මලක් වී යළි පිපෙන්නම් – 74

0
83

“මේ වෙලාවේ හොඳම දේ තමයි අපි ධනුකව සැක කරන්නේ නෑ කියලා පෙන්නන ගමන්,  එයාට නිදහස දීලා කවුද එයාගේ පස්සෙ ඉඳගෙන එයාව මෙහෙයවන්නේ කියන එක හොයාගන්න එක..”

ඉහළ පොලිස් නිලධාරියා පැවසූයේ ඒ අයුරින්ය. කොහොමටත් නුදුරේදී පවත්වන්නට නියමිත ජාත්‍යන්තර ප්‍රසංගය නිසා පොලිසියේ සහය නිරතුරුවම ඔවුන් වෙත ලැබී තිබිණ. ඒ පිටුපස උන් පුද්ගලික ආරක්ෂක අංශද කිහිපයකි. රහස් පොලිස් නිලධාරීන්ද අවධානයෙන් පසු වූයේ ඒ ප්‍රසංගය සඳහා ජාත්‍යන්තර සුපිරි තරු සහභාගී වන නිසාත්, ඔවුන්ගේ ආරක්ෂාවට වගකිවයුතු නිසාත්ය. 

චාරුක යළි නිවසට ගියේ මධ්‍යම රාත්‍රියේය. 

“චූටි නෝනා මෙතනට වෙලා ඇහැරගෙන හිටියා. නෝනට චුට්ටක් සනීප මදි වගේ. මං බලෙන් බලෙන් කිව්වට පස්සේ තමයි නිදාගන්න කාමරේට ගියේ.”

සෝමා එසේ පැවසූයේ චාරුක උඩුමහලට නගිද්දීය. ‘කෑම සූදානම් කරන්න එපා’යැයි ඔහු ඇයට පැවසූයේත් නිවසට පැමිණි සැණින්මය. 

පඩි දෙක තුනක් නැග සිටි චාරුක ආපසු පහත මාලයට පැමිණියේ සෝමා එසේ පැවසුවාට පසුවය. වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ආදරයත්, ජීවිතයත් බෙදා ගත් කාමරයට ඔහු එබුනේ දින ගණනාවකට පසුවය. කොට්ටයක් තුරුලු කරගත් ඈ නිදා සිටියේ රෑ ඇඳුමටවත් මාරු නොවීය.

චාරුක නුලාරාගේ නළලතටත්, ගෙලටත් අත තබා බැලුවේය. එහි වූයේ රස්නයකි. තත්පර  කිහිපයක් එලෙසම උන් ඔහු ආපසු හැරුනේ ‘නුලාරා වේදනානාශක පෙති බිව්වේ’දැයි සෝමාගෙන් අසන්නටය. එහෙත්  එකවරම ඇය සිහිනයෙන් මෙන් කියවූ යමක් අසා ඔහු නතර වූයේය. 

“අනේ සෝමා…මහත්තයාට එන්න කියන්න. එයා මට නැති වෙයි කියලා මට හරි බයයි. එයාව මට ඕනේ. එයාව මගෙන් කවුරු හරි උදුර ගත්තොත් මම එක තත්පරයක්වත් ජීවත් වෙන්නේ නෑ…එයාට එන්න කියන්න සෝමා…මං බලන් ඉන්නවා කියලා කියනවාද….”

යන්තමින් ඇසුණු ඒ හඬ ඔහුට හොඳටම තෝරා බේරා ගැනීමට හැකි වූයේ ඒ සමීපයේම උන් නිසාය. යළිත් තත්පර කිහිපයක් ඈ දෙස බලා උන් චාරුක කාමරයෙන් පිට වූයේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය. 

“සෝමා නෝනා පේන් කිලර්ස් මොනවා හරිගත්තද?”

“නෑ මහත්තයා. අද නෝනා හරි අමුතුයි. ඔතන පුටුවට වෙලා වාඩිවෙලා කියව කියව හිටියා. නොතේරුම්කමට හරි නෝනා හිතපු දේවල් ගැන දැන් පසුතැවෙනවා කියලා මට හිතෙනවා. අපේ සුදු මහත්තයත් දැන් ඔය තරහා මරහා  අමතකක කරන්න.”

“සෝමා මේ පෙති දෙක එයාට ගිහින් දෙන්නකෝ. මේකට උන අඩු වෙලා යයි. බලෙන් හරි නැගිට්ටවලා පොවන්න. මං කෝ කියලා ඇහුවොත් එන්න තව ටිකක් පරක්කු වෙනවා කිව්වා කියන්න. අනිත් එක සෝමා අද ඔයාට පුළුවන්නම් නෝනගෙ කාමරේ බිම  මෙට්‍රස් එකක් දාගෙන නිදා ගන්න.”

එසේ පැවසූ චාරුක උඩුමහලට නැගුනේය. ඇඟපත සෝදා සැහැල්ලු ඇඳුමකට මාරු වූ ඔහු යළිත් පහත මාලයට පැමිණියේ ඉක්මනින්මය.  සෝමා ස්ටෝරු කාමරයෙහි වූ මෙට්ටයක් රැගෙන නුලාරාගේ කාමරයට යන අයුරු චාරුක දුටුවේ එවේලෙහිය. ඔහුගේ මුව මත සටහන් වූයේ සිහින් මන්දස්මිතයකි. 

“ලොකුකමනං තියෙනවා ගමකට. මං දන්නවා දැන් ඔය ඉන්නේ මමත් එක්ක කතා කරන්න තියෙන ලැජ්ජාවටනේ”

අවසන ඔහු තමාටම මුමුණා ගනිමින් විසිත්ත කාමරයෙහි වූ සුවපහසු අසුනක් මත වැතිරුණේ යළි උඩුමහලට නොයාය. නුලාරා නිදා උන් කාමරය පෙනෙන තෙක් මානයෙහි වූ ඒ අසුන සුවපහසු එකක් වුවත් රාත්‍රිය ගෙවී ගියේ නින්දත් නොනින්දත් අතරේය. ඒ අතරේ ඔහු කිහිප වතාවක්ම සෝමාට කතා කරමින් ඇගේ සුවදුක් විමසා බැලුවේය. 

                              ****************

දෙවෙනි ගමනට සහභාගී වූ රන්දික යළි පැමිණියේ රාත්‍රී අටට පමණය. අන් සියලු ඥාතීන් මගින්ම හැරී ගොස් තිබිණ. රන්දික සිටියේ වෙහෙසකර අයුරින්ය. 

“කොහොමද ඔයාට…”

ඇඟපත සෝදාගත් ඔහු කාමරයට පැමිණෙද්දී සංකල්පනී සිටියේ ඇඳ මතට වී සුදු බිත්තියේ තනිය මැකූ කොළ හැලී වියලී ගිය ගසක් ඇඳ තිබූ චිත්‍රය දෙස බලාගෙනය. සම්පූර්ණ චිත්‍රය පුරා වූයේ කාශ්ඨක බවක් හා අඳුරකි. එහෙත් දෑස් වෙහෙසවා බලා සිටින්නට ආසා හිතෙන තරම් ආකර්ශනයක් එහි විය.

“මොනවද කල්පනා කරන්නේ…”

“මොනවද මගේ ජීවිතේට වුණේ කියලා. මගේ ජීවිතෙත් අර ආට් එකේ තියෙන ගහ වගේ.

“ඒ ගහට උනත් මේ උදාවෙලා තියෙන්නේ එක කාලයක් විතරයි. ආපහු වැස්ස පටන් ගත්තට පස්සේ ඔය ගස් දළු දාලා සරුවට වැඩෙනවා. ඒ වගේ අමාරු කාලයක් පහු කළාද කියල හිතාගන්න බැරි තරමටම කොළ පාටින් ලස්සන වෙනවා. මිනිසුන්ගේ ජීවිතත් ඒ වගේ.”

රන්දික පැවසූයේ මදක් එහාට වන්නට වූ පුටුවෙන් අසුන් ගෙනය. ඒ කතාබහ පවා වෙනස් වී ඇතැයි සංකල්පනීට  සිතුනේ එවේලෙහිය. 

“හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණාද?”

“මං හිතනවා. ඒ මල්ලි හරි හොඳ කෙනෙක්.”

“නංගි උනත් එහෙමයිනේ. හරි පොඩි කාලෙක එයා මහ ගෑනියෙක් වගේ මේ ගෙදර හැම වගකීමක්ම බාර ගත්තා. වචනෙකින්වත් වදයක් කියලා හිතන්නෙ නැතුව අම්මගේ යුතුකම් වගකීම් ඉෂ්ට කරපු එකම කොච්චර ලොකු දෙයක්ද?”

“ඔය අම්මට කතා කළා කියලා මට සර්වන්ට්  කිව්වා.”

“ඔව් රන්දික. අම්මා හිතන් ඉන්නෙත් මම රට ඉඳලා ආව කියල. අම්ම මගේ අත්දෙක අල්ලගෙන ඉම්බා. එයා කියනවා ඔයා මම රට ඉන්නෙ කියල කිව්වට එයාගේ හිතේ  බයක් තිබුණලු මං ආයේ එන එකක් නැති වෙයි කියලා. ඇයි අම්මට නොකියම ගියේ කියලා අහනවා. ඔයා කිව්වලු අම්මට දුක හිතෙයි කියල තමයි නොකියා ගියේ කියලා”

රන්දික මඳ සිනහවක් මුවගට නඟා ගත්තේ එවේලෙහිය. සංකල්පනී ඒ සිනහව දෙස බලා සිටියේ දෑස් මත්තේ කඳුලක් තබාගෙනය. “මං නැතිකර ගත්තේ මට කොච්චර ආදරේ කරපු මිනිස්සුද…?” ඇයට එසේ සිතුනේ දහවල රන්දිකගේ මවගේ කාමරයට වී ගත කළ විනාඩි කිහිපයේදීය. එහෙත් ඒ බවක් ඈ රන්දික හා පැවසූයේ නැත. 

“ධනුක දිගින් දිගටම මට ගත්තා. මම ෆෝන් එක ආන්සර් කළේ නෑ. 

ඊට පස්සේ ලොකු කතාවක් කියන්න තියෙනවා කියලා මැසේජ් එකක් දාලා. ඒ හැමදේම ආවට පස්සේ කියන්නම් කියලත් තියෙනවා. හෙට හවස එයා එනවා කියලත් තියෙනවා.”

“ඔයාට හිතෙනවද ඒ කතාව අහන්න යන්න ඕනේ කියලා.”

“එයා ඔය කරන්න හදන්නේ පාපොච්චාරණයක් වෙන්න ඇති. මට ඒක අමුතු කතාවක් නෙමෙයි රන්දික. ඒ කතාව අහන් හිටියා කියලා මං මොනවා කරන්නද. තමන්ගේ නෙමෙයි කියලා දැනෙන්න තැනක රැඳිලා ඉන්න එක ගෑනියෙකුට ලොකු වේදනාවක්. මං එයාගේ ළඟට ගියේ මගේ හිතේ තිබුණු හිස්කම පුරවගන්න. එයා මේ විදිහට රැවට්ටුවේ එයාව විශ්වාස කරගෙන ආපු ගෑනියෙක්ව. ඒ කතාව අහලා ආපහු හැරෙන්න මට ඕනේ නෑ. ඔයාට පුළුවන්නම් මට ටික දවසක් මේ විදිහට මෙහේ ඉන්න දෙන්න. ඇත්තටම මට දැන් ඕනේ කොහේ හරි රටකට ගිහිල්ලා මේ හැම දෙයක්ම අමතක කරලා නිදහසේ ජීවත් වෙන්න. මම හෙට ගිහිල්ලා පාස්පෝට් එක ඒජන්සි එකකට දෙනවා. සමහරවිට මට ඒකට චාරුකගෙන් උනත් උදව්වක් ගන්න පුළුවන් වෙයි. ආයෙත් මේ ජීවිතේ වරද්දගන්න මට බෑ”

“එහෙම ගිහින්..”

“අවුරුදු දෙක තුනක් යද්දි මම මොනවද කරන්න ඕනේ කියලා තීරණය කරන්න මට පුළුවන් වෙයි රන්දික. සමහර විට මං වෙනස් කරන්න උත්සාහ කළාට මේ මං පතාගෙන ආපු ජීවිතේ වෙන්න ඇති. හැමදේකටම ඕන කරන්නේ කාලය. මං කැමතියි මගේ ජීවිතේටත් ඒ කාලය දීලා බලන්න. ඔයා මට එක පොරොන්දුවක් දෙන්න.”

“ඒ මොකක්ද ඒ…”

“අපි කතා කර ගතපු විදිහටම ඩිවෝස් වෙමු. දැන් ඔයාගේ ජීවිතේට අලුත් කෙනෙක් එන්න ඕනේ රන්දික. ඔයාව හොඳින් බලා ගන්න, අම්මට ආදරේ කරන නංගිට හොඳ අක්ක කෙනෙක් වෙන්න පුළුවන් කෙනෙක්. මනුස්සයෙකුට හැමදාම වරදින්නේ නෑ. ඔයාට වැරදුනා නෙමෙයි. මං ඔයාගේ ජීවිතේ වැරැද්දුවා. මං ඉවසීමක් නැති ගෑනියෙක් උනා. ආපහු එහෙම වෙන එකක් නෑ.” 

“දැන් රෑ වෙලා. නිදා ගන්නකො අපි පස්සේ ඔය ගැන කතා කරමු.”

රන්දික කාමරයෙන් පිටව ගියේ ඇගේ හිසත් අත ගෑවාට පසුවය. දිගු සුසුමක් මුදා හරිමින්  සංකල්පනී  අනෙක් පස හැරුණත් නින්ද ඒ දෑස් මානයට නො ආ තරම්ය. ඒ දෑස් වලින් නොනවත්වා ගලා ගිය කඳුළු තමා පිළිබඳවම උපන් ආත්මානුකම්පාවට උපන්  ඒවාය. තමා අහිමි කරගත්තේ ආදරණීය හදවතක් බව විශ්වාසය. ආපසු හැරී මේ ජීවිතය වෙනස් කරන්නට හැකි වූවානම් එදා ඒ මංගල උත්සවයේදී ධනුක දෙස යාන්තමින්වත් හැරී නොබලන්නට තිබිණ. ඔහු හා කතා කරන්නට, දුරකථන අංක හුවමාරු කරගන්නට සිතක් නූපදවා ගන්නට තිබිණ. පැය ගණන් වරු ගණන් දුරකථනයෙන් කතා කරමින් ඒ වචනවල හුරතල් වෙමින් ආදරය නොසොයන්නට තිබිණ. රන්දික සමඟ වචන හුවමාරු කර ගනිමින් ඔහුගේ සිත රිදවමින් මේ නිවසෙන් පලා නොයන්නට තිබිණ. තමා නොවටිනා ගැහැණියකය යන සිතුවිල්ල සංකල්පනීය ගේ සිතට වද දෙමින් තිබුණේ උපරිමයෙන්ය. ගැහැණුකම රකින්නට ආරක්ෂා කරගන්නට වෙහෙස නොවූ තමා පිළිබඳව ඒ සිතට දැනෙන්නට වූයේ කෝපයකි. විවාහක කාන්තාවක ලෙස ⁣ජීවිතය ගැන දෙවරක් සිතන්නට තිබිණ. මේ අවතක්සේරුවට ලක් වූයේ වටිනාකම් බොහෝමයක් ලැබෙන්නට තිබූ ජීවිතයක්ය. එනිසාම රන්දිකගේ ජීවිතයට ඒ අවතක්සේරුව එකතු කරන්නට ඇයට සිතුනේ නැත. ඔහු තවදුරටත් ගෞරවාන්විතව ජීවත් විය යුතු මිනිසෙකි. ⁣අද හෙට නොවූවාට අනාගතයේදී හෝ මිනිසුන් තමා ගැන කතා වනුඇත. ඒ කතවලදී රන්දිකගේ නම නොකිවයුතුය.

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here