හෘද සාක්ෂිය පුරා පැතිරුණු පිළිකාව

0
542

“පිළිකා වාට්ටුවේ ඉහළින්ම අංක 13 සඳහන්විය. පැවෙලෝ නිකොලේ රස්නොව් කිසිදා මිත්‍යා  මත විශ්වාස නොකරන්නෙකු වුවද ඔහුගේ රෝහල් කාඩ් පතේ අංක 13  සඳහන් වෙත්ම ඔහුගේ පපුව ගැහෙන්නට විය. වෙනත්  වාට්ටුවකට මේ අංකය දෙන්නට තිබුණා නොවේදැයි ඔහු සිතන්නට විය. එහෙත් මුළු රුසියාවේම ඔහුට  උදව් කල හැකි එකම සායනය මෙය පමණකි.

“අනේ දොස්තර නෝනා කියන්න. මේක පිළිකාවක් නොවෙයි නේද ?”

ඔහු බෙල්ලේ වම්පසින් වූ ගෙඩිය අතගාමින් ඇසුවේය. මේ ගෙඩිය දිනෙන් දින ටිකෙන් ටික ලොකු වන බවක්  ඔහුට දැනුණි.

“නැහැ දෙවියනේ නැහැ”

ලුඩ්මිලා ඩොන් සෝවා වෛද්‍යවරිය දහවන වතාවටදෝ ඔහු සැනසුවාය .

1970 දී සාහිත්‍ය පිලිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ඇලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින් නම් අසහාය රුසියානු ලේඛකයා විසින් රචනා කරන ලදුව ප්‍රවීණ පරිවර්තිකාවක වන අනුලාද සිල්වා අතින් සිංහලට පරිවර්තනය වූ “පිළිකා වාට්ටුව” නවකතාව සිය සැබෑ දිවියේ අත්දැකීම් ඇසුරින් නිර්මාණය කෙරුණක්. ස්ටාලින්ට විරුද්ධව කතා කිරීම නිසා එක් වරක් සිරගත වීමට සිදුවූ ඔහුට සෝවියට් සාහිත්‍යයේ මූලික සිද්ධාන්ත  වලට එරෙහි වීම හේතුවෙන් සෝවියට් ලේඛක සංගමයෙන්ද නෙරපී නැවත සිරගත වන්නට සිදු වුණා. ඔහුට  පිළිකා රෝගය වැළඳෙන්නේ සිරගත කිරීමෙන් පසුවයි. එහි ලද අත් දැකීම සහ සෝවියට් දේශපාලනයේ දූෂිත තත්වය හෙළි කරමින් ඔහු විසින් මෙම නව කතාව රචනා කරනු ලැබුවා.

“එහෙත්  කාමරයේ එල්ලූ පින්තූරයක ඇණය ගැලවී ඇති සෙයක් ඈ දුටුවාය. ඒ සඳහා මිටියක් අවශ්‍යය. පිරිමින්  විසින්ම කළ යුතු යැයි සිතන මේ වැඩ බෙහෙවින් ඇයට අප්‍රසන්නය. ඈ ඇණය තද කරනු වෙනුවට පින්තුරය  ගලවා බිමින් තැබුවාය”.

ඒ සමඟම පෙර දිනයේ ඇය වෙත ලැබුණ තැපැල් පතක් ඇගේ ඇස ගැසිණ. එහි රතු රෝසමල් හා නිල් පැහැයෙන් අටේ ඉලක්කම සටහන්ව තිබිණ. ඒ ඇගේ වෘතීය සමිති කමිටුව මගින් ජාත්‍යන්තර කාන්තා දිනය  නිමිත්තෙන් ඇයට එවූ සුබ පැතුමකි.

තනි පුද්ගලයෙකුට නිවාඩු දින ගෙවා දැමීම අපහසු කාර්යයකි. එසේම කාන්තා දිනය ගත කිරීම වුවද අවිවාහක, කනවැන්දුම් ගැහැනියකට සතුටක් ලබා නොදේ. කෙසේ වුවද පෙරදින රාත්‍රියේ ගැහැණු එක්වී නටමින් විනෝද වූහ. එහි සිටියේ එකම ස්වාමි පුරුෂයෙකු පමණි. බීමතින් සිටි ගැහැණු එකිනෙකා පෝලිමට පැමිණ ඔහු වැළඳ ගත්හ.

අනුලාද සිල්වා ගේ පරිවර්තන පාඨකයන් අතර ඉමහත් හරසරට පාත්‍ර වී ඇත්තේ ස්ව නිර්මාණ තරම්ම ඒවා පාඨකයන්ට සමීප බැවින්. ඉතින් පිලිකාවට්ටුව දැනටමත් ඔබ කියවා නැත්තම් මේ කෘතියත් ඇයගේ පෙර  කෘතීන් සේම ඔබගේ ආදරයට පාත්‍ර වනු නිසැකයි. ඉතින් පරක්කු නොවී කියවන්න. මේ පිළිකාව පැතිර ඇත්තේ  සිරුරේද හර්ද සාක්ෂියේද කියා සොයා බලන්න.

“මිනිස්සු අවුරුදු සියයක් ජිවත් වෙන්නේ මොකටද දන්නවද? ඒක වෙච්ච හැටි. අල්ලාහ් සතුන්ට ආයුෂ දුන්නේ එකාට අවුරුදු පණහ ගණනේ. මිනිහා කියන සතා ආවේ පස්සෙ. එතකොට විසිපහයි ඉතිරී වෙලා තිබුණේ. මිනිහා කිවුවා මදි කියලා. අල්ලාහ් කිවුවා ඇති කියලා. මිනිහා ආයෙත් මදි කිවුවා. අල්ලා කිවුවා එහෙනම් ගිහිං  කාගෙන් හරි ඉල්ලා ගන්න කියලා. අශ්වයෙක් හමුවුණා. අශ්වයා තමන්ගේ ආයුෂ වලින් විසිපහක් මිනිහට දුන්නා. ඊළඟට බල්ලෙක් හමු වුණා. ඊළඟට බල්ලගෙනුත් විසිපහක් ඉල්ලා ගත්තා. ඊළඟට වඳුරෙක් හම්බවුණා. වඳුරත් විසිපහක් දුන්නා”.

පස්සේ මිනිහා මේ ආයුෂ සියයත් අරන් ආපසු අල්ලාහ් ලඟට ගියා.

“දැන් ඔබ කැමති පරිදි ජිවත් වෙන්න. මුල් විසිපහ මිනිහෙක් වගේ. දෙවැනි විසිපහ අශ්වයෙක් වගේ. තුන්වැන්න  බල්ලෙක් වගේ. අන්තිම විසිපහත් ඔබ ජිවත් වුනොත් ඔබට වඳුරෙක් වගේ මිනිස්සු හිනා වේවි”.

– චම්මි –