(අ)හිමි සිහින -224

බණ දේශනා කරන තැන තබන්නට මා සුධාරකගේ ජීවමාන ප්‍රමාණයේ විශාල ඡායාරූපයක් රාමු කරවාගත්තා.ඒ මා විසින්ම ඔහුගේ අවසාන උපන්දිනය දා මගේ ජංගම දුරකථනයෙන් ලබාගත් ඡායාරූපයයි.එය මගේ ෆේස්බුක් ගිණුමේ මා පළ කළ පසු ඔහුගේ අවමංගල්‍ය කටයුතු සඳහා ද සියලු දෙනා යොදාගනු ලැබූ ඡායාරූපයයි.අද ඔහුගෙන් හිස් වූ පුටුව පිටුපස ඇත්තේ ද මේ ඡායාරූපයයි. මා හිස ඔසවා බලන බලන වාරයක් පාසා මට ඔහු පෙනෙන අතර ඔහු මා හා හිනැහෙමින් හිඳිනවා.වඩාත් ජවයකින් ඉදිරියට යන්නට මගේ හදට දිරිය ගෙනෙන්නේ ඒ සිනාවයි.

බණ අසන්නට පැමිණ සිටි විශාල පිරිස මධ්‍යයේ ආලෝකමත්ව දැල් වී ඇති වියන යටින් වැඩියේ රටේ පිළි ගත් මහාවිහාරයක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක්.උන්වහන්සේ ඉතාමත් ප්‍රායෝගික අවස්ථාවට උචිත වන ලෙස බණ දෙසුවේ සුධාරකගේ හදිසි වියෝවෙන් ඔහු අපට ඉතිරි කර ගිය පාඩම් බොහොමයක් මතක්කර දෙමින්.

බණ පටන්ගන්නට මත්තෙන් මම හදවතින් සුධාරකට ආරාධනා කළා. වෙනදා වාගේම මා ළඟින් හිඳගෙන ඔහු වෙනුවෙන්ම ඔහුගේම වහල යට මා මේ සූදානම් කළ බණ අසා ඒ පින් සියල්ල අවබෝධ කර ගන්නා ලෙස මා හදවතින් පැවසූවා. ඔහු එලෙස මා ළඟ ඉන්නට ඇති.ඔහුගේ ඉල්ලීම ඉටු කළාට රහසින් මගේ නළල සිප ගන්නට ඇති.
“මැණිකේ ඔයාට පින් මරණයෙන් මතුත් මා දරාගෙන යනවාට” යි මගේ කනට මුමුණන්නට ඇති. බණ පටන්ගන්නට විනාඩි කිහිපයක් තබා හදිස්සියේ මුලු නිවසේම පැතිරී ගිය පෞරාණික විහාරස්ථානයක බුද්ධ කුටියකින් නැගෙන්නාක් වැනි සඳුන් සුවඳ මට යම් දෙයක් කියා පෑවා. මගේ රට ජාතිය බේරාගත් පිනම ඇති ඔබට හොඳ ආත්මයකට යන්න.

බණ දේශනා කළ ස්වාමින්වහන්සේ පෞද්ගලිකව සුධාරක දන්නා හඳුනන නිසාත් මා ඔහු වෙනුවෙන් ඔහු ගිලන්ව සිටි මාස අටක් පුරාවට කළ නොපසුබට සටන හොඳින් දන්නා නිසාත් ඒ බණ දේශනාව තුළ උන්වහන්සේ වැඩිපුරම මට හිත එකඟකරගෙන සත්‍යයට අප මූහුණදියයුතු බව පසක් කරලමින් අර්ථවත්ව ධර්මය දේශනා කළා

ඉන්පසු දා දසනමක් විෂයෙහි පූජා කරන්නට ප්‍රණීත වූ සාංඝික දානය හා පැමිණ සිටි පිරිස වෙනුවෙන් දිවා ආහාරය ද මා කිසිදු අඩුපාඩුවක් නොවන්නට කේටරින් ආයතනයකට බාර දුන්නා.

කතාව ඔබට මේ හැමදේටම වඩා සිතට ආ දේ මම දන්නවා.

“අනුරාධා චෙෆ් කෙනෙක් වෙලත් ඇයි දානය කේටරින් එකකට දුන්නේ?”

මේ නිවස ඉතා අපිලිවෙලට හැදූ නිවසක් බවක් මම පවසා තිබෙනවා.සාලයත් එක්කම තිබූ කුඩා මුළුතැන්ගෙය තුළ හැරෙන්නට ඉඩපාඩු තිබුණේ එක් අයෙකුට පමණයි.ටෙන්ට් එකක් ගසා හෝ ඒ කාරිය කරගන්නට පුළුවන්කමක් කිසිසේත් නැහැ.නිවසේ වැඩි කොටස වීදුරු වලින්ම නිම කර ඇති නිසා එය නිවස ඇතුලට ඉතා අශෝභන ලෙස පෙනෙනවා.කුඩා වපසරියක් ඇති ඉඩමේ අපට එය අමුත්තන්ට කරදරයක් නොවන ලෙස කරගැනීමටත් නොහැකියි.එයත් ප්‍රධාන හේතුවක්.

එසේම ජීවත්ව සිටියදී මම සුධාරකට තුන්වේල රසට උයා ඔහු ආසා කල ආහාර මගේ අතින්ම හදා ඔහුට කන්නට දුන් ගැහැණියක්.උදේට දවල්ට රෑට යන සියලු ආහාර වේල් මා එකිනෙකට වෙනස් වූ ලෙස සාදා ඔහුට දුන්නා.ඒ වාගේම පුරුද්දක් ලෙස හැකි සියලු අවස්ථාවන් වලදී අපි තුන්දෙනාම එක මේසයක එකට ආහාර ගන්නට පුරුදුවී සිටියා.සුධාරක අපට කෑම බෙදනවිට එතරම් උස නැති කුඩා දියණිය පුටුව උඩ නැග කෑම බෙදන්නට පුරුදුවී සිටියා. ඔහු ජීවිතයේ පැතූ සතුට සහනය ඔහු ඒ කෙටි කාලය තුළ උපරිමයෙන් වින්දා.ඒ නිසා මට සූපවේදිනියක් වූවත් සැමියා කන්නට ආසා දේ මගේ අතින් සාදා දානයට පිළිගන්වන්නට කියා හිත සනසාගන්නට අවශ්‍ය වූයේ නැහැ.

ජීවත්ව සිටියදී නොසැලකූ ආදර කරුණාවක් නොතිබූ තැන්වල කෙනෙකුගේ මරණයට පසු හඬා වැලපෙන අන්දම මගේ මේ දෙඇසට අනන්ත දැක තිබෙනවා.මගේම නැන්දණියක් ජීවත්ව සිටියදී ඇයට කන්නට බත්කටක් නොදුන් ඇයට හැකි තරම් මානසික වද දුන් ඇගේ ලේලිය නැන්දා මියගොස් පෙට්ටිය චිතකයට දමන්නට වසන මොහොතේ

“අනේ දැන් මං කාටද බත් අනලා කවන්නේ”

යැයි විලාප තබාගෙන පෙට්ටියට පැන්නා.ඒත් ඇය ඒ මහලු කතට සැලකූ අයුරු දන්නා එතැන සිටි සියල්ලන්ම ඒ ශෝකාකූල අවස්ථාවේදීත් එකිනෙකාගේ මුණු බලා හිනැහුණා.මම සිතන්නේ අපි එසේ සමාජයට විහිලු සපයන්නන් නොවිය යුතුයි.කෙනෙකු මැරුණදාක ඉන්නකම් කන්නට බොන්නට නොදුන් කිසිවෙක්

“අනේ මහත්තයා ඉන්නල කන්න හරි ආසයි”

“අනේ අපේ අම්මා කිරි කොස් කන්න හරි ආසයි”

යැයි කිය කියා සංඝයා විෂයෙහි පිළිගැන්වීම නිශ්ඵල දෙයක් යැයි මට සිතෙනවා.සමහරවිට මියගිය ඥාතියා කන්නට කැමති දේ සංඝයා වහන්සේලා හෝ අවශේෂ අය අනුභව කරන්නට අකමැති වන්නටත් පුලුවන්.

දෙමාපියන්න ඉන්නතුරු නොසැලකූ මලගමට හෝ සහභාගී නොවූ දරුවන් ඉතා වියපැහැදම්කොට පින්කම් කරනවා මා දැක තිබෙනවා.පින්කම් කිරීම වටිනවා නමුත් ආදරණීයයන් ජීවතුන් අතර ඉද්දී ඔවුන්ටම ආදරෙන් සැලකීම ඊට වඩා වටිනවා.ඒ ඔබ කෙතරම් පින් කළත් ඒ කිසිවක් ඔවුන්ගේ ඇරුණු ඇසට නොපෙනෙන නොලැබෙන නිසා. හිත හදාගන්නට කරන පින්කමේත් සැදැහැ සිතින් කරන පින්කමේත් ආනිසංස දෙකක් ඇතැයි මට සිතෙය

ඒ නිසා සුධාරක කෑමට ආසා කරන දේවල් මා අතින් සකසා පිලිගන්වා හිත හදාගන්නට මට උවමනාවක් තිබුණේ නැහැ. ඊටත් වඩා මගේ හිතේ තිබුණේ අඩුපාඩු සහිතව දානයක් වැනි පුන්‍ය කර්මයක් කරනවාට වඩා එය පිළිවෙලකට ලස්සනට සැදැහැසිතින් කිරීමෙන් ඊටත් වඩා කුසලයක් ලැබෙන බවයි. අපේ නිවසේ ඒ තරම් විශාල පින්කමක් කිරීමට අවශ්‍ය පමණ පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු තිබුණේ නැහැ.ඒ නිසා දානය වෙනුවෙන් පූජා කිරීමට නිවසේ යම් කිසිවක් මා අතින් සෑදිය යුතු නිසා මා ව්‍යාංජන කිහිපයක් පමණක් සකසා සූදානම් කළා.

ඉතාමත් අලංකාර ලෙස සකසා තිබූ බුද්ධ මණ්ඩපයත් පනවා තිබූ අසුන් සහ මේස මත ඉතා පිලිවෙලට දානයට අවශ්‍ය සියලු දේ සැකසූ පසු මට හදවතට දැනුණේ මහා ප්‍රීතියක්. එය මහා සහනයක් හා මුසුවූ අමුතුම සතුටක් ලෙසයි මට දැනුණේ.කිසිදු කෙලෙස් සිතක් මා තුල තිබුණේ නැහැ.මා සිටියේ අප්‍රමාණ සතුටින්.සුධාරක වෙනුවෙන් මා කරන කිසිදෙයක් වලක්වන්නට සමත් කිසිවෙක් දැන් මේ ලෝකයේ නැහැ.

මහා සංඝරත්නය දනට වඩින අවස්ථාවේදී අපූරු සිදුවීමක් ද වුණා.කරඬුව වඩම්මාගෙන ඒමට කෙනෙකු ඉදිරිපත් වී තිබූ නමුත් නායක ස්වාමීන්වහන්සේ එයට මට කතාකොට තිබුණා.නමුත් මා සිටියේ දෙගිඩියාවෙන්. සත්‍යය අසත්‍යය කෙසේ වෙතත් කාන්තාවන්ට කරඬුව වඩම්මන්නට අකැප බව හැමතැනම මා දැක තිබෙනවා.ඒ නිසාම මම ස්වාමීන්වහන්සේ ගෙන් යටහත්ව මෙසේ ඇසුවා.

“අවසර අපේ හාමුදුරුවනේ.කාන්තාවන්ට කරඬුව වඩම්මවන්නට දෙන්නෙ නෑ නේද.එහෙම හොඳයි ද?”

එයට සිනාසුණු ස්වාමීන්වහන්සේ සියල්ලන්ම ඉදිරියේ

“අනේ නෝනා ඒ මිනිහා ඉන්නකම් කන්න බොන්න අඳින්න පලඳින්න දීලා සියලු ඕනෑ එපාකම් අම්මා කෙනෙක් වගේ කලා නම්.අසනීපෙට බැලුවා නම් මේ තරම් පිලිවෙලට ලස්සනට මේ දාන මාන තනිවම ලකලැහැස්ති කලා නම්.මේ කරඬුව ඔබතුමියට වඩම්මන්න බැරි මොකද?එහෙම විකාර සිරිත් බුද්ධාගමේ නැහැ.”

එය මට අප්‍රමණ සතුටකුත් පුන්‍යවන්ත හැඟීමකුත් ගෙන දුන්නා. මා ඒ කරඬුව වඩමවාගෙන ආවේ කිව නොහැකි තරම් චිත්ත ප්‍රීතියකින්

“අනේ මගේ මහත්තයා ඔයා හොඳ තැනක ඉඳලා මා දිහා බලාගෙන ඇති.මේ වාගේ පින්වන්ත දේවල් මා අතින් කරවන්නේ ඒ නිසා වෙන්නැති”

එසේම මේ නිවසේ ඔහු ඉන්න බවට මට යම් යම් දේ නිසා දැනුණා.ඒ ගැනත් මම පසුව කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles