මියුරු පෙම් වසන්තේ – 5

මියුරු උන්නේ ඇත්තටම හිත හොල්ලාගෙනය.

“ඒ වගේ ගොඩේ කෙල්ලෙක් ගැන එහෙම හිතන්න මට පිස්සුද” කියා හිතේ එක පැත්තක් කියද්දී අනෙක් පැත්ත උන්නේ එයට ප්‍රතිඋත්තර දෙන්නවත් නොහැකි ලෙස සසැලී ගොසිනි.

මියුරු වනාහී ලව් ඇට් ෆස්ට් සයිට් විශ්වාස කල කොල්ලෙකු නොදේ. ආදරයක් ඇතිවන්න නම්, එයද විවාහයක් දක්වා දුර යන්නට නම් දෙපාර්ශ්වයම සෑම අතින්ම සමාන විය යුතු බව මියුරු එදා ඉඳන් කල්පනා කල දෙයකි.

“උගත්කම්, වත්කම් ඔක්කොම සෙට් උනොත් විතරයි මචං හිතවත්කම් ස්ට්‍රෝන්ග් වෙන්නෙ. උඹ දන්නවනෙ මම මගේ ලයිෆ් එක මාරම පිලිවෙලට, නීට් එකට අරන් යන මිනිහෙක් බව. ඉතින් ඔය අන්වෝන්ටඩ් ප්‍රොබ්ලම්ස් වලට අත වනල ඒ නීට්නස් එක නැති කරගන්න මට බෑ” කියා කොපමණ ලස්සන උනත් නොගැලපෙන තැන්වල යැයි මියුරු හිතූ කෙල්ලන්ව යාලුවන් ප්‍රපෝස් කරද්දී මියුරු ඔවුන්ගේ මූණටම එය කියා දැම්මේය.

“ඔහොම ඉතින් හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕන කියල හිතන් ඉන්න උන් තමයි පස්සෙ හිතාගන්න බැරි කෙල්ලන්ට වහවැටෙන්නෙ” කියලා එදා නදුල කිව්ව හැටි මියුරුට මේ මොහොතෙත් මතක් වේ.

වෙනදාට නම් ඇඳේ හාන්සි වී නෙට්ෆ්ලික්ස් බලමින් ඉද්දී නින්ද එන්නේ හිතන්නේවත් නැතුවය. එහෙත් කවදාවත් නැතුව මියුරු උන්නේ ඇඳේ එහා මෙහා පෙරලි පෙරලි කල්පනා කරමිනි. ඒ කල්පනා දැහැනේ එක් කෙලවරක් පැටලී තිබෙන්නෙ කාර්‍යාලයට ආ ඒ කෙල්ලගේ සුන්දර දෙනෙත් දැහැන මත බව දැන ඉඳීම මියුරුට අපහසුවකි.

“මගේ සෙක්‍රටරි විදියට ඔයාව? පිස්සුද එච් ආර් එකට?” කියා තමන්ගේ මුවින් පිට වුනේ දෙපාරක් හිතන්නට කලියෙන්‍ ය. ඒ වචන කීම ගැන තමා වඩාත් පසුතැවුණේ ඒ වදන් අවසානයේ ඒ කෙල්ල ලැජ්ජාවෙන් අපහසුවෙන් හැකිලුණු ආකාරය දකිද්දීය.තමන්ට එසේ නොකියා ඉන්නට තිබුණ බව මියුරුට හිතුනේ ඇයගේ මුහුණෙන් දකින්නට වූ අපහසුතාවය පෙනුන විටය. මෙතෙක් වේලා තමන්ට මිදෙන්නට බැරි අන්දමේ සුන්දරත්වයක් පිරී තිබුණා වූ ඒ දෙනෙත අස්සේ අපහසුතාවය, ලැජ්ජාව ටිකෙන් ටික පිරෙද්දී මියුරු උන්නේ තමන් කියන්නට වූ වදන් වල තැවරී තිබුණ අවඥාසහගත බව තේරුම්ගෙනය.

“ඔයා ඔයා අර ටේබල් එකෙන් වාඩිවෙන්න” පැටලි පැටලි නදීට කාර්‍යාල සහයකවරිය වෙනුවෙන් වෙන් කල මේසය සහ පුටුව පෙන් වූ මියුරු මෙතෙක් වේලා හිස ඔබාගෙන උන් ලෙසම මේසය මත වූ පරිගණකය අස්සේ දෙනෙත හංගා ගත්තේය. ඒ ඇත්තටම වැඩකරන්නට තරම් මනස හදාගන්නට හැකි වූ නිසා නොවේ. තමන්ගේ වදන් නිසාවෙන් අපහසුතාවයට පත් වූ නදී දෙස බලා ඉන්නට බැරි හන්දාමය.

නදී පුටුවෙන් වාඩි උනත් හෑන්ඩ් බෑගය අතෑරියෙ නැත. ඇයට දැනුනේ තමන් තමන්ට තරම් නොවන, තමන්ට අයිති නැති තැනකට ආවාක් බඳු හැඟීමකි. මෙතන දිගටම ඉන්නට බැරිකමක් දැනෙන නිසාවෙන්ම නදී උන්නේ අඩමානයට වාඩි වී කල්පනා කරමිනි. කලයුත්තේ කුමක්ද කියා අදහසක් නැත. තමන් මේ මොහොතේ කල යුතු යම් රාජකාරියක් තිබේද කියා අදහසක් නැත. ඒ සියල්ලටම වඩා තමන්ව දැකීමෙන් තමන්ගේ ප්‍රධානියාගේ මුහුණේ ඇඳුන අවඥාසහගත බව, ඔහුගේ වචන ඔස්සේ එලියට පිනූ ඒ හැඟීම හඬන්නට තරම් වේදනාවක් බව හිත කියද්දී උනත් නදී බොහොම අපහසුවෙන් දරාගෙන උන්නාය.

“සමහරවිට ඉන්ටවිව් එකට මේ සර් ආවනම් මාව සිලෙක්ට් කරගන්න එකකුත් නෑ” කියා නදීට නොහිතුනා නොවේ.එහෙත් දැන් කුමක් කීවද තමා මෙහි ඇවිත් අවසන්‍ ය.

“ඔයාගෙ ඔරියන්ටේශන් එකක් ගැන මුකුත් කිව්වෙ නැද්ද එච් ආර් එකෙන්?”” මියුරුගේ කටහඬ පාවී අවුත් නදීගේ සවන් සිපගත්තේ ඈ ඒ කල්පනාවේ අතරමං වී ඉද්දීය.

“මුකුත් කිව්වෙ නෑ සර්” කියා නදීට පුටුවෙන් නැගිටුනේ පුරුද්දට මෙනි.

“නැගිටින්න ඕන නෑ මට කතාකරද්දි, ඔෆිස් එකක්නෙ, ඉස්කෝලෙ නෙවෙයි. ඕකේ මම එච් ආර් එකට කතා කරල බලන්නම්”කියා මියුරු දුරකතනය අතට ගෙන මානව සම්පත් කලමනාකරණ අංශයේ එක්ස්ටෙන්ශන් එක අංකනය කරන්නට ගොස් ආයෙම වරක් නදී දෙස බැලුවේය.

“අයෑම් සොරි, ඔයාගෙ නම මොකද්ද?”” මියුරු ඇසුවේ මදක් පැකිලෙමිනි.නදීට ආයෙමත් වැරදී පුටුවෙන් නැගිටින්නට ගියත් ඇය අපහසුවෙන් එය වලක්වා ගත්තාය.

“නදී සර්.නදී පහන්‍යා ගුණවීර”

මියුරු මානව සම්පත් කලමනාකරණ අංශයට කතා කරන අයුරුත්, තමාගේ ඔරියන්ටේශන් ආදිය ගැන විමසන අයුරුත් නදී බලා උන්නේ සිහිනයෙන් මෙනි. තමන් දැන් කලන්තෙ දා වැටේවිද කියාත් නදීට හිතුණාය.

මියුරු උන්නේ ඒ මුවැත්තියක සේ තිගැස්සුණු දෙනෙත අමතක කරන්නට නොහැකිව මුලු රාත්‍රියම නින්දක් නැතුව ඇඳේ ඒ පැත්තටත් මේ පැත්තටත් පෙරළෙමින් කල්පනා කරමිනි. සඳ සිසිලස කාමරයට වැටී සුව නින්දකට ඇරයුම් කරමින් උන්නද මියුරු උන්නේ නින්දක සේයාවක්වත් ළඟ පාතක නැතුවය.ඇඳේ එහා මෙහා පෙරලෙමින් උන් නිසාම සිරුර පුරා නැගී තිබුණ දහදිය බිංදු ඒ නින්ද තව තවත් ඈත් කරන නිසාම මියුරු අනතුරුව ඇඳෙන් නැගිට කාමරයේ එහා මෙහා ඇවිදිමින් කල්පනා කරන්නට වූවේය.

නදී උන්නේද ඒ හා සමානම කල්පනා රැහැනක පැටලීය. හෙට ආයෙම වරක් තමන්ට යන්නට වෙන්නේ එතනටමය. ගොස් බලන්නට වෙන්නේ ඒ මිනිසුන්ගේමය මුහුණුය. තමන්ට අපහසුතාවයක් ගෙනත් දෙන තැනක, ගෙනත් දෙන මිනිසුන්ගේ නෙතු ඉදිරියේ පහසුවෙන් වැඩ රාජකාරිවල නිරත වෙන්නේ කෙසේද කියා හිතාගන්නට නදීට අපහසුය.

“උඹ හෙට අර කලු ස්කර්ට් එකත් එක්ක මේ ටොප් එක ඇඳපන්. මේක අර මට අවුරුද්දට කලිඳු ගෙනත් දුන්න ටොප් එක. මම ඇන්දෙ එකපාරයි” කියා කවින්දි හවස් යාමයේ ඇය සතුව තිබූ සුන්දර ඇඟලුමක් ගෙනත් නදී අත තැබුවේ ටික දවසකට හෝ ඇයව මේ කාර්‍යාලීය ගැටලුවලින් බේරාගනු පිණිසය.

“අනේ බං ඒ කොල්ලා අමාරුවෙන් හම්බ කරන එකෙන් උඹට ආසාවෙන් ගෙනල්ල දුන්න ටොප් එක මං ඇන්දම හරිද? ඒ මනුස්සයෙගෙත් හිත අමාරුවෙයි”

“අනේ යකෝ උඹ මගේ ඇඳුමක් ඇන්දා කියල උගෙ හිත නරක් වෙන්නෙ මොකෝ උඹ ඕක ඇඳන් ඌ එක්ක යාලුවෙන්න යන්නෙ නෑනෙ. විකාර නැතුව ඔන්න ඕක ඇඳගෙන පලයං. පඩි එනකම් පිරිමහ ගමු මෙහෙම. පඩි ආවම බැරිය අපිට ගිහිල්ලා තව ඇඳුමක් දෙකක් ගන්න”

“කවද වෙනකම් ඉතින් ඕව ඔක්කොම පිරිමහ ගන්න කියලද බං? අනික ඉස්සරහට තව මොන මොන ප්‍රශ්න ඒවිද කියල දන්නෙ නෑනෙ” කියා කිව්වද නදී කාවින්දි විසින් රැගෙන ආ ඒ ඇඟලුම පරිස්සමෙන් ඇඳුම් වැට උඩින් තැබුවාය.

වෙනදා මෙන් උදයේ පිබිදුන මලක් සේ කාර්‍යාලයට යන්නට හැටියක් නදිට තිබ්බේ නැත.

තාත්තා ඊයේ රැයේ ගෙදර ඇවිත් නැති වග නදී දැනගත්තෙ උදයේය. විල්සන් කොහොමත් රෑ තිස්සේ කොතනක හෝ වැටී කටපෙත්තටම අරක්කු හෝ කසිප්පු පුරවාගෙන ඉන්න මනුස්සය හන්දා ඔහු ගෙදර එන්නේ කීයටද, කරන්නේ මොනවාද කියා හොයන්න උනන්දුවක් නදීට තිබුනේ නැත. දූලා වැඩිපුර ආදරේ කරන්නේ තාත්තලාට කියා කතාවක් තිබ්බද නදී සහ විල්සන් අතර කිසිමාකාරයක සබඳතාවයක් නොවූ තරම් ය.

එහෙත් උදයේ චන්ද්‍රකාන්ති ඇවිදින් කියු කාරණාව එක්ක නදීට ඒ තමන්ගේ තාත්තා බව අමතක කර නිස්කාන්සුවේ වැඩට යන්නට හැටියක් තිබ්බේ නැත. එය දුවෙක්ගේ යුතුකම් ඉටු නොකිරිමට වඩා මනුස්සකම් අමතක කිරිමක් බව හිතුන හන්දාම නදී හනි හනික ඇඳ පැලඳගත්තාය.

“බීලා, බීපු තැනක වැටිල ඉන්නෙ නැතුව මෙතන මේ අපිට පව් පුරවන්න යනව. ඇයි යකෝ බිව්වනම් කට පියන් ඉන්නෙ නැතුව වලි වලට පැටලෙන්න යනවද මං අහන්නේ? මොන්න…කරුමයක්ද මං දන්නේ නෑ මේ නහින දෙහින කාලෙ මං ගෙවන්නෙ මේ නාකි පිරිමියි ළමිස්සියොයි බලාගන්න වෙලා” කියමින් චන්ද්‍රකාන්ති උදයේම බණින්නට පටන් අරගෙන තිබුණාය.

“ආන් උඹේ මහ එකා ඊයේ රෑ කොහෙද බීල, කවුද ගෑණියෙක්ගෙ ඇඟ උඩ දොංත පතං වෙන්න ගිහිල්ලා ඒකිගෙ මිනිහගෙන් හොඳටම ගුටිකාලා පොලිසියෙලු.

අනේ මේ නදියො නාකි මට බෑ මේ ඔය බේබද්දො නිදහස් කරගන්න පොලිසි ගානෙ රිංගන්න. උඹ ඔන හැටියකට පොලිසි බැරි නම් මොන තූත්තුකුඩියක හරි ගිහිල්ලා ඌව බේරන් වරෙන්. මගෙන් නම් සල්ලි ඉල්ලන්න එන්න එපා අර ගෑණි නැහිල නැහිල එවන සොච්චම ඔය මූසල මිනිහව පොලිසිවලින් බේරගන්න පුදන්න මට බෑ”

කතාව කිව්වයින් නොකිව්වයින් චන්ද්‍රකාන්ති එතනින් නික්මී ගියත් නදීට එය එසේ පහසුවෙන් හිතෙන් අතාරින්න පුලුවන් දෙයක් නොවේ.

මොක උනත් මේ තමන්ගේ තාත්තාය. බීලා හෝ නැතුව හෝ පොලිසියට ගෙන ගොස් තියෙන්නෙ තමන්ට මේ රටේ ඇති එකම ලේ නෑකම බව අමතක කරන්න හැටියක් නදීට නැත.
ඇස්වලින් කඳුලු වැක්කෙරෙද්දී නදී පාරට දිව්වේ අත් බැගයත් කිහිල්ල අස්සේ තද කරගෙනය. කෙල්ලෙකුට තනියම පොලිසි ගාණේ රිංගන්න බැරි එක ඇත්තක් වුනත් මේ වෙලාවේ තාත්තා වෙනුවෙන් ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නදීට නැත.

ඇය අල්විස් වත්තේ පටුමගේ හිඳ මහ පාරට පැන්නේත්, වේගයෙන් ආ රියක් බරාස් ගා බ්‍රේක් කරේත් එකම විටය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles