් එක ඇඳ උඩට දාලා ඔළුව අත් දෙකෙන් බදාගත්තා. මට ඕන වුණේ මේ හැමදේකින්ම නිදහස් වෙන්න. මනුසත්ගේ රූපෙ මගේ ඇස් ඉස්සරහා මැවිලා පෙනුණා. එයා අන්තිම මොහොතේ සමාවෙන්න කිව්වේ මට කරපු වැරදිවලට විතරක් නෙවෙයි, එයා නැති වුණාට පස්සේ මට මේ මිනිස්සුන්ගෙන් විඳින්න වෙන මේ නින්දා අපහාස ගැනත් දැනගෙන වෙන්න ඇති කියලා මට හිතුණා.
ඔන්න ඔය විදියට දේපළ පංගු පේරුවලට මරාගන්න මාන බලන හදවත් දෙකක් මැද්දේ මම හිරවෙලා ඉද්දී තමයි, දවසක් උදේම මනුසත්ගේ ලීගල් ඔෆිසර් අපේ ගෙදරට ආවේ.
එයා ආවේ නිකම්ම නෙවෙයි, මනුසත් ජීවතුන් අතර ඉද්දීම ලෑස්ති කරපු ලියකියවිලි ගොඩකුත් අරගෙන.
එතකොටත් නැන්දම්මා සාලේ ඉඳගෙන මට ඇහෙන්න භානුකී එක්ක කියවනවා මට ඇහුණා “දැන් ඉතින් කාටවත් මේවා නිකන් ලියාගන්න වෙන්නේ නැහැ, අපි බලමුකෝ නීතියෙන් මේවා කාටද අයිති වෙන්නේ කියලා” කියලා.
“මිසිස් මංචනායක… මට පොඩ්ඩක් ඔයාලා හැමෝම එක්ක කතා කරන්න ඕනේ. මිස්ට මනුසත් මැරෙන්න මාසෙකට විතර කලින් මට විශේෂ උපදෙස් වගයක් දීලා තිබුණා මේ දේපළ සම්බන්ධයෙන්,” එයා කිව්වේ හරිම බැරෑරුම් විදිහට.
“සර්ගේ අන්තිම කැමැත්ත අනුව, එයාගේ ඉන්වෙස්ට්මන්ට්ස්, මේ ගෙදර, සර්ගේ පෞද්ගලික ඉතුරුම් සහ එයාගේ නමින් තිබුණු අනිත් නිශ්චල දේපළ කීපයක්ම සර් ලියලා තියෙන්නේ…”


