මතින්ද්‍රගෙ ජීවිතේ පළවෙනියා වෙලා ඉස්සරහටම වෙලා ඉන්න ප්ලෑන් කරගෙන උන්න මාව දන්නෙම නැතුව මතින්ද්‍රගෙ ජිවිතේ සෑහෙන්නම පස්සට ගිහින් තිබුණා.
එදා හවස රුවිනියි මායි දෙන්නා ඔෆිස් එක ළඟ කොෆි ශොප් එකේ කොනකට වෙලා කෝපි එකක් බොන ගමන් හිටියේ. මම මගේ ප්ලෑනර් එකේ මොනවදෝ ලිය ලියා හිටියත්, මගේ හිත තිබුණේ වෙන කොහේ හරි.
“උඹ වගේ වටින කෙල්ලෙක් මෝඩයෙක් වෙන්න ඕන නැති හන්දා මං මේ කියන්නෙ මේඝා. මතින්ද්‍ර ගැන මිනිස්සු කියන කතා උඹටත් ආරංචි ඇති නේද?” රුවිනි ඇහුවේ මගේ ඇස් දෙක දිහාම බලාගෙන.
මම ඒක නෑහුණා වගේ හිටියා. “මොන කතාද රුවිනි? මිනිස්සුන්ට ඉතින් වැඩක් නැති වුණාම ඕන තරම් කතා හදන්න පුළුවන්නේ.”
“නෑ මේඝා, මේවා නිකන් කතා නෙවෙයි. මතින්ද්‍ර මන්දස්මිතා එක්ක අතන මෙතන ඉන්නවා කීප දෙනෙක්ම දැකලා තිබුණා. උඹ වුණත් සද්ද නැතුව හිටියට වෙන දේවල් උඹටත් ආරංචි ඇතිනේ. මං මේ උඹට මොකවත් කියනවා නෙවෙයි. හැබැයි මතින්ද්‍ර නිකන් තොත්ත බබෙක් ගානට දාලා උඹ ඔහොම ඉවසන් ඉන්න එකෙන් අන්තිමට බබාව හම්බෙන්නේ උඹටයි කියන එක අමතක කරන්න එපා.”
මම කෝපි එකෙන් උගුරක් බීලා හිනා වෙන්න උත්සාහ කළා. “මතින්ද්‍ර එහෙම නැහැ රුවිනි. මන්දස්මිතා කියන්නේ එයාගේ ඩුබායි ප්‍රොජෙක්ට් එකේ පාර්ට්නර් කෙනෙක්නේ. බිස්නස් වැඩවලට ඉතින් එකට යන්න එන්න වෙනවනේ.”
“බිස්නස්?” රුවිනි හිනා වුණේ සමච්චලයට වගේ. “බිස්නස් මීටින් තියෙන්නේ නයිට් ක්ලබ් වලද මේඝා? මන්දස්මිතා කියන්නේ ලේසි පාසු බඩ්ඩක් කියලා හිතන්න එපා. ඒකි කොච්චර ලස්සනද කියලා උඹ දන්නවා ඇතිනේ. ඔය වගේ දිලිසෙන ගෑනු ළඟදි පත්තුවෙන්න බලන් තමයි ගොඩක් පිරිමි ඉන්නේ. ඒක මතින්ද්‍රටත් වෙන එකක් නෑ කියලා හිතන් ඉන්න එපා හොඳේ.”
“මට මතින්ද්‍රව විශ්වාසයි රුවිනි,” කියලා කිව්වට එවෙලෙ මම එහෙම කිව්වේ මගේ හිත ඇතුළෙන් මටම බැනගන්න ගමන්. මම දන්නවා එයා වෙනස් වෙලා කියලා. මම දන්නවා එයා මාව මගහරිනවා කියලා. ඒත් ඒක රුවිනි ඉස්සරහා පිළිගන්න මගේ ආඩම්බරකම, මගේ ගෑනුකම මට ඉඩ දුන්නේ නැහැ. මොකෝ කිසිම ගෑනියෙක් ලේසියෙන් කැමති වෙන්නෙ නෑ පිළිගන්න විශේෂයෙන්ම තව ගෑනියෙක් ඉස්සරහා තමන්ට තමන්ගෙ මිනිහව තමන් ළඟ තියාගන්න පුළුවන්කමක් නෑ කියන එක. රුවිනි මගේ හොඳම යාළුවා වුණත්, ඒ වෙලාවේ මට ඕන වුණේ එයා ඉස්සරහා මගේ පර්ෆෙක්ට් කියලා මම හැමෝටම කිව්ව,පෙන්නුව ආදර කතාවේ කොහේවත් ඉරිතැලීමක් නැහැ කියලා පෙන්නන්න. ගෑනු කොහොමත් හරි අමුතුයි. අපේ පපුව ඇතුළේ ගින්දර ඇවිලෙද්දිත්, අපි එළියෙන් පෙන්නන්නෙ නිකන් නුවර එළියෙ ඉන්නවා වගේනේ. මම හිතුවේ රුවිනි ඉස්සරහා මම මතින්ද්‍රව සැක කරනවා කියලා පිළිගත්තොත්, ඒකෙන් මම මාවම නිකන් දෙකයි පණහෙ ලෙවල් එකකට ඩිග්‍රේඩ් කරගන්නවා වගේ කියලා.
“තමන්ගෙ මනුස්සයව විශ්වාස කරන එක, ඌ දිහා සැකෙන් නොබලන ගෑනියෙක් වෙන එක හොඳයි මේඝා, හැබැයි ඒක මෝඩකමක් වෙන්න දෙන්න එපා. මතින්ද්‍රගෙන් කෙළින්ම අහපන්. මොකද අඩුම තරමේ එහෙම වුණොත් මං ඇහුවනේ කියන හිතේ සැනසීම හරි උඹට තියෙයිනේ. නැත්නම් උඹ මැරී මැරී ඉපදෙයි.”
“මට එයාව මගෙ ළඟ තියාගන්න බැරි කමක් නෑ බං. මතින්ද්‍ර කියන්නේ මම වගේ ගෑනියෙක්ට ලේසියෙන් අල්ලන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයි තමයි, හැබැයි මම දන්නවා එයාව මගේ ළඟ තියාගන්න විදිහ,”
“ මේඝා, මතින්ද්‍රගේ ජීවිතේ පළවෙනියා වෙලා ඉස්සරහටම වෙලා ඉන්න ප්ලෑන් කරගෙන උන්න උඹ, දැන් දන්නෙම නැතුව මතින්ද්‍රගේ ජීවිතේ සෑහෙන්නම පස්සට ගිහින් ඉවරයි. උඹ පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත. උඹට ඒක පේන්නේ නැද්ද? එහෙම නැත්තම් පෙනුනත් ඒක විශ්වාස නොකරන තරමට උඹ මතින්ද්‍ර හන්දා ඇස් අන්ධ කරගෙනද? මන්දස්මිතා කියන්නේ උඹ වගේ ලොකු ලොකු දේවල් හිතන ගෑනියෙක් නෙවෙයි. ඒකි දන්නවා පිරිමියෙක්ව පත්තුවෙන තැනට ගේන්න. උඹ තාම හිතන්නේ උඹේ ඔය හුරතල් ගති ඉස්සරහා මතින්ද්‍ර නැවතිලා ඉඳියි කියලා. ඒත් මතින්ද්‍ර දැන් ඉන්නේ වෙනම ලෝකෙක. උඹට ලේසියෙන් ඇඟිල්ලක් ගහන්න බැරි ලෝකෙක”
රුවිනිගේ වචන මගේ හදවත පසාරු කරගෙන ගිය බව ඇත්ත. මම දන්නවා ඒක ඇත්ත කියලා. මම දන්නවා මම දැන් ඉන්නේ මතින්ද්‍රගේ ජීවිතේ ප්‍රයෝරිටි ලිස්ට් එකේ අන්තිම හරියේ කියලා. මම අනිත් උන් ඉස්සරහා කොච්චර ලොකු සීන් දාන කෙනෙක් උනත්, මතින්ද්‍ර ඉස්සරහා මම හරිම අසරණ වෙලා හිටියේ.
“බලමුකෝ රුවිනි… මම එයාට තව ටිකක් කල් දෙනවා,” මම එහෙම කිව්වේ කෝපි කෝප්පය නිකන් තරහෙන පුපුරලා දාන්න වගේ මිරිකන ගමන්.
“කල් දීපන්. හැබැයි මතක තියාගනින්, ගිනි කූරක් පත්තු වෙන්න යන්නේ තප්පරයයි. ඒකෙන් මුළු ලෝකයක්ම පිච්චෙන්න යන්නෙත් තප්පරයයි. උඹේ ඔය ආදර ලෝකෙ පිච්චිලා අළු වෙන්න කලින් මොනවා හරි කරපන්.”
තමන් පණ වගේ ආදරේ කරපු මිනිහා වෙන ගෑනියෙක්ට ලෝබ කරනවා, පස්සෙන් යනවා කියලා දැනගන්න එක ගෑනියෙක්ට දරාගන්න බැරිම වේදනාවක්. ඒත් ඒ වේදනාවටත් වඩා ලොකු ඊගෝ එකක් අපේ හිත්වල තියෙනවා. අපිට ඕන කරන්නේ අපි හැමදාම පිරිමින්ව පිස්සු වට්ටනවා වගේ පෙන්නන්න. විශේෂයෙන්ම මන්දස්මිතා වගේ දිලිසෙන ගෑනියෙක් ඉස්සරහා, “මම හරිම සාමාන්‍ය ගෑනියෙක්” කියලා පෙන්නන්න මගේ ආත්ම ගෞරවය මට ඉඩ දුන්නේම නැහැ.
එහෙමෙකේ දැන් මම කොහොමද කියන්නේ ඒ හැමදේම මන්දස්මිතාගේ එක බැල්මකට පරාදයි කියලා? රුවිනිගේ ඇස්වල තිබුණේ අනුකම්පාවk. මම මේ ලෝකේ වැඩියෙන්ම අකමැති වුණේ කවුරුහරි මම දිහා අනුකම්පාවෙන් බලනවට. මට ඕන වුණේ ඊර්ෂ්‍යාව මිසක් අනුකම්පාව නෙවෙයි.
“නෑ මම දන්නවා මතින්ද්‍රව හැන්ඩ්ල් කරන්න ඕන විදිය. ඔය මන්දස්මිතාලා වගේ අය කියන්නෙ මතින්ද්‍රගේ ජීවිතේට එන යන හුළඟක් විතරයි. පස්ස බලපන්, අන්තිමට මතින්ද්‍ර ම තේරුංගනීවි එයාට මං එක්ක විතරයි ඉන්න පුළුවන් කියලා. අනික මං හිතන්නෙ නෑ බං ඔය කන්න බොන්න එළියට ගියාට මතින්ද්‍රව එහෙම දපනෙ දාගන්න ඒකිට පුළුවන් කියලා. අනික ඒකිගෙ එහෙම ලොකු ලස්සනකුත් නෑනෙ” මම එහෙම කිව්වේ මගේ ඇඟ ඇතුළේ ලේ රත් වෙද්දී.
හැබැයි මම දන්නවා ඒක මම මටම කියාගත්ත ලොකුම බොරුවක් කියලා. ඇත්තටම පිරිමියෙක්ගේ හිත ගෑනියෙක්ගෙන් ගැලවෙන්න ගත්තම, ඒක ආයේ හරවන්න ලෝකේ තියෙන කිසිම ආදරේකට බැහැ කියලා මම දැනගෙන හිටියත්, මම ඒක පිළිගන්න ලෑස්ති වුණේ නැහැ. මම මගේ ගෑනුකම පාවිච්චි කරලා, මගේ හිනාව පාවිච්චි කරලා, මතින්ද්‍රව ආයෙත් මගේ මකුළු දැල ඇතුළට ගන්න පුළුවන් කියලා හිතපු එක මම කරපු මෝඩකමක්.
ගෑනු අපි පිරිමි හින්දා කරන මෝඩකම් අතරින් ලොකුම එක තමයි, “එයා වෙනස් වෙයි, එයා ආපහු එයි” කියලා හිතන එක. මම රුවිනි ඉස්සරහා ඒ බොරුව රඟපෑවා.
“උඹා උඹේ ඇස් දෙක රෙද්දකින් වහගෙන කලුවරක ඉන්න හදනවානම් මට ඒකට කරන්න දෙයක් නෑ බං. උඹ හොඳ විදියක් කරපං”
රුවිනි එහෙම කියලා යන්න ගියා.
මම තනියම කැෆේ එකේ ඉතුරු වුණා.
මගේ ඇස් දෙක ඉස්සරහා මැවුණේ මන්දස්මිතාගේ ඒ දිලිසෙන හිනාව.
මම දන්නවා මට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා, ඒත් මම ඒක පිළිගන්න ලෑස්ති වුණේ නැහැ. මට ඕන වුණේ මොන මගුල කරලා හරි මතින්ද්‍රව මගේ ළඟ තියාගන්න.


