විශ්වවිද්‍යාලය තුලදීම මරා දැමූ අති දක්ෂ සිසුවිය.. 

ශරීරයෙන් කුඩා යෝධ කෙල්ල 

අඩි පහක්වත් උස නැති ඇනී ලී ව ඇගේ පශ්චාත් උපාධි ආචාර්‍යවරයා විසින් හැඳින්වූයේ “ශරීරයට වඩා විශාල ආත්මයක් ඇති , පුංචි තරුණ කාන්තාව” කියලා.  වියට්නාම සහ ඇමරිකානු මිශ්‍ර සම්භවයක් තිබුණ දෙමාපියන්ට දාව කුඩා ඇනී ඉපදෙන්නේ කැලිෆෝනියාවේ.  කැලිෆෝනියාවේ එල් ඩොරාඩෝ වල යූනියන් මයින් කියන උසස් පාසැලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් වුණ ඇනීට ඉගෙනීම විනෝදාංශයක් තරම් වුණා. උසස් පාසැලේ හොඳම ශිෂ්‍යාව විදියට සම්මාන ලබන ඇනීට  කැලිෆෝනියාවේ රොවෙස්ටර් විශ්ව විද්‍යලයේ ජීව විද්‍යාව උපාධිය හදාරන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. 

එහිදී ඇනීට ඇගේ උරුමක්කාරයා වෙන ජොනතන් විඩවිස්කිව මුණ ගැහෙනවා. එතනින් පස්සේ ඇනීගේ ජීවිතේ තවත් වර්ණවත් වෙනවා.

2007දී රොවෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් උපාධිය අවසන් කරන ඇනී යේල් විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්නේ ඖෂධවේදය පිළිබඳව ආචාර්ය උපාධිය හදාරන්න. 

එතනදි ඇය බෙනට් කියන දක්ෂ විද්‍යාඥයා එක්කඔහුගේ රසායනාගාරයේ පොස්පේටේස් නම් එන්සයිම සහ මානව පරිවෘත්තීය රෝග සඳහා ඒවායේ භූමිකාව අධ්‍යයනය කරන්න අවස්තාව හදාගන්නවා.  ඇගේ පර්යේෂණ සඳහා සහාය වීම සඳහා ජාතික විද්‍යා පදනමෙන් ප්‍රදානයක් ලබා ගන්නවා.  බෙනට් ඇයව සිහිපත් කරන්නේ “විද්‍යාව කෙරෙහි දැඩි ඇල්මක් සහ මිනිසුන්ගේ ජීවිතවල වෙනසක් කිරීමට ඇති ආශාව පෙන්නුම් කළ කඩිසර හා ඇදහිය නොහැකි තරම් වෙහෙස මහන්සි වී වැඩ කරන ශිෂ්‍යාවක් ලෙසයි.

සැනින් නොපෙනී යෑම

විශ්ව විද්‍යාලයේ, රසායනාගාරයේ ආචාර්යවරුන්ගේ වගේම මිතූරු මිතුරියන්ගේ ආදරය සහ ගෞරවය ඇති තරමට දිනාගෙන ඉන්න ඇනී ලීගේ ජීවිතේ එකපාරට අඳුරු කුහරයක් ඇතුළට ඇදිලා යනවා. ඇනී එක පාරටම කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි විදියට අතුරුදන් වෙනවා. 

තමන්ගේ දක්ෂ මිතුරිය හදිසියේ අතුරුදන් වුන ආරංචිය පිළිගන්න අකමැති වෙන සහෝදර උපාධිධාරී සිසුමන් ඇමිස්ටැඩ් වීදීයේ සටහන් තැබීම වෙනුවෙන් වෙන් කරලා තියෙන පුවරු වල සම්පූර්ණයෙන්ම ඇය වෙනුවෙන් ආශිර්වාද එකතු කරනවා. ” ඔබ හොඳින් ඇති බව අපට විශ්වාසයි. අපි ඔබ එන තුරු බලා සිටිමු..” ඔවුන් ඉතා විශ්වාසයෙන් ප්‍රාර්ථනා කරනවා.

පොලිසියේ සහායත් 

ඇනී සොයාගැනීම තනිව කල හැකි දෙයක් නොවන වග වටහාගත් වහාම විශ්ව විද්‍යාල ආරක්ෂක අ‍ංශ ඇගේ අතුරුදන් වීම ගැන ප්‍රාදේශීය පොලිසියට දැනුම් දෙනවා. පොලිසිය සෙවීමේ කටයුතු ආරම්භ කරන අතරේ වහාම මාධ්‍ය සහයෝගය ඉල්ලමින් සාකච්ඡා සූදානම් කරනවා. ඇගේ රුව සහිත දැන්වීම් ප්‍රදේශයේ ප්‍රදර්ශනය කෙරෙනවා. 

ආරක්ෂක කැමරා වල හෙළිදරව්ව

පොලිසිය විශ්ව විද්‍යාලය තුළ සහ වටා තිබූ ආරක්ෂක කැමරා එකින් එක නිරීක්ෂණ කරන්න පටන් ගන්නේ විශ්ව විද්‍යාලයේ පිරිස් ඒ කටයුතු ආරම්භ කරලා තියෙන අතරේමයි. එහෙම නිරීක්ෂණ කරනකොට ඉඟියක් ලැබෙනවා. සැප්තැම්බර් අට වෙනිදා උදේ ඇනී වෛද්‍ය විද්‍යාලයේ රසායනාගාර ගොඩනැගිල්ලකට ඇතුළු වෙන ආකාරය ආරක්ෂක කැමරා වල පටිගත වෙලා තියෙනවා.  ඒත් ඒ කිසිම ආරක්ෂක කැමරාවක ඇය ආපසු ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙන දසුන පෙන්නුම් කරන්නේ නැහැ.  ඊළඟ දවසේදීවත් ඇගේ පිටව යෑම සිදුවෙන්නේ නැහැ.  

සම්පූර්ණයෙන්ම සෙවීම් එක් තැනකට කේන්ද්‍ර වීම 

දවස් දෙකක් ගෙවෙනවා. එ වෙද්දී රසායනාගාර ගොඩනැගිල්ල ඇතුළේ සෙවීම් ඉතාම තදින් සිදු කරන්න පටන් අරගෙන තියෙන්නේ. දක්ෂ උපාධි අපේක්ෂිකාවගේ අතුරුදන් වීම හින්දා ආචාර්ය මණ්ඩලය වගේම සිසුන් ඉන්නේත් කම්පනයෙන් වගේම කලකිරීම එක්ක නිසා සමස්ථ විශ්ව විද්‍යාලයේම වැඩ කටයුතු පවා නැවතෙනවා. ඒ අතරේ ඇනී වෙනුවෙන් ඔත්තුවක් ලබා දෙන අයෙකුට ඩොලර් දස දහසක් ලබා දෙන බව කියලා යේල් පොලිසිය විශේෂ නිවේදනයක් පවා නිකුත් කරනවා. 

ඒ අතරේ ඇනීගේ පෙම්වතා සහ ඇගේ පවුලේ අයත් කැලිෆෝනියාවේ ඉඳන් යේල් වලට එනවා. මේ දක්ෂ , තරුණ කාන්තාවගේ අතුරුදහන් වීම ජාතික ප්‍රවෘත්තිවල ප්‍රමුඛ පුවතක් බවට පත් වෙනවා.  වාර්තාකරුවන් සහ රූපවාහිනී ට්‍රක් රථ දුසිම් ගනනක් වෛද්‍ය පීඨ රසායනාගාර භූමිය , යේල් වල මහල් නිවාසයෙන් පිටත වීදිය සහ පොලිසිය වටා එක් රැස් වෙනවා. 

ලේ පැල්ලමක හෙලිදරව්ව

ඊළඟ දිනයේ විමර්ශකයන් සිවිලිමේ ඉහල කොනකට වෙන්න සඟවලා තිබුණ ලේ වලින් පෙඟිලා තිබුම ඇඳුම් වගයක් හොයාගන්නවා. පොලිසිය සිවිලිම සම්පූර්ණයෙන්ම ගලවලා දාලා විමර්ශන කරත් ඉන් එහා ඉඟියක් ලැබෙන්නේ නැහැ. 

පොලිසිය ඒ අවට තියෙන කුණු දහනය කිරීමේ යන්ත්‍ර තුළ පවා සෙවීම් කරනවා. ඉන් පස්සේ ඇනී අතුරුදන් වෙලා හරියටම දවස් පහකින් ඇගේ නිසල සිරුර හොයාගන්නවා. ඒ රසායනාගාර ගොඩනැගිල්ලේ ගබඩාව සකසා තිබූ මහලේ තිබුණ පුවරුවක් අස්සේ තිබිලා. ඇගේ ගෙල සිර කරලා බව මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙලිදරව් වෙනවා. ඇයව සොයාගන්නේ දිනයේ ඇය ඇගේ පෙම්වතා සමඟ විවාහ ගිවිසගන්නත් නියමිතව තිබුණා කියන ආරංචිය එක්ක මුළු ප්‍රදේශයම මිනීමරුවා ගැන කෝපයෙන් කැළඹෙනවා..

සත්ව කාර්මික ශිල්පියා කල අපරාධ ය

ඇමිස්ටැඩ් වලම සේවය කරපු 24 හැවිරිදි රේමන් ක්ලාක්ද පොලිසියෙන් අත් අඩංගුවට ගන්නවා. ඒ ලැබුණු ඔත්තුවක් මත. ප්‍රශ්න කිරීම් වලදී ඔහු එකිනෙකට පරස්පර ප්‍රකාශ දෙන්න පටන් ගන්නවා. ඒ නිසාම පොලිසිය විශේෂ අවසරයක් එක්ක රේමන්ව  ර්ඳවාගෙම වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරනවා.  

” විශ්ව විද්‍යාලයේම සේවකයෙක්, ඒ විශ්ව විද්‍යාලයේ ම උපාධි අපේක්ෂිත ශිෂ්‍යාවක් ඝාතනය කලා..”

ඒ පුවත ඉතා කතාබහට ලක් වෙනවා. රේමන් නීතීඥ සහයෝගය එක්ක ඔහු නිර්දෝශී බව කියන්න උත්සාහ කරත්, සාක්ෂි ඔහුට විරුද්ධ ව ගොඩ ගැහෙනවා. 

ඔහු ඇනීව මරා දැම්මේ ඇයිදැයි කිසිම වෙලාවක හෙලිදරව් කරන්නේ නැහැ. “මේක වීදි අපරාධයක්වත්, ගෘහස්ත අපරාධයක්වත් නොවෙයි, මේක සේවා ස්ථානයේ වූ අපරාධයක් …” පොලිසිය රේමන්ව වැඩිදුරටත් අත් අඩංගුවේම තියාගනිමින් එහෙම කියනවා. 

යේල්   නගරයේ සභාපති Richard C. Levin මේ සිදුවීම නගර සභාවේ ලිඛිත ප්‍රකාශයක එකතු කරනවා.  “මෙම සිදුවීම ඕනෑම නගරයක, ඕනෑම විශ්ව විද්‍යාලයක හෝ ඕනෑම සේවා ස්ථානයක සිදු විය හැකිය. ආරක්ෂක පියවරවල තරම ගැන කියනවට වඩා එය මිනිස් ආත්මයේ අඳුරු පැත්ත ගැන කියයි…… අපි මිනිස් ආත්ම වල අඳුරු පැති වලින් පවා පරෙස්සම් විය යුතුයි …”

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles