බුද්ධියෙන් ලොව සසල කල රූමත් කාන්තාව – Hypeshia

0
448

Hypeshia ගේ ජීවිත කතාව 

ගණිතඥවරියකගේ උපත 

ක්‍රිස්තු වර්ෂ 370 දී ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපත ලබන hypeshia ලෝක ඉතිහාසයේ නමක් තැබූ කාන්තාවක්.  ගණිතයේ දියුණුව වෙනුවෙන් සැලකිය යුතු තරමේ දායකත්වයක් ලබා දෙන ලෝකයේ  පළමු කාන්තාව කියන ගරු නාමය ඇගෙන් උදුරා ගන්නට කිසිවෙකුටත් හැකි වන්නේ නම් නැහැ. 

පිය අඩි පාරේ යන දියණිය 

Hypatia, Theon හැඳින්වුන  ගණිතඥයා සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ දාර්ශනික කාන්තාවක් විදියට ඉතාම ප්‍රසිද්ධ  වූ මවකගේ  දියණිය විදියට,  ඉපදෙන මේ යුවතිය   අධ්‍යාපන පසුබිම පිරුනු පසුබිමක උස් මහත් වෙන්නේ. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉතාම කලබල සහ යුධ තත්ව පැවතුණ කාලයක ඉපදෙන Hypeshia,    තම පියාගේ මගපෙන්වීම සහ උපදෙස් යටතේ ගණිතය හදාරමින් ඉතාම දීප්තිමත් විදියට ඉදිරියට යන්න පටන් ගන්නවා. Theon විසින් ලිව්වා යැයි ප්‍රකටවූ ඇතැම් පොත් ලියා ඇත්තේ තරුණ වයසට එලැඹෙමින් උන්න මේ ගණිතඥවරිය බවත් ඉතිහාසයේ කියැවෙනවා. 

ගණිතය විෂයේ ඉතාම බැරෑරුම් කොටස් පවා පහසුවෙන් වටහා ගනිමින් තර්ක විතර්ක බිඳ දමමින්  නමක් හදා ගන්නා Hypatia ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්ලැටෝනිස්ට් පාසලේ ප්‍රධානියා බවට පත් වෙනවා. ඇලෙක්සැන්ඩ්‍රියා ඉතිහාසයේ කාන්තාවක් මේ තනතුරට පත් වෙන පළමු අවස්තාව මෙය වීම නිසා Hypatia ට මෙම අවස්තාව ඉතාම වැදගත් වෙනවා.

ඉගැන්වීම් වෙනුවෙන්ම උපන් Hypeshia 

පාසැලේ ප්‍රධානියා බවට පත් වුනත් ඇය ගණිතය සහ දර්ශනය පිළිබඳ දේශන ඉතාම කැමැත්තෙන් පවත්වනවා. ඇගේ දේශන විලාෂය ගැන මුලු ඇලෙක්සැන්ඩ්‍රියාවේම පැතිරෙන්න ගන්නවා. එතැනින් නොනැවතෙන ඇය නිවසේ ඉඳගෙනත් මේ ඉගැන්වීම් සිදුකරනවා. 

මේ දේශන සිදු කරන,   Hypatia ගේ ඉගැන්වීම් වල   නියෝප්ලැටෝනිස්වාදයේ දර්ශනය වෙනුවෙන් විශේෂ  ඉඩක් වෙන් වෙනවා. ඇය  ඒ ඉගැන්වීම් වෙනුවෙන් පාදක කරගන්නේ Neoplatonism හි නිර්මාතෘ Plotinus සහ  Neoplatonism සංවර්ධකයෙකු වූන  Iamblichus ගේ ඉගැන්වීම් ක්‍රමෝපායන් වීම නිසා ඇගේ ඉගැන්වීම් වඩා තර්කානුකූලව ශිෂ්‍යන් අතරේ ජනප්‍රිය වෙනවා.  ඒ වගේම ඇරිස්ටෝටල් සහ ප්ලූටෝ ගුරු දෙපලගේ අභාශයත් තරුණ Hypeshia ගේ දේශන වල අඩු නැතිව ගැබ් වෙනවා. 

කොහොම වුනත් Hypatia මේ හැම චින්තනයක්ම වඩා විශාල විද්‍යාත්මක අවධාරණයකින් තමයි තමා වටා උන්න ශිෂ්‍ය  ප්‍රජාවට කාන්දු කරලා තියෙන්නේ. මේ නිසාම විචාරකයන් ඇය චරිතාංග ගුරුවරියකය යන අන්වර්ථ  නාමයෙන් පවා හඳුන්වලා තියෙනවා.  ශිෂ්‍යයන් පවා ඇයට ලබා දෙන්නේ නොමඳ ගෞරවයක්. 

රුව – නැණ – පිරි ගණිතඥවරියක් 

hypeshia පිළිබඳව සඳහන් වන ලේඛන වල ඇගේ ගණිතඥ හැකියාව ට අමතරව ඇගේ සුන්දරත්වය ගැනත් අඩු නැතුව සඳහන් වෙනවා. උපතින්ම ගෙනාපු ආකර්ෂණීය කතා විලාශයක් සහ මනා පෞරුෂත්වයකින් සහ ඡවි කළ්‍යාණයකින් හෙබි රුවැති තරුණියක් ලෙස ඇයව හඳුන්වා දෙන්නට ඉතිහාසය ලියූ බොහෝ ලේඛකයන් පැකිලී නැහැ. රුව නැණ අඩු නැතිව තිබුනත් ඇය ප්‍රේම සම්බන්ධතාවයක පැටලෙන්නට හෝ විවාහයක් වෙනුවෙන් සූදානම් වීමට කිසිම අදහසක් නොතිබුන කෙනෙක්. ඒක එහෙම වුනත් මේ කාලයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි ආණ්ඩුකාරවරයකු වූ ඔරෙස්ටස් සුරූපී Hypeshia දෙස දෑස් අයාගෙන ඉන්නවා.  Hypeshia ඔහුට අනුබල නොදුන්නත් ඔහු වලක්වන්නට උත්සාහ නොකර ඇගේ කාර්‍යයන්හී නියැලෙනවා. විවාහයක් වෙනුවෙන් නොතිබුණ බලාපොරොත්තු ඔරෙස්ටස් නිසා ඇගේ හිතේ ඇතිවෙනවා. 

ඔරෙස්ටස් නිසා හිමිවන මරණ මංචකය 

මේ අතරේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඔරෙස්ටස් ට එරෙහිව කැරැල්ලක් හට ගන්නවා. ඔරෙස්ටස් ගේ සේනාවන්  ප්‍රති පක්ෂයේ බොහෝ දෙනා ගේ ජීවිත සහ දේපල වලට හානි කරනවා. ඒ වගේම සාම සාකච්ඡා වෙනුවෙන් කෙරෙන ඉල්ලීම් වලටත් ඉඩ ලැබෙන්නේ නැහැ. ප්‍රති පක්ශයේ අය ඔරෙස්ටස් විනාශ කරන්නට උත්සාහ කලත්, ඔහු වටා වූ ශක්තිමත් ආරක්ෂක පවුර නිසා ඔවුන්ට ඔහු අසලකටවත් ලඟා වෙන්න වෙන්නෙ නැහැ.

අසාර්ථක උත්සාහයන් රැසකට පස්සේ සතුරු පිළ තීරණය කරනවා ඔරෙස්ටස් වෙනුවට Hypeshia ගේ ජීවිතය විනාශ කරන්න. 

ඊට පස්සේ පීටර් කියන දේශකයෙකුගේ මූලිකත්වයෙන් Hypeshia ගේ ජීවිතය අවසන් කර ඇය අකල් මරණයකට පත් කිරීම සඳහා පිරිස මෙහෙයවෙනවා. එවකට ඉතාම බලැතිව තිබූ ආගම වුණ ක්‍රිස්තියානි ආගමට අදාල චින්තනයකින් තොරව Hypeshia දේශන පැවැත්වීම ඇගේ මරණයට හේතුව විදියට ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔරෙස්ටස් වටා වූ ආරක්ෂක වළල්ල ඇය වටා නොවීමත් පීටර් ඇතුලු පිරිසේ අරමුණ වඩා පැහැදිලි කරනවා. පුරුෂාධිපත්‍ය අගයන සමාජයක hypeshia ගේ ඉගැන්වීම් නිසා පීටර් ඇතුළු පිරිස ඇය ගැන වෙනමම වෛරයක් හදාගන්නවා. අවසානයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ අල්තාරයක් ඉදිරියේ ඇයට ගල් ගසා මරා දමනවා. 

නොමැකෙන නමක් – Hypeshia  

අගෝරා කියන නමින් නිශ්පාදනය වෙලා තියෙන  ස්පාඤ්ඤ-ඉංග්‍රීසි චිත්‍රපටයට Hypeshia ගේ ජීවිත කතාවේ අභාෂයන් ලැබිලා තියෙන බව කියැවෙනවා.

කොහොම වුනත් , ලෝකයේ ගණිතමය දියුණුව වෙනුවෙන්  , නව සොයාගැනීම් සහ බුද්ධිමය චින්තයන් එළි දැක්වීම වෙනුවෙන් කැප වී කටයුතු කරමින් සමාජයට ඉතා වටිනා මෙහෙවරක් කරපු ගණිතඥවරියක් විදියට Hypeshia ව අදටත් සිහිපත් කරන්න පුළුවන්. 

| අපේක්ෂා ගුණරත්න |

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here