නුලාරාට දවස ගෙවී යනවා නොදැනුණු තරම්ය. ඕ යෙහෙළිය හා ඔහේ කියවමින් කාලය ගෙවා දැමුවාය. සංකල්පනී ඈ හා කතා කළේ බොහෝ අර පරිස්සමටය. ධනුකගේ උපදෙස් පරිදි ඉඳහිට ඔහු ගැන යමක් කතා කරන්නටද ඈ අමතක නොකළාය. ධනුක වැනි දක්ෂයෙකුට තවමත් මේ කලා ක්ෂේත්‍රයේ හිමි තැන ලැබීනැතැයි සංකල්පනී නුලාරා හා පැවසූයේ කලකිරීමෙන්ය. සැබෑවත් එයයැයි ඈ විශ්වාස කළාය.
**************
උදෑසන එළවළු වෙළඳසැලට ගිය සැමියා මඤ්ඤොක්කා අලයක් රැගෙන ආවේ බොහෝ දිනකින් මඤ්ඤොක්කා මාළුවක් කෑමට ලැබුණේ නැතැයි පවසමින්ය.
කොළඹ පදිංචියට ආවාට පැරකුම් තවමත් ප්‍රිය කරන්නේ ගමේ තාලයට සැකසූ කෑම බීම වලටය. දියණිය නිවසේ සිටියදී සිතාරාට දෙදෙනා වෙනුවෙන් වෙන වෙනම කෑම සකසන්නට සිදු වූයේ එනිසාය. ඒ ප්‍රශ්නය ඇයට මානසික වධයක් වී තිබුනේ කාර්යාලයට යන කාලයේය. නුලාරාට උවමනා වූයේ අල, පරිප්පු, කැරට්, බෝංචි, චිකන් වැනි යමකි. පැරකුම් වෙනුවෙන් පැහි මාළුවක්, කිරි කොස් ව්‍යාංජනයක්, කොහිල ඇඹුලක්, පතෝල, කරවිල, වැටකොළු වැනි යමක් මේ නිවසේ වරදින්නේම නැත. එහෙත් සිතාරා මේ දෙපාර්ශ්වයටම ඔරොත්තු දුන්නාය. ඒ අම්මා වරුන්ගේ හැටි විය යුතුය. ඉදහිට දිනක පැරකුම් කාර්යාලීය රාජකාරී වලට කොළඹින් පිට ගියවිට නිවසේ සැකසෙන්නේ නුලාරා ප්‍රියකරන යමක් පමණි. වර්තමානයේ පිළියෙළ වන්නේ පැරකුම් ප්‍රිය කරන යමක් පමණි. ඒ දෙපාර්ශවයම පිනවූවා මිස තමා ප්‍රිය කරන්නේ මොනවාටදැයි සිතන්නටවත් කාලයක් නොවූ බව සිතාරා සිහි කළේ ලය මත රිදුමක් තබාගෙනය.
කොටු හැඩයට කැපූ මඤ්ඤොක්කා කැබලි කිහිපය තැම්බෙන්නට තැබුවේ මින් විනාඩි හත අටකට පෙරය. එහි රොස් ගඳ දැනෙන තුරුම සිතාරා වූයේ කල්පනාවේය. වහ වහා වතුර හිදී ගොස් තිබූ මැටි හට්ටිය ලිපෙන් බා ගත්තත් මඤ්ඤොක්කා කැබලි වල රොස් ගඳ ගෙතුල පුරා පැතිරෙන්නට බොහෝ වේලා ගත වූයේ නැත. ඊළඟ තත්පරයේ ඈ බලපොරොත්තු වූවාසේම පැරකුම් මුළුතැන් ගෙයට එබුනේය.
“දැන් ඉතින් ඒක හොඳ ඇති දත් මදින්න ගන්න. මොන ලෝකෙද සිතාරා ඉන්නේ.”
සිදු වූයේ කුමක්දැයි නොඅසාම ඔහු බැණ වැදුණේය.
“මං වෙන කල්පනාවක හිටියේ. දත් මදින්න ගන්න තරමට අඟුරු උනේ නෑ.”
එවර ඇය පැවසූයේත් මදක් උස් වූ හඬකින්ය. සිතෙහි වූ බිය, සැක, අප්‍රසාදය ඒ වදන් වලට මුසුව තිබෙන්නට ඇත. දියණියගේ නිවසට ගිය ඊයේ දවස පුරාමත් ඕ ඇයව නිරීක්‍ෂණය කළේ මහත් ඕනෑ කමකින්ය. එදත් සිතාරා දුටුවේ පෙර වූ ඈලි මෑලි දුබල ගතියමය. ඒ දරුවා ලැබෙන්නට සිටිනා නිසායැයි සිතන්නට සිතාරා මැලි විය. කල් යල් බලා ඕ සෝමාව කතාවට අල්ලා ගත්තේ එනිසාය. බොහෝවිට නිවසේ සිදුවන දෑ නිවැසියන්ට වඩා හොඳින් අවබෝධ කරගන්නේත් දන්නේත් සේවක සේවිකාවන්ය.
“මේ දරුවා එච්චර අමාරු ගතියක් අපිට කියන්නෙත් නෑ. ඒ උනාට ඉන්න විදිහ දැක්කහම මට බය හිතෙනවා. ඇඟ ඇතුළේ අමාරුවක් තියාගෙන හංගගෙන ඉන්නවද මන්දා.”
සිතාරා මුළුතැන් ගෙය තුළම ඇති කුඩා මේසය ආසන්නයේ වූ පුටුවක් ඇද වාඩි වූයේ එසේ පවසමින්ය. සෝමා උන්නේ දහවල ආහාරය සකස් කරමින්ය. වදෙන් පොරෙන් දියණියගේ නිවසට කැඳවාගෙන ගිය සැමියා රූපවාහිනිය ඉදිරිපසට වී උන් අතර නුලාරා ඇඳ මතට වී දුරකථනයට එබීගෙන උන්නාය. සෝමාගේ අකමැත්තෙන්ම ඕ මඳක් එහාට වන්නට වූ බෝංචි කරල් කිහිපය ගෙන අගමුල කඩන්නට පටන් ගත්තේ සෝමාව ඇයව ඈඳාගත යුතු වූ නිසාමය.
“නෝනට එහෙම අමාරුවකුත් නෑ. අනේ මන්ද ලොකු නෝනා මටත් හිතාගන්න බෑ වෙලාවකට අපේ චූටි නෝනා ඉන්නේ ලොකු කල්පනාවක.”
“ඒකනේ මේ ළමයා මොනව කල්පනාා කරනවද මන්දා..සෝමා එක්කවත් ඒ ගැන මුකුත් කියලා නැද්ද?”
“මමත් සමහර වෙලාවට අහනවා. අපේ නෝනට කම්මැලිද ඇයි කල්පනා කර කර ඉන්නේ කියලා. ඒ උනාට ඉතින් හරි උත්තරයක් දෙන්නෙත් නෑ ලොකු නෝනා.”
“පුතා ගෙදර ඉන්න වෙලාවටත් එහෙමද…”
“එහෙම උනත් අපේ චූටි මහත්තයා නෝනට එහෙම ඉන්නනම් ඉඩ දෙන්නේ නෑ. කොයි වෙලාවෙත් මොකක් හරි කෝලමකට අල්ල ගන්නවා. චූටි මහත්තයා හරි ආදරෙයි අපේ නෝනට. අපේ නෝනා ටිකක් මහන්සියෙන් වගේ ඉන්නකොට චූටි මහත්තයත් හරියට බය වෙනවා. රට ඉන්න ලොකු නෝනට කෝල් කරනවා. දොස්තර මහත්තයට කෝල් කරනවා. සමහර වෙලාවට නෝනටත් කතා කරනවා නේද?”
“අනේ ඔව්…”
“සමහර වෙලාවට මගෙනුත් දුවගෙන ඇවිල්ල අහනව නෝනා සෝම කල්පනා කර කර ඉන්නවා ඇයි ඒ කියල. අනේ ඉතින් මට දරුවෝ වදලා අත්දැකීම් තියෙන එකක්යැ ලොකු නෝනා.”
“ඒ උනාට සෝම අම්මා කෙනෙක් වගේ එයාව බලාගන්න එක මගේ හිතට හරි සැනසීමක්.”
සිතාරා දිගු සුසුමක් හෙළුවේ සැබවින්ම සිතට දැනුණු සැනසීමත් සමඟය. චාරුකගෙන් ඇයට වචනයකවත් වරදක් සිදුනොවන බව විශ්වාස කරන්නට ඒ වදන් කිහිපය හොඳටම ප්‍රමාණවත්ය. ඇය විවාහ වී මේ ගතව යන්නේ දෙවැනි වසරය. විවාහ වූ මුල් දිනවලදී ඒ සිතෙහි වූ සතුට හා උද්යෝගය දැන් නොවේ. මේසා ඉක්මනින් ඇයට විවාහ ජීවිතය නීරස වූවායැයි සිතන්නට හේතු සාධකද නොවේ. දියණිය දරුවා ප්‍රසූත කිරීමට බිය වී ඇතැයි සිතාරාට සිතුනේ එනිසාය. කුළුඳුල් දරු ප්‍රසූතියට ඕනෑම මවක බියය.
“අන්න ඒකට අර සංකල්පනී මිස් ආපු දවසට නම් නෝනගේ මූණ පිරිලා. අනේ ඒ මිසුත් හරි හොඳයි. මොනවා මොනවා හරි කියල අපේ නෝනව හිනස්සවනවා. ඉස්සර ඉස්කෝලෙ දේවල් ගැන කතා කරනවා සමහර වෙලාවට මමත් අහගෙන ඉන්නවා.”
“ඒ ළමයා හරි මේ වෙලාවේ එහෙම එන යන එක ලොකු දෙයක් සෝමා.”
අගමුල කැඩූ බෝංචි කරල් කිහිපය සෝමා අතට දුන් සිතාරා මුළුතැන් ගෙයින් නික්මුණේ එසේ පවසමින්ය. ඒ යන ගමනේදීත් ඈ දියණියගේත් චාරුකගේත් නිදන කාමරයට එබුණාය. එවේලෙහි ඈ උන්නේ ජංගම දුරකථනය සිය පපුව මත්තේ තබාගෙන කල්පනාවකය. ඒ දෑස් හැරවී තිබුණේ ඇඳට ඉහළින් සිවිලිමේ එල්ලී තිබූ විදුලි පංකාවටය.
යාන්තමට අඩියේ ඇලී තිබූ මඤ්ඤොක්කා කැබලි කිහිපය පරිස්සමට ගලවා වෙනත් ඇතිලියකට දැමූ සිතාරා පසෙක වූ පොල් කිරි සහිත ඇතිලිය ලිප මතින් තබා ඊට අඩුම කුඩුම එක් කළාය. සැමියා කොතරම් අකමැති වුවත් මේ පිළිබඳව චාරුක හා කතා කළ යුතුයැයි සිතාරා තීරණය කළේත් ඒ අතර වාරයේය.
*************
“මහ පිස්සු ගෑනියෙක්නේ අනේ. දන්න තරමට චාරුක රඹුක්වැල්ල ගැන එහෙම ගොසිප් එකක්වත් ගියේ නෑ.”
ධනුක එසේ පැවසූයේ තම බිරිඳගේ වදන්වලට සවන් දීගෙන සිටියාට පසුවය. ගැහැණුන් එසේ වන බව අසා තිබුණත් නුලාරාවන් උගත්, නාගරිකව හැදුනු වැඩුන ගැහැණියක ඒ සා පටු ආකල්ප දරනවා යැයි සිතීමත් පුදුමයකි.
“ඔය ගෑනි ඔය ප්‍රශ්නෙ කොච්චර දුරදිග ගෙනියාවිද කියල හිතා ගන්න බෑ. මං නං හිතන්නෙ නෑ. එයා ඕවා එළියට දැම්මොත් චාරුක රඹුක්වැල්ල ඕවා ඉවසයි කියල.”
“නෑ..මං හිතන්නෙ නෑ එයා මමත් එක්ක මේ දේවල් කතා කළාට චාරුකත් එක්ක කතා කරයි කියලා. අනේ මන්දා ඒ මනුස්සයත් එහෙම නරක මනුස්සයෙක් කියලා හිතන්න හරි අමාරුයි. ඔයා කියන්නේ විනාඩි දහයෙන් දහයට කෝල් කරලා කෑවද? නෑවද? නිදා ගත්තද? ෆිල්ම් බැලුවද? මේ ඔක්කොම හොයලා බලනවා. අඩු තරමින් ඔයාවත් එහෙම කරන්නෙ නෑ.”
“එහෙම කරන්න ඔයා ඒ තරමට බොළඳ විදිහට ජීවිතය දිහා බලන්නේ නෑ කියලා මං දන්නවනේ..”
ධනුක එසේ පැවසූයේ තමාගේ දකුණත මත හිස තබාගෙන ඇඳෙහි වැතිර උන් සංකල්පනීගේ නළලත සිප ගෙනය.
“හැබැයි ඉතින් නුලාරා ඔයා ගැනනම් මාර පැහැදීමකින් ඉන්නේ. අද මං කිව්වා ඔයා හරි දක්ෂ කෙනෙක් හැබැයි ඉතින් ඔයාට ඒ නිසි තැන කොතනකවත් ලැබිලා නෑ කියලා. එහෙම කිව්වහම නුලාරා මාර විදිහට දුක් උනා.”
“ඔව්… ඔව් එයාලගේ පවුල් ජීවිත වලින් අපිට වැඩක් නෑ. ඒ දෙන්නා දෙපැත්තකට වෙන්න කලින් අපි අපේ වැඩේ කරගමු. මොකද ඉතින් චාරුක රඹුක්වැල්ල කියන්නේ එක්කෙනෙක් අතෑරලැ තව කෙනෙක් ගන්න බැරි කෙනෙක් නෙමෙයි නේ. මිනිහා ඉන්න ෆීල්ඩ් එකට ඕක අමුතු දේකුත් නෙමෙයි..”
“ඒ උනාට මට නුලාරා ගැන හරි දුකක් දැනෙනවා.”
“මෙහෙමයි. එහෙම හිතනවනං එයාට මැරි කරන්න තිබුණේ සාමාන්‍ය ජොබ් එකක් කරන උදේ අට පහ වැඩ කරන ලෝකෙට එච්චර ඕපන් නොවිච්ච චරිතයක්. දැන් ඔයා මට කිව්වොත් රෑට ෂෝස් වලට යන්න එපා හොටෙල් එකට යන්න එපා කියලා මට ඒක කරන්න පුළුවන්ද?””
එවර සංකල්පනී හිස වැනුවේ තම සැමියාට එකඟ වෙමින්ය.
“ඔය නුලාරා කියලා කියන්නේ අපි වගේ නෙමෙයි දෙමව්පියන්ගේ සොයා බැලීම් මැද හැදිච්ච කෙල්ලෙක්. අපේ අම්මලට අපි ගැන හොයන්නේ ඒ තරම් වෙලාවක් තිබුණේ නෑ ධනුක. තිබුණත් එහෙම හෙව්වෙත් නෑ. ගෙදරින් ඉස්කෝලෙට, ටියුෂන් ක්ලාස් එකට, ඇරෙන්න අම්මල තාත්තල ගියපු ගමනකට විතරයි නුලාර සම්බන්ධ වෙන්න ඇත්තේ. මට මතකයි ඒ ලෙවල් කරනකම්ම නුලාරා ආවෙ තාත්තත් එක්ක කාර් එකේ. අපි අද වගේම එදත් එයා දිහා බලාගෙන හිතුවා මොන තරම් වාසනාවන්ත කෙල්ලෙක්ද කියල. හවසට ටියුෂන් ප්ලාස් එක ලගටත් තාත්තා එනවා එයාව එක්කරගෙන යන්න. ආශ්‍රය කරන්නේ කවුද යන්න එන්නේ කොහේද කරන්නේ මොනවද මේ හැම දෙයක් ගැනම ඒ මිනිස්සු හොඳට හොයලා බැලුවා. හිරකාරියක්ම නොවුනත් නුලාර කියන්නේ ජීවිතේ එක්තරා සීමාවකට කොටුවෙලා හැදිච්ච ළමයෙක්. එහෙම කෙනෙකුට එක පාරටම ජීවිතේ දිහා විවෘතව බලන්න බැරුව ඇති…”
සංකල්පනී එසේ පැවසූයේ සැබෑවටම යෙහෙළිය ගැන ඇතිවූ දුකත්, අනුකම්පාවක් නිසාය. ඉඩ ලද සෑම විටකම ඈ හා කාලය ගත කරන්නට සංකල්පනී සිතුවේත් එනිසාය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


