වර්ණ ඇඩ්වර්ටයිසින්හි සංවස්සරික ප්‍රසංගය සඳහා සියලු තීන්දු තීරණ ගත්තේ චාරුකත්, අමායාත් , තේජනත්, එක්වය. ඒ බොහෝ තැන්වලදී චාරුක ඔවුන් දෙදෙනාට සවන් දීගෙන සිටියා පමණි. මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ඔවුන්ගෙ වෙහෙවීම් මත සිදු වන්නකි.
කිසිවෙකුට කියාගැනීමට නොහැකි කුමක්දෝ හැඟීමක් ඔහුගේ සිතට මෙවේලෙහිත් දැනෙමින් තිබිණ. ඒ බියකට, දුකකට සමාන වූ හැඟීමකි..නුලාරාව සතුටින් තබන්නට කෙතරම් උත්සාහ කළත් චාරුක දුටුවේම ඇගේ සුදුමැලිව ගිය වතය. එක් වරක් දෙවරක් නොව දහ පහළොස් වතාවක්ම ඔහු වෛද්‍ය මිතුරා හා තම බිරිඳ ගැන සාකච්ඡා කළේය. ඔහු සපථ කරමින් පැවසූයේ ඇයට කිසිඳු ශාරීරික පීඩාවක් නොමැති බවය. එහෙත් වෛද්‍යවරයාගේ වචන වලින් සිත හදාගන්නට හැකියාවක් චාරුකට වූයේ නැත. පසුගිය දිනවල ඔහු කාර්යාලීය වැඩ පවා අතපසු කරමින් නුලාරා හා වැඩිපුර කාලය ගත කරන්නට පෙළඹුනේය. එහෙත් ඒ බොහෝ දිනවලත් ඇය උන්නේ නිදන කාමරයට වී ගෙනය. ඇයව කැඳවාගෙන නිවසින් පිටතට යාමට උත්සාහ දැරූ සෑම අවස්ථාවකම නුලාරා “මට මහන්සි චාරුක අයියේ…” යනුවෙන් පැවසුවාය.
සෝමා පැවසූයේ ඇගේ ආහාර රටාව පවා වෙනස් වී ඇති බවය.
“මේ කාලෙට එහෙම යාන්තම් බඩ කට පිරෙන්න කාල හරියන්නෙ නෑනේ මහත්තයා තව කෙනෙකුටත් එක්ක කන්න එපැයි. ඇපල් ගෙඩියක්, කට්ලට් එකක් මොනවා හරි කාලා ජූස් එකක් බොනවා.”
සෝමාගේ වදත් මව්වරුන් දෙදෙනාටම පැවසූ පසුව ඔවුන් චාරුකගේ සිත හැදුවේ ‘සමහරුන්ට මේ කාලෙටත් කන්නම බැරි වෙනවා පුතා…’ යනුවෙන් පවසමින්ය. එනිසාම චාරුක බොහෝ අවස්ථාවල ඇය ප්‍රිය කරන කෑම තරු පන්තියේ හෝටල්වලින් ඇනවුම් කළේ ඇඟෙන් නොඅසාමය. එහෙත් ඒ බොහෝ කෑම වර්ග කවරයවත් විවෘත නොකර ඒ අයුරින්ම තිබෙන ආකාරය ඔහු බොහෝවර නිරීක්ෂණය කළේය.
“පුතේ ඔයා හම්බවෙන්න ඉන්නකොටනම් මට එහෙම වුණේ නෑ. හැබැයි අක්ක හම්බවෙන්න ඉන්නකොට ඔය මාස නවයම මං වැඩිපුරම කරේ වමනේ දාපු එක. කොච්චර උත්සහ කරත් සමහර වෙලාවට බඩේ ඉන්න දරුව වෙනුවෙන්වත් කෑම කටක් කන්න මට බැරි උනා. ඔයාට මතකයිනේ ඒ දවස්වල අපේ ගෙදර මට උයන්න උදවු උනේ බේබි ආච්චි. තාත්තා ඉස්සර බේබි ආච්චිට කියනවා කෑම වල සුවඳ නං නෝනට දැනෙන්න ඉඩ දෙන්න එපා කියලා. එතකොට වෙනම කිචන් එකක් ගෙදර තිබුණේ නෑ පුතේ. ඉතින් මේ බේබි ආච්චි දොරවල් වහලා එළියේ ගඩොල් ගල් තුනක් එකතු කරල තියාගෙන මට සුවඳ නොඑන්න සමහර කෑම හදලා ගෙනත් දෙනවා ‘නෝනා මේකෙන්වත් චුට්ටක් කන්න පුලුවන්ද කියල බලන්න’ කියලා. මොනතරම් බඩගින්නක් තිබුණත් මොනතරම් ආසාවක් තිබුණත් අනේ පුතේ කටට යන්තම් ගන්නකොටම මට වමනේ යනවා. එක එක්කෙනා මේ කාලේ ගත කරන විදිහ වෙනස්. ඔයා ඒ ගැන එච්චරටම වද වෙන්න එපා. නුලාරා දුව හොඳින් කියලා ඩොක්ටර් කිව්වනේ”
ඇමරිකාවට කතා කළ සෑම වතාවකම අම්මා පැවසූයේ ඒ අයුරින්ය. නුලාරාගේ අම්මාත් නිරතුරුවම පැවසූයේ චාරුකට කලබල නොවනා ලෙසය. නුලාරාගෙන් කිසිවක් නොඅසා සිටියාට ඇගේ මේ ස්වරූපය ගැන චාරුක උන්නේ තැවීමෙන්ය. බියෙන්ය.
“මචං….
තේජන කාර්යාල කාමරයට ඇතුළු වූයේ මින් තත්පර කිහිපයකට පෙර ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී තමා හමුවට පැමිණෙන්නයැයි පැවසූ නිසාය.
“අපේ ෂෝ එකේ වැඩේට ඔෆිස් එකට සම්බන්ධ නැති දෙතුන් දෙනෙක් පිටින් ගමු කියලා අපි කතා උනානේ බං…”
“ඔව් මං උඹත් එක්ක ඒ ගැන කතා කරන්නයි හිටියේ. මට හිතෙනවා සමහර වැඩ අපි එහෙම කීප දෙනෙක් අතරේ බෙදා ගත්තොත් හොඳයි කියලා. පාර්ට් ටයිම් වගේ”
“නුලාරාගේ යාළුවෙක්ගේ හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා. ඔය පොඩි බෑන්ඩ් එකක් හදාගෙන ෂෝ වල සිංග් කරන එකෙක්. මිනිහා අවුලක් නෑ. මේ පැත්ත ගැන දැනුමකුත් තියෙන හින්දා අපි මිනිහ වැඩේට සම්බන්ධ කරගමු. හැබැයි පාර්ට් ටයිම් නෙමෙයි බං. පර්මනට් එපොයිමන්ට් එකකින් පස්සේ”
“ඔව් ගැටළුවක් නෑ. නුලාරගේ යාළුවෙක්ගේ හස්බන්ඩ් කෙනෙක්නම් කොහොමටවත් ප්‍රශ්නයක් වෙන්නේ විදිහක් නෑනේ.”
“එහෙනම් මං මිනිහට හෙට එන්න කියලා කියන්නම්. උඹ කතා කරල බලලා ඉන්ටර්විව් එකක් කරලා අවශ්‍ය තැනකට යොදවපං. උඹ එකවුන්ට් ඩිවිෂන් එකත් එක්ක කතා කරලා මිනිහට පර්මනට් සැලරි එකත් ඇපෲ කරහං. මොකද මේ දවස්වල සංකල්පනී බබාට හරියට උදව් කරනවා. එයාගේ සෑහෙන්න වැඩ නවත්තගෙන ඇවිල්ලා අපේ බබා එක්ක කාලෙ ගත කරලා යනවා. ඒක මට මේ වෙලාවේ හැටියට ඔලුවට මාර සහනයක් බං. සෝමා කියනවා දෙන්න එක්ක කියව කියවා සතුටින් ඉන්නවලු”
“හරි මං ඒක බලන්නම්. දැන් කොහොමද උඹේ බිග් බේබිගේ තත්වේ..”
“ඒ තත්වේ එන්න එන්නම දරුණු අතට හැරෙනවා බං. සමහර වෙලාවට එයාට මං කතා කළත් කේන්තියි. මට ඒක නොකිව්වට එයාගේ රිඇක්ෂන් වලින් හොඳට ඒක දැනෙනවා.”
“තව වැඩි කාලයක් නෑනේ බං. මේ දවස් ටික පොඩ්ඩක් ඉවසීමෙන් ඉමු. ඩොක්ටර් සොහානුත් උඹට කිව්වනේ සමහර වෙලාවට මේ කාලේ හස්බන්ව පොඩ්ඩක් නුරුස්සන ගතියක් තියෙනවා කියලා.”
“නෑ බං මට ඉවසන එක නෙමෙයි අවුල එයා එහෙම ඉන්නකොට මට ඒක මාර අවුල්. හරියට නිකන් ලොකු අකමැත්තකින් මගේ ළඟ ඉන්නවා වගේ.”
“කොච්චර උනත් බං ඩිලිවරි ඩේට් එක ලං වෙද්දි හිතේ පොඩි බයක් වගේත් ඇතිනේ. මොකද කලින් ගතපු එක්ස්පීරීයන්ස් එකක් නෙමෙයිනේ මේ”
“බබාගේ අම්මත් ඔය ටික ඔය විදිහටම කිව්ව. මචං සොරි මචං උඹටයි, අමායටයි මාව මාර වදයක් වෙන්න ඇති. මං දන්නවා මේ දවස් ටිකේ මගේ වැඩත් එක්ක උඹල දෙන්න මාර බිසී වෙලා ඉන්නෙ කියලා. වචනයක්වත් නොකියා මට මේ කරන උදව්වම ඇති.”
“පිස්සුද චාරුක. මේක දැන් අපේ තැන. මිනිස්සු වැඩ කරන තැන තමන්ගෙ තැන උනාට පස්සේ ඒ තැන වෙනුවෙන් කැප කිරීම් කරන්න දෙපාරක් තුන්පාරක් හිතන්නෙ නෑ. මෙම දවස් ටිකේ උඹ පුළුවන් තරම් රිලැක්ස් වෙලා නංගි ගැන බලහං. දැන් ඔය එනවා කියන මෑන්ගෙනුත් අපිට ලොකු සපෝට් එකක් ගන්න පුළුවන්නේ මේ වැඩේට..”
තේජන කාර්යාලයෙන් නික්ම ගියේ තවත් විනාඩි කිහිපයක් චාරුක හා කතා කරමින් කාලය ගත කළාට පසුවය. නුලාරා රෝහල්ගත කළ යුතු දිනය තවත් නොබෝ දිනකින් උදාවන බව සිහිපත් වී චාරුකගේ පපුවට පවා දැනුනේ ගැස්මකි.
“පව් පුංචි කෙල්ල…අපි දරුවෙක් හදන්න ඉක්මන් උනා වැඩිද මන්දා.”
ඔහු එසේ සිතුවේ ප්‍රථම වරටය. චාරුක නුලාරාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත්තේත් ඒ සිතුවිල්ලත් සමඟය.
“බබා ඔයා නිදියගෙනද හිටියේ….”
ඇය දුරකථනය හා සම්බන්ධ වූයේ කිහිප වරක්ම එය නාද වූවාට පසුවය.
“නැහැ… මං අම්මත් එක්ක කතා කර කර හිටියේ..”
“කෑවද…”
“අනේ නෑ චාරුක අයියේ කන්න කියලනං බල කරන්න එපා මට.”
“නෑ… නෑ මං බල කරන්නේ නෑ..ඒ උනාට මොනවා හරි චුට්ටක් කන්න ඕනනේ.”
“ඔයා ඔය කන්න කියලා කියන්නේ බබා හින්දනේ. ඇස් දෙක පියාගෙන හරි එයා වෙනුවෙන් මං මොනවා හරි කනවා. ඔයා බය වෙන්න එපා”
“අනේ ඇයි එහෙම හිතන්නේ. ඒ බබා තරමටම ඔය බබත් මට වටිනවා. තේජන දැන් කියන්නේ බබා බිග් ඇන්ඩ් ස්මෝල් කියලා.” චාරුක එසේ පවසා උස් හඬින් සිනහසුනත් නුලාරා ඒ සිනහවට හවුල් වූයේ නැත. ‘එයා දැන් මට වඩා හිතන්නෙ බබා ගැන..’ඒ සිතුවිල්ල ඊයේ පෙරේදා සිට ඇගේ ගත ගිලන් කරමින් තිබිණ. ඕනෑවටත් වඩා ඔහු මේ වද වෙන්නේ බබා ගැනයැයි ඈ සිතුවාය. ඒ සොයා බැලීම් ඇතුලේ සිටින්නේ කුස තුළ උන් දරුවා පමණක් නොවන බව සිතට ඒත් උගන්වන්නට නුලාරා අමුතු උත්සාහයක් නොගත්තාය.
“බබා ඔයාගේ යාළුවට කතා කරල කියන්න එයාගේ හස්බන්ඩ්ට හෙට උදේ නවය වෙද්දී ඔෆිස් එකට එන්න කියලා. මං තේජනට කිව්වා.”
“තෑන්කස් චාරුක අයියේ….”
නුලාරා එසේ පැවසූයේ යටි සිතෙහි මල් දහසක් පීදීගෙන එද්දීය. ඉන්පසු ඕ දුරකථන ඇමතුමට සමුදුන්නේ හදිසියෙන්ය. ඒ හා සමගම සංකල්පනීගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ මේ සුභ පණිවිඩය ඇයට දන්වන්නට සිතාගෙනය. පෙරදා මධ්‍යම රාත්‍රියත් ඉක්මවා නිවසට පැමිණි ධනුක තවමත් උන්නේ සුව නින්දකය. ඒ අසලම වැතිර ඔහුට තුරුළු වී උන් සංකල්පනී නින්දත් නොනින්දත් අතර සිටියත් ඇඳෙන් නැගී සිටීමට තරම් සිතක් ඇයට වූයේ නැත. ධනුක ඇහැරෙන වෙලාවට අසල කඩයෙන් බනිස් ගෙඩි දෙකක් ගෙන එනවායැයි සිතූ ඈ යළිත් වරක් දෑස් පියා ගනිද්දීම දුරකථනය නාද වූවාය.
“අදත් මට එන්න කියනවද දන්නෑ…”
එසේ සිතූ සංකල්පනී දුරකථනයට පිළිතුරු නොදී ඉන්නට සිතුවත් දෙතුන් වරක් ම එය නාද වද්දී සිය දකුණතින් අල්ලාගෙන සවනතක රඳවා ගත්තාය.
“මොකද අනේ කරන්නේ..”
එහාපසින් ඇසුනේ නුලාරාගේ නොසන්සුන් හඬය.
“ඊයේ ධනුක ගොඩක් රෑ වෙලා ආවෙ අනේ. රෑ වෙනකම් බලන් ඉඳලා මට එහෙම්මම නින්ද ගියා.”
“ආයේ ඉතින් ධනුකට රෑ වෙනකල් ඉන්න ඕන වෙන්නේ නැති වෙයි. සප්‍රයිස් එකක් දෙන්න මට මොනවද දෙන්නේ?.”
“උඹට මං මොනවා දෙන්නද කෙල්ලේ රාජ කුමාරියෙක්ට වගේ සැප සම්පත් ලැබිල තියෙද්දී.”
“ඔයා එහෙම හිතුවට හෙට මට හිඟන්නියෙක් වගේ පාරට වැටෙන්න සිද්ධ වෙයිද දන්නේ නෑ.”
“මොනවද මේ උදේ පාන්දර කියන කතා. කියන්නකො මොකක්ද ඔයාගේ සප්‍රයිස් එක කියලා.”
“චාරුක අයියා දැන් ටිකකට කලින් කතා කරලා කිව්වා හෙට ධනුකට ඔෆිස් එකට එන්න කියන්න කියලා. නයින් තර්ටි වගේ ආවොත් ඇති කිව්වා. එයාගේ යාළුවා තේජන අයියා, එයාට කිව්වලු ධනුක අයියා ගැන බලන්න කියලා.”
“ඔයා මෙච්චර ඉක්මන්ට ඒක චාරුක එක්ක කතා කළාද.?”
“ඔව් ඉතින් කෙරෙන්න ඕන දේවල් කල් දාන්නේ මොකටද…ඒකෙන් නිකන්ම ඔයාගේ වැඩෙත් කෙරෙනවා මගේ වැඩෙත් කෙරෙනවා. හැබැයි ඉතින් එතනට ගියාට පස්සේ ධනුකත් චාරුකගේ පැත්ත ගනීද දන්නේ නෑ.”
“නෑ… නෑ… එයා කීයටවත් එහෙම කරන්නේ නෑ. මං දන්නවනේ ධනුකගේ හැටි…”
සංකල්පනී දුරකථනය විසන්ධි කලේ සිත පුරා පැතිර ගිය ප්‍රීතියකින් යුතුවය. ඒ හා සමඟම ඈ ධනුකව නින්දෙන් අවදි කරවන්නට උත්සාහ දැරුවාය. පෙර දා රාත්‍රියේදී ඔහු නිවසට පැමිණියේ යතුරුපැදිය පැදවූයේ කෙසේදැයි සිතා ගන්නටවත් බැරි තරමට බමන මතින්ය. දැන් දැන් සංකල්පනීට ඕනෑ වී ඇත්තේ මේ අපිළිවෙල ජීවිතයෙන් මිදී පිළිවෙල ජීවිතයකට යන්නටය. ධනුකගේ අවුල් වී තිබූ හිසකේ මදක් එහාට කර ඒ නළලත සිපගත් සංකල්පනී අසල වූ වීදුරුවෙන් වතුර බිඳු දෙක තුනක් ඒ මුහුණට ඉස්සේ තවදුරටත් මේ සතුට තනිවම දරා ගත නොහැකි වූ තැනදීය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්……)


