කවින්දි ප්‍රෙග්නන්ට් උනේ කසාද බැඳල අවුරුදු දෙකක් ගියාට පස්සෙ. ඒ වෙද්දි කවින්දිගෙ නංගි වෙච්ච අරවින්දිත් කසාද බැඳල අවුරුද්දක් වගේ. පවුලෙ පලවෙනි දරුවා නිසා කවින්දිගෙ පවුලෙ අය වගේම, කවින්දිගෙ හස්බන්ඩ් තේනුකගෙ ගෙදර අයත් හිටියෙ හරිම සන්තෝසෙන්.
කවින්දිගෙ අම්මා භානු කවින්දි ප්‍රෙග්නන්ට් කියල දැනගත්ත දවසෙ ඉඳල හිත හිත හිටියෙ කවද්ද බත් මුලක් බැඳන් කවින්දි ආස කෑම බීම හදාගෙන කවින්දිව බලන්න යන්නෙ කියල.
“බස් එකේ එන්න දැන් අමාරුයි පුතේ. වාහනයක් අරගෙන එන්නයි හිතන් ඉන්නෙ ඔයා ආස දේවල් ටිකකුත් කන්න හදාගෙන” කියල අම්මා කියද්දි අම්මා නොකිය ඉන්න හදන මොකක් හරි හිත් වේදනාවක් හිත අස්සෙ තියෙන බව කවින්දිට නොතේරුනා නෙවෙයි.
තාත්තල නැති පවුල්වල ඉතින් අම්මලගෙ හිත් සනසන්න ඉන්නෙ දරුවො විතරයිනෙ කියල දන්න හන්දම තමා කවින්දි හැමතිස්සෙම අම්මා ගැන වද වුණේ. මොනවා උනත් අම්මාට කියල කෙනෙක් නෑනෙ දැන් ලෝකෙ කියන එක අමතක කරන්න කවින්දිට බෑ. දරුවො කී දෙනෙක් උන්නත් අවුරුදු ගාණක් එකට ජීවත්වෙච්ච මනුස්සය වගේ කොහෙද?
ඒ අතින් තේනුකත් රත්තරන් වටින මනුස්සය. අම්මට සල්ලි වලින් උනත්, වෙන දේකින් උනත් උදව් කරනවට පොඩ්ඩක්වත් අමනාප නෑ. තේනුකගෙ අම්මල උනත් එහෙමයි. “අම්මෙ ඔයාටත් වඩා තේනුකගෙ අම්මා හොඳයි” කියල කවින්දි සමහරවෙලාවට අම්මා එක්කත් කියනව. අම්මත් ඉතින් සන්තෝසයි මොන දේ උනත් තමන්ගෙ දරුවට නැන්දම්මෙක් නැතුව අම්මෙක් හම්බෙච්ච එක ගැන.
“ඇයි අම්මෙ ගෙදර වාහනේ අරන් එන්න බැරිද ඩ්‍රයිවර් කෙනෙක් අඬ ගහගෙන?” කියල කවින්දි ඇහුවෙත් පුදුමෙන් වගේ.
“ඒව ගැන ඉතින් කතා නොකර ඉමු” කියල අම්මා කිව්වෙ හිත් වේදනාවෙන් බව කවින්දිට නොතේරුනා නෙවෙයි.
“ඇයි අම්මේ එහෙම කිව්වේ?”
“නංගි කැමති නෑ වාහනේ අරන් මං එනවට” අම්මා කිව්වෙ කට හඬේ සද්දෙ අඩු කරල රහසක් කියන්න වගේ. ඒත් තමන්ගෙ ගෙදර තමන්ගෙ දරුවා එක්ක දෙයක් කතාකරන්න අම්මා ඔහොම බයවෙන්න ඕනද කියල කවින්දිට හිතුනත් ඒ ප්‍රශ්නෙ පස්සට අහන්න තියාගෙන කවින්දි ඉස්සෙල්ල වාහන ප්‍රශ්නෙ විසඳන්න හැදුවා.
“එයාගෙ නමටනෙ ඉතින් ගත්තෙ. එයා කැමති නෑ”
“එයාගෙ නමට ගත්තට ඉතින් අම්මෙ අම්මගෙ සල්ලිවලින්ගෙ ගත්තෙ. ගනිද්දිත් ගෙදර පාවිච්චියට කියල හිතන් නේද ගත්තෙ”
“කතා කරන්න බෑ පුතේ ඕව මෙහේ. මං ඔයාව බලන්න ආවම කියන්නම්කො” කියල හීන් රහස් හඬෙන් කිව්වා අම්මා ෆෝන් එක තියද්දිත් හිත අස්සෙ ප්‍රශ්න දාහක් පුරවගන්නෙ නැතුව ඉන්න කවින්දිට පුලුවන් උනේ නෑ.
කෝමහරි අනුරාධපුරේ ඉඳල කොළඹ එන ගමනට, අඹ ද කිරිද, වැව් මාලු කරවල ද විතරක් නෙවෙයි අම්මාම උයල නෙලුම් කොලේක ඔතාගත්ත බත් එකක් අරගෙන එන්නත් අම්මා අමතක කරල තිබ්බේ නෑ.
අම්මා උයාගෙන ආව බත් එක කන ගමන් අම්මටයි දූටයි කතා කරන්න ඉඩ දීල තේනුකයි දෙමව්පියොයිත් ඉතින් ඔය එක එක ඒව කතා බස් කර කර උන්නෙ.
“මොකද්ද අම්මෙ දැන් ඔය වාහනේ ප්‍රශ්නෙ?” කියල කවින්දි අහද්දි මෙච්චර වෙලා හිනාවෙවී උන්න අම්මාගෙ මූන කලු පාට වලාකුලකින් වැහෙනව කවින්දි නොදැක්කා නෙවේ.
“අනේ මන්ද පුතේ, ගෙදරට කියල ඉතින් මගෙ සල්ලිවලින් ගත්තට අන්තිමේ ඕව අයිති වෙන්නෙ වාහන පදින උදවියටනෙ”
“ඒ කිව්වෙ?”
“නංගියි ඒ ලමයයි කැමති නෑ වාහනේ ගෙදර වැඩවලට ගන්නවට. මං ඒත් කිව්වම කොළඹ ගිහින් එන්න වාහනේ දෙන්න කියල දාහක් කතා කිව්වා. මං අන්තිමේ ඒකයි නල්ලපෙරුම අංකල් වාහන රෙන්ට් එකට දෙනවනෙ. ඒකක් ඉල්ලන් ආවෙ”
“දාහක් කතා කිව්වේ?”
“එහෙම ගමන් ගියාම වාහනේ ගෙවෙනවයි, නඩත්තු කරන්නෙ මලිත් නෙ. එයා කියනවලු එහෙම නිතරම වාහනේ දුර ගමන් යන්න එහෙම හොඳ නෑ කියල. මං ඉඳල ඉඳල කොළඹ යන්න ආව එක තමයි ඉතින් හොඳ නැත්තෙ, එහෙ මහ උදවිය එක්ක එයාල නිතරම රෝන්දෙ ගහනවා. මං ඇත්තටම හිතන් උන්නෙ ඒ වාහනේ ආවොත් ප්‍රෙට්‍රල් ගහන වියදමයි ඩ්‍රැයිවර් ගාස්තුවයි විතරයි කියලනෙ. නල්ලපෙරුම අංකල්ට ඉතින් වාහනේ කුලියත් දෙන්න ඕනනෙ පුතේ. නැත්තම් කුලරත්න අංකල්, චූටි නැන්දව හිට බලන්න යන්න උන්නෙ මං මේ ගමනෙම. කොළඹ ඇවිල්ල ඒ මිනිස්සු නොබල යන්න මට හරි මොකද්ද වගේ”
අම්මා හිත් වේදනාවෙන් වගෙ එහෙම කියද්දි මුලින් තරහ ආවත් මේව ඉතින් තරහ අරන් විසඳගන්න පුලුවන් කාරණා නොවන බව කවින්දිට මතක් උනා. ඉවසීමෙන් කතා කරන්න හිතුවෙ ඉන් පස්සෙ.
“අම්මා ඕවට හිත් රිද්දගන්න එපා. වාහනේ ගන්න සල්ලි දෙද්දිත් මං කිව්වනෙ අම්මෙ, අපි දෙයක් දෙද්දි මේකෙන් මට ප්‍රයෝජනයක් තියෙනව කියල හිතන් දීල අන්තිමේ ඒව නොඋනම හිතට පුදුම අමාරුයි. අන්තිමෙ හිතෙන් විඳව විඳවනෙ ඉන්න වෙන්නෙ.
අම්මා ආයෙ දවසක නල්ලපෙරුම අංකල්ගෙ වාහනේ අරන් එන්න, චූටි නැන්දලවත් බලන්න යන්න. මම අම්මට ඒ වියදම දෙන්නම්.
අපේම මිනිස්සු උනත් ඉතින් සමහර වෙලාවට අපෙ හිත් රිද්දනවනෙ අම්මෙ. ඒවට හිත් කඩාගන්න ගියොත් අපිට මේ ලෝකෙ ජීවත් වෙන්න අමාරුයි. යුතුකම් කියන ඒව අපි කරොත් අපේ හිතට හොඳයි. අපිට වෙන කෙනෙක්ගෙන් මෙහෙම යුතුකම් වෙන්න ඕන කියල හිතන් හිටියොත් ජීවිතේ හරි බරයි අම්මෙ”
කවින්දි එහෙම කියන ගමන්ම නෙලුම් කොලේ ඔතල තිබුන අන්තිම බත් කටත් කටට දාගත්තා.