“කොහොමද ඉතින්..”
රන්දික ඇසුවේ වටපිට බලමින්ය. කුඩා කාමරයත්, මුළුතැන් ගෙයක් එකම රාමුවකට දෑස් වලට හසු කරගන්නට ඔහු සමත් විය. තවමත් සංකල්පනීගේ දෑස් නතරව තිබුණේ ඇඳ මත වූ ගමන් මලු වලය.
“ඇයි රන්දික හදිසියේ ආවෙ? කොහොමද මම ඉන්න තැන හොයා ගත්තේ.?”
“ඒක මං කොහොම හරි හොයා ගත්තා.”
“ඒ උනාට රන්දිකට කියන්න දෙයක් තිබුනනම් මට ෆෝන් එකෙන් කියන්න තිබුණා. මේ ආපු ගමන වැරදියි.”
“මම ආවේ මගේ වයිෆ් බලල යන්න ඉතින් ඒ ගමන වැරදියි කියලා ඔයා කොහොමද කියන්නේ?.”
“මැරිලා ඉපදුණා වගේ කතා කරන්න එපා රන්දික. මම දැන් ඔයාගේ වයිෆ් නෙමෙයි කියලා ඔයා හොඳටම දන්නවනේ.”
“ඔයා එහෙම හිතුවට ඒ බැඳීම තවම මම කඩල දාලා නෑ.”
“ඇයි රන්දික ආවෙ. වැරදිලාවත් ධනුක ආවොත් මම ගැන වැරදියට හිතයි.”
“ධනුක මේ වෙලාව එන්නේ නෑ කියලා මම දන්නවා. ගෙදරට ආපු අමුත්තෙකුට තේ එකක් දෙන සිරිතක් නැද්ද.?”
“මාත් එක්ක විහිළු කරන්න එපා රන්දික. ප්ලීස් ඔයා ආපු කාරණය කියල මෙතනින් පිටවෙලා යන්න.”
“ඇයි මේ බෑග් ලෑස්ති කරලා කොහේ හරි යන්නද?”
“ඔව්. ගමේ යන්න..”
“ගමේ කිව්වේ ඔයාලගේ ගමේද ධනුකලගේ ගමේද?”
“ධනුකලගෙ ගමේ..”
සංකල්පනී එසේ පැවසූයේ ඉවත බලාගෙනය. තමාගේ මව්පියන් බැලීමට යාමට සූදානම් වනවායැයි පැවසුවොත් ඔහු පිළිනොගන්නවා ඇතැයි ඇයට සිතිණ.
“හෝම් කමින් එකට ඔයාටත් ඉන්වයිට් කළාද?”
ඔහු එසේ අසද්දී ඈ ඔහු දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. ඒ මුහුණෙහි වූයේ අවඥා සහගත සිනහවක් බව විශ්වාසය.
“ඔයා කොහොමද දන්නෙ?”
“ඒ හෝම් කමින් එකට මටත් ඉන්වයිට් කළා.”
“රන්දික ඔයා මාව විහිළුවකට ගත්තද. කියන්න තියෙන දෙයක් කියලා යන්න. මං ඔයා ගාවින් ආවේ ඔයත් එක්ක තියෙන හැම සම්බන්ධකමක්ම ඉවර කරලා. ඔයාගෙන් ඩිවෝස් එක ඉල්ලුවේ ධනුක එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන හින්දා. තේරුමක් නැති විදිහට මෙහෙම ඇවිල්ලා මට කරදර කරන්න එපා.”
“මං ඔයාට කරදර කළේ නෑනේ! කතා කළා විතරයි. ධනුක එනවද දැන් ඔයාව එක්කරගෙන යන්න. එහෙම නැත්නම් මමත් එක්ක යන්නත් පුළුවන්.”
“පිස්සුද…”
“මම ඒ වෙඩින් එකේ ෆස්ට් ඩේ එකටත් ගියා. මගේ බොහොම ළඟ හිතවත් කෙනෙක්. එහේදි තමයි මට ධනුකව මුණ ගැහුනෙත්. මං ඉස්සර වෙලාම ධනුක එතන දැක්කහම හිතුවේ සින්දු කියන්න ඇවිත් කියලා. පස්සේ තමයි දැනගත්තේ මගේ ඒ හිතවතී කසාද බැන්දේ ධනුකගේ ලොකු තාත්තගෙ පුතා කියලා.”
සංකල්පනී එවර ඔහු දෙස බැලුවේ විමතියෙන් දෑස් විසල් කරගෙනය. දිගු සුසුමක් මුදා හළ ඈ යළිත් රන්දික දෙස බැලුවේ ඒ දෑස් මත කෝපයක් තබාගෙනය. ඔහු තමාව විහිළුවට ගෙන ඇති සෙයකි.
“ඔයා මොකක්ද දැන් මට කියලා යන්න ආවේ. ඒකද..?”
ඔහු සිය ජංගම දුරකථනය මත ඇඟිලි තුඩු එහෙටත් මෙහෙටත් යවමින් සිට ජංගම දුරකථනය ඈ වෙත පෑවේය. තත්තර කිහිපයක් ඒ දෙස බලා සිට දෑස් විසල් කරගත් සංකල්පනී යළිත් රන්දික දෙසට හැරුනේ ප්‍රශ්නාර්ථයක් ඒ දෑස් වල තබාගෙනය.
“නංගි…”
“ඔව් නංගි තමයි..සංකල්පනී ඔතන ඇඳෙන් වාඩි වෙන්නකෝ. දැන් ඔයයි මමයි දෙන්නම හැංගි හැංගි කතා කරන එකේ තේරුමක් නෑ. මගේ නංගි කසාද බැන්දේ ධනුකගේ ඔය කියන මහා අප්පගේ පුතා.”
සංකල්පනී මදක් එහාට වන්නට වූ ඇඳ මතින් අසුන් ගත්තේ ඔහුගේ වදන්වලට කීකරුව නොවේ. තම දෙපා අවසඟව ඇද වැටේ යැයි හැඟුණු බිය නිසාය. සිය දකුණත පපුවට තබාගෙන තද කරගත් ඕ සුසුමක් මුදා හැරියේ බිම බලාගෙනය.
“එදා අපේ ගෙදරින් එද්දි අරගෙන ආපු බෑග් එක නේද මේ. ඔයා ආපහු බෑක් පැක් කරගෙන කාගේ ළඟට යන්නද. මේ ඇත්තට ඔයාට මුහුණ දෙන්නම වෙනවා.”
“ර…..රන්දික….”
මේ හිසට පොල්ලකින් ගැසුවා වන් වදන්ය. ඒ වේදනාව මුළු සර්වාංගය පුරාම පැතිර යන්නට බොහෝ වේලා ගත වූයේ නැත.
“ඔව් මම රන්දික තමයි. අපි ඇත්ත ඇති සැටියෙන් කතා කරමු. ඔයා දැනගෙන හිටියද ධනුක කසාද බඳින්න කෙනෙක් ඉන්නවා කියලා. ඒකට හෙට අනිද්ද දින නියම කරගන්නවා කියලා.”
සංකල්පනී හිස වැනුවේ නැතැයි කියන්නටය. සියල්ල දැනගෙන මෙහි පැමිණි රන්දික අබියස තවදුරටත් සඟවන්නට රකින්නට දෙයක් ඇයට වූයේ නැත.
“දැන් ඔයා මගෙන් ඩිවෝස් එක ඉල්ලුවේ ධනුකව කසාද බඳින්න ඕනේ කියලා. ඔයාලා දෙන්න කතා වෙලාද එහෙම කළේ?.”
සංකල්පනී කතා නොකර ඉඳලා ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ.
“මට එයාව බඳින්න ඕන උනා.”
“එතකොට ධනුක හා කිව්වා…
“එයා කොයි වෙලාවකවත් කිව්වේ නෑ මට ඔයාගෙන් ඩිවෝස් එක ඉල්ලන්න කියලා. එහෙම ඉල්ලන වෙලාවල් වලදිත් එයා කිව්වේ හදිස්සියක් නෑ ඔයාටම එපා වෙලා ඩිවෝස් එක දෙනකල් ඉන්න කියලා.”
“මොනවද සංකල්පනී ඔයා මේ ඔයාගෙ ජීවිතේට කරගත්තේ? ධනුක ඔයාව කසාද බඳින්නේ නෑ. ධනුක ඒක මට කිව්වා.”
“ඔයා මොනවද මේ කියන්නේ.”
“තවදුරටත් ඔයාට හංගන්න දෙයක් ඉතුරු වෙලා නෑ සංකල්පනී. ධනුක පිළිගත්තා ඔයාලා දෙන්න අතර එෆෙයා එකක් තිබුණා කියලා. හැබැයි එයා කවදාවත් හිතුවේ නැහැලු ඔයා මේ විදිහට එයාගේ ළඟට එයි කියලා. එයාට ඕන වෙලා තිබුනේ ගොඩක් පිරිමින්ට වගේ ඔයාව එයාගේ ජීවිතේ එක් චරිතයක් විතරක් කරගන්න. මොකද එයාට කොහොමටවත් දේවිකා අතෑරල ඔයාව කසාද බඳින්න බෑ කියලා කිව්වා. ඔයා බලාපොරොත්තුවෙන තැනවත්, ගෞරවයවත් ඔයාට එයාගෙන් ලැබෙන්නේ නෑ”
සංකල්පනීගේ දෑස් වලින් ගලා ගිය කඳුළු ටයිල් පොළොව මත වැටී බිඳී විසිර ගියේ ඔහේ කියවමින් සිටියදීය. මේ කුමන දඬුවමක්දැයි ඇයට සිතාගත හැකි වූයේ නැත.
“අන්තිමට මං එයාගෙන් ඇහුවේ එකම එක ප්‍රශ්නයයි.”
ඇය කඳුළු පිරි දෑස් ඔසවා ගත්තේ ඔහු එසේ පවසද්දීය. රන්දිකගේ දෑස් රතුව කොපුල් වලට ලේ උනා තිබිණ. එසේ වන්නේ ඔහු කෝප ගත් තැනදීය.
“මොකක්ද දැන් සංකල්පනීට වෙන්නේ කියලා. ඌ මට කියනවා සංකල්පනීගේ අයිතිය තියෙන්නේ මටලු. මං ගෙදර තියෙන තැන කියන්නම්ලු ගිහිල්ලා එක් කරගෙන යන්නලු. කවදාවත් ඔයාට පොරොන්දු වෙලා නැහැලු ඔයාව කසාද බඳිනවා කියලා. මම හොඳ නැති හින්දලු මගේ ළඟ ඉන්න බැරි හින්දලු ඔයා ඌ ලඟට ගියේ. මං හොඳ හස්බන්ඩ් කෙනෙක් උනානම් කවදාවත් ඔයා ඌ ලඟට යන්නේ නැහැලු. ඔයා ආව මිසක් එයා ඔයාව ගෙන්න ගත්තෙත් ඇහැලු. එහෙම වුවමනාවක් තිබුනෙත් නෑලු. ඔයා මගේ ලඟට ආපහු එන්නේ නැත්තම් මේ ඉන්න විදිහටම එයාගේ ළඟ ඉන්න පුළුවන්ලු. මං එතනදි සෑහෙන්න ඉවසුවා සංකල්පනී.”
“ප්ලීස් රනදික ඇති ඕක නවත්තන්න..”
සංකල්පනී එසේ පැවසූයේ තම දෙසවන් දෑත් වලින් වසා ගෙනය. ඔහු උදෑසන කතා කර පැවසූයේත් එවන් කතාවකි. පොළොව පලාගෙන යාමට තරම් දැනෙන මේ ලැජ්ජාව ඉවසාගත හැකිවූයේ නැත. සංකල්පනීට වුවමනා වූයේ රන්දික මෙතනින් එළවා ගැනීමටය.
“අනේ ප්ලීස් රන්දික ඔයා මෙතනින් යන්න මං ඒ ප්‍රශ්නෙ බේර ගන්නම්.”
“මම එහෙම යන්නම් ඔයා මේ බෑග් මළු ලෑස්ති කරගෙන කොහෙද යන්නේ කියලා මට කිව්වට පස්සේ. මොකද ඔයා කීයටවත් ගෙදර යන්නේ නෑ කියලා මම දන්නවා. සංකල්පනී තවමත් ඔයා මගේ වයිෆ්. මේ ජීවිතේ කොතනකදී හරි ඔයාට මොන වගේ අනතුරක් වුණත් ඒකට වග කියන්න ඕනේ මම. ඒක නිසා ඔයාට එහෙම තනි තීරණයක් ගන්න බෑ.”
“අපි ඩිවෝස් නඩු දාල තියෙන්නේ. ඒ නිසා මං කොහේ ගියත් මට මොනව උනත් ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මං ඩිවෝස් වෙන්න කැමැත්තෙන් ඉඳපු කෙනෙක්. ඔයා බයවෙන්න එපා රන්දික. මං දන්න තරමින් කිසිම වෙලාවක මගේ ජීවිතේට ඔයා වගකියන්න ඕන නෑ.”
සංකල්පනී එසේ පැවසූයේ හැකිතාක් සාමාන්‍ය ස්වරූපයට පත් වන්නට උත්සාහ කරමින්ය. එහෙත් ඇගේ කටහඬ බිඳී ගොස් තිබිණ. තමා ජීවිතයේ මේ සා අසරණ වූ දිනක් ඇගේ මතකයේ වූයේ නැත. රන්දිකව මෙතැනින් පිටමන් කරන්නට මිස ඔහු හා එක්ව දුක බෙදා ගන්නට ඇයට වුවමනාවක් වූයේද නැත. එක් දෙයක් විශ්වාසය. මේ ඔහු හැරදා පිටස්තරයෙකු විශ්වාස කරමින් ආ ගමනට ලැබුණු දඬුවමය.
සංකල්පනී සිටියේ බිමට හරවා ගත් දෑස් ඇතුවය. එක්වරම තමාගේ හිස දෙපසට පිරිමි අත්ලක උණුසුමක් දැනෙද්දී ඕ තැති ගත්තාය. මේ උණුසුම කලක් ඇයට නුපුරුදු එකක් වූයේ නැත. ඔහු හිස දෙපසින් අල්වා තමාගේ හිස ඔසවනතුරු සංකල්පනී සිටියේ කිසිවක් කරකියා ගන්නට මගක් නැතුවය.
“මං ඔයාව කසාද බැන්දෙ අතරමග දාල යන්න නෙමෙයි ඔයා මාව දාලා ආවට. සංකල්පනී ඔයාට තියෙන්නේ වටින ජීවිතයක්. ඉස්සර වෙලා තමන් ගැන හිතන්න. මගේ හදවතෙයි, ගෙදරයි ඉඩ තවම ඔයා වෙනුවෙන් එහෙමමයි. මං අහන්නේ නෑ ඇයි ඔයා මාව දාලා ගියේ කියලා. අපි දෙන්න මැරිකලේ යෝජනාවකින්. ඇත්තටම කිව්වොත් ලංකාවට ඇවිල්ලා වෙඩින් එකේ ඇරේන්ජ්මන්ට් වලට එහේ මෙහේ දිව්වා මිසක්කා මට ඔයාව මුණ ගැහෙන්න ඔයා එක්ක කතා කරන්න, ඔයාගේ අදහස් දැනගන්න, මගේ අදහස් ෂෙයාර් කරගන්න අපිට වෙලාවක් තිබුනේ නෑ. ඒක හින්දා අපි දෙන්නම අපි දෙන්නට අලුත් උනා. මං ඔයාට ඕන විදිහට වෙනස් වෙන්න දැනගෙන හිටියෙත් නැහැ. ඔයා මට ඕන විදිහට වෙනස් වෙන්න උත්සාහ කළෙත් නෑ. හැබැයි මං දන්නවා කසාද ජීවිතයක් කියලා කියන්නේ අපි දෙන්නා අන්තිමට එක තැනක ඇවිල්ල නතර වෙන එක කියලා. මොකද්දෝ අවාසනාවකට අපි දෙන්න මැරි කරලා මාස දෙකක් යන්න කලින් අම්මා පැරලයිස් උනා. මං ජොබ් එකට ගියා. ඔයාට සාම්ප්‍රදායික බිරිඳක් වෙන්න උනා. ඔයා දවසෙම ගෙදර ඉඳගෙන මගේ අම්මගෙයි නංගිගෙයි අතරට මැදි වෙලා මොන පීඩනයක හිටියද කියන එක මට හොයන්නවත් අහන්නවත් අමතක උනා. ඔයා මාව දාලා ආවට පස්සේ මං ගොඩාක් හිතුවා. සල්ලි වලට ආස කරපු ගෑනියෙක්නම්, සැප පහසු ජීවිතයකට ආස කරපු ගෑනියෙක්නම් ඔයා මාව දාලා එන්නේ නෑ කියන එක ටික කාලයක් යද්දි මම වටහා ගත්තා. දෙන්නෙකුට හැරෙන්නවත් ඉඩ මදි මේ පුංචි කාමරේ ඇතුලෙ ඉඳගෙන ඔයා හොයන්න ඇත්තේ සතුට, මානසික නිදහස කියලා අද මං හොඳටම දන්නවා. ඒක නිසා මං ඔයාට චෝදනා කරන්නේ නෑ.”
රන්දික එසේ පැවසූයේ ඈ ඉදිරිපසින් සිටගෙන ඒ කොපුල් වලින් අල්ලා ගෙනය. කතා කලේ ඇගේ දෑස්වල වූ කඳුළු පමණි.
(හෙටත් හමුවෙමු ආදරයෙන්.)


