මලක් වී යළි පිපෙන්නම් – 78

0
113

“දෙන්නෙක් එකතු වෙලා ගමනක් යන්නනම් ඒ අවබෝධය දෙන්න අතරෙම තියෙන්න ඕනෙ බබා. ඒ හැමදේකටම ජීවිතය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මං කැමතියි ඔයා ප්‍රයිවට් කැම්පස් එකකට හරි ගිහිල්ලා තව ටිකක් ඉගෙන ගන්නවනම්. ඒ පොතේ දැනුමම විතරක් නෙමෙයි බබා. අපිට අපි ජීවත්වෙන මේ සමාජය ගැන අවබෝධයක් ලැබෙන්නත් අපි එළියට බැහැලා ලෝකෙ දිහා ඇස් ඇරලා බලන්න ඕනේ.”

චාරුක එසේ පැවසූයේ තම බිරිඳගේ හිස අතගාමින්ය. ඈ උන්නේ ඇඳෙහි වැතිරගෙන හිස් සුදු බිත්තිය දෙස බලාගෙනය. ඒ දෑස් මුල කඳුලක් දිළිසෙමින් තිබිණ. 

“පොඩි කාලේ ඉඳලම මම තාත්තත් එක්ක බිස්නස් වලට සම්බන්ධ වුණා බබා. මොඩල් කෙනෙක් විදිහට,  ඇක්ටර් කෙනෙක් විදිහට මේ ෆීල්ඩ්  එකේ අවුරුදු දහයක් විතර හිටියා. මට හංගන්න ජීවිත දෙකක් තිබුනෙ නෑ. එදත් හිටියේ අදත් ඉන්නේ එකම එක චාරුක කෙනෙක් විතරයි. සමහර විට හෙටත් මේ කොහේ හරි යන ගෑණු ළමයෙක්ගෙ නමක් එක්ක මගේ නමට මොනවා හරි කටකතාවක් හැදෙයි. ඒක මට හරිම සාමාන්‍යයි බබා. එහෙම කියලා අවුරුදු ගානක් තිස්සේ උපයගතපු දේවල් එක තත්පරෙන් විනාශ කරලා දාන්න බෑ බබා. මම සාමාන්‍ය ඔෆිස් එකක වැඩ කරන පැය අටේ සේවකයෙක් උනානම්, බබා මට ඒ විදිහේ වෙනත් සම්බන්ධයක් තිබුණ උනත් මිනිසුන්ට ඒක වැඩක් නෑ. අපිව නොදන්න මිනිස්සු අහක බලාගෙන යාවි. අපිව දන්න මිනිස්සු කියාවි ‘අරූ මාර පොරක් තමයි ගෙදර ගෑනි ඉදිද්දි මූ වෙන කෑල්ලක් සෙට් කරගෙන කියලා.’ හැබැයි මීඩියා වලින්වත් මේ වගේ ගොසිප් සයිට් හැන්ඩ්ල් කරන මිනිස්සුවත්, සෝෂල් මීඩියා වලින්වත් මගේ පස්සෙන් එන්නේ නෑ. මොකද මිනිස්සු මං ගැන හොයන්නේ නෑ. මං ගැන කතා කරන්නේ නෑ. මාව දන්නෙත් නෑ. මාව ඒ මිනිස්සුන්ට වැඩකුත් නෑ. හැබැයි චාරුක රඹුක්වැල්ලලා ගැන මන්දස්මිලා ගැන නුලාරලා ගැන මිනිස්සු කතා කරන්න කැමතියි. මිනිස්සු හොයනවා. ඒ තමයි බබා අපි මේ සමාජය ඇතුලේ මේ ක්ෂේත්‍රය ඇතුලේ උපය ගතපු වටිනාකම. ඔයාට මතකද මැරිකරපු දවස්වල සෝෂල් මීඩියාවල නිතරම  කතා උන දෙයක් තමයි ධනුක රඹුක්වැල්ල තමන්ගේ විවාහයට කෙනෙක් තෝරගත්තේ සාමාන්‍ය පවුලකින් කියලා. බබා ඒ ඔයාවත් මමවත් කියලා නෙමෙයිනේ. අපිට ආදරය කරන අපිව ප්‍රතික්ෂේප කරන අපි දිහා බලන් ඉන්න මිනිස්සුන්ට ඒ දවස්වල ප්‍රශ්නයක් වුණා ඇයි ධනුක රඹුක්වැල්ල සාමාන්‍ය පවුලක ගර්ල්  කෙනෙක්ව මැරි කරන්න තෝරගත්තේ කියලා. මට වගේම දැන් ඔයාටත් ඒ ඇස්වලින් බේරිලා ඉන්න බෑ. අද දවසේ ඔයා තේජන එක්ක හොස්පිට්ල් එකෙන් එළියට යන්න,  සමහර විට හෙට ඔය මොකක් හරි සයිට් එකක තියෙයි රඹුක් වැල්ල ගෘප් එකේ මැනේජර් අතරෙයි ඔයා අතරෙයි  සම්බන්ධකමක් තියෙනවා කියලා.”

“මට මේ ටික මේ විදිහටම තේජන අයියත් කිව්වා. මං නිසා නේද  මේ හැම දෙයක්ම. ඔයා කියන්න වගේ, තේජන අයියා කියන්න වගේ, අම්මා කියන්න වගේ මං මේ ජීවිතේ ඇතුලේ හරි දුර්වල ගැහැනියක්”

“මගේ තාත්තා කියන්නේ ජීවිතයට මුහුණ දෙනවා කියන්නේ ප්‍රශ්න පත්තරයකට සාර්ථකව උත්තර ලියන එක තමයිලු. ප්‍රශ්න එන්න ඕනෙ බබා ජීවිතයකට. එහෙම උනහම තමයි අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. අපි ශක්තිමත් වෙන්නේ. ඇත්තටම පහුගිය කාලේ මට මේ ජීවිතේ එපා වෙච්ච දවස් තිබුණා. මං ගොඩක් තැන්වලදී ඔයා ඔය හිර වෙලා ඉන්න අඳුරු ලෝකෙන් ඔයාව එලියට ගන්න උත්සාහ කළා. මොකද මං ඔයාගේ අම්මත් එක්ක කතා කරද්දි තේරුම් ගතපු දෙයක් තමයි ඔයා හරි පුංච් ලෝකෙක ජීවත් වෙච්ච ගෑණු ළමයෙක් කියලා. සමහරවිට මං ඔයාට කැමති වෙන්න හේතුව වුණෙත් ඒ අහිංසකකම වෙන්න ඇති. ඒ  සමහර අවස්ථාවල මං හිතුවා ඇයි මං ඔයාට කැමති වුණේ කියලා. ඒ වෙලාවට මගේ හිත කියපු දෙයක් තමයි ‘චාරුක උඹට ඕනේ ඇවිලෙන්න තැනක් නෙමෙයි නිවෙන්න තැනක්’ කියලා. මං හිතුවා බබා හරි පුංචි ලෝකෙක ජීවත්  වෙන ඔයාගේ ළඟ ඒ නිවීම ඇති කියලා. ඔයා මාවයි මගේ දරු පැටවුනුයි විතරක් ජීවිතේ කරගෙන ජීවත් වෙයි කියලා. ප්ලීස් ඔයා වරදවා වටහාගන්න එපා මං උත්සාහ කළේ ඔයාව ගෙදරට කොටු කරන්න කියලා. ඔයා මගෙන් කසි දෙයක් ඉලල්ලා තිබුණේ නෑ බබා. මං හිතුවා ඔයාලව පෝෂණය කරන එක, ආදරයෙන් රැක බලා ගන්න එක මේ ලෝකේ  මට දෙන්න පුළුවන් හැම සතුටක්ම ඔයාලට දෙන එක මගේ යුතුකම කියලා. 

“මට දැන් හැම දෙයක්ම තේරෙනවා. ඔයා ගොඩක් ඉවසන කෙනෙක් චාරුක. මං හැම පුංචි දේකටම හරියට කලබල වෙන කෙනෙක්.”

“ඔව්….ඇත්තටම ඒ ගැන හිතන්න මට අමතක උනා. එළියට ගිහිල්ලා විවෘතව මේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන මාව තේරුම් ගන්න තමන්ටම සීමා වෙච්ච පුංචි ලෝකයක් ඇතුලේ ඉන්න ඔයාට අපහසුවෙයි කියලා මට හිතන්නන අමතක වුණා. මං හිතනවා අපිට වැරදිච්ච තැන එතැන කියලා. විවාහයක් කියලා කියන්නේ හදවත් දෙකක් එකට එකතු වෙන එක. වෙනස් මගක  ගමන් කරන දෙන්නෙක් එක පාරකදී එකට හමුවෙන එක. වෙනස් වෙනස් සිතිවිලි දරන දෙන්නෙක්ගේ සිතුවිලි එක තැනකදි එකට ඒකාත්මික වෙන එක. එහෙම නොවුණු තැන්වල තමයි මැණික මිනිස්සු වෙන් වෙන්න හේතු හදා ගන්නේ. අන්තිමට මමත් මේ හැම දෙයක්ම අතෑරලා දැම්මා.”

“ඒ කියන්නේ….”

“හැම දෙයක්ම කාලයට භාර දීලා නිහඬ වුණා. ඔයාව මට නැති උනත් මේ ජීවිතේට මුහුණ දෙන්න මං ලෑස්ති වෙලා හිටියේ. මොකද මට ආපහු හැරෙන්නවත් අසාර්ථකයෙක් වෙන්නවත් බෑ. මාව විශ්වාස කරගෙන ලොකු පිරිසක් මමත් එක්ක ඉන්නවා. මට ඒ කාගෙවත් හීන බිඳලා දාන්න බෑ බබා. ඒ මිනිස්සුන්ගෙත් හීන හැබෑ කරගෙන අපිත් හීන හැබෑ කරගෙන ඉස්සරහට යන්න මට ශක්තියක් වෙන වයිෆ් කෙනෙක් ඕන වුණේ. මේ වෙලාවෙත් මං ඔයාට කියනවා, ඔයා නැතුව ජීවත් වෙන්න අපහසු වෙයි. හැබැයි ඔයාට හිතෙනවනම් මගේ ළඟ මේ විදිහට ජීවත් වෙන එක ඔයාට වදයක් මානසික පීඩනයක් කියලා ඔයාට ඕනම මොහොතක ආපහු හැරෙන්නන පුළුවන්. ඔයාට ඕනෙනම් අපේ  පොඩි මෑන්ව මට දීලා යන්නත් පුළුවන් එක්කරගෙන යන්නත් පුළුවන්.  බබා මං ඔයාව නිදහස් කරලා ඔයාට ආදරේ කරන්න දන්නවා. හැබැයි ඔයාව බැඳීමක් ඇතුලෙ හිර කරගෙන මට ඔයාට ආදරේ කරන්න බෑ. මේ මොනවා තිබුණත් වැඩක් නෑ ඔයා මානසික සුවයකින් නැත්නම්”

සුසුමක් මුදා හල නුලාරා චාරුකගේ පසට හැරුණේ එවේලෙහිය. විශ්වාසය. ඒ පිරිමි දෑස්මත දිළිසෙමින් තිබුණේ කඳුලකි. 

“මම මට හරි ආදරෙයි බබා. මං ගොඩනගා ගතපු  මේ ප්‍රතිරූපෙට, ජීවිතයට,  ගෞරවයට මං හරි ආදරෙයි.”

අවසන ඔහු එසේ පැවසූයේ පුටුවෙන් නැගී සිටින්නට සූදානමින්ය. එහෙත් ඉන් පෙර නුලාරා ඔහුගේ දකුණත තදින් අල්ලා ගත්තේ දෑස් මුල පිරී තිබුණු කඳුළුවලට ඔහේ ගලා යන්නට ඉඩ දෙමින්ය. 

“මං නැතුව ජීවත් වෙන්න පුළුවන්ද….?”

“මං දන්නෙ නෑ…ගෙවිල ගියපු ගොඩක් දවස්වල මං වැඩ කලේ කෑවේ බිව්වේ පුරුද්දට වගේ. මට දැනුනා හෙමි හෙමිහිට  මට මාවම නැතිවෙලා යනවා කියලා. ඔයා නැති උනොත් ධනුක රඹුක්වැල්ල සාර්ථක ව්‍යාපාරිකයෙක් මිසක් සාර්ථක මිනිහෙක් වෙන එකක් නෑ. හැමදාම මගේ ජීවිතේ ඔයාට දීපු තැන හිස්තැන විදිහට එහෙමම තියෙයි. මට තිබුනෙ එක හදවතයි බබා. ඒ හදවත මං ඔයාට දීලා ඉවරයි…ජීවිතේ කියන්නේ හින්දි ෆිල්ම් එකක් නෙමෙයි බබා.”

ඔහු එසේ පැවසූයේ හැඬුමක සරි හඬකින්ය.

“අනේ මට සමාවෙන්න චාරුක අයියේ. පිස්සියක්, අන්ධයෙක් වගේ මං තීරණ අරන් තිබුණේ…ඇත්තමයි මට මං ගැනම ලැජ්ජයි. මගේ වැරදි හදාගන්න මට ඉඩ දෙනවද..කියන්න චාරුක අයියේ ආපහු ඔයාට පුළුවන්ද ඉස්සර වගේම මට ආදරේ කරන්න…මාව ඉවසන්න. මට මොන දේ නැති උනත් කමක් නෑ. ඔයා නැතුව ජීවත් වෙන්න මං දන්නෙ නෑ. ඔයා තරමට මේ ජීවිතේ ගැන පැහැදිලි කරලා කියලා දෙන්න මට තේරෙන්නේ නෑ. හැබැයි එකම එක දෙයක් දන්නවා. මං ජීවත් වුණේ  කොහොමද කියල මංවත් දන් නෑ..ඔයා මට නැතිවෙයි කියලා හිතුන තත්පරයක් තත්පරයක් ගානේ මාව පිච්චුනා. ඔයාව හිර කර ගන්න, මගේ ළඟ විතරක් තියාගන්න මට ඕන වුණා. ඔය ඇස් වලින් මං ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නොදකින්න තියෙනවනම් ඒක සතුටක් කියලා මට හිතුනා. දකින හැම ගෑණු ළමයෙක්ම ඔයාගේ රූපේ ගැන කතා කරයි කියලා මම බය වුණා. ඔයාට තමන්ගේ සිතුවිලි වලින් හරි ආදරේ කරයි කියලා මං බය වුණා. ඔයාව මගේම විතරක් කරගන්න මම මොනව කළාද කියල මම දන්නෙත් නෑ. ඒ හැම දේකටම පසුතැවෙනව, ලැජ්ජ වෙනවා.  ඔයාගෙන් සමාව ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න ඕන දෙයක් මම දන්නෙත් නෑ.”

ඇය කියවූවාට වඩා හැඬුවාය. ඉකි බින්දාය.

“අපි ලස්සනට ජීවත් වෙමු බබා. ඒ හැම දෙයක්ම, හැම අඳුරු දවසක්ම අතීතෙට බාර දෙමු. අපි දෙන්න මැරි  කරලා ජීවත් වෙච්ච මුල් කාලෙ වගේ හැම දවසක්ම හිනාවෙන් පුරව ගමු. මං ඔයාට පොරොන්දු වෙනවා මැණික ඔයාගේ හිතේ මං ගැන තියෙන විශ්වාසය එක තත්පරේකටවත් මගේ අතින් විනාස වෙන්නේ නෑ කියලා. ඊට එහා දෙයක් කියන්න මට තේරෙන්නෙත් නෑ.”

චාරුක නුලාරාගේ හිස සිප ගත්තේ එසේ පවසමින්ය. ඕ ඉකි  බිඳිමින් හඬා වැටුණාය. එහෙමම ඇයව සිය ලයට තුරුළු කරගෙන බලා සිටියා මිස චාරුක ඇයව නවතන්නට උත්සාහ නොකළේය. ඇය සන්සුන් විය යුතුය. නිරවුල් විය යුතුය. කඳුලක්ව හෝ ඒ නොසන්සුන් සිතුවිලි ඇගේ මනසින් පිටව යා යුතුය. 

(අවසන් කොටස් කිහිපය සමග හමුවෙමු ආදරයෙන්.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here