“තාත්තා අද ඔෆිස් ඉවර වෙලා මරදානෙ පැත්තෙ ගියාද?” කියා නෙත්මාල් අහද්දී අතුල සමරසිංහ අතින් රාත්‍රී ආහාරය පිණිස කපමින් උන් කුකුල් පලුව ගිලිහී බිම ඇද ගෙන වැටුණි.
“තව පොඩ්ඩෙන් කුකුලව නෙවෙයි කැපෙන්නෙ කකුල” කියමින් චන්ද්‍රා පහත් වී බිම වැටුණ පිහිය අතට ගත්තේ නොරිස්සුමෙන් අතුල දිහා බලමිනි. එහෙත් අතුල උන්නේ ඒ වචන ඇහෙන මානයක නොවේ. නෙත්මාල් විසින් කියන්නට යෙදුන කතාවට දිය යුතු පිළිතුර කුමක්දැයි හිත අස්සෙන් සිතමිනි.
එහෙත් කුස්සියේ පඩිය ළඟ තිබූ පුටුවේ වාඩි වී උන් නෙත්මාල්ගේ දෑස තිබුණේ තාත්තාගේ අතපය වෙවුලන අන්දම දෙසට යොමුවී නම් නොවේ. දවස පුරාම රැකියාවේ වැඩවලට මහන්සි වී, පරිගණකයත්, කෝඩින් ඇතුළු අලුත් තාක්ෂණය සමග ඔට්ටු වී පැමිණ සිටි ඔහු වෙනදා මෙන්ම කුස්සියේ පුටුවට බර වී අම්මා හදා දුන් තේ එකෙන් උගුරක් බොමින් බිස්කට් එකකුත් හපමින් උන්නේ කිසිම ගාණක් නැති ගණනටය. නෙත්මලී මෙන් ප්‍රශ්නයක් අහන්නට පෙර ලොකු පෙරහැරක් නටන්නේ නැති නෙත්මාල් නිකන්ම නිකන් හවස් වරුවේ වුණු සාමාන්‍ය දෙයක් මතක් වුණා වගේ ඒ ප්‍රශ්නය අසා දැම්මේ කිසිම තද බවක් හෝ වෙනසක් මතු නොකරමින් ඉතාම සැහැල්ලුවෙනි.
නෙත්මාල් යනු ඉපදී හුස්ම ගන්නා මොහොතේ සිටම ජීවිතය දෙස අසීමිත සැහැල්ලුවෙන් බලන්නට පුරුදු වී සිටි තරුණයෙක් බව අතුල දන්නාවා නමුත් හිතේ තිබු සැකයෙ අංශු මාත්‍රයන් නිසාම ඒ දිහා සැහැල්ලුවෙන් බැලීමේ හැකියාව අතුලට අහිමි ව තිබුණි. නෙත්මලී පුංචි දේටත් හිතින් බොහෝ දේ මවාගෙන තැවෙද්දී, නෙත්මාල් කළේ ඕනෑම බරපතල ප්‍රශ්නයක් හමුවේ වුවද උරිස් ගස්සා “ඕවා ගණන් ගන්න එපා” යැයි කියන්නට මෙන් මඳ සිනහවකින් මගහැර යාමය.
අයි ටී ක්ෂේත්‍රයේ දවස පුරාම සංකීර්ණ සිස්ටම්ස්, ඇල්ගොරිතම සහ කෝඩින්වල වැරදි හොයමින් වෙහෙසෙන නෙත්මාල්ට, ගෙදර ජීවිතයේ ප්‍රශ්න පෙනුණේ ඉතාම සරල, නිරාකරණය කරගත හැකි දෙයක් ලෙසටය. ප්‍රශ්නයක් ආ විට ගෙදර අනික් අය මෙන් කෑගසා කලබල වෙනවාට වඩා, ඔහු කළේ ප්‍රෝග්‍රෑම් එකක බග් එකක් හොයනවා වගේ නිහඬවම දේවල් නිරීක්ෂණය කරමින් ඉතාම සරල වචනයකින් අදාළ තැනටම තට්ටු කරන එකය. එදා හවසත් ඔහු තේ කෝප්පයේ උණුසුම විඳිමින්, බිස්කට් කැබැල්ලක් හපමින් ඒ ප්‍රශ්නය තාත්තාගේ මූණටම අතහැරියේ, නිකන්ම නිකන් මග තොටේදී වෙනත් සාමාන්‍ය දෙයක් දැක්කා යැයි කියන තරම්ම සැහැල්ලු ස්වරයකිනි.
“අහ් ඔව් මට අද අර ඔෆිස් එකේ විමල් අංකල් එක්ක ඒ පැත්තට යන්න තිබ්බා ඒ මනුස්සයගෙ මොකද්ද මන්දා වැඩකට” කියා අතුල තතනමින් කියන යුරු මැල්ලුමට කොල ලියමින් යුන් චන්ද්‍රාගේ සවන් වලට නොතේරුණා නොවේ. ඒ වචන වල යම්කිසි නාඳුනන ගතියක් තැවරී තිබෙන අයුරු චන්ද්‍රාගේ හිතට නොතේරුණා නොවේ. එනිසාම හිත තිබුණේ කුකුසකින් නින්නාද දෙමිනි.
“ආහ් ඒක තමයි. මං තාත්තව දැක්කෙ නෑ හැබැයි” කියා නෙත්මාල් කියද්දි චන්ද්‍රාගේ දෙනෙත් අතුලව මග හැර නෙත්මාල් දිහාවට යොමු වුවද නෙත්මාල් උන්නේ අම්මා දිහාව බලාගෙන නොවේ. කුස්සියෙන් එලියට බහින පඩිපෙළ ලඟ හිඳගෙන අම්මා විසින් විසි කරන්නට යෙදුණ හාල් මැස්සන් ඔලුවක් සමග සෙල්ලම් කරමින් උන් කිටියා දිහා බලාගෙනය.
“තාත්තාව දැක්කෙ නැත්තං උඹ කොහොමද කියන්නෙ තාත්තා මරදානෙ ගියා කියලා?” චන්ද්‍රා පැන්ට්‍රි ටොප් එක මත තිබුණ මැල්ලුම් ලියන ලෑල්ල පැත්තකින් තබා නෙත්මාල් දෙසට හැරුණේ කුකුස පිරුණු තියුණු බැල්මකිනි.
“නෑ අම්මෙ අද ඒ පැත්තට යන්න උනා මීටින් එහෙකට, ඒ එන අතර වාරෙ මීටින් එකට ගිය වාහනේ ට්‍රැෆික් එකට නතර කරන් ඉන්න අතරවාරෙ තමයි මං තාත්තගෙ බයික්කෙක එතන කැෆේ එහෙක නතර කරලා තියෙනවා දැක්කෙ. මං ඉතින් ඒත් හිතුවා තාත්තා මොකක් හරි වැඩකට ඒ පැත්තට යන්න ඇති කියලා. එකපාරටම මතක් වුණ හන්දා නිකන් ඇහුවෙ. මං තාත්තව දැක්කෙ නෑ” නෙත්මාල් බිස්කට් කෑල්ලක් කඩා කිටියා දෙසට විසි කරමින් කීවේ තවමත් ඒ කිසිම ගාණක් නැති සැහැල්ලු කට හඬින්මය
නෙත්මාල්ට නම් ඒක මග තොටේදී දැකපු තවත් එක සාමාන්‍ය සිදුවීමක් විතරක් වුවද, චන්ද්‍රාට එය එසේ නොවීය. ඇගේ සවන් අස්සට ඒ වචන වැටුණේ මහා නොසන්සුන්කමක් තවරමිනි. අනෙක් අතට අතුල උන්නේ එක්තරා විදියක සැනසීමකුනුත් අනෙක් අතට නොසන්සුන්කමකුත් අතර දෝලනය වෙමිනි. නෙත්මාල් තමන්ව නොදැකීම හිත සනසන්න හේතුවක් වුවද චන්ද්‍රා මේ ගැන දැනගෙන ඒ ඔස්සේ මොනවා හිතනවාද යන්න හිත කීම ඒ නොසන්සුන්කම දෙගුණ තෙගුණ කරන්නකි.
“බයික් එක විතරද දැක්කෙ? වෙන කිසි කෙනෙක් හිටියෙ නැද්ද ඒ හරියෙ?” චන්ද්‍රාගේ හඬේ තිබුණේ සැකය තදින් මුසු වුණු නොරිස්සුමක් බව තේරුණේ තමන්ට විතරක් නොවන බව අතුලට තේරුණේ මෙතෙක් වේලා කිටියා දෙසට යොමු වී තිබුණ නෙත්මාල්ගේ දෙනෙත් අම්මා දෙසටත් අනතුරුව තමන් දෙසටත් යොමු වෙද්දීය. නෙත්මාල්ගේ දෙනෙතින් මිදුණ චන්ද්‍රාගේ දෙනෙත ආයෙමත් එකපාරටම අතුල දෙසට යොමු වෙද්දී කරකියාගන්නට දෙයක් නොමැති වූ අතුල උන්නේ බිම වැටුණු කුකුල් මස් පෙත්ත අත තියාගෙන නලයෙන් ගලන වතුර පාරට එය අල්ලා සෝදාගන්නා එකය. චන්ද්‍රාගේ සුපුරුදු ප්‍රශ්න කිරීම් හමුවේ තමන්ගේ පපුව අස්සේ මහා බියකරු ගැස්මක් හටගන්නට යන බව අතුලට නොතේරුණා නොවේ. නෙත්මාල් උන්නේද තමන් විසින් කියන්නට යෙදුණ කතාව ගැන පසුතැවෙමිනි. අම්මා වනාහී කුඩා දෙයක් ලොකු කරගෙන, කන්ද කෙන්ද කරගෙන දඟලන තැනැත්තියක බව හොඳාකාරවම දන්නා එකේ මෙහෙව් දෙයක් නොකියා උන්නා නම් හොඳ බව නෙත්මාල්ට පවා වැටහුණේ දැන් ය.
“මං මොකටද අම්මෙ වටපිට බලන්නෙ? මං කාර් එකේ යන ගමන් නිකන් දැක්කෙ” නෙත්මාල් තේ කෝප්පයේ ඉතිරි ටිකත් එක හුස්මට ගිල දමා පුටුවෙන් නැගිටිමින් කීවේය. “තාත්තා කිව්වනෙ විමල් අංකල් එක්ක ගියා කියලා. ඉතින් එච්චරනෙ. ආයෙ මොනවද ඕකෙ හාරවුස්සන්න තියෙන්නෙ”
නෙත්මාල් කිසිම බරක් නැතිව එසේ කියාගෙන කුස්සියෙන් එළියට ඇදී ගියත්, සාලයටත් කුස්සියටත් අතර මැද මතු වුණු ඒ නිහඬතාවය අතිශය බරපතල එකක් විය. චන්ද්‍රා අතට ගත් ගොටුකොළ මිටිය දෙස බලා සිටියේ නළල රැළි ගන්වමිනි.
විමල් මහත්තයා මෙයට මාස කිහිපයකට පෙර විශ්‍රාම ගිය බව චන්ද්‍රාට හොඳටම මතකය. එසේ නම් අතුල මේ කියන්නේ බොරුවකි.
විමල් මහත්තයාගේ විශ්‍රාම යාමේ සාදය සඳහා අතුල තෑග්ගක් ගන්නට කියා තමන්ගෙන් රුපියල් දහදාහක් ඉල්ලා ගත්තේ මීට මාස හතරකට පෙරය. ඒ විතරක්ද නොව, එදා හවස ගෙදර ඇවිත් විශ්‍රාම ගිය විමල් මහත්තයා පවුල පිටින්ම අනුරාධපුරේ පදිංචියට යන බව කිව්වේද අතුලමය. එසේ නම් අද හවස එකපාරටම මරදානේදී හමු වුණේ අනුරාධපුරේ පදිංචියට ගිය ඒ විමල්මයැයි අතුල කියන්නේ කොහොමද?
අතුල කියන්නේ සහමුලින්ම පට්ටපල් බොරුවකි. කටට ආපු පලියට අටවාගත් ගං කෙබරයකි.
විසි වසරකට වැඩි කාලයක් එකට පවුල් කන මිනිහා වෙච්ච අතුල බොරුවක් කියද්දී වෙනස් වෙන හැටි තේරුංගන්න බැරි එක චන්ද්‍රාට අලුත් දෙයක් නොවේ. කියාගන්නට බැරුව තටමන වචන, නොසන්සුන් දෑත සහ බිමට බර වන බැල්මෙන්ම ඔහු මොකක්දෝ මහා බරපතල දෙයක් සඟවන බව ඇයට නැගෙනහිරින් පායන සූර්‍යයා සේ පැහැදිලිය. මේ දවස්වල අතුලගේ හැසිරීමේ තිබූ වෙනස දැන් එකින් එක ගැලපෙන්නට පටන් ගෙන තිබේ.
එහෙත් තමන්ට එයාකාර බොරුවක් කියන්නට, කරන්නට අතුලට ඔච්චරටම හංගන්නට ඇති හේතුව කුමක්ද කියා තේරුංගන්නට චන්ද්‍රාට හිතාගන්නට පුළුවන් උනේ නැත.

