නුලාරාගේ වෛද්‍ය වාර්ථාවල වෛරස් හෝ ඩෙංගු රෝගී ලක්ෂණ නොවූ බව පැවසූයේ වෛද්‍යවරයාය. එනිසාම මෙය හදිසි කම්පනයක්, ආතති තත්ත්වයක් නිසා ඇති වූ රෝගී තත්වයක් බව ඔහු පැවසුවේය. තවත් වෛද්‍ය වාර්ථා කිහිපයක් ලබාගත යුතු වූ හෙයින් නුලාරාට එදිනත් රෝහලේ රැඳී සිටීමට සිදුවන බව ඔහු දැනුම් දුන්නේය.
“බබා සැරින් සැරේ මැඩම්ම හොයනවා සර්…”
එසේ පැවසූයේ චාරුකට කතා කළ හෙදිය ය. තවත් වෛද්‍ය වාර්ථාවක් ලැබීමට ඇති බවත්, ඉන් නුලාරාගේ රෝගී තත්ත්වය කුමක්දැයි හරි හැටිම සනාථ කරගත හැකි බවත් පැවසූ වියපත් වෛද්‍යවරයා ඉන්පසුව බබාව රෝහල් කාමරයේ තබා ගත හැකි බව පැවසුවේය.
උදෑසන වන විට උණ රෝගය පහව ගොස් තිබුණත් නුලාරා දිගින් දිගටම වූයේ කල්පනාවකය.
“මං එයාට ඊයේ ටිකක් තදින් කතා කළා පුතා. මං කිව්වා ඔයා තවදුරටත් චාරුක පුතාගේ ජීවිතයට වදයක් කරදරයක් වෙන එක නතර කරන්න ඕනේ කියලා. එහෙම නොවෙනවනම් ඔයා කරුණාකරලා මෙහේ ඇවිල්ලා අපිත් එක්ක නතර වෙන්න කියලා. චාරුක පුතාට එයාගේ ජීවිතේ නිදහසේ ගත කරන්න අපි ඉඩ හදලා දෙන්න ඕනේ කියලා මං කිව්වා. ඒ වෙලාව එයා මගෙන් ඇහුවා ඔයා මොනවද කිව්වේ කියලා. මං කිව්වා චාරුක පුතා ඉන්නේ හරි කලකිරීමකින්, සමහරවිට මේ හැම දෙයක්ම දමල ගහලා අම්මා තාත්තා ළඟට උනත් යන්න පුළුවන් කියලා.”
චාරුක සිතාරාට කතා කළේ උදෑසනය.
“අම්ම දැන් බබාට ප්‍රශ්නයක් නෑ කියන එක මම දන්නවනේ. කලබල වෙලා හොස්පිට්ල් එකට එන්න එපා. තාත්තට මේ ගැන කියන්නත් එපා. අම්මා තාත්තව බලා ගන්න. මට මෙහේ සිටුවේෂන් එක හැන්ඩ්ල් කරගන්න පුළුවන්. මං බබාට කිසි දෙයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ අම්මා”
“මිසිස් රඹුක්වැල්ලට නින්ද යන්න දීපු බෙහෙත් එක ටිකක් ෆවර් ෆුල්. එයා ඉන්නෙ මානසික ආතතිය වගේ තත්වෙක නම් නින්ද හරි වැදගත්. ඒ නිසා එයාම ඇහැරෙනකං එයාව ඇහැරවන්න යන්න එපා.”
වෛද්‍යවරයා යළිත් එසේ පැවසූයේ උදෑසන රෝහල් කාමරයට පැමිණ ඇයව පරීක්ෂා කළාට පසුවය.
කෙටි කාලයක් තුළ මේ ජීවිතයේ සිදු වූයේ සිහිනයෙන්වත් මුහුණ දෙන්නට සිතා සිටි ප්‍රශ්න, ගැටළු නොවේ. ඒවාට විසඳුම් සොයා ගැනීමද ලෙහෙසි පහසු වූයේ නැත. පවුල් ජීවිතයක් තුළට, දෙදෙනෙකු අතරට සැකය නැමැති විසබීජය පැමිණියහොත් ජීවිත විනාශ වී යන්නේ බලා සිටියදී. එය ශරීරය පුරා උඩුදුවා පැතිර යන පිළිකාවකට සමානය. කාලයක් තිස්සේම නුලාරා දෑස් වල කඳුළු පුරවාගෙන වාසය කළේය. ඉන් පසු තමාව ගණන් නොගනිමින් තමාගෙන් ඈත්ව සිටින්නට උත්සාහ දරමින් කාලය ගෙවී ගියේය. ඉන්පසු වචන හුවමාරු කරමින් රණ්ඩු සරුවල් ඇති කරගන්නට පටන් ගත්තාය. ඉන් පසුව ගෙවී ගිය කාලය තුළ ඔහු අසාමාන්‍ය ලෙස නිහඬව සිටියාය. වෛද්‍යවරයා පැවසූ පරිදි මානසික ආතති තත්ත්වයේ පටන් ගැන්ම එයයි.
“අපි කොහොමටත් මිසිස් රඹුක්වැල්ලව මානසික රෝග වෛද්‍යවරයෙකුට පෙන්නමු. ඒක වඩා හොඳයි කියලා මං විශ්වාස කරනවා.”
වියපත් වෛද්‍යවරයා පැවසූයේ උදෑසනය. චාරුක ඔහුට එකඟව හිස වැනුවා විනා කිසිවක් පවසන්නට නොගියේය.
ඇයව තමාට අහිමි වේ යැයි බියෙන් මෙන් කිහිප වතාවත් ඒ කොපුළත්, නළලතත් උමතුවෙන් මෙන් සිප ගත් චාරුක යළිත් වතාවක් දෑස් පියා ගත්තේ ඇයව තම පපුවට තද කරගෙනය. හිත රිදුණු වාර ගණන අපමණය. කෝප ගත් වාර ගණනත්, කලකිරීමෙන් ගෙවී ගිය දින ගණනත් ඒ හා සමානය. එහෙත් ඇයව මේ ජීවිතයට අහිමිව යාවියැයි සිතද්දී චාරුක වෙව්ලා ගියේය. තවමත් ඒ ගෙවී ගිය කාලය පිළිබඳව ඔහු සිතෙහි වූයේ පුදුමාකාර ලෝබකමකි. සැබවින්ම ඇය රෝස මලක් සේ රූමත් වූවාය. ඒ සියල්ලටම වඩා ඈ ලඟ වූයේ පිරිමි සිතක් වසඟයට ගත හැකි හුරතලයකි. ඇගේ ආදරය තමා වෙනුවෙන්ම උපන් එකක් බව චාරුක දැන උන්නේය. තමාගේ ජීවිතයත් නිවසත් වර්ණවත් කළේ ඈය. තත්පරයකටවත් අහිමි කරගන්නට ලෝබ හිතෙනා තරමට ඇය තමාගේ ජීවිතය තුළ රස පිරුණු ඉසව් සොයා ගිය බව විශ්වාසය.
“චාරුක….”
යළිත් සිහින් කෙඳිරිල්ලක් නැගූ ඕ දෑත් දෙපසට විහිදුවමින් ඔහුව තුරුළු තුරුළු කර ගත්තේ බඳ වටා දෑත් යවමින්ය.
“මැණික….”
“හ්ම්….”
“ඔයාට දැන් සනීපයි නේද?”
“අනේ මට මෙහෙම ඉන්න දෙන්න කොහෙවත් යන්න එපා…”
“කොහේවත්ම යන්නේ නෑ. ඒ හැම දේම ඔයාගේ හිතේ විතරක් මැවුණු හිතළුවක් කියලා හිතලා අමතක කරලා දාන්න බබා. මං වෙනස් වුණේ නෑ වෙනස් වෙන්නෙත් නෑ. ඔයාට තරම් කාටවත් ආදරය කරන්නත් බෑ. විහිළුවටවත් එහෙම වරදක් මගේ අතින් වෙන්නෙත් නෑ.”
ඔහු මිමිණූයේ ඒ නළලතට දෙතොල් තබා ගෙනමය. පෙර දින නුලාරාට උණ සෑදී ඇතැයි සෝමා පවසද්දී චාරුක සිතා සිටියේ ඒ සාමාන්‍ය රෝගී තත්ත්වයක් යැයි කියාය. එහෙත් එළිවෙන තුරාම ඔහු පීඩා වින්දේ ඇයව තමාට අහිමි වේයැයි බියෙන්ය. ඒ අහිමි කර ගැනීමට මේ සිත කොහොමටවත් සූදානම් නොමැති බව විශ්වාසය.
“මට ඔයාව ඕනේ මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ. මට ඔයාගේ ජීවිතෙන් යන්න කියන්න එපා.”
යළිත් ඕ මිමිණූයේ මද ස්වරයෙන්ය.
“නෑ මැණික කවදාවත් එහෙම කියන්නේ නෑ. මේ වෙලාවෙත් මට ඕනෙම තැනක දිවුරලා කියන්න පුළුවන් මං වචනෙකින්වත් ඔයාට වැරැද්දක් කරලා නෑ කියලා. අපි අලුත් ජීවිතයක් පටන් ගමු හැමදේම අමතක කරලා. ඔයා ගෙදරට වෙලා බබා එක්ක තනියම ඉන්න ඕනේ නෑ. එයාට ලබන සතියට මාස තුනක් වෙනවනේ. මැණික මමත් එක්ක ඔෆිස් යමු. එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් මම මොන වගේ ෆීල්ඩ් එකකද වැඩ කරන්නේ කියලා. ඔයා ලෝකෙ ගැන දැනගන්න ඕන බබා. ඔයාගේ ගෙදරට වඩා, මගේ ගෙදරට වඩා එහා ලෝකයක් තියෙනවා කියන එක ඔයා අවබෝධ කරගන්න ඕනේ. මගේ ජීවිතේ හැම දෙයක්ම ඔයා වෙලා තියෙද්දි ඇයි මං වෙන කෙනෙක් ගැන හිතන්නෙ. මං ගොඩක් විඳෙව්වා. ඔයා මාව සැක කරද්දි, ඔයා මාව ප්‍රතික්ෂේප කරද්දී මං ගොඩක් විදෙව්වා. මේ හැම දෙයක්ම අතෑරලා දාලා මට කොහේ හරි යන්න හිතුනා. නිර්දෝෂී මනුස්සයෙකුට ඒ සැකය බර වැඩියි බබා. ඒ හැමදේම අතීතයට බාර දීලා අපි අලුත් ජීවිතයක් පටන් ගමු. මගේ ජීවිතේ හැම හුස්මකම ඉන්නේ ඔයා විතරයි. ඒක කොහොමටවත් වෙනස් වෙන දෙයක් නෙවෙයි.”
නුලාරා මදක් ඉස්සී ඔහුගේ දෑස් දෙස බැලුවේ එවේලෙහිය. එහෙත් ඈ ඔහුව අල්ලාගෙන උන් ඒ දෑත් තත්පරයකටවත් ලිහිල් නොකළාය.
“අපේ ජීවිතේට පිටස්තර තුන්වෙනියෙක් කොහොමටවත් ඇතුල් කරගන්න එපා. අද වගේම අනාගතයෙදීත් මගේ අතින් එහෙම වැරැද්දක් වෙන්නෙ නෑ කියලා මං ඔයාට විශ්වාසයෙන්ම කියනවා. මේ ජීවිතය ඇතුලේ ඔයයි මමයි අපේ දරු පැටව් ටිකයි විතරක් හිටියහම ඇති. ඒත් ලෝකෙත් එක්ක අපි ඉස්සරහට ඇවිදගෙන යන්න ඕනේ මැණික. එතකොට ඔයාටවත් මටවත් එක රාමුවක හිර වෙන්න බෑ. ගැහැණු පිරිමි භේදයක් නැතුව අපිට ඇසුරු කරන්න වෙන සමහර තැන් තියෙනවා. ගැහැණියක්, පිරිමියෙක් ලඟින් ඇසුරු කරනවා කියලා කියන්නේ ඒ හැම තැනකම තියෙන්නේ ආදර කතාවක් නෙමෙයි. ඒ හැම තැනකම තියෙන්නේ ආසාවන් මුල් කරගෙන ඇතිවෙච්ච සම්බන්ධකම් නෙමෙයි. සමහර තැන්වල හොඳ යාළුකම්. සමහර තැන්වල වෘත්තීය සම්බන්ධකම්. සමහර තැන්වල හිතවත්කම්….”
“මට දැන් හැම දෙයක්ම තේරෙනවා…”
“මැණික.. තමන්ගේ වයිෆ් ගැන හිත තෘප්තිමත්නං.. තමන්ගේ හස්බන්ඩ් ගැන හිත තෘප්තිමත්ත්නම් මිනිස්සු බාහිර සම්බන්ධකම් හොයාගෙන යන්නේ නෑ. එහෙම නොවුනු තැන්වලදිත් ඉවසීමෙන් උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන් ඉන්න පිරිමින් වගේම ගැහැණුත් මේ ලෝකේ ඉන්නවා. එතනින් මම ඔයා ගැන, ඔයාගේ රූපෙ ගැන, ඔයාගේ හොඳ ගතිගුණ ගැන, ඔයාගේ මේ ආදරේ ගැන, ඔයා මට දෙන ශක්තිය ගැන මං උපරිමයෙන්ම තෘප්තිමත්. මුලින්ම අපි විවෘතව ලෝකෙ දිහා බලන්න අපේ ඇස් පුරුදු කරගන්න ඕන බබා.”
“මට බය හිතුණා ඔයාව මට නැති වෙයි කියලා.”
“මං ඒක දන්නවා. ඒකයි සමහර විට කේන්ති ගන්න ඕන තැන්වලදීත් මං නිහඬ වුණේ. මං දන්නව ඔයා මේ හැම දෙයක්ම කලේ ඔයාට මාව නැති වෙයි කියලා හිතුණු බය නිසා කියලා. එහෙම නෑ මැණික. මගේ ඔෆිස් එකේ වැඩ කරන ලේඩිස්ලා, තරුණ ගෑනු දරුවෝ ඒ වගේම පිටින් ඉඳගෙන අපිත් එක්ක වැඩ කරන්න සම්බන්ධ වෙන ලේඩිස්ලා මේ කිසිම කෙනෙක් ගැන මට විශේෂයක් නෑ. හැබැයි එයාලගේ වෘත්තිය තුල එයාලගේ දක්ෂතාවය, කැපවීම අපිත් එක වැඩ කරන ක්‍රමය අගය කරන්න ඕන තැනදී මම ඒක අගය කරනවා. මම හිතන්නේ ඒක හොඳ බොස් කෙනෙක්ගේ ලක්ෂණයක්. අපි හැමෝම කැමතියි බබා අපේ සේවයට වටිනාකමක් ලැබෙනවනම්. ඒක මුදලම නෙමෙයි. මම කැමතියි මගේ ඔෆිස් එකට එන ඕනම කෙනෙක් තෘප්තිමත් හිනාවකින් ආපහු පිටවෙලා යනවනම්. මම මේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මගේ තාත්තා දිහා බලන් ඉඳලා. මැණික….අපේ මේ ජොබ් ඇතුලේ අපි හැමෝම හරි බිසී චරිත. සමහර වෙලාවට ඒ නිසාම මේ ගොඩක් අයට තමන් ආදරේ කරන අය මිස් වෙනවා. මං හිතන්නේ මේ වෘත්තිය ඇතුලේ ගොඩක් අය ඩිවෝස් වෙන්න හේතුවත් අන්න ඒ තේරුම් නොගැනීම. මේ ජීවිතය ඇතුළෙ අවිවේකී මනුස්සයෙක් වෙච්ච මම හැමදාම හෙව්වේ හිත නිවන තැනක්. මං ගෙදර එනකොට වයිෆ් ගෙදරින් පිටවෙලා යන, එයා ගෙදර එනකොට මට ගෙදරින් පිටවෙලා යන්න සිද්ධ වෙන, ජීවිතේ ගැන අපි ගැන විනාඩි පහක් එකට වාඩිවෙලා කතා කරන්න බැරි තරම්, එකට තුරුල් වෙලා විනාඩි දහයක් ආදරය කරන්න බැරි තරම් බිසී වෙන වයිෆ් කෙනෙක් මට ඕන වුණේ නෑ මැණික. අපි දරුවෝ එක්කෙනයි හදන්නේ දෙන්නයි හදන්නේ කියලා වාරණ දාගෙන දරු පැටව් වෙනුවෙන් වෙන් කරන්න ඕන කාලයක් තමන්ගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් වෙන් කරන වයිෆ් කෙනෙක් මට ඕන වුණේ නෑ. ඒ හැම දේකටම වඩා කැමරාවක් ඉස්සරහා අපේ පවුල් ජීවිතේ විහිළුවට ගන්න විදිහේ වයිෆ් කෙනෙක් මට ඕන වුණේ නෑ. මං දන්නෙ නෑ බබා ලෝකේ මෙච්චර දියුණු වෙද්දි මම සාම්ප්‍රදායික ගෑනියෙක් හොයන සාම්ප්‍රදායික මිනිහෙක්ද කියලා. මං ආසයි ගෙදර එනකොට මං එනකල් බලන් ඉන්න ඔයාගේ ආදරේ පිරුණු ඇස් දෙක දකින්න. අර ඉස්සර වගේ මං වෙනුවෙන් චූටි කෑමක් හදලා තිබ්බහම ඒකේ රස බලන්න. මගේ දරු පැටව් තුරුළු කරගෙන ඒ ගොල්ලන්ට ආදරය කරන හැටි බලන්න. මගේ මුළු ලෝකෙම ඔයාගේ ආදරෙන් පුරවගන්න. මගේ ළඟ හුරතල් වෙවී අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ ජීවිතයේ හරි ලස්සනයි බබා. හබැයි ඔයා යමක් ඉගෙනගන්නවනම්, යමක් කරනවනම් මං ඒකට විරුද්ධ වෙන්නෙත් නෑ බබා.අපි හැමෝටම ස්වාධීන ජීවිතයක් තියෙන්න ඕනෙ.
“මට සමාවෙන්න හැමදේකටම මට සමාවෙන්න. අපේ අම්මා කියන්න වගේ මං හැම දෙයක්ම කරලා තියෙන්නේ මහ මෝඩ ගෑනියෙක් විදිහට. මට ඔයත් එක්ක ඔෆිස් යන්න ඕනෙ නෑ. අදින් පස්සේ කවදාවත් මම ඒ වරද කරන්නේ නෑ. තේජන, සංකල්පනී, අම්ම විතරක් නෙමෙයි අර කිසිම දෙයක් නොදන්නවා කියලා අපි හිතපු සෝමත් මට ජීවිතය ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ හැම දේකටම වඩා ඔයා මට නැතිවෙයි කියලා බයක් හිතට එද්දි මං මං ගැනම ලැජ්ජජ වුණා. පහුගිය කාලේ මං හැසිරිලා තියෙන්නේ මහ මෝඩ විදිහට..මට ලැජ්ජයි. මං ගැනම ලැජ්ජයි.
“අපි ඒවා ගැන කතා නොකර ඉමු බබා. ඒ හැම දෙයක්ම අතීතයක් විතරයි. මේ වර්තමානය ඔයාගයි මගෙයි දෙන්නගෙම.” එසේ පවසා ඇගේ නළලත සිප ගනිද්දීත් ඒ පිරිමි ඇස්වල වූයේ කඳුළකි.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


