මලක් වී යළි පිපෙන්නම් – 75

0
338

නුලාරාගේ උණ වැඩි වූයේත් ඕ උණ විකාරයෙන් කියවන්නට පටන් ගත්තේ පාන්දරය. සෝමා පැමිණ ‘සුදු මහත්තයා’ යැයි කතා කරද්දි නින්දත් නොනින්දත් අතර සිටි චාරුක නැගී සිටියේ කලබලයෙන්ය. ඒ වන විටත් හෙදිය උන්නේ ඇගේ හිසට ඕඩික්ලෝන් ගල්වමින්ය. 

“මම බබාට කිරි එකක් හදන්න ලෑස්ති වෙනකොට තමයි සෝමා නැගිටලා ඉන්නවා දැක්කේ. උණ අඩුවෙන පාටක් නම් නෑ සර්. මට බබාව බලාගන්න පුලුවන් සර් මැඩම්ව හොස්පිට්ල් එකට එක් කරගෙන යන්න.”

ඇය පැවසූයේ චාරුක සිය නළලත රැළිකරගෙන කුමක් කරන්නේදැයි සිතද්දීය. 

“නෝනව ලෑස්ති කරවන්න සෝමා.”

එසේ පැවසූ චාරුක උඩුමහලට දිව ගියේ අඩියට දෙකටය. සැහැල්ලු කලිසමකුත් ටී ෂර්ට් එකකුත් ඇඳගත් ඔහු ආපසු පැමිණෙද්දී සෝමා නුලාරාට අලුත් ඇඳුමක් අන්දවා තිබිණ. 

“මහ ගෑනියෙක් වගේ පණ්ඩිත වැඩ කරන්න යනවා. ඒ උනාට තමන්ට තමන්ව දරාගන්නවත් තවම බෑ.”

ඒ වදන් තුළ වූයේ කෝපයක් නොවේ. කාමරය තුළ වූ ඔරලෝසුවෙහි වේලාව සටහන් වූ වී තිබුණේ පාන්දර තුනයි හතළිස් දෙකයි යනුවෙන්ය. තේජනට කතා කරන්නට සිතුනත් එසේ නොකළ චාරුක අවසන ඇයව තම දෝතට ගත්තේය.

“චාරුකට යන්න එපා කියන්න අනේ යන්න එපා කියන්න…මට කොහෙවත් යන්න බෑ.. මට මේ ගෙදර ඉන්න ඕනේ. මේක මගේ ගෙදර මේ චාරුකගේ ගෙදර. මං එයා දාලා යන්නේ නෑ…”

ඕ කියවමින් සිටියේ උණ විකාරයෙන්ය. ආරක්ෂක නිලධාරියා විසින් ඇර දුන් දොරෙන් ඇතුළුව ඇයව වාහනයේ පසුපස අසුනෙන් තැබූ චාරුක කලබලයෙන්ම ඉදිරිපස අසුන්ට නැග ගත්තේය. 

“මහත්තයා නෝනට උණ වැඩිවෙලා විතරයි තියෙන්නේ. ඒක හින්දා කලබලෙන් වාහනේ එලවන්න එපා. මේ නිදිමත විකාරෙන්  මිනිස්සු ඩ්‍රයිව් කරන වෙලාව.”

එසේ පැවසූයේ ආරක්ෂක නිලධාරියාය. හිස වනා ඔහුට එකඟ වුවත් චාරුක වාහනය ගේට්ටුවෙන් පිටතට ගත්තේත් කලබලයෙන්ය. නුලාරා පුද්ගලික රෝහලට ඇතුළු කරද්දී වේලාව හතරහමාරට ආසන්නව තිබිණ. හදිසි ප්‍රථිකාර අංශයේදී  ලබාදුන් එන්නත මගින් ඇගේ උණ බැස ගියත් ඔහු සිටියේ සිහියත් අසිහියත් අතරය. දිගින් දිගටම කියවමින් සිටියේ ‘චාරුක යන්න එපා..මාව දාලා යන්න එපා’ යනුවෙන්ය. 

“මිස්ටර් රඹුක්වැල්ල කොහේ හරි යන්න ලෑස්ති වෙලාද හිටියේ”

වෛද්‍යවරයා අවසන ඇසුවේ තත්පර කිහිපයක් නුලාරා දෙස බලා සිටියාට පසුවය. 

“ඇයි ඩොක්ටර් එහෙම අහන්නේ..”

“නෑ වයිෆ් දිගටම යන්න එපා කියලා කියන නිසයි මං එහෙම ඇහුවේ. සමහර විට වෛරස් උනක් එහෙම නැත්නම් ඩෙංගු ෆීවර් වෙන්නත් පුළුවන්. කොහොමත් අපිට රිපෝට්ස් එනකල් ඒක හරියට කියන්න බැහැ. එයා දිගින්  දිගටම එකම දෙයක් කියවන නිසා මට හිතුණා සමහරවිට විට චාරුක කොහේ හරි ගමනක් යන්න ලෑස්ති වෙච්ච එකක ෂොක් එකක් නිසාද එහෙම උනේ කියලා. ටික කාලෙකට පිටරටකටවත් යන්න ලෑස්ති වුණාද?”

“නෑ ඩොක්ටර් එහෙම විශේෂ ගමනක් නං යන්න ලෑස්ති වුණේ නැහැ. හැබැයි පහුගිය දවස් දෙක තුනේ අපි දෙන්න චුට්ටක් තරහ වෙලා හිටියේ. ඒක එහෙම දුරදිග යන්න තරම් තිබුණු තරහවක් නෙමෙයි. දන්නැද්ද ඉතින්…”

“සමහර වෙලාවට ඒ ප්‍රශ්නේ හින්දා වෙන්නත් පුලුවන්. දැන් තරහ නැහැනේ”

“අනේ නෑ ඩොක්ටර් ඒක දුර දිග යන දෙයක් නෙමෙයි. මට ඉතින් චුට්ටක් එයාට තේරුම් කරන්න ඕන උනා. එයත් ඉතිං පොඩි ලොකු කමක් වගේ දෙයක් හිතේ තියාගෙන හිටියා.”

චාරුක පැවසූ⁣යේ දෑස් නුලාරාගේ වත මත්තේ තබාගෙනය.

“ඉඳලා හිටලා එහෙම දෙයක් නොවුනොත් අපි ජීවත් වෙනවා කියලත් දැනෙන්නෙ නෑ වගේ නේද පුතා….”

තරුණ විය ඉක්මවා ගොස් තිබූ වෛද්‍යවරයා සිනහසී  පැවසූයේ චාරුකගේ පිටට තට්ටුවක්ද දමමින්ය. අවසන ඔහු කාමරයෙන් නික්ම ගියේය. චාරුක  ඇය අසලින්ම අසුන් ගත්තේත්. ඒ හිස තම පපුවට තබා ගත්තේත් නිහඬවය. 

“දරා ගන්නවා කියලා හිතුවට ඔයාට දරාගන්න බෑ බබා. ඒ නිසා තමයි කලබල වෙන්න ඕනෙ නැති දේවල් වලටත් අනවශ්‍ය  විදිහට කලබල වුණේ. මේ ප්‍රශ්න ඉවර වෙන්න ඕනෙ බබා.. නැත්තං අපි දෙන්නටම රිදෙනවා…”

අවසන ඔහු පැවසූයේ ඒ නළලත සිප ගන්නා ගමන්ය. බෙහෙත් සැරට ගැඹුරු නින්දක වැටී උන් නුලාරාව පපුවට තුරුලු කරගෙනම ඔහු දෑස් පියා ගත්තේය. මේ උණුසුම, සුවඳ වින්දේ කාලයකට පසුවය. අයාලේ යන පිරිමි හිත් ඕනෑ තරම් වේ. එහෙත් එක් ගැහැණියකගේ සුවඳට, උණුසුමකට ලොබ බඳින පිරිමි හිතකට එසේ අයාලේ  යා නොහැකි බවව විශ්වාසය. හදවතෙහි යමක් රඳවාගෙන, සඟවාගෙන ප්‍රේම කරන්නට ඔහු දැන සිටියේ නැත. නුලාරා යනු ඔහුගේ වර්තමානයත් අනාගතයත් දෙකම බව විශ්වාසය. 

                           ******************

සංකල්පනී සූදානම් වී  කාමරයෙන් පිටතට පැමිණෙද්දී රන්දික වූයේ ලැප්ටොප් පරිගණකය තම උකුල මත තබා ගෙනය. ඔහු කලබලයෙන් නැගී සිටියේ පිටතට යාමට සූදානමින් උන් සංකල්පනී දුටුවාට පසුවය. 

“ඔයා කොහේ හරි යන්නද…?”

“ඔව්.  මං ඔයාට ඊයේ කිව්වේ අද ඒජන්සි එකකට යන්න හිතන් ඉන්නවා කියලා.”

“ගිහින්…”

“ටික කාලෙකට මට මේ හැම දේකින්ම ඈත් වෙලා යන්න ඕනේ. මිඩ්ල් ඊස්ට් ක්‍රන්ට්‍රි එකකට හරි කමක් නෑ.”

සංකල්පනීගේ ජංගම දුරකථනය නාද වූයේ ඈ එසේ පවසද්දීය. දුරකථන තිරය මත සඳහන් වූයේ ස්ථාවර දුරකථන අංකයකි. ඕ දුරකථනය කන තබා ගත්තේ රන්දික ඉදිරිපිටදීමය. 

“ඔව් සංකල්පනී තමයි කතා කරන්නේ….”

එහා පසින් පැවසූයේ කුමක්දැයි රන්දිකට ඇසුණේ නැත එහෙත් එය නාඳුනන අයෙකුගෙන් පැමිණි ඇමතුමක් යැයි සිතුණු නිසා ඔහු උන්නේ ඈ දෙස බලාගෙනමය. 

“පොලිසියෙන්…ඇ..ඇයි..”

“හරි මං කීයටද එන්න ඕනේ. ඔව් මට කියන්න පුළුවන්…”

දුරකථනය විසන්ධිකරමින් ඈ ඔහු දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. කුමක් හෝ සිදුව ඇත. ඒ දෑස් වල වූයේ බියපත් පෙනුමකි. 

“ඔහොම ඉඳගන්න. මොකද උනේ?  ඇයි පොලිසියෙන් කතා කලේ.”

රන්දික එසේ ඇසුවේ ඇයව අසුන් ගැන්වූවාට පසුවය. 

“අර මං ඔයාට කිව්වේ, ධනුක කියනවා ඇහුනු දේ මම චාරුකගේ යාළුවට කිව්වා කියලා. එයාලා පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා. අර ඒගොල්ලෝ ලොකු ෂෝ එකක් කරන නිසා කොහොමටත් පොලිසිය නිතරම එයාලව ෆලෝ කරනවලු. එනිසා මට ඒ ඇහුනු දේවල් පැහැදිලිව එයාලට කියන්න කියලා කිව්වා. ඒකෙන් මට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලත් කිව්වා.” 

“කීයටද එන්න කියලා කිව්වේ..”

“හවස හතරට…

“කමක් නෑ අපි යමු. ඇත්තටම එයාලගේ ජීවිතේට තර්ජනයක් තියෙන වෙලාවක්නෙ මේක. එයාල ධනුකට ජොබ් එකක් දුන්නේ ධනුක ගැන කිසිම දෙයක් නොදැන. ඔයා ගැන විශ්වාසයෙන්. මේ වෙලාවේ එයාලට උදව් කරන එක අපේ යුතුකමක්.”

“අනේ මං නිසා ඔයාට කරදරයි රන්දික.”

“දැන් ඔයාට ඔය ගමන යන්නම ඕනද..?”

“දැන් නැතත් හෙට හරි..”

“එහෙම තනිවෙලා ජීවත් වෙන්න පුළුවන්ද?”

“මං වෙන මොනවා කරන්නද?”

එසේ පවසද්දීත් ඒ දෑස්වල වූයේ කඳුළකි.

“ඔයා තවමත් හිතනවද මං ඔයාගේ ජීවිතේට සුදුසු මනුස්සයෙක් නෙමෙයි කියලා. ඔයාට ආදරේ කරන්න, ඔයාව සතුටින් තියන්න මට බැරි වෙයි කියලා.”

“අනේ මොනවද මේ කියන්නේ..ඔයා තරම් හොඳ මනුස්සයෙක් මං මේ ජීවිතේ කවදාවත් දැකලා නෑ. මගේ ජීවිතේ  මට ආපහු කවදාවත් ඔයා තරම් හොඳ මනුස්සයෙක් හම්බවෙන එකකුත් නෑ. කොහොමත් මං ආපහු මැරේජ් එකක් ගැන හිතන්නෙ නෑ රන්දික. මට ඕනේ ඔයාවත් මේ ප්‍රශ්න වලින් නිදහස් කරන්න.”

සංකල්පනී බිම බලා ගත්තේ හිතා මතාමය. ඒ දෑස් දැවිල්ලකින් රිද වූ  කඳුළු දෙපේළියක් කොපුල් තෙමා බේරී  යමින් තිබිණ. විශ්වාසය. දැන් සිතෙහි ඇත්තේ එකම එක ලෝබකමකි. ඒ ඔහුය.

“මං හිතුවා ඔයා ආපහු මාව දාලා යන එකක් නෑ කියලා.”

සංකල්පනී හිස එසවූයේ ඔහු එ⁣සේ පැවසුවාට පසුවය. ඒ දෑස් වලත් කඳුලක් දිළිසෙනු ඕ හොඳටම දුටුවාය.

“ඔයා ඩිවෝස් එක ඉල්ලලා කරදර කරද්දිත් මං ඒකට ඉක්මන් නොවුනේ ඔයා ආපහු කවදහරි මගේ ළඟට එයි කියලා හිතුණු නිසා. ඒත් අන්තිමට ඔයා ධනුක එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න ඕනේ කියලා දිගින් දිගටම කියද්දී අමාරුවෙන් හරි හිත හදාගෙන ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාට ඩිවෝස් එක දෙන්න එකඟ වුණා. ඒත් මොකක්දෝ හේතුවකට මං හිතුවා ආපහු කවදාවත් ගෑනු කෙනෙක් මගේ ජීවිතේට සම්බන්ධ කරගන්නේ නෑ කියලා. ඔයා මේ ගෙදර ඉඳිද්දි මට නොහිතුණු තරම්, ඔයාට දෙන්න බැරි උන තරම් ආදරයක් ඔයා ගැන මගේ හිතේ තියනවා කියලා මං දැන ගත්තේ ඒ කාලෙදි. ඇත්තටම මං ආදරේ කරන්න දැනගෙන ඉඳපු මනුස්සයෙක් නෙමෙයි සංකල්පනී. සමාවක් දෙන්න බැරි තරම් මං ඔයාට වැරදි කළාද…?”

“අනේ මොනවද රන්දික  මේ කියන්නේ. එහෙම කියලා මට පව් පුරවන්න එපා. ඔයා..ඔයා…බෝධිසත්වයෙක් වගේ මනුස්සයෙක්. මිනිස්සු වචන වලින් මවාපාන බොරු ආදර කතා ඇතුලේ ගෑනු හරි ඉක්මන්ට අතරමං වෙනවා. ඔයාගේ හිතේ මං ගැන තියෙන්නේ ගැඹුරු හැඟීමක් කියන එක මං තේරුම් ගත්තේ ඔයා මාව එක් කරගෙන යන්න අර ඇනෙක්ස්  එකට ආපු වෙලාවේ. වෙන කෙනෙක් නං ධනුක ගැන දැනගත්තට පස්සේ ‘උඹට හොඳ වැඩේ…’කියලා නිහඩ වෙනවා මිසක්කා මේ විදිහට මගේ හිත හදන්න මාව ජීවත් කරවන්න උත්සාහ කරන්නේ නෑ. ඔයා හරි ලස්සන ආදරවන්තයෙක්. හරි ලස්සන මනුස්සයෙක්. ඔයා වගේ කෙනෙක් හිමි වෙන්න ඕනෙ මං වගේ නරක ගෑනියෙක්ට නෙමෙයි.” 

“ඒ අතීතය අමතක කරලා අපිට අලුත් ජීවිතයක් පටන් ගන්න බැරිද සංකල්පනී. ඔයා ඕන තරම් කාලය ගන්න. මං උත්සහ කරන්නම් මගේ හිතේ තියෙන ආදරේ ඒ විදිහටම ඔයාට දෙන්න…”

දෙදෙනා අතර ගතව ගියේ නිහඬ තත්පර කිහිපයකි. 

“ඔයාට පුළුවන්ද එහෙම කරන්න. මං දිහා කවදාවත් වැරදි ඇහැකින් නොබලා ඉන්න. මං  අයාලෙ ගිය ගෑනියෙක්  කියන සිතුවිල්ල ඔයාගේ හිතින් අයින් කරන්න. කවදාවත් වචන වලින් මාව රිද්දවන්නේ නැතුව ඉන්න. ඔයාට පුළුවන්ද. කවදහරි මිනිස්සු මේ ඇත්ත දැන ගත්තොත් මිනිස්සු ඔයාට හිනා වෙයි. ඔයාට පුළුවන්ද ඒ වචන දරා ගන්න…”

ඕ එසේ ඇසුවේ නොහඬමිනිය. සංකල්පනීට උවමනා වූයේ ඒ ඇත්ත ඔහුට පහදා දෙන්නටය. 

රන්දික හිස වැනුවේ ඇය එසේ  අසද්දීය. අවසන මුලින්ම නැගී සිටියේ ඔහුය. ඒ අනුව නැගී උන් සංකල්පනී ඒ පිරිමි පපුවට හිස තබා ගත්තේ දෑත් දෙපසින් යවා ඔහුව තුරුළු කරගෙනය.

“අපි දෙන්නටම අතීතයක් තිබුණෙ නෑ සංකල්පි. හැබැයි අනාගතයක් තියෙයි.”

අවසන ඔහු එසේ පැවසූයේ ඒ නළලත මෘදුව සිප ගන්නා ගමන්ය

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here