දරුවෙකු පිළිසිඳ ගන්න පෙර සුදානම් වීමක් ඕනෑද?
ඇත්තටම මවක් වෙන්න කලින් පෙර සූදානමක් තිබිය යුතුම වනවා. ඒ සඳහා කායිකවත් මානසිකවත් සූදානම් විය යුතුයි. එහි හිස්තැනක් තබා ගත යුතු නැහැ. දරුවෙකු කුස දැරීමට තමා සුදුසු බව මව වටහා ගත යුතුයි මුලින්ම. ඒ සඳහා දෙදෙනාගේම නිරවුල් එකඟතාවයක් තිබිය යුතුයි. එසේම අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා නිලධාරිනිය මුනගැසී එහි ලියාපදිංචි විය යුතු වනවා. ඒ වගේම පහත ප්‍රශ්න වලටත් නිවැරදි පිළිතුරු ලබා දිය යුතු වෙනවා.
- විවාහ වූ දිනය
- අනුගමනය කල පවුල් සැලසුම් ක්‍රම
- සැලසුම් ක්‍රමවල ආරම්භය
- සැලසුම් ක්‍රමය නැවැත්වූ දිනය
ඒ වගේම මවක වීමට සුදානමින් සිටින්නිය කිසියම් නිදන්ගත රෝගයකින් පෙලෙන්නේද? ඒ සඳහා ඖෂධ ලබාගන්නේද යන්නත් සොයා බැලිය යුතුවනවා. විශේෂයෙන්ම සැමියා මේ පිළිබඳව දැනුවත් වී සිටිය යුතු වනවා. විශේෂයෙන්ම මවගේ වයස සඟවන්නේ නැතිව සත්‍ය තොරතුරු සඳහන් කළ යුතු වනවා. ඒ වගේම පෙර සුදානමේ එක කොටසක් ලෙස පවුලේ ආර්ථික සැලසුම් සකස් කරගෙන තිබීමද වැදගත් වනවා.
ඒ වගේම ෆෝලික් ඇසිඩ් පිළිසිඳ ගැනීමට පෙර භාවිතා කල හැකිනම් වඩාත් සුදුසුයි. කිසිදු රෝග තත්වයක් නොමැති නම් ෆෝලික් අම්ලය මිලි ග්‍රෑම් 1ක් ලබා දීම සාමාන්‍ය ක්‍රමයයි. මුල් අවධියේදී අවශ්‍ය වන්නේ ෆෝලික් අම්ලය පමණයි.
නිදන්ගත රෝග සහ වෙනත් රෝග ඇති අවස්ථාවන්හිදී වෙනසක් සිදුකල යුතුද?
වලිප්පුව හෝ වෙනත් රෝගාභාධ තිබෙන අයෙක් නම් ෆෝලික් අම්ලය මිලිග්‍රෑම් 4 බැගින් ගත යුතු වනවා. ඒ වගේම දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොන්දේ ආබාධ වැනි රෝග වෛද්‍ය උපදෙස් මත සමනය කරගෙන පිළිසිඳ ගැනීමකට යොමු වීම ඉතාමත්ම සුදුසුයි.
ඒ වගේම ඔසප් චක්‍රය අක්‍රමවත් අය බොහෝවිට තමා පිළිසිඳ ගෙන ඇතිබව දැනගන්නේ දරුගැබට මාසයක් හෝ එක හමාරක් පමණ පිරුණු පසුව වීම විශේෂයක්. එයද අනුමාන වන්නේ වමනය, ක්ලාන්තය, ඔක්කාරය, ආහාර අරුචිය පැවතුනොත් පමණයි. විවාහ වූ ආසන්නයේම සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ උපදෙස් ලබා ගත යුත්තේ ඒ නිසායි.
පළමු වෛද්‍ය පරීක්ෂණය
මෙහිදී අවසන් ඔසප් වාරය සිදුවූ දිනය පැහැදිලි කරගැනීම සිදුවෙනවා. එය දරු ප්‍රසුතිය සිදුවන දිනය තීරණය කරගැනීම සඳහා වැදගත් වෙනවා. දෙවනුව මවට තිබෙන රෝග නිධානයන් සොයා බලනවා. ඉන් අනතුරුව හිමොග්ලොබින් මට්ටම, මුත්‍රා පරීක්ෂණ, ලේ වල සීනි මට්ටම පරික්ෂා කර බැලීමත් මවගේ යම් රෝග තත්වයක් වේනම් ඒ ඒ අනුව විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමු කිරීමත් සිදුවෙනවා.
ඒ වගේම නිසි පරිදි ජිවන රටාව නිරෝගීව පවත්වා ගනිමින්, මාතෘත්වය පිලිබඳ තොරතුරු ඇතුලත් ලිපි කියවමින්, කාලය නිසි පරිදි කළමනාකරණයට හුරු වීමෙන් ගර්භනී සමයේදී සහ ඉන් අනතුරුව ප්‍රීතිමත් ජිවිතයක් ගත කිරීමට ඔබට අවස්තාව සැලසෙනවා.
– චම්මි –