කාවින්දි උදේ අවදි වුණේ තද හිසරදයක් එක්ක.ඊයේ රෑ තිස්සේ චූටි පුතා හිටියේ කරදර කරමින්.සමහර වෙලාවට චූටි පුතා රෑට නිදාගන්නේ නැතුව එහෙම කරදර කරනවා.එහෙම දවසට උදේ ඇහැරෙනවා කියන්නේ හරිම වේදනාවක්.
“ගයන්ත,මට එළවළු ටිකක් කපලා දෙනවද?”
කාවින්දි ගයන්තට කතා කරේ හොඳටම පරක්කු වෙලා නිසා.ඇත්තටම තවත් පරක්කු වුණොත් හැම වැඩක්ම අවුල් වෙන බව හිතෙනකොට ඇයට දැනුනේ බයක්.
“මොන කරදරයක්ද කවි.මට නිදා ගන්න ඕන”
එම කියපු ගයන්ත ආයෙම නිදාගන්න පටන් ගත්තා.කාවින්දි මුළුතැන් ගෙට ගියේ හිතේ අමාරුවෙන්.ඉක්මනින් මොන මොනවා හරි උයලා ඉවීම අවසන් කරන්න තමයි ඇයට වුවමනා වුණේ.
“කඩෙන් කමු”
වගේ කතා ගයන්තට නොගැලපෙන බව ඇය දන්නවා.
“ඔයාට තමයි මේ ඔලුවෙ කැක්කුමක් හැදුණු වෙලාවට පරිප්පු වෙන බිත්තර තම්බල නිකන් ඉන්න හිතෙන්නේ.පහුගිය දවස්වල අර වෛරස් උණ හැදිලා ඉන්නකොටත් අපේ අක්කා උයපු දේවල් ඔයා දකින්න ඇතිනෙ.ඒවා උයලා ලස්සනට පිලිවෙලට හදලා එයාගේ ෆේස්බුක් පේජ් එකත් අප්ඩේට් කරනවා.”
ගයන්ත ගෙදරින් එලියට බැස්සේ එහෙම චෝදනාවක් කරමින්.ඊට පස්සේ මිදුල වටේට ඇස් යවලා ආයෙමත් කාවින්දි දිහා අමනාපයෙන් බලන්න ඔහු අමතක කළේ නෑ.
“ඇත්තටම මට අපේ අක්කත් එක්ක ඔයාව සසඳන්නේ නැතුව ඉන්න හිතෙන්නෙ නෑ.එයාගෙ ගාඩ්න් එක බලන්නකෝ.පුදුම ලස්සනක්නෙ.”
ගයන්ත ගෙදරින් යන්න ගියේ දෙවැනි වතාවටත් කාවින්දිට චෝදනාවක් කරාට පස්සේ.වෙහෙස මහන්සි දැනෙන දවසක් නොවුණානම් රහට උයන්න තමන් අමතක නොකරන බව ඈ දන්නවා.ගෙවල් අස් පස් කරල අක්කා වගේ ලස්සනට ගෙවල් දොරවල් තියාගන්න දන්නේ නෑ කියලා ගයන්ත මොනතරම් දොස් කිව්වත් කාවින්දි අස්පස් කිරීම මඟ හරින්නේ නැහැ.ඒත් අසනීපයක් ආපු දවසට,පුතා කරදර කරන දවසට ඒ දේවල් එහෙම කරගන්න අමාරුයි.
“අපේ අක්කා වගේ වෙන්න තියෙනවා නම් ගෑනියෙක්ට වෙන දෙයක් ඕන නෑ.”
ගයන්ත හැම වෙලාවෙම නගන්නේ ඒ චෝදනාව.ඒත් ගයන්තගේ අක්කත් ඉස්සර ඒ විදියට හිටපු බවක් කාවින්දිට මතක නැහැ.අක්කට තිබුනෙත් සාමාන්‍ය ජීවන රටාවක්.සමහර වෙලාවට අක්කාගෙ ගෙදර යනකොට පුටු උඩ ගොඩගහපු රෙදි කන්ද පවා කාවින්දි ට අමතක වෙන්නේ නැහැ.
ඒත් හැම දෙයක්ම වෙනස් උනේ එක්වරමයි.අක්කා රස්සාවෙන් අයින් වුණේ ඉතාම මෑතකදි.ඊට පස්සේ පරිපූර්ණ ගෘහනියක වීම තමන්ගේ එකම සිහිනය බව ඇය නිතරම ෆේස්බුක් මත කියන්න පටන් ගත්තා.”ලස්සන ගෙදර” කියන නම දුන්නු ඇගේ ෆේස්බුක් පේජ් එක කාන්තාවන් අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ රූපලාවන්‍ය සන්නාමයටකටත් වඩා වේගයෙන්.
දැන් හැමෝටම ලස්සන ගෙදර අයිති අවන්ති අක්කාට වඩා කෙනෙක් නැති තරම්.
“අනේ මට නම් නම් ඕවාගෙ විස්වාසයක් නෑ දුවේ.ඉස්සර කාමරේ අපාය කරගෙන හිටපු කෙල්ලනෙ ඔය.මට ඔය කියන කතා ගැන ලොකු ඔපයක් පේන්නේ නෑ.ෆොටෝ පෙන්නනවා වීඩියෝ පෙන්නනවා මාත් ඉතිං ඕවා ඇත්ත කියල හිතා ගන්නවා.මට ඇස් දෙකෙන් දකින්න නෑනේ.”
ගයන්තගේ පොඩි මල්ලිගේ පවුලේ අය එක්ක විදේශයක ජීවත් වෙන ගයන්තගේ අම්මා නම් අවන්ති අක්කා ගැන එහෙම ලොකු පැහැදීමකින් කතා කරේ නෑ.ගයන්ත නම් කියන්නේ අම්මාටත් ඉරිසියාව කියලා.
“ඔන්න ඔහේ තියෙන දෙයක් කමු බබා.ඔයාට අස් කරන්න බැරි නම් නිකන් ඉන්න අනේ.මල් මවල ඔයාට සාත්තු කරන්න වෙලාවක් තියෙනවද?”
වගේ ප්‍රශ්න ඉස්සරහ අහමින් ජීවිතය බොහොම පහසු කරපු ගයන්ත දැන් සම්පූර්ණයෙන්ම වෙනස්.අක්කගේ ෆේස්බුක් පේජ් එක බලමින් කාවින්දිට දොස් කියන එක ඔහුට පුරුද්දකට ගිහින්.අක්කා වගේ පරිපූර්ණ වෙන්න පුළුවන් නම් ජීවිතය පුදුමාකාර විදියට සුන්දර වෙන බව දැන් ගයන්තගේ දෛනික මන්තරයක් බවට පත්වෙලා.
“අක්කලගෙ ගෙදර යං?”
ගයන්තගෙන් ඒ යෝජනාව එන හැම වතාවකම ඒ කතාව මඟ හරින්න කාවින්දි වග බලාගත්තා.දුරකථන තිරයෙන් දකින,දුරකථන ඇමතුමකින් අහන දේවල් වලින් මේ විදියට දොස් තියනවනම් ඇත්තටම අක්කගේ ජීවිතය දැක්කහම ගයන්ත මොනතරමට දොස් කියයි ද කියලා කාවින්දිට හිතාගන්න බෑ.
ඒත්,හැමදාම හැංගිලා ඉන්නත් බැහැ. අක්කගෙ ගෙදර යාම ප්‍රතික්ෂේප කරන කාවින්දි ට හැමදාම ඒ විදියට ඉන්න දෙන්න ගයන්තට හිතුණේ නැහැ.එක සති අන්තයක බලහත්කාරයෙන් වගේ ඒ ගමන යන්න කාවින්දි ට සිද්ධ වුණා.
“මොනවා හරි හදාගෙන යන්න වෙයි නේද?”
ගමනට දවසක් තියා කාවින්දි එහෙම අහනකොට ගයන්ත ඇය දිහා බැලුවේ සමච්චලයට වගේ.වෙනදාට නම් කාවින්දි හදන චොකලට් කේක් එකට අක්කලගෙ ගෙදර අය හැමෝම කැමති බව ගයන්ත කියන්නේ වර්ණනාත්මක හඬින්.
“ඔයාට පෙනෙන්නේද අක්කා හදන කෑම ජාති.ඔයා මේ හාල්පොත වගේ හැමදාම චොකලට් කේක් එකක් අරගෙන යන්නේ මොකටද? මෙන්න මෙහෙ කඩෙන් මොන හරි අරගෙන යමු.”
කාවින්දි මුකුත් නොකියාම ඒ වචනයට එකඟ වුණා.එකඅතකට අක්කා මේ වෙනස් වෙලා තියෙන වෙනස්වීමක හැටියට චොකලට් කේක් එකක් අරගෙන යන්න කාවින්දිටත් ලැජ්ජ හිතුණු තරමක්.
“බලන්නකො අක්කා වෙනස් වෙලා තියන තරම.”
මලින් පිරුණු ගෙවත්ත සහ ඈතින් පේන එළවළු කොටුව දිහා බලාගෙන ගයන්ත එහෙම කියද්දි අද ගෙදර ගිහින් බැනුම් අහගන්න වෙන තරම ගැන කාවින්දිට දුක හිතුණා.ගයන්ත වාහනෙන් බිමට බැස්සෙම අක්කා අගය කරමින්.
“අවන්තිගෙ මල්ලි කියලා කියන්න මට දැන් සෑහෙන ආඩම්බරයි හොඳේ.”
අක්කා හිනා කටක් පුරවාගෙන පුතාව වඩා ගත්තා.අද සෙනසුරාදා දවසක් වුණත් අක්කලගෙ දරුවෝ දෙන්නාම අමතර පන්ති ගිහින්.අක්කා මුළුතැන්ගෙයට ගිහින් රසම රස බීමක් අරගෙන ආවේ ඒ වෙලාවේ.
“අනේ අක්කා.මට රෙසිපි එක දෙනවද?”
කාවින්දි එහෙම අහනකොටනම් ගයන්ත හිනා වුණා.”අහගෙන ගියාට හදනවද” කියලා අහන්නේ නැතුව හිනා වෙන බව දැනුනත් කාවින්දි මොකුත්ම නොකිය ඉන්න තීරණය කළා.
සමහර රහස් හැමදාම රහසක් විදිහට තියෙන්නේ නැහැ.දවල්ට උයන්න උදව් දෙන්න අක්කා එක්ක කුස්සියට යන්න කාවින්දි හිතුවෙ අක්කා අළුතෙන් ඉගෙන ගත්ත ඉවුම් පිහුම් රහස් ඉගෙන ඉගෙන ගන්නත් හිතාගෙන.අක්කාගේ කෑම මේසයේ හැඩ වැටෙන කෑමවලින් එකක් හරි ඉගෙන ගන්න පුලුවන්නම් ගයන්තගේ කියවිල්ල නවත්තන්න පුළුවන් වෙයි.
“කරන්න දෙයක් නෑ නංගි.”
අක්කා එහෙම කියනකොට කාවින්දි ට හිතුණේ අක්කා අමුත්තො එන්න කලින් හැම දෙයක්ම සූදානම් කරලා ඉවරයි කියලා.අක්කා ලියන්නෙත් එහෙමයි.අමුත්තන් එන්න කලින් උයන පිහන කටයුතු ඉවර කරාම හරිම නිදහස් කියලා.
“රෝජා එක්ක ඔයාලා මොනවා කරන්නද නංගි කිචන් එකේ.”.
කමල් අයියා සද්දෙට එහෙම කිව්වේ ඒ වෙලාවේ.
කවුද රෝජා?
අක්කගෙ අලුත් ගෘහ සේවිකාව බොහොම කඩිසර ගැහැනියක් බව කමල් අයියා කියනකොට දියෙන්ම අඳුරු වෙන්නේ අක්කගෙ මුහුණද මල්ලිගෙ මුහුණ ද කියලා තීරණය කරන බහුවරණ ප්‍රශ්නයක කාවින්දි පැටලිලා හිටියේ.
“ඔය ඉවුම් පිහුම් ඔක්කොම කරන්නේ රෝජා.මහන්සියෙන් වතු බංගලාවල වැඩකරපු අය නේ.ඒ නිසා උයල පිහල එක විදියකට ඉන්නෙම නෑ.මුළු වත්තම වගා කරලා මල් හිටෙව්වේ රෝජා තමයි.අවන්තිට තියෙන්නෙ රෝජාගෙන් රෙසිපි අහන් ෆේස්බුක් ලියන්න”
කමල් අයිආ හයියෙන් හිනා වෙන්නේ සමච්චලයට වගේ.අක්කා ඉක්මනින් කෑම මේසය ලෑස්ති කරේ ඒ කතාව නවත්තන්න කියල දන්න නිසා කාවින්දිත් ගිහින් අක්කාට උදව් කරා.
ආපහු එනකොට කාවින්දි හිටියේ හිතේ සැනසිල්ලකින්.අක්කා අනිත් අයව කොහොම රැවැට්ටුවත් කමක් නෑ.අක්කාගෙ මල්ලි මල අක්කාගෙ කතා වලට රැවටිලා තමන්ට පීඩා කරන එක අදින් නවතින බව හිතෙනකොට හයියෙන් කෑගහලා හිනා වෙන්න තරම් සන්තෝසයක් කාවින්දි ට දැනෙනවා.
“අද මගේ මල්ලි නංගිත් පුංචි පුතාත් එක්ක අපිව බලන්න ආවා.මම ඉතින් එයාලට රසට කන්න ලෑස්ති කරා.”
.
ලස්සන ගෙදර අවන්ති අක්කා එහෙම ලියපු සටහනත් කෑම වර්ගත් ඇගේ රසිකාවියන්ගේ නොමඳ පැසසුමට ලක් වෙලා.කාවින්දි ඒ සටහන දිහා බලන් ඉඳලා ගයන්ත දිහා බැලුවේ හිනාවකින්
“රැවටෙන්න වගේම රවටන්න හරිම ලේසියි නේද?”