සෙනෙහස් අවාරේ 23

“ඒ මිනිස්සුන්ට උවමනාවටත් වඩා සල්ලි තියෙන හන්ද වෙන්නැති මදූ අපිට ඔහොම උදව් පදව් කරන්න හිතනව ඇත්තෙ. නැත්තම් මොකෝ කහනටවටද ඒ මිනිස්සු මේ අපිට උදව් පදව් කරන්න හිතන්නෙ”

කෝසල කිව්වේ සිසිමාධවී ගෙදර ආ විගස කෝසල සමග බෙදාගත් විස්තරය අසා හිඳ අනතුරුවය. 

“මාදවී” කියා සුමදුර මුලින්ම ඇමතූ වෙලේ සිසිමාධවී තිගැස්සුණාය. ඒ එකී ආමන්ත්‍රණයේ ගැල්වී තිබුණ තේරුම්ගන්නට නොහැකි යම් හැඟීමක් නිසාවෙනි. 

“මහත්තයා?” යැයි ඒ ආමන්ත්‍රණයට පිලිතුරු දුන්නද තමා උන්නෙ බියකින් බව සිසිමාධවීට තවම මතකය. සුමධුර තිලකරත්න කියන්නට හෝ අහන්නට යන්නේ කුමනාකාරයේ දෙයක්ද යන්නත්, තමන්ගේ රැකියාවේ අනාගතය ඒ මත රැඳී තිබෙනවාද යන සැකයත් ඒ බියට සහ තිගැස්මට හේතු වුවාය. 

තමන් දරු දෙදෙනාව බලාගෙන, බිඳෙන් බිඳ හුස්ම අතාරින්නට සූදානම් වන කෝසලව දරාගෙන ඉන්නේ මේ රස්සාවේ පිහිටෙන් බව  සිසිමාධවීට අමතක කරන්නට නොහැක.

“මම මාධවී එක්ක දෙයක් කතාකරන්න හිටියෙ. මං මෙහෙම අහන එක ගැන වරදක් හිතන්න එපා මුලින්ම කියන්න ඕන. නරක අදහසකින්වත් ඔයාව පල්ලෙහට දාලවත් හිතල අහන දෙයක් නම් නෙවෙයි”

සුමධුර තිලකරත්න හෙමින් සීරුවේ තමන්ගේ ශාන්ත ස්වරයෙන් කියාගෙන ආ කතාව අවසානයේ හිත රිදුවන, තම අත්වැල ගිලිහන කතාවක් රැඳී නොතිබෙන්නැයි ඒ වචන අතරත් සිසිමාධවී සිතුවාය.

“අම්මා කිව්වා ඔයාගෙ හස්බන්ඩ් හොඳටම සනීප නැතුව ඉන්නෙ, ඒකයි ඔයා මේ ජොබ් එකට එන්නෙ කියල. දැන් කොහොමද හස්බන්ඩ්ට?”

“පිලිකාවක්නෙ මහත්තය. පෙණහල්ලේ. දොස්තරල නම් කිව්වෙ සනීප කරගන්න බෑ කියල, අන්තිම ලෙවල් එකේ ඉන්න හන්දා”

“පෙණහල්ලෙ කිව්වෙ හස්බන්ඩ් සිගරට් එහෙම බොනවද?”

“අනේ නෑ මහත්තය, එයා ඒව කටේවත් තියන්නෙ නෑ.එයා ගැරජ් එකක ස්ප්‍රේ පේන්ටින් වැඩනෙ කරන්නෙ. දොස්තර කිව්වෙ ඒවයි ඒ තින්ත බිංදු ගිහිල්ල කියල. අපි ඔක්කොම කරන්න ඕන පරීක්ශණ එහෙම කරා. රිපෝට් බලල තමයි දොස්තරල කිව්වෙ බෙහෙත් කරල තේරුමක් නෑ කියල. හොඳට කන්න බොන්න දීල ගෙදර තියාගන්න කිව්වා ඇඟ මහන්සි කරන්නෙ නැතුව”

“පොඩ්ඩක්වත් ගුණයක් නැද්ද?”

“අනේ නෑ මහත්තය ඉඳියයින් බාගයයි. කැස්සත් වැඩියි කලින්ට වඩා. මොනා කරන්නද මහත්තය ඉතින් මගෙයි දරුවන්ගෙයි අවාසනාව තමයි.ඊටත් වඩා ඉතින් කෝසලගෙ කරුමෙ තමයි මහත්තය තරුණ වයසකදි මෙහෙම කරුම ලෙඩක් හැදෙන්න” කියා සිසිමාධවී කඳුලක් පිහිදාගද්දී සුමධුර මොහොතක් නිහඬවම ඒ දෙස බලා උන්නේය. 

තමන් හිතෙන් පමණක් ඒකපාර්ශ්විකව හෝ ආදරයක බැඳුණ කෙනෙකුගේ දෙනෙතින් කඳුලක් වැටෙනු දරාඉන්නට බැරි බව සුමධුර සිතුවේය. අනෙක් අතට ආදරය නිසා වැටෙන කඳුලක බර කොච්චරද කියා සුමධුර නොදැන උන්නා නොවේ. තමාත් ආදරය නිසා ජීවිතයේ බොහෝ කාලයක් කඳුලු හැලූ මිනිසෙකි. ඒ නිසාම නිහඬ වූ මිනිසෙකි. පෙම්වතෙකු පෙම්වතියක අහිමි වීම නිසා වැටෙන කඳුලකට වඩා සැමියා හෝ බිරිඳක් අහිමි වීම නිසා වැටෙන කඳුලක බර වැඩි බව සුමධුර නොදැන උන්නත් සිතුවේය. සැමියෙකු අහිමිවීම යනු ආදරය පමණක් අහිමිවීම නොවේ. ජීවිතයේ සියලු දුක්ඛ දෝමනස්සයක් දරාගන්නට උරදුන් හයිහත්තිය අහිමි වීමකි. 

“මට ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවද මාධවී?”

සුමධුර ඇසුවේ නිහඬතාවය බිඳිමිනි.

“අනේ මහත්තය මේ කරන උදව්ව හොඳටම ඇති. මහත්තය මට පොරොන්දු උනාටත් වඩා වැඩිපුර ගෙවනවත්නෙ”

සිසිමාධවී රෑ කෑමට බොංචි රැල් අරින ගමන් ආයෙම වරක් සුමධුර තිලකරත්න විසින් කියන්නට යෙදුණ දේ මෙනෙහි කලාය. 

“අනේ ඒක නම් ඇත්ත කෝසල. ඇත්තටම අපිට පිහිටක් ඕන වෙලාවෙ ඒ මිනිස්සු දෙවිවරු වගේ ඒක තේරිලා අහපු එකම කොච්චර හොඳ ද?” 

සිසිමාධවී එසේ කිව්වට කෝසලට එයට උත්තර දෙන්නට නොහැකි උනේ කැස්ස හරස් වූ නිසාවෙනි. දැන් වෙනදාට වඩා කැස්සත් එක්ක ලේ බිඳිති යයි. ඒ නිසාම කැස්ස එන හැම වෙලාවකම කෝසලට නැගිට ගොස් කෙල ගසා කට හෝදගන්නට සිදුවේ. එහෙම නැත්තම් මුලු දවසම ඉන්න වෙන්නේ ලේ රසැති කටක් එක්කය. ඒ දැන් පුරුදු දෙයක් උනත් කෝසලට ලේ වලින් නැගෙන ඒ යකඩ මෙන් රස අපුල දනවන්නකි. 

කෝසල කතා කරන අතරවාරයේ විටින් විට ගොස් කෙල ගසා ඒම සිසිමාධවී නොදැක්කා නොවේ. මේවා දැන් නෙතට සාමාන්‍ය දසුනක් වුවත් දකින හැම මොහොතකම හිත බරකරන්නකි. 

“ඔයාගෙ බෙහෙතුත් ඉවර වීගෙන එන්නෙ. අනිද්ද පඩි හම්බෙනවනෙ. මම ගෙනැල්ල දෙන්නම් හවස එද්දි” සිසිමාධවී කිව්වේ හිත තවාගන්නට මෙනි. කොච්චර උත්සහ කරත් කෝසල ලෙඩ වීම පිටුපස්සේ තමන්ගේ අවාසනාවක් තියනවායැයි නොහිත ඉන්න නොහැක. 

“හදිස්සියක් නෑනෙ. හිමින් ගමු මදූ”

“හදිස්සියක් නෑ කියන්න බෑනෙ කෝසල. ඔයා සනීප වෙන්න බෙහෙත් බොන්න ඕනනෙ” සිසිමාධවී එසේ කිව්වේ වැඩි දුර නොහිතාය. එහෙත් කෝසල එය භාරගත්තේ වෙනදා තරම්ම ඉවසිල්ලේය. යතාර්තවාදීවය.

“මගෙ බෙහෙත් ගැන ඕනවඩ වඩා හිත කරදර කරගන්න එපා මදූ. වේදනාව අඩුවෙන්න විතරනෙ. මොකෝ මං ආයෙ අලුතෙන් ඉපදෙන්න කියලද බෙහෙත් වෙලාවට බිව්ව කියල”

“හැමතිස්සෙම හැමදේම අතාරින්න වගේ හිතන් කතාකරන්න එපා කෝසල. මමයි දරුවො දෙන්නයි කොච්චර වේදනාවකද ඉන්නෙ? ඔයාට නොපෙන්නුවට කෑගහල අඬල පොලොවෙ පස් කන්න හිතිච්ච වාර අනන්තයි මට” සිසිමාධවී කිව්වේ සුරුස් ගා නහය උඩට අදිමිනි. කඳුලු වැටුනොත් බතට ලුණු රස වැඩිවෙන්නට හැක. 

“මං හින්දා දුක් වෙන එකයි වද වෙන එකයි දැන් නතරකරන්නයි ඕන මදූ. මං හින්දා ඔයා දැන් දුක් වෙන්න තියාගත්තොත් ඔයාට සෑහෙන කාලයක් ජීවිතේ ඒ දුකේ ගිලිල ඉන්න වෙන්නෙ. මං නැතුව උනත් ඔයාට දැන් කෙලින් ඉස්සරහට බය නැතුව යන්න පුලුවන් බව දන්න හන්ද මට දැන් බයක් නෑ. සැනසිල්ලෙ මැරෙන්න මට තියෙන එකම සැනසීම ඔයාට රස්සාවක් තියෙන එක. මං නැති දවසක උනත් ඔයාට හයියට ඉන්න පුලුවන් බව දන්න එක. 

මං දැන් හිත හදාගෙන ඉන්නෙ එහා පැත්තට යන්න මදූ. ඔයාවයි දරුවො දෙන්නවයි දාල යන්න හිත හදන් ඉන්නව කියන එක නෙවෙයි ඒකෙන් කියන්නෙ. මං මේ ගැන දුක් වෙන එකෙන් වෙන්නෙ ඔයායි දරුවො දෙන්නයිත් දුක් වෙන එක මදූ. ඒ දුකට පුලුවන් කමක් නෑනෙ අපේ හිත්වල තියෙන බර අඩු කරන්න. ඒ හන්ද අපි දැන් ඉස්සරහට එන්න වෙන්න තියෙන දේවල්වලට හීන්සීරුවෙ හිත හදාගන්න පුරුදුවෙන්නයි ඕන. 

අපි දෙන්නම දන්නව මට හෙට දවස ගැන උනත් විශ්වාසයක් තියන්න බැරි විත්තිය. එහෙම එකේ අපි බොරු බලාපොරොත්තු තියාගෙන අපේ බිඳිච්ච හිත් අලවගන්නවට වඩා හොඳයි මේ ඇත්ත ඇත්තක් විදියට පිලිගන්න එක. ශරීරෙන් මට හැමදාම ඔයාල ලඟ ඉන්න බැරිවුනත්, මෙච්චර කල් කරා වගේම අම්මා කෙනෙක් විදියට, හොඳ ගෑනියෙක් විදියට ඔයාට ඉස්සරහට යන්න පුලුවන් මදූ.

මං කොහොමත් හැමදාම සන්තෝස උනා ඔයා වගේ හොඳ මනුස්සයෙක්ව කසාද බඳින්න පුලුවන් උන එක ගැන. ඉස්කෝලෙ යන වයසෙ උන්නු ඔයා එක්ක යාලුවෙලා මං ඔයාට අනාගතයක් නැති කරල දැම්මද කියන ප්‍රශ්නෙ මගෙ හිතේ හැමදාම තිබ්බා. වැඩිපුරම මට ඒක දැනුනෙ මේ ලෙඩේ ගැන දැනගත්ත වෙලේ. ඒත් ඔයා කිසි වචනෙකින්වත් මට බනින්නෙ කරන්නෙ නැතුව ඉවසන් උන්නු විදියට වගේම මේ හැම කරදරයක් අස්සෙම හයියට උන්නු බව දැක්කම මම ඔයාව බැඳපු එක ගැන සතුටු උනා විතරක් නෙවෙයි, පුදුම ආඩම්බර උනා.

ඒ නිසා මට මේ මොහොතෙ උනත් මේ යන්න තියෙන ගමන යන්න බය වෙන් නෑ මදූ. මං දන්නව මගෙ දරුවො දෙන්නට මං නැතත් අම්මයි තාත්තයි දෙන්නගෙම ආදරෙයි හයියයි දෙන්න ඔයා ඉන්නවා කියල”

සිසිමාධවී දෙනෙත් අයාගෙන කෝසල දෙසම එක එල්ලේ බලාගෙන උන්නෙ පුදුමයෙනි. තමා මීට අවුරුදු අටකට නවයකට කලින් විවාහ වූ කෝසල මෙසේ බොහෝ වචන කියන, වැඩිපුර කතා කරන මනුස්සයකු නොවේ.

ලෙඩවීමෙන් අනතුරුව කෝසල කතාකර ප්‍රමාණය තව බොහෝ අඩු කලේය.

එහෙත් එකපාරම කොහෙන් හෝ හොයාගත් අමුතුම ශක්තියකින්, උද්වේගයකින් කෝසල කරන්නට වූ මේ කතාව ගැන පුදුම වෙනවා ඇරෙන්න සිසිමාධවීට වෙන හිතන්නට දෙයක් තිබුණේ නැත. කෝසල මියයාම මෙසේ සරලවද, නිහතමානීවද, හොඳින්ද භාරගනු ඇතැයි සිසිමාධවී සිතා තිබුනේ නැත. මේ වචන සිසිමාධවීට නුහුරට දැනුනේ ඒ අනපේක්ශිතව කෝසල කියන්නට යෙදුණ කතාව නිසාය.

ජීවිතේ එහෙමය.

වෙන්නේම නොහිතන දේවල්‍ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles