පැරකුම් නිවසට කැඳවාගෙන ගියේ සවසය. ඒ සඳහා තේජනත් චාරුකත් දෙදෙනාම පැමිණියේය. ‘රඹුක්වැල්ල නිවසට යමු’ යැයි ඇරයුම් කළත් ඔහු ඒ ඇරයුම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමාගේ තැන දැනෙන මානසික සුවය අන් කොතනකවත් නොවන බවය. එනිසාම චාරුක වද කර සිටියේ නැත. ඔහුට අවශ්‍ය සුවපහසුව නිවස තුළ සලසන්නට චාරුක සිතාරා සමග කතා කරමින් සිටියේය.
“අම්මා ටික කාලෙකට ගෙදර උදව්වට කෙනෙක් ගෙන්න ගමුද?”
“අනේ එපා පුතේ. මේ ගෙදර මට කරන්න තරම් මහ දෙයක් නෑ.”
“එහෙනම් අම්ම තාත්තව බලාගෙන ඉන්න. අපේ ගෙදරින් තුන් වේලටම කෑම එවන්නම්.”
“ඔයා මෙහෙම අපි ගැන හිතන එක අපේ හිතට ලොකු හයියක්. ඒත් පුතේ අපි දෙන්නට මොනවා හරි රත් කරගන්න එක මහ දෙයක් නෙමෙයි. කොහොමත් මීට පස්සේ තාත්තට කෑම දෙන්න ඕනේ තෙල් වර්ග, ලුණු එහෙමත් අඩුවෙන්නේ.”
සිතාරා එසේ පැවසුයේ දෑස් වල කඳුළක් තබාගෙනය. ඔහේ කුමක් හෝ කතා කළාට මෙතරම් තමාත් සැමියාත් ගැන සොයා බලන්නට නුලාරාට දැනුමක් වූයේ නැත. ‘තාත්තාට කොහොමද? යනුවෙන් ඇසුවාට හෙට දවස ගැන හැඟීමක් ඇයට වූයේත් නැත.”
“පුතා……”
අවසන සිතාරා චාරුකට කතා කළේ ඔහු වාහනයට නඟින්නට සැරසෙද්දීය. රියදුරු අසුනේ උන්නේ තේජනය.
“ඇයි අම්මා…”
“මගේ කෙල්ලට මොකද පුතේ වෙන්නේ?”
“අම්මා මොනවද මට කරන්න කියන්නේ.”
“අපිට කොතනද වැරදුනේ කියලා මට තේරෙන්නේ නෑ.?”
“අම්ම බය වෙන්න එපා. මං මොන තීරණය ගත්තත් ඒ ගන්නේ අම්මලත් එක්ක කතා කරලා. මම විශ්වාස කරනවා අපි කාටවත් වරදින්න විදිහක් නෑ කියලා.”
“ මගේ ළමයා ඔයාගේ හිතට මහා බරක් වෙලා. වදයක් වෙලා.”
“එහෙමත් නෑ අම්මා. එයා හින්ද මං හරි සැහැල්ලුවෙන් සතුටින් හිටපු කාලයක් තිබුණා. අපි ආපහු සැරයක් උත්සාහ කරමු ඒ කාලෙට ගිහිල්ලා නතර වෙන්න. මේ වෙලාවේ අම්මට හිතෙනවනං බබා අම්මා ගාව ඉන්න ඕනෙ කියලා මං එයාව ටික කාලෙකට අම්මා ගාව ගෙනත් නතර කරන්නම්. සමහර විට මම කියල දෙනවට වඩා දෙයක් අම්මට පුළුවන් වෙයි එයාට කියලා දෙන්න.”
“ඒක එහෙම කරන්න පුළුවන් නම් හොඳයි කියල මට හිතෙනව පුතා මේ වෙලාවේ.”
“තාත්තා…?”
“තාත්තට මං ඊයේ හැම දෙයක්ම කිව්වා. එකක් තමයි තාත්තා දිගින් දිගටම මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා. අනිත් එක පුතා නුලාරා ඇවිල්ලා එයාට හිතෙන දේ විතරක් තාත්තා එක්ක කිව්වොත් මේ ප්‍රශ්නේ මීට වඩා දුර දිග යයි කියලා මට හිතුනා.”
“තාත්තා මොකද කිව්වේ?”
“තාත්තා කිව්වෙත් එයාට සමාජය ගැන කිසිම අත්දැකීමක් නැති හින්දා බලන්නෙ දුර නෙමෙයි ළඟ කියලා.”
“එහෙමනම් අම්මා මං හවසට බබාව එක්කරගෙන එන්නද? නර්ස් එක්කම.”
“ඔව් ටික දවසක් අපිත් එක්ක හිටපුවාවේ පුතේ. මොකද ඔය දෙන්නා අතර ගැටුමක් ඇති වෙයි කියලා මට බයයි.”
“ගැටුමක් ඇතිවුනත් ඒ වචන වලින් විතරයි අම්මා. කවදාවත් එයාට මගේ අත ඉස්සෙන්නේ නෑ. අම්මා කියනවා හරි, සමහර වචන ඊතල වලට වඩා හපන්. අපි දෙන්න අතර ඒ වගේ වචන හුවමාරුවීම් වෙලා අපි දෙන්නටම අපි දෙන්න එපා වෙනවට වැඩිය හොඳයි එයා චුට්ටක් හිතලා මේ ජීවිතේ ගැන අවබෝධයක් ලබා ගන්න එක. අම්මා මාව මොනතරම් දුරට විශ්වාස කරයිද කියන්න මම දන්නේ නෑ. හැබැයි මම බබාට වචනෙකින්වත් වරදක් කරපු හස්බන්ඩ් කෙනෙක් නෙමෙයි.”
“පුතේ..ඔයා වගේ දරුවෙක් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න වචන නාස්ති කරන්න ඕන නෑ. මගේ දුව තරමටම මං අද ඔයාවත් අඳුනනවා. පරිස්සමට යන්න මම එයාට කතා කරලා කියන්නං ටික දවසකට ගෙදර එන්න කියලා.”
චාරුක වාහනයට නැඟුණේ හිස වනා ඇයට එකඟ වූවාට පසුවය.
“ආන්ටි දන්නවා බං මේ වෙලාවේ කරන්න ඕන මොකක්ද කියලා. මොකද උඹගෙ උනත් ඔය ඉවසීම කොයි වෙලාවක හරි පුපුරන්න පුළුවන්. සමහර වචන කටින් පිටවුණාට පස්සේ ඒවා ආපහු ඇදලා ගන්න බෑ. මමත් හිතනවා මේ වෙලාවේ නුලාරා ඉන්න ඕනේ වැඩිහිටියෙක්ගේ උපදෙස් නිතරම ලැබෙන තැනක කියලා. මේක තාවකාලික වෙන්වීමක් විතරයි බං. අපි ආන්ටිගේ ඉල්ලීමට ඉඩ දෙමු.”
තේජන එසේ පැවසූයේ මිතුරා ඔහුත් ඇයත් අතර ඇති වූ සංවාදය පිළිබඳව ඔහුට පවසද්දීය.
*************
සංකල්පනී රන්දිකට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ බොහෝ වේලා කල්පනා බරව සිටියාටට පසුවය. චාරුකට අනතුරක් කරන්නට වුවමනා වී ඇත්තේ කවුරුන් හෝ වේවා ධනුක සිටියේ ඔහුට සහාය දක්වමින්ය. ඒ සඳහා ඔහු යම් මුදලක් ලබන්නට ද ඇත. නුලාරා තමාගේ යෙහෙළියක බව දැනගත් මොහොතේ සිටම ධනුකට උවමනාවී තිබුණේ ඔවුන් හා සම්බන්ධකමක් ගොඩනගාගෙන රඹුක්වැල්ල ව්‍යාපාරයේ රැකියාවක් ලබාගන්නටය. පසු කලෙක ඒ මගින් තමාගේ සංගීත කණ්ඩායමට වැඩ ලබා ගැනීම ඔහුගේ අරමුණ වී තිබිණ. දුරකථනයෙන් කතා කළා මිස නුලාරා බලන්න යාමට හෝ ඇය සමග වූ මිතුරුකම අලුත් කරගන්නට සංකල්පනීට වුවමනාවක් නොතිබූ තරම්ය. ඊට තමාව උනන්දු කළේත් බලකලේත් ධනුක බව සංකල්පනීට සිහි වූයේ එවේලෙහිය. ඈ විඳින සැප සම්පත් ගැන සිතේ ලොබක් ඉරිසියාවක් වැනි හැඟීමක් තිබූ බව ඇත්තය. එහෙත් ඇය සතුටින් ජීවත්වනවා දකින්නට මිස ඒ ජීවිතය වරදින්නටයැයි පතන්නට තරම් කුරිරු සිතක් තමාට නොවූ බව විශ්වාසය.
“ඔයා නිදි ඇති කියලා හිතලා මං කතා කළේ නෑ. සුමන කිව්වා ඔයාට නින්ද ගිහින් කියලා.”
“ඇඳට වෙලා හිටියට මට නින්ද ගියේ නෑ රන්දික. හැමදේම හොඳින් නේද?”
“අපි නිහඩව ඉන්න තරමට හැමදේම හොඳින්. ධනුකට වගේම මටත් හංගන්න රහසක් තියෙන හින්දා එතෙන්දි අපි දෙන්නම සීයට පනහ මේ රහස රකින්න එකඟ වුණා.”
“ධනුක දන්නවද මං ආපහු ගෙදර ආව කියල.”
“එයා මගෙන් ඇහුවෙත් නෑ මං එයාට එහෙම කිව්වෙත් නෑ.”
“අපේ නංගිට මුකුත් ප්‍රශ්නයක් වෙයිද?”
සංකල්පනී එසේ ඇසුවත් එහා පසින් පිළිතුරු ලැබුණේ මදක් ප්‍රමාදවය. රන්දික තත්පර කිහිපයක් නිහඬ වූයේ ඇගේ මුවින් ‘අපේ නංගි..’ යැයි පිට වූ වදන් අදහා ගනු නොහැකි කමකින්ය. ඇය නිවසින් පිටව යද්දී සිටියේ සොයුරියත් අම්මාත් දෑසට පෙන්නන්නට බැරි තරම් තරහකින්ය.
“නෑ ඒගොල්ලෝ කොළඹ පදිංචියට එනවනේ. ඒ මල්ලි පහුගිය දවස්වල කොළඹින් ගෙයක් ගත්තා. මමත් උදව් කළා. ඒ හින්ද මං හිතන්නේ නැහැ එයාට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ධනුකවත් අපිවත් පිළුණු වෙච්ච මේ මාතෘකාව ගැන ආපහු කතා කරන්න ඕනෙ නෑ සංකල්පනී. අපි කාටවත් වෙන්නේ හොඳක් නෙමෙයිනං ඒ රහස් රහස් විදියටම වැළලිලා ගියාවේ. මොකද ධනුක එහෙම උනාට එයාගේ පවුලත් මගේ නංගි සම්බන්ධ වෙන මේ පවුලත් මේ ගමේ හරි වැදගත් මිනිස්සු.”
“රන්දික මම කතා කළේ ධනුක ගැන කතා කරන්න නෙමෙයි. ඔයාට පුළුවන්ද මේ වෙලාවෙ විනාඩි පහක් මට ඇහුම්කන් දෙන්න.”
“මට පුළුවන්…”
ඇය ධනුකගේත්, චාරුකගේත් සම්බන්ධය පිළිබඳවත් එදා ඇසුණු වදන් පිළිබඳවත් නුලාරා පිළිබඳවත් ඔහුට පැවසූයේ කෙටියෙන්ය. එහෙත් විනාඩි දහයේ කතාව අඩ හෝරාවක් පමණ ඇදී ගියේ ඇයත් නොදැනුවත්වය. රන්දික සිටියේ උත්සව ශාලාවෙන් පිටතට පැමිණ එහි වූ ගල් බංකුවකින් අසුන් ගෙනය. උත්සව ශාලාව තුළ වූ සංගීත රාවය ඝෝෂාකාරී එකකි.
“මං දන්නෙ නෑ. මං තවත් පරක්කු වෙන එකෙන් එයාලගේ ජීවිත වලට මොනවා හරි කරදරයක් වෙයිද කියලා. මට ධනුකගෙන් පළිගන්න වුවමනාවක් නෑ රන්දික. ඒත් චාරුක කියලා කියන්නේ මේ ලෝකෙ ජීවත් වෙන හරි හොඳ මනුස්සයෙක්. නුලාර කියලා කියන්නෙත් මේ ලෝකෙ මේ තරම් නරක මිනිස්සු ඉන්නවද කියලා දන්නේ නැති හරි අහිංසක ගෑනු ළමයෙක්. කාගෙවත් වුවමනාවකට ඒ දෙන්නා දෙපැත්තට වෙන්න ඕන නෑ.”
“මමත් හිතනවා ඔයා මේ වෙලාවේ චාරුකට කතා කරලා ඔයාට ඇහුනු දේවල් ගැන කිව්වොත් හොඳයි කියලා. ඒ දෙන්නගෙ ජීවිතය ඇතුලේ වැඩිපුර ඉවසන්නේ චාරුකනම් එයා මේ වෙලාවේ නුලාරව ඉවසයි. අඩු ගානේ වෙනදට වඩා චුට්ටක් හරි පරිස්සම් වෙන්න උත්සාහ කරයි.”
“ඔයත් පරිස්සමෙන් ඉඳලා එන්න. නංගිව බලන්න මම ඉක්මනට එනවා කියලත් කියන්න.”
ඇය දුරකථන ඇමතුමට සමුදුන්නේ එසේ පවසමින්ය. ඒ හා සමගම ඕ චාරුකට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. අවසන කාර්යාලීය දුරකථනයට කතාකොට තේජනව සම්බන්ධ කර ගත්තේ චාරුක ඒ ඇමතුමට පිළිතුරු නොදුන් නිසාය.
“අපි ධනුකව සැක කළා” ඔහු එසේ පැවසූයේ විනාඩි කිහිපයක්ම සංකල්පනීට සවන් දීගෙන සිටියාට පසුවය.
“ඔයාට ඒ ඇහුණු නම ගැන පොඩි මතකයක්වත් නැද්ද?”
“මම මතක් කරන්න සෑහෙන්න උත්සාහ කළා. ඒත් ඒ වෙලාවේ එච්චර උනන්දුවකින් ඒක අහගෙන නොහිටපු හින්දද මන්දා මට ඒ නම මතක හිටියේ නෑ. තේජනට පුළුවන්නම් චාරුකට ඉන්න හතුරන්ගේ නම් මට කියන්න. මට මතක් වෙයි.”
“ඇත්තටම එහෙම හතුරෙක් කියලා නමක් කියන්න තරම් කෙනෙක් චාරුකට ඉන්නවා කියලා මං කවදාවත් දැනගෙන හිටියේ නෑ. මම මේ ගැන ඉක්මනටම ඌත් එක්ක කතා කරන්නම්. ඔයාට මේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් තවම චාරුක දන්නේ නැතුව ඇති. මොකද ඒ දෙන්නා පහුගිය දවස් ටිකේම කතා කළේ නෑ.”
“මං ඒක දන්නවා. ඒ නිසාමයි මේ විස්තර චාරුකට කියන්න මං ඉක්මන් උනෙත්. දැන් මම නුලාරටත් කතා කරලා මේ විස්තරේ මේ විදිහටම කියන්නම්.”
“ඒක හොඳයි..”
“යාළුවට කියලා දෙන්න උත්සාහ කරන්න ජීවත් වෙනවා කියන එක ප්‍රශ්න පත්තරේකට නිවරැදිව උත්තර ලියනවා කියන එක හා සමානයි කියලා. අපි උත්තර ලියන්නේ හිතා මතා මිසක් ගෙස් කරලා නෙමෙයිනේ. ගෙස් කරලා උත්තර ලියපු අය අසාර්ථකයි කියන එකත් එයාට කියලා දෙන්න.”
තේජන දුරකථනය කන තබාගෙනම මිතුරා සොයා ගියේ සංකල්පනීට එසේ පවසමින්ය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


