“අක්කා මට හරි සතුටුයි ඔයා ආපහු අපේ අයිය ලඟට එන්න තීරණය කරපු එක ගැන. ඔයා ගියාට පස්සේ අපි ගොඩක් දේවල් ඔයා ගැන කතා කළා. දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මගේ අතිනුත් සමහර වෙලාවට ඔයාට වැරදි වෙන්න ඇති. අපි කවුරුවත් ඒ දේවල් ගැන කතා කරන්න උත්සාහ කළේ නෑ කියලා අද මට හිතෙනවා. කොහොම වුණත් ඔය ආපහු අපි ළඟට ආපු එක ගැන ලොකු සතුටක් මගේ හිතේ තියෙන්නේ…”
රන්දිකගේ නැගණිය එසේ පැවසූයේ දුරකථනයෙන් කතා කරමින්ය. රන්දික ඇගේ සේයා රූ කිහිපයක්ම එවා තිබුනේය. සැබවින්ම ඇය සුන්දර මනාලියකව සිටියාය.
“නංගිවත් මේ කිසිම දෙයක් දැනගන්න ඕන නෑ..”
රන්දික එසේ පැවසූයේ ඇය කතා කර දුරකථනය විසන්ධි කලාට පසුවය.
“කවද හරි දවසක ධනුක කිව්වොත්.”
“එහෙම වෙන්න විදිහක් නෑ, එයාගේ ජීවිතේට ඊට වඩා වටින රහසක් අපි හංගන නිසා.”
මිනිසුන් විවිධාකාරය. ඔවුන් අවබෝධ කරගැනීමට කෙටි කාලීන ඇසුරකින් නොහැකි බව සංකල්පනී වටහා ගත්තේ එවේලෙහිය. මේ සියල්ල නුලාරාට වටහා දෙන්නට ඇය මුළු සවස් වරුවම ගත කළාය. දහවලේත් තේජනට කතා කරද්දී ඔහු පැවසූයේ චාරුක යනු වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද යහපත් මිනිසෙකු බවය. සමහර අවස්ථාවල නුලාරාට අනුබල ලබාදීමෙන් තමා අතින් සිදුවූ වරද නිවැරදි කර ගැනීමේ වුවමනාවක් ඇයට වූවාය. අවසන ධනුකගේ පටු අරමුණු වෙනුවෙන් තමා ඉත්තෙකු වී ඇතැයි යන හැඟීම සංකල්පනීගේ සිතට වද දෙමින් තිබිණ.
ඈ ධනුක ගැන සිතා සිටියේ සරල සුන්දර මිනිසෙකු ලෙසය. සින්දුවක් කියමින් සංගීත පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් ඔහු ගත කළ සරල ජීවිතයට ඇය ප්‍රිය කළාය. ඔහු ළඟ ඕනෑවටත් වඩා ආදරය වෙතැයි ඈ විශ්වාස කළාය. රන්දික හැරදා ඔහු සමීපයට ගියාට පසුව කාලයක්ම ගෙවී ගියේ ඔහුගේ කුඩා බෝඩිම් කාමරයේය. එහි වූයේ කුඩා ඇඳක්, මේසයක්, පුටුවක් පමණි. ධනුක ඇඳුම් තබාගෙන සිටියේ ද බෑගයකය. ඒ අයුරින්ම ඔහු සංකල්පනීගේ ඇඳුම් බෑගය කුඩා මේසය මතින් තැබුවේය. බොහෝ දිනවල ආහාරයට ගත්තේ පාන් හෝ පරාටාය. කඩයෙන්ම ගෙන එන හොදි පැකට්ටුව කඩා බෝඩිම් කාමරය තුළ වූ එකම පිඟානට දමා ගන්නා දෙදෙනා ආහාර ගත්තේත් ඇඳ මත ඉඳගෙනය. එහෙත් රන්දිකගේ සැප පහසු නිවස තුළ නොවූ ආදරයක්, නිදහස් බවක් ධනුකගේ ඒ අපිළිවෙල බෝඩිම් කාමරය තුළ ඇතැයි සංකල්පනී විශ්වාස කළාය. පිරිසිදුකමක් නොවූ වැසිකිලි පේළියේ කෙලවරම වැසිකිළිය වෙන් වී තිබුණේ ඔවුන් සඳහාය. එහා පස බෝඩිම් කාමරවල වූයේ පිරිමි අයවලුන් පමණි. එනිසාම බොහෝ රාත්‍රීන්වල සංකල්පනීට සිදු වූයේ නින්දත් නොනින්දත් අතර කාලය ගෙවා දබන්නටය. මධුවිතෙන සප්පායම් වන ඔවුන් රාත්‍රිය පුරාම සින්දු කියමින් විනෝද වූයේය.
අපිළිවෙල කුඩා බෝඩිම් කාමරයේ සංකල්පනීව නවතා ගන්නට ධනුකට සාමාන්‍ය බෝඩිම් ගාස්තුව මෙන් දෙගුණයක් දරන්නට සිදුවී තිබිණ. බොහෝ දිනවල ඔහු පුහුණුවීම් සඳහා යද්දී සංකල්පනීවත් කැඳවාගෙන ගියාය. එසේ නොවන දිනවලදී ඇය කාමරය තුළට වී දොර අගුළු ලාගෙන සිටියේ තනිවමය. අවසන තමාගේ රත්තරන් බඩු උකසට තබා කුඩා ඇනෙක්සියක් සොයාගෙන යමුයැයි යෝජනා කළේ සංකල්පනීමය. එදවසත් ඔහු මංගල උත්සවවල, උපන් දින සාදවල සේම කුඩා සංගීත ප්‍රසංගවල සින්දු කියමින්, වාදනය කරමින් උපයා ගත් මුදලින් වැඩි ප්‍රමාණයක් දේවිකා වෙත යවා ඇතැයි සංකල්පනීට සිතෙන්නේ දැන්ය. අවසන ළඟ ඉතිරිවී තිබූ වළලු දෙක විකුණා දැමුවේ ඉඩ පහසුකම් ඇති යතුරුපැදියක් මිලදී ගන්නටය.
“ඔයා මං ළඟට ආවට පස්සේ මට දිගටම වැඩ…”
ධනුක බොහෝ දිනවල එසේ පැවසූයේ සතුටින්ය. සැබවින්ම ඔහුට වෙනදාට වඩා සංගීත වැඩ කටයුතුවලට ආරාධනාා ලැබිණ. නිවාඩු දිනවල කොහේ හෝ ඇවිදින්නට ගොසින් සතුටු වන්නට ඔහු පුරුදු වූයේ යතුරුපැදිය මිලදී ගත්තාට පසුවය. ඔහුගේ ආදරය විඳමින්, නොසන්සිදෙන ආශාවන් දරා ගනිමින් ගත කළ ඒ ජීවිතය සතුටක් පමණකැයි තමාට දැනුනේ කෙලෙසකදැයි ඕ සිහි කලේ වේදනාවෙන්ය. ඒ ජීවිතය හිස් වූ ජීවිතයක් යැයි ඇයට සිතෙන්නේ දැන්ය.
***********
තේජන චාරුකගේ කාර්යාල කාමරය තුළම වූ දුරකථනය භාවිතා කරමින් අමායාව කැඳවූයේ ඔහුගෙන් අවසර නොපතාමය. සංකල්පනී කතා කළ මොහොතේ සිටම තේජන උන්නේ කෝපයේ උපරිම තැනකය. චාරුක කල්පනා කරමින් සිටියේ එවැන්නක් කරන්නට තරම් තමාට සිටින හතුරා කවුරුන්දැයි කියාය. ධෛර්යයත්, ක්‍රියාශීලීකමත්, නිර්මාණාත්මක හැකියාවත්, වාසනා ගුණයත් එක් කර ගනිමින් තමා මේ ගමනේ දැවැන්ත පියවරක් ඉදිරියට තැබුවා මිස කිසිවෙකුගෙන් කිසිවක් බලෙන් උදුරාගෙන නොමැති බව ඔහුට සිහි වූයේත් එවේලෙහිය.
“සමහරවිට බං ඔය කියන මිනිහා සැරින් සැරේ නුලාරට කතා කර කර උඹ ගැන වැරදි දේවල් කියන්නත් ඇති.”
අවසන තේජන පැවසූයේ අමායා කාර්යාල කාමරයට එනතුරු ගෙවී ගිය ඒ නිහඬ විරාමයේදීය.
“සමහරවිට..”
අමායා කාර්යාල කාමරයට ඇතුළු වූයේ එවේලෙහිය. තේජන තමාගේ දකුණු අත පා ඇයට එහා පස වූ අසුන පෙන් වූයේ මද සිනහවක් මුවගෙහි තබාගෙනය.
“අපරාදෙ අමායට තිබුණේ සී අයි ඩී එකට යන්න. පොඩි කාලේ ආසාවෙන් කියෙව්වෙ ෂර්ලොක් හෝම්ස් පොත්නේ.”
“ඒකනං එහෙම තමයි මොකක්ද සී අයි ඩී කතාව.”
“ඒ කතාව අහගෙන ඉන්නකෝ…”
තේජන එසේ පැවසුයේ දුරකථනයේ පටිගත කර ගත් සංකල්පනී සමග කළ සංවාදය ඇයටත් ඇසෙන්නට සලස්වමින්ය.
“අම්මෝ චාරුක මේක ඔයාගේ හොඳම වෙලාවක්. එහෙම නෙවුනානම් මේ මනුස්සයා මෙතන මොන අපරාධයක් කරලා නතර වෙයිද දන්නේ නෑ.”
“මේ මනුස්සයා අයින් කරගන්න අපිට පුළුවන්. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ අමායා, එළියෙන් ඉඳගෙන කවුද මෙයාට උදව් කරන්නේ කවුද මෙයාගේ උදව් බලාපොරොත්තු වෙන්නේ කියන එක හොයා ගන්න බැරිකම.”
“ඒකත් මාර ප්‍රශ්නයක් තමයි.”
“මචං නරකද අපි මේ එවිඩන්ස් පොලිසියට දුන්නොත්.”
“තේරුමක් නෑ…”
“මොනවා උනත් උඹ ඉස්සර වෙලාම ගෙදරට ගිහිල්ලා ගෙදර ප්‍රශ්නේ සෙට්ල් කර ගන්න බලපන්කෝ. දැන් සමහරවිට සංකල්පනී මේ වෙද්දි නුලාරත් එක්ක ඒ විස්තර කතා කරලා ඇතිනේ.”
“අනේ මං දන් නෑ බං මට තේරෙන්නෙ නෑ මං මොනවද කරන්න ඕනේ කියලා. මේ ප්‍රශ්නෙත් එක්ක අපිට ෂෝස් වල සිකියුරිටි එක තවත් වැඩි කරන්න වෙනවා බං. අපි දන්නෙ නෑ මීට වඩා වැඩි දෙයක් එළියෙන් සිද්ධ වෙනවද කියලා.”
“ඒක තමයි මං කියන්නේ අපි පොලිසියට මේක බාර දෙන්න ඕනේ කියලා.”
“අපිට නොගැළපෙන මිනිස්සු ජීවිතේට ලං කරගත්තට පස්සේ මේ වගේ දේවල් සිද්ධ වෙන එක අමුත්තක් නෙමෙයි චාරුක. මිනිස්සු අපිට නොගැලපෙනවා කියලා තීරණය කරන්නේ ඒ මිනිස්සුන්ගේ වත් පොහොසත්කම් මත නෙමෙයි. හැසිරීම මත. තේජනට මං හැමදාම කිව්වා මට ඔය ධනුක කියන මිනිහා අල්ලන්නෙම නෑ කියලා. මොන හේතුවක් නිසාද මන්ද මට ඕගොල්ලන්ට නොදැනුණු මහ පහත් ගතිගුණ ඔය මිනිහා ළඟ තියෙනවා කියලා දැණුනා. හැබැයි ඔයා නිසා චාරුක මට කිසිම දෙයක් කරන්න පුළුවන්කම තිබුණේ නෑ.”
“මචං අමායා කියන්නේ සම්පූර්ණ ඇත්ත. සංකල්පනී කියන්නෙත් හොඳ මැරේජ් ලයිෆ් එකක් ගත කරපු කෙනෙක් නෙමෙයි. අද කොච්චර පසුතැවුනත් එයා බුද්ධියෙන් තීරණ ගත්තනම් කවදාවත් එයාගේ හස්බන්ඩ් වගේ මනුස්සයෙක් අතෑරලා ධනුක ළඟට එන්නේ නෑ. උඹ හිතනවද එහෙම යාළුවෙක්ගෙන් නුලාරට හරි ගයිඩ් ලයින් එකක් ලැබුණා කියලා. ඒක කවදාවත් වෙන්නේ නෑ. සමහරවිට නුලාරගේ මේ වෙනස්වීමට සම්පූර්ණයෙන්ම බලපාන්න ඇත්තේ සංකල්පනී වෙන්නත් ඇති. මොකද තමන්ට ජීවිතයක් නැති මිනිස්සු අනිත් අය ලස්සනට ජීවත් වෙනවට කැමති නෑ බං.”
ව්‍යාපාරය තුළ සේම පුද්ගලික ජීවිතය තුළත් තමාට විශ්වාස වන්තම මිතුරන් දෙදෙනා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරමින් සිටියදී චාරුක උන්නේ නිහඬවය.
“හැමදේම හොයාගත්ත එකේ අපිට මේකත් ඉක්මනින්ම හොයා ගන්න ලැබෙයි. චාරුක අපි මේ වෙලාවේ ඇත්තටම කරන්න ඕනේ මේ ගැන පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන එක. මේක බොරුවක් නෙමෙයිනං සංකල්පනීට ඇවිල්ලා සාක්ෂි දෙන්න පුළුවන්නේ. එයාගේ අතින් වරදක් උනා කියලා එයා පසුතැවෙනවනං, විශ්වාස කරනවානම් එයා එහෙම නොකර ඉන්න එකක් නෑ. ඔයාගේ පෞද්ගලික ජීවිතේ පැත්තකින් තියන්න. මේක දැන් අපේ ඔෆිස් එක සම්බන්ධ ප්‍රශ්නයක්. මේ ඇතිවෙලා ඉන්නේ හරි, මතුවෙලා ඉන්නේ හරි ඔයාගේ පුද්ගලික ජීවිතෙත් එක්ක ඇරියස් තියෙන කෙනෙක් නෙමෙයි. මොකද සංකල්පනී මේ කතාවෙදි පැහැදිලිවම කියනවා ඔයාව මානසිකව වට්ටන එක තුළින් මේ කම්පැනි එක වට්ටන්න පුළුවන් කියන එක ධනුක ඒ මනුස්සයාට කිව්ව කියලා. අනුකම්පා කරන්න ඕන තැනදී අනුකම්පාව ලැබිය යුතු මිනිස්සුන්ට අනුකම්පා කරන්න ඕනේ. හැබැයි අනුකම්පාව නොලැබිය යුතු මිනිස්සුට දඬුවම් ලැබෙන්න ඕනේ. කම්පැනි එක පැත්තෙන් ගත්තොත් චාරුක ඔයා හිතන්න ඕනේ මේකෙ වැඩ කරන සිය ගණනක් අපිව විශ්වාස කරන ළමයි ගැන.”
අමායාගේ තීරණ ඍජුය. එහෙත් ඒවා නිවැරදිව ඒවා බව චාරුක දැන සිටියේය. එනිසාම අවසන චාරුක පොලිසිය තුළ ඉහළ නිළයක් දැරූ තමාගේ මිතුරෙකුටත් දුරකථන ඇමතුමක් ලබාදී උපදෙස් ලබා ගත්තේය. අවසන තේජනත් චාරුකත් කාර්යාලයෙන් නික්ම ගියේ ඔහුගේ ඒ උපදෙස් වලට අනුවය. ඒ අතරතුරේම චාරුක සෝමාටත් ආරක්ෂක නිලධාරියාටත් කතා කරමින් නිවස තුළ සිදුවන සියල්ල කෙරෙහිම ඇස ගසාගෙන සිටින්නයැයි දැනුවත් කළේය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


