පසළොස්වක මල් – 1

0
633

වසර දහයකට පෙර- අතීත කතාව

වැහි බීරුම සැඳෑවට වඩා වැඩිය. සැන්ඳෑවට පෙර වැහි අන්ධකාරය ගෙන ආ අඳුර සමඟ වැටුණු දිය බිඳු විශ්ව විද්‍යාල කොරිඩෝව තව තවත් පාළු මූසල ගතියකින් හැඩි කළේය. 

දෑසින් කඳුළු නොගැලුවත් , හූල්ලමින් පැමිණි තරුණියක් වරෙක අඳුරු කොරිඩෝවේ එහා මෙහා හැපෙමින්ද , දෙපය පැටළෙමින්ද අවසිහියෙන් මෙන් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව දෙසට ඇවිද ගියාය. අපහසුවෙන් කුලී රියකට ගොඩ වූ ඈ අඬ අඳුරේම ඉන් බැස ඉක්මන් පා තබමින් තම නවාතැන්පළෙහි කුටිය වෙත අඩි තැබුවාය. වෙනදා මෙන් නොව නවාතැන්පළ මේ මොහොතේ මුඩු බිමක් වැනිය. එහි සිටියාවූ සියල්ලන්ම තවමත් දින දෙකකට පෙර මිය ගිය මිතුරියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී නැවත පැමිණ නැත. අවමංගල්‍ය උත්සවයේ අවසන් දිනය නිම වන්නටත් ප්‍රථම විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළ වෑස්සුණු රුධිර ධාරාවන්ට මැදිව විවර වූ දෑසින් මියැදුණද ඊලඟට හිමි වන්නේ තමන්ගේ වාරය බැව් ඉඟි කරමින් තමා දෙසටම නෙත් යොමා උන් තවත් මිතුරියකගේ මළ සිරුරක දර්ශනය යළි යළි දෑස අද්දරට ආ ඈ වෙනදාට පහසුවෙන් විවර කරන ද්වාරය විවර කර ගැන්මට මිනිත්තු කිහිපයක්ම ගත කර අපහසුවෙන් තම කාමරය තුළට ඇවිද ආවාය.

 ද්වාරය විවර කර ගත් ආකාරයටම වෙව්ලන දෑතින් යළි එය අගුලු දැමූ ඈ අතේ තිබූ බෑගයත් , කුඩයත් පැත්තකට දමා නිදන යහන මතට කඩා වැටුණාය. ඉන්පසුව දෝතින්ම මුහුණ වසා ගනිමින් කෑ ගසා හඬන්නට පටන් ගත්තාය. 

” මං ඒක හිතලා කළේ නෑ… මං ඒක හිතලා කළේ නෑ.. “

හඬමින්ම තනිවම මිමිණූ ඇය උන්මත්තකව මෙන් දකුණතින් යහනට එක දිගට පහර දුන්නාය. ඉන් පසුව දෑතින්ම තම කොණ්ඩයත් ඇද ගනිමින් , පපුව සූරා ගනිමින් තව දුරටත් කෑගසා හඬන්නට පටන් ගත්තාය. 

” මට සමාවෙන්න .., අනේ.. මට සමාවෙන්න…!”

ඊලඟ මොහොතේ යහන මතින් බිමට කඩා වැටුණු ඈ දිගින් දිගටම අවසිහියෙන් මෙන් කෑගසමින් සිටියාය. 

***************************************

අවුරුදු දහයකට පසු – වර්තමාන කාලය.

වීදුරු තිරයෙන් එපිට පෙනෙන අහස සිඹින ගොඩනැගිලි දෙස හිස් බැල්මකින් බලා හුන් මනා පෞරුෂයකට හිමිකම් කියූ වෛද්‍යවරයා ඉතා බරැති සුසුමක් හෙළුවේය. කල්පනාවෙන් මිදුණු හේ හෙමිහිට අඩි තබමින් පැමිණ කාර්යාල කාමරයේ වූ විසල් මේසය අසල තිබූ සුව පහසු පුටුවට බර දී දෑස් පියාගත්තේය. මඳ වේලාවකට පසු පසෙක තිබූ ජංගම දුරකතනය අතට ගත් ඔහු ඉන් ඇමතුමකට සම්බන්ධ වූයේය.

” හෙලෝ.. ! මොකද බං ? උඹට ඔහේ ගිනි දවල් උනාට මෙහෙ මහ රෑ “

අනෙක් පසින් නැඟුණේ සුහද ගෝරනාඩුවකි.

” උඹ නිදාගෙනද හිටියේ ?” 

කාර්යාල මේසය මත ඇති වෙද නළාව එහා මෙහා කළ ඔහු කැළබිලි සහගතව විමසුවේය.

” අනේ.. නෑ.. මං මේ රෙදි හේදුවා. මේ රෑ හොඳට අව්වත් තියන එකේ බැලුවේ දැන්මම එළියට දාලා වේල ගන්න. “

මිතුරාගේ පිළිතුරත් සමඟම බොහෝ වේලාවකට පසු ඔහුගේ මුව මත සිහින් හසරැල්ලක් ඇඳී ගියේය. 

” කියහන් ඉතිං. මොකද්ද ප්‍රශ්නේ ?” 

” දැන් මං කතා කළේ ප්‍රශ්නයක් නිසා කියලමයි කියලා උඹ දන්නේ කොහොමද ?” 

” නැතුව ඉතිං කට කපලා නිදන් උන්නු මාව ඇහැරවලා ආ මචං උඹ නිදිද කියලා අහන්න තරමට උඹේ මොළේ අවුල් වෙන්න විදිහක් නෑනේ ?” 

” හ්ම්ම්..!” 

නැවත වතාවක් ඔහුගේ මුවින් විසල් සුසුමක් පිට විය.

” දුමී ජ’ පුරට සිලෙක්ට් වෙලා. “

” ජ’පුරට ? ඇයි පේරා ? කෙල්ලට හොඳ රිසාල්ට් එකක් තිබ්බනේ ? පේරා නේන්න විදිහක් නෑ “

” මට හිතෙන්නේ බං මේ කෙල්ල ඉල්ලලා තියෙන්නේ ජ’පුර විතරයි. “

” හිතෙන්නේ කියන්නේ ඇයි උඹ ඒක බැලුවේ නැද්ද ?” 

” ම්ම්හ්හ්.. මට ඒක විතරයි බලන්න බැරි උනේ “

නැවත වතාවක් විසල් සුසුමක් පිට කළ ඔහු මේසය මත තිබූ කොළයක් මත දබරැඟිල්ල එහා මෙහා කරමින් පවසා සිටියේය. 

” හරි ඉතිං දැන් උඹ ඇයි ඕකට හූල්ලන්නේ ? අනික කෙල්ල ඇයි ජ’පුර විතරක් ඉල්ලලා තියෙන්නේ ?” 

” එයාට කොහොමත් කොළඹ සෙට්ල් වෙන්න උවමනාවක් තිබ්බා. “

” එහෙනං ඉතිං අවුලක් නෑනේ බං. ඔන්න ඔහේ කෙල්ලට ඒකි කැමති විදිහට වැඩ කරගන්න ඉඩ දියන්. ඔය ටික ඔය විදිහට වෙන නිසා තමා කෙල්ලට බයෝ කරවපන් කියල කිව්වේ. කොහෙද උඹට ඕන උනේ කෙල්ලගෙ කැමැත්‍තට ඉඩ දෙන්නනේ. දැන් ඉතිං කරන්න දෙයක් නෑ. එකාතකට දැන් ඒ කෙල්ල පොඩි කෙල්ලෙක් නෙමෙයිනේ බං. ඒකි අවුරුදු දහ අට පැනපු වැඩිහිටියෙක්. දැන් ඉතිං උඹලට අපිට සැර දාලා , ඉරි ගහලා , රවුම් ඇඳලා මේකෙන් පිට යන්නෙපා කියලා කියන්න බැරි වයසක කෙල්ල ඉන්නේ. යන්නෙ කොළඹටනේ. වෙන රටකට නෙමෙයිනේ.? ඔය පාළු තනිකං දෝස සතියක් තියෙයි හමාරක් තියෙයි. වීකෙන්ඩ්ස් වල එහෙම ඇවිත් යන්න එන්න ගත්‍තම ඕක පුරුදු වෙයි. “

ඔහු කෙටි තත්පර කිහිපයක් මුනිවත රැක්කේය.

” අම්මා මොකෝ කියන්නේ ?” 

” එයා මුල ඉඳලම මේක දැනගෙන ඉඳලා තියනවා “

නැවත වතාවක් මිතුරාගේ පසින් සිනාහඬක් නැඟුණේය.

” දැන් උඹ ඇයි එහෙම කියන්නේ ? “

“දෙන්නත් එක්ක කොළඹ ගිහින් නවතින්න තැනකුත් සිලෙක්ට් කරලා ඉවර වෙලයි මට ඔක්කොම කිව්වේ ” 

” ඒකද ඔච්චර ඩෝං ගිහින් තියෙන්නේ ? හොඳ තැනක් වෙන්නැතිනේ ? ආන්ටි විශාඛා කෙල්ලට සෙරප්පු දෙකක් ගත්තත් ගන්නේ හොඳට හොයලා බලලා වෙච්ච එකේ නවතින තැන ආවට ගියාට ගන්න නැතුව ඇතිනේ ? උඹට ඒක හිතට හරි මදිනං අපි වෙන තැනක් බලමු. “

” කිව්ව විදිහටනං තැනේ අවුලක් නෑ. අම්මා එක්ක ඉස්සර අනුරාධපුරේ ඉස්කෝලෙක උගන්නපු ටීචර් කෙනෙක්ගේ ගෙයක්. ඒ කෙනාගේ හස්බන්ඩ්නං නෑලු. පුතාලා දෙන්නෙක් ඉන්නවලු. දෙවෙනියා KDU එකේ ඩොක්ටර් කෙනෙක්ලු. අද හෙටම මැරි කරන්නලු ඉන්නේ. “

” නම මොකද්ද ?” 

” අෂ්මිල විජේසිංහ කියලා. මං හොයලා බැලුවා. අපේ සේනාගේ මල්ලිත් ඉන්නේ KDU එකේනේ. “

” කියපු ගමන් මටත් මතක් උනා. මං ඒකයි නම ඇහුවේ “

” උඹ දන්නවද හොඳම වැඩේ මොකක්ද කියලා. ඔය කොල්ලට අයියා කෙනෙක් ඉන්නවා. අස්නක විජේසිංහ කියලා. නුගේගොඩට කිට්ටුව මිනිහට කාර් සේල් එකක් තියනවලු. අපේ අම්මා මට මුලින්ම මල්ලි ගැන කියලා පස්සේ තමයි අයියා ගැන කිව්වේ. ඒ කියලා කියනවා කොල්ලා අපේ දුමීට වැඩිය අවුරුදු දහයක් , දොළහක් විතර වැඩිමල්ලු. ඒ නිසා බය වෙන්න දෙයක් නෑලු. බලහන් ඉතිං ” 

” අම්මටසිරි .. “

අනෙක් පස උන් මිතුරා එක දිගට විසල් හඬකින් සිනහවක් නැඟුවේය.

” ආයේ කියහන් මොකද්ද නම කිව්වේ ?” 

” අස්නක අභිනාද විජේසිංහ. “

” නුගේගොඩ කිට්ටුව කියන්නේ උඹ හරියටම තැන දන්නවද ? “

” අම්මා විස්තර එවලා තිබ්බා. ඩීටේල්ස් ටික වට්ස් ඇප් එකේ ඇති. “

” ආන්ටි බැලුවනං හොඳ තැනක් වෙන්නැති බං. “

” හ්ම්ම්.. අම්මා නිතර නිතර ඔය කියන යාලුවා ගැන මාත් එක්ක කියලා තියනවා “

” අවුල් වගේ කියලා හිතුණොත් අපි තැන මාරු කරමු. ලොකුවට ඕක හිතන්නෙපා. “

” හ්ම්ම්..”

නැවත වතාවක් ඔහුට විසල් සුසුමක් වැටුණේය. 

” දැන් උඹ ඇයි අවුලෙන් ඉන්නේ ? දුමී කතා කරාද උඹට ?” 

” කෙල්ල තාම එයාගෙ කැමැත්ත අකමැත්ත ගැන මුකුත් කිව්වේ නෑ බං “

” ඒ උනාට ඉතිං උඹ කෙල්ල ගැන දන්නවනේ ?” 

” හ්ම්ම්…! යන්න ආස උනාට අපි දෙන්නව දාලා යන්න බැරි කම එයාටත් තියනවා. “

” අනේ ඉතිං.. මේ මාමාලා දුවලා… කවදහරි කසාදයක් බඳින දවසටත් ඔය කෙල්ල මාමව දෑවැද්දට අරන් යයි “

එතෙක් විස්සෝපයෙන් බරවූ ඔහුගේ මුහුණ එවර සතුටු සිනා රැලි මතින් පිරී ගියේය. 

” කෙල්ලව මං යවන්නෑ. ගෙදර තියාගන්නවා. ඒකිව බඳින එකාට ඕන්නං අපේ ගෙදර නවතින්න කියනවා. එක එකාට ඕන විදිහට කෙල්ලව අරන් යන්න දෙන්න පුලුවන්ද ?”

” මට හිතුණා උඹේ උත්තරේ ඕක තමා කියලා. “

එසේ පැවසූ මිතුරා නැවතත් විසල් හඬකින් සිනාසෙන්නට විය. 

” ජීවිතේ හරි පුදුමයි බං. ඒ කෙල්ල හින්දා අම්මයි , මායි දෙවෙනි පාරටත් ඉපදුණා. “

” පහුගිය දේවල් ආයේ ආයේ මතක් කළා කියලා අපි කාටවත් වෙන සෙතක් නෑ බං. දුමී කියන්නේ  හරි ලස්සනට හැදිච්ච කෙල්ලෙක්. උඹයි , ආන්ටි විශාඛායි ඒ කෙල්ලව ලස්සනට හැදුවා. දැන් ඒකිට පියාඹන්න ඉඩ දීපන්. අපි දැන් කරන්න ඕනේ පැත්‍තකට වෙලා ඒකි ලස්සනට පියාඹන විදිහ බලන් ඉන්න එක. දුමී මෝඩ කෙල්ලෙක් නෙමෙයි. ඒ කෙල්ල දන්නවා තමන්ගේ හැම සීමාවක්ම. ඒ වගේම උඹයි , ආන්ටියි ගැනත්. ඒ නිසා ඒ කෙල්ල ගැන ඔච්චර හිත කරදර කරගන්න එපා. උඹට කෙල්ලව කොළඹ නතර කරන්න ඔච්චරම අකමැතිනං අපි හොඳ ගෙයක් බලලා අරගමු. හැමෝටම එකට ඉන්න. “

” මං කොළඹට කැමති නෑ බං. කොළඹ මගෙන් උදුරගත්ත දේවල් වැඩියි. “

” තවත් ඔය පහුගිය දේවල් වලම එතිලා ඉන්නෙපා බං. අඩුම කෙල්ල වෙනුවෙන්වත් ඕකෙන් එළියට එන්න බලහන්. “

” බලමු. මගේ සෙෂන් එකට වෙලාව හරි. මං උඹට පස්සෙ කෝල් කරන්නං “

” හ්ම් හ්ම්ම්.. බායි ” 

” බායි මචං. ..!”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here