ආකර්ෂණීය මනාලියක් වෙන්නෙ කොහොම ද?

0
1661
source : http://4.bp.blogspot.com/-KFJ95eYsWZ4/VV-QVMNhe5I/AAAAAAAADLw/wNBHa2mjhAI/s1600/6.jpg

මනමාලියක් වන්නට බලාපොරොත්තුවෙන් ඉන්න හැම කාන්තාවකට ම තමන්ගේ ජීවිතයේ මංගල දවස ගැන තියෙන්නෙ විශාල හීන කන්දරාවක්. එදාට වෙන කවරදාටත් වඩා වැඩියෙන් ම ලස්සනට ඉන්න ඕනෙ කියලයි හැමෝම ඇයට උපදෙස් දෙන්නෙ. ඉතින් මේ දවසෙ ඇ‍යගෙ සිරුරෙ හැඩය හරියට ම හඳුනගෙන, ඇගේ සිරුරෙ පැහැයට ගැළපෙන විදියට හරියට ම ඇය හැඩගැන්වී සිටීම අතිශයින් ම වැදගත්. මංගල දවස ඔබේ නෑ හිතමිතුරන් සියලු දෙනා ඔබ දෙස වැඩියෙන්ම ඇස් යොමු කරන දවසයි. ඔබේ කොණ්ඩා මෝස්තරය, ඔබේ ඇඳුම්, ඔබේ තොල් සහ නිය ආලේපන, ඔබේ ආභරණ, ඔබේ ගමන් විලාසය, හැසිරීම, කතාබහ, මේ හැම දෙයක් ම කාගෙ කාගෙත් ඇස්වලට හසුවෙනවාමයි. ඒ විතරක් නෙවෙයි ඔබේ යම් අඩුපාඩුවක් තිබුණොත් ඔවුන් ඒ ගැන පොඩියට හරි කතාබහ කරනවාමයි. සුන්දර මනාලියක් හැටියට කැපී පෙනෙන්න, හැම දෙනාගෙම ආකර්ෂණය දිනාගන්න ඕනෑම යුවතියකට අපහසු නැහැ.

මේවා එකක්වත් ගැටළු නෙමෙයි

සමෙහි පැහැය හැම කෙනෙකුගේ ම එක සමාන නැතිබව ඇත්ත. ආභරණවලට, මල් සැරසිලිවලට, ඇඳුම් පැළඳුම්වලට හැම මනාලියක් ම එක ම ආකාරයට වියදම් කරන්නෙ නැති බවත් ඇත්ත. ඒ වගේම ඔබව හැඩගන්වන රූපලාවණ්‍ය ශිල්පීන් හැම කෙනෙක්ම එක හා සමාන දක්ෂයින් නොවන බවත් ඇත්ත. ඔබ හැම කෙනෙක් ම තෝරාගන්නා උත්සව ශාලාවන් එක හා සමාන පහසුකම් පවතින ඒවා නොවන බවත් ඇත්ත. හැබැයි සුන්දර මනමාලියක් වන්නට මේ එකක්වත් ඔබට බාධාවක් නෙවෙයි. හුඟක් සල්ලි වියදම් කරලා, ඉතාම ඉහළ මිළ ගනන්වල සාරි සහ රූපලාවන්‍ය ශිල්පීන් තෝරාගන්නා සමහර යුවතියන් මංගල දිනයේ දී  ආකර්ෂණීය නොවෙන අවස්ථා ඕනෑතරම් තියෙනවා. ඒ වගේම ඉතාම අඩු වියදමින් සරලව මංගල උත්සවය සැලසුම් කරන සමහර යුවතියන් බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගන්නා සුන්දර මනාලියන් බවට පත්වන අවස්ථාත් ඕනෑතරම් තියෙනවා.

සැලකිලිමත් වෙන්න ඕනම දේවල් මෙන්න…

  • රූප ලාවණ්‍ය ශිල්පියා තෝරාගැනීම

ඔබ තෝරාගන්නා රූප ලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය ගැන දෙවරක් නොව කිහිප වරක් හිතන්න. රූපලාවණ්‍ය කටයුතු වෙනුවෙන් ඔබේ මංගල උත්සවය තුළ වියදම් කරන්නට ඇති හැකියාව මුලින්ම සිහි තබාගන්න. ‍පූර්ව අත්දැකීම් ඇති ඔබේ මිතුරියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් මේ ගැන නිවැරදිව දැනුවත් වෙන්න. විවිධාකාර රූපලාවණ්‍ය ශිල්පීන් ඔබට හමුවේවි. සමහර අය තමන්ගෙ කස්ටමර්ගෙ හිතේ තියන දේට ප්‍රමුඛතාවෙ දීලා ඒක ඉෂ්ට කරන අය. තමන්ගෙ හිතේ තියෙන දේ සහ කස්ටමර්ගෙ හිතේ තියෙන දේ විශ්ලේෂණය කරලා අන්තිමට තමන්ගෙ දේම හොඳයි කියලා කස්ටමර්ගෙ ඔලුවෙ ස්ථාවර කරවන අයත් ඉන්නවා. කස්ටමර්ට මොන දේ ඕන වුණත්  ෆිනිෂ් එක තමන්ට ඕනෙ විදියට කරන අය වගේ ම තමන්ට සල්ලි ලැබෙන නිසා කස්ටමර් කියන ඕනෙ එකක් කරන අයත් මේ අතරෙ ඉන්නවා. ඔබ සොයාගන්න ඕනේ මේ එක්කෙනෙක්වත් නෙවෙයි, තමන් සහ කස්ටමර් දෙන්නාගෙම අදහස් වල සුසංයෝගෙකින් වැඩේ හරියට කරන්න සූදානම් කෙනෙක් සොයාගන්න.

  • සාරි සහ ආභරණ තෝරාගැනීම

මේ කටයුත්ත බොහෝ විට ඔබට තනිවම කරන්න ඉඩ ලැබෙන්නේ ම නැහැ. ඔබට අන්දවන කෙනා මෙහි දී සහාය කරගන්න. ඔබේ ශරීර ස්වභාවය, නූතන සාරි විලාසිතා, ඒවායේ වෙළඳපොළ වටිනාකම්, සාරි ‍රෙදි වර්ග, මිඏ දී ගැනීමට ඇති විවිධ ස්ථාන ආදිය ගැන ඔබ ඉතා හොඳින් දැනුවත් වීම අත්‍යවශ්‍යයි. මේ සඳහා ඔබේ අනාගත ස්වාමි පුරුෂයාගේ සහාය ලබාගැනීමත් වැදගත්. සමහර පිරිමින් සාරි තේරීම ආදියට උනන්දු නැති නිසාම ඒ ගැන ඇති අවබෝධයත් අඩු විය හැකියි. නමුත් ඔබට ඔහු සම්බන්ධ කරගැනීම මේ කටයුත්තට යම් ශක්තියක් විය හැකියි. ඔබේ මිතුරියන්, සොයුරියන්, නිර්මාණශීලීව හිතනවායැයි ඔබ විශ්වාස කරන ඕනෑම කෙනෙක් මේ කටයුත්තට ගැළපේවි. කෙසේවෙතත් අවසාන තීරණය ඔබේ පැහැදිලි එකඟතාවකින් සිදුවීම ඉතා වැදගත්. එදාට ඔබ මිළ දී ගන්නා සාරිය සහ ආභරණ අඳින්නේ, පළඳින්නේ වෙන කවුරුවත් නොවෙයි ඔබයි. කෙසේවෙතත් ඔබේ අවශ්‍යතාව ඔබට වැය කළ හැකි මුදල සමඟ ගළපාගන්න. අසීරුවෙන් වියදම් කර අමාරුවේ වැටෙන්න එපා.

  • පාවහන් තෝරාගැනීම

අලෙවිකරුවන් ඔබට බොහෝ අදහස් ලබාදේවි. වෙළඳ පොළේ වෙඩින් යන විශේෂණය මුලට යෙදුණු සියලු භාණ්ඩ සහ උපකරණවල මිළ ගණන් තියෙන්නේ තරමක් ඉහළිනුයි. ‍මිළ දී ගැනීම්වල දී එක්වරම වෙඩින් යන්න සඳහන් නොකර අවශ්‍ය භාණ්ඩ සහ උපකරණ පරීක්ෂා කර බලන්න. පාවහන් ඔබට අවශ්‍ය ආකාරයට නිමවාගන්නටත් සමහර වෙළඳසල්වල පහසුකම් තිබෙනවා. ඔබේ සාරියට ගැළපෙන, ඔබේ ගමන්විලාසයට, උසට වගේ ම ඔබේ පයට ගැළපෙන සහ පහසුවෙන් පැළඳ සිටිය හැකි, නිමාව, පෙනුම වගේම මිළ සාධාරණ පාවහන් යුවළක් තෝරාගන්න.

  • මල් තෝරාගැනීම

මගේ විවාහ උත්සවයේ දී මට තිබුණා ලොකු කැමැත්තක්, සුදු ඕලුමල් කලඹකට. ඒත් ඒක මගේ සාරියට ගැළපෙන්නේ නැති බවට බොහෝ දෙනා නිර්දේශ කළ නිසා මම ලිලී සහ රෝස මිශ්‍ර කළ මල් කලඹක් යොදාගත්තා. ඔබටත් සමහර තීරණවල දී එවැනි අනුගතවීම්වලට යටත් වෙන්න සිදු වේවි. කොහොම වුණත් සාරියේ පැහැයට, ඔබේ සිරුරේ හැඩයට, උත්සව ශාලාවේ ස්වභාවයට, අනුව ඔබ අතේ ඇති මල් කළඹ හොඳින් ගැළපෙන විට එයින් මනාලියට ලැබෙන ආකර්ෂණය තවතවත් වැඩිවෙන බවට නම් කිසිම සැකයක් නැහැ.

  • දෙවැනි මනාලිය සහ මල්කුමාරියන් තෝරාගැනීම

ඔබේ මංගල දවස අලංකාර කරගන්නට දෙවැනි මනාලිය සහ මල්කුමාරියන්ගෙන් ලැබෙන සහයෝගයත් ඉතා වැදගත්. ඔවුන් ඔබේ මංගල ඡායාරූපවලට ආලෝකයක් එකතු කරනවා වගේ ම එදා ද‍වසේ ඔබ දෙස අවධානය යොමුකරන අයට ඔබව මතුකර පෙන්වන්නට සහාය විය යුතුයි. කොළ අතරෙ මතුවී පෙනෙන ‍සුදු රෝස මලක් වගේ ඔබ එදාට පෙනුනොත්, එහෙමත් නැත්නම් විවිධ වර්ණ අතරෙ මතුවී පෙනෙන ප්‍රධානියා ඔබ කියලා එකවරම ඉස්මතු වුණොත් එහෙම වන්නේ ඔවුන්ගේ නිවැරදි සහාය ඔබට ලැබී ඇති නිසයි. විශේෂයෙන් ම ඔවුන්ගේ ඇඳුම්වලට ඔබ තෝරාගන්නා වර්ණ ගැන සැලකිලිමත් වෙන්න. අවපැහැයන් වෙනුවට දීප්තිමත් පැහැයන් තෝරාගන්න. හැබැයි එයින් ඔවුන්ට ඔබ ඉක්මවන ආකර්ෂණයක් ඇතිකරවීම වෙනුවට ඔබ මතුකර පෙන්වන ආකර්ෂණීය බවක් ඇතිවිය යුතුයි.

  • බොරුවට නෙවෙයි ඇත්තට ම හිනාවෙන්න

 මොන තරම් වියදම් කළත්, මොනතරම් හැඩට ඔබ හැඩගන්වා තිබුණත් එදා දවසේ ඔබ සතු සුන්දර සිනහව විකසිත වුණේ නැත්නම් ඔබ ආකර්ෂණීය මනාලියක් වන්නේ නැහැ. ඒ නිසා හැකිතාක් සංයමශීලීව, පහසුවෙන්, සැහැල්ලුවෙන් සහ අව්‍යාජව ඔබේ සිනහව අවදි කරවන්න. මුහුණට ආරූඪ කරගන්නා අමුතු හසරැලිවලින් ලස්සන එකතු වන්නේ නැහැ. මේ නිසා ජීවිතයේ ඔබට එළඹී ඇති වැදගත්ම මොහොතේ ඔබේ ආකර්ෂණීය බව උපරිමයෙන් පවත්වාගන්න.

– නිරංජලා –