මංගල සාරිය තෝරාගන්න කලින් හිතන්න දේවල්

0
2053

මංගල උත්සවයක දී වැඩිදෙනාගේ සුවිශේෂ අවධානය යොමුවන්නේ මනාලිය වෙතටයි. මේ නිසා හැම මනාලියක් ම තමන්ගේ  ඇඳුම, ගමන, කොණ්ඩා මෝස්තරය, ආභරණ, හැසිරීම ආදී සියල්ල එදා දවසේ දී වඩාත් ආකර්ෂණීය ව පවත්වාගන්නට හුඟක් වෙහෙසෙනවා. මංගල සාරිය නිවැරදිව තෝරාගන්නට මෙහිදී ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුමයි. ඒ නිසා මේ කරුණු මංගල සාරිය තෝරාගන්න කලින් ඔබේ අවධානයට ඉතා වැදගත් වනු නොඅනුමානයි.

සාරියේ මිල

ඔබේ මංගල උත්සවය සැලසුම් කරන විට  ඇඳුම් වෙනුවෙන් ඔබ වෙන්කරගත් මුදල ගැන සැලකිලිමත් වෙන්න. සමහරවිට සාරියේ වටිනාකම කීයක් වුණත් එය මිළදී ගන්නට ඔබට හැකියාව ඇති. එසේ නැත්නම් ලස්සනයි නම්, හිතට අල්ලනවා නම් ගාන ප්‍රශ්නයක් නැහැ කියන මතයේ ඔබ හෝ ඔබේ විවාහ උත්සවය සැලසුම් කරන වැඩිහිටියන් සිටිනවා විය හැකියි. කෙසේ වෙතත් වෙළඳපොළේ අධික මිළෙන් යුත් සාරියක් ඔබට ඒ හා සමාන පෙනුමකට නිමකරවාගැනීමට දක්ෂ ශිල්පීන් සිටිය හැකියි. ඒ නිසා ඔබේ වියදම් සීමාව හඳුනාගෙන උසස් නිමාවෙන් හා ආකර්ෂණීය බවින් වැඩි සාරියක් මිළ දී ගැනීමයි වඩාත් වැදගත් වන්නේ.

අඳින ක්‍රමය

ඔබ උඩරට ක්‍රමයට ඔසරිය අඳිනවාද, පහතරට ක්‍රමයට සාරිය අඳිනවාද… යන්න මත ඔබ තෝරාගන්නා සාරිය වෙනස් වෙනවා. වෙළඳ පොළේ ඇති සමහර සාරි ඔසරි අඳින්නට පමණක් ගැළපෙන අතර, සමහර සාරි ඔසරිය ඇඳීමෙන් සිරුරට අලංකාරයක් එක්වන්නේ නැහැ. මේ නිසා ඔබ සාරිය අඳින ක්‍රමය පූර්වයෙන් නිශ්චය කරගන්න.

සිරුරේ හැඩය

ඔබ තෝරාගන්නා සාරිය ඔබේ සිරුරේ හැඩය අනුව වෙනස් කරගත යුතුයි. මහත, උසින් අඩු සිරුරක් හිමි තරුණියකට ඇඟට ම ඇලී ඇති, හොඳින් කඩා හැලෙන සාරියක් හෝ ක්‍රේප් සිල්ක් සාරි වඩාත් ගැළපෙනවා. එහෙත් සිහින්, කෙට්ටු සිරුරක් හිමි යුවතියකට වඩාත් ගැළපෙන්නේ පල්ලුවේ බෝඩරය උකුළේ පළල පෙනෙන ආකාරයට නිර්මාණය වී ඇති සාරියක්. එයින් සිරුර වඩාත් පළල් කොට පෙන්වනවා. පල්ලුව පටුවට පෙනෙන කුඩා බෝඩරයක් ඇති සාරියක් මහත සිරුරක් හිමි යුවතියකට වඩාත සුදුසු වෙනවා.

සිරුරේ වර්ණය

ඔබ කැමති සාරිය කවරක් වුණත් එය ඔබේ සිරුරට ගැළපෙන්නේ සිරුරේ වර්ණය හා එය ගැළපෙනවානම් විතරයි. ඕනෑවට වඩා දීප්තියෙන් වැඩි සමහර සාරි මෝස්තර ඔබේ සිරුරේ වර්ණ යටපත් කර සාරිය උලුප්පා දක්වනවා. සිරුරේ වර්ණය වඩාත් මතුකරන අයුරින් සාරියේ පැහැය පවත්වාගැනීම මංගල දිනයේ සාරිය තෝරාගැනීමේ දී ඉතා වැදගත්.

ආභරණ

ඔබ අඳින සාරියට රත්‍රන් , සිල්වර් හෝ මුතු සහ මැණික් මිශ්‍රිත ආභරණ අතරින්  සාරියෙහි මෝස්තරය, එහි වර්ණය, අලංකරණ ශිල්ප ක්‍රම අනුව වඩාත් ගැළපෙන පරිදි ආභරණ වර්ග තෝරාගැනීමත් වැදගත්. මේ සඳහා ඔබේ රූපලාවන්‍ය ශිල්පියාගේ සහ ඇඳුම් නිර්මාණ ශිල්පියාගේ උපදෙස් ලබාගැනීමත් වැදගත් වේවි.

– නිරංජලා –