ඔබේ දින චර්යාව ඇතුළත ඔබට අනිවාර්ය කටයුතු සමඟ නිම කිරීමට බොහෝ වැඩ කටයුතු තිබෙනවා. නමුත් දවස අවසානයේදී සලකා බලන විට ඔබට එයින් සමහරක් දේවල් මගහැරී තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඔබේ දවස ඵලදායි කර ගැනීමට ඔබට අනුගමනය කළ හැකි හොඳම ක්‍රමය ඔබේ අවශ්‍යතා වලට සහ ඔබේ ජීවිතයට ගැලපෙන දෛනික කාල සටහනක් සකස් කර ගැනීමයි. කාලය සංවිධානය කර ගැනීමෙන් ඔබට නිවසේ වැඩ කටයුතු , රැකියා කටයුතු සහ ඔබ වෙනුවෙන් වේලාවක් වෙන් කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ලිපියෙන් ඔබට කියන්නට සූදානම් වන්නේ 8 – 8 – 8 රීතිය සමග ඔබේ දවස සංවිධානය කර ගන්නා ආකාරය පිළිබඳවයි.
8 – 8 – 8 රීතිය කියන්නේ මොකක්ද?
8 -8 – 8 රීතිය යනු වැඩ, විවේකය සහ නින්ද සඳහා ඔබේ දවස සමාන පැය 8ක කොටස් තුනකට බෙදා වෙන්කර ගැනීමේ සංකල්පයකි. මෙමගින් ඔබට සමතුලිත සහ ව්‍යුහගත දෛනික චර්යාවක් සඳහා මග සලසනවා.ඒ වගේම මෙම කාලසටහන මගින් ඔබේ රැකියාවට , පුද්ගලික ජීවිතයට සහ ඔබේ නින්ද සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් කරන බවට සහතික කරනවා.
මෙම රීතිය මගින් ලැබෙන වාසි මොනවද ?
ඵලදායිතාවය වැඩිදියුණු කිරීම
ඒ ඒ කාර්යයන් සඳහා නියමිත වේලාවක් වෙන්කර තිබෙන නිසා එමගින් ඵලදායීතාවය ඉහල නැංවෙන අතර ඔබ බලාපොරොත්තු වන වැඩ කොටස ඒ අයුරින්ම නිමකර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
වඩා හොඳ කළමනාකරණය
මෙම රීතිය මගින් කාර්යයන් වලට ප්‍රමුඛතාවය දීම සහ කාර්යයන් සඳහා හිතා මතාම කාලය වෙන් කිරීම නිසා කාලය වඩාත් ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා ඔබව දිරිමත් කරනවා.
ආතතිය අඩු කිරීම
මෙම රීතියට අනුව ක්‍රියා කිරීමේදී අනිවාර්යෙන්ම විවේකය සහ නින්ද සඳහා නිසි කාල සීමාවක් ලැබෙන නිසා ඔබට ආතතිය දැනීම විශාල ලෙස අඩු කරනවා.
වෙහෙසට පත් වීම අවම වීම
ඔබ ඒ ඒ කාර්යයන් වලට නියමිත වේලාවක් වෙන් කර තිබෙන නිසාත් , ඔබ එම කාල සටහන අනුගමනය කිරීම නිසාත් කුමන කාල සීමාවේදී ඔබ කුමන කාර්යයේ නිරත විය යුතු දැයි ඔබ දන්නවා. එමගින් ඔබ නියමිත ලෙස කාර්යයන් වල නිරත වීම සිදුවන අතර ඔබ වෙහෙසට පත්වීම අවම වනවා.
ස්ථාවර දින චර්යාව
නිසි පරිදි කළමනාකරණය කරන ලද ,කාර්යයන් සඳහා කාලය වෙන් කරන ලද ස්ථාවර දින චර්යාවක් තිබීම මගින් ඔබව කලබලකාරී සහ ආතතියට පත් දින චර්යාවකින් ඈත් කර තබනවා.
8 – 8 – 8 රීතියට අනුව දින චර්යාවක් සකස් කරන්නේ කෙසේද ?
ඔබේ දවස බෙදන්න
මුලින්ම ඔබ ඔබේ දවස පැය අට බැගින් වූ කොටස් තුනකට බෙදා වෙන් කළ යුතුයි.
- පළමු පැය අට – රැකියා කටයුතු හෝ අධ්‍යාපන කටයුතු
මෙම පැය අට ඔබ බෙදා වෙන්කළ යුත්තේ ඔබේ රැකියා කටයුතු සඳහා හෝ අධ්‍යාපන කටයුතු සඳහායි. මෙහිදී ඒ සම්බන්ධ කටයුතු සහ වගකීම් සියල්ලම මෙම පැය අට ඇතුළත ඔබ සිදුකර නිමකළ යුතුයි.
- දෙවන පැය අට – විවේකය සහ පුද්ගලික ක්‍රියාකාරකම්
මෙම පැය අටක කාලය ඔබට විවේක ගැනීම සඳහා , ඔබගේ විනෝදාංශ ක්‍රියාවට නැංවීම සඳහා , ඔබගේ පවුලේ අය සමග කාලය වෙන් කිරීම සඳහා , ව්‍යායාම කටයුතු සඳහා , නිවසේ වැඩ කටයුතු සඳහා වැනි රැකියා නොවන ඕනෑම කටයුත්තක් සඳහා වෙන් කිරීම කළ හැකියි.
- තුන්වන පැය අට – නින්ද
මීළඟ පැය අට ඔබ සුව නින්දක් සඳහා වෙන් කිරීම කළ යුතුයි. ස්ථාවර හා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ඔබේ කායික සහ මානසික සෞඛ්‍යයට ඉතා වැදගත් වන අතර නින්ද සඳහා පැය අටක් වෙන් කිරීම ඔබේ මනසට ඉතා හොඳ විවේකයක් ලබාදෙන අතර අනෙක් සියලුම කටයුතු සඳහා ඔබව සූදානම් කිරීමට ඔබට හොඳ ප්‍රබෝධමත් බවක් ලබා දෙනවා.
මෙය 8 – 8 – 8 රීතියේ සාමාන්‍ය රාමුව වන අතර ඔබේ අවශ්‍යතා සහ ජීවන රටාව මත පදනම්ව යම් තරමක් දුරට ඔබට මේවා වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබට යම් දිනයකදී පැය හතක නින්දක් ප්‍රමාණවත් බව සිතනවා නම් ඉතිරි පැයක කාලය ඔබේ උදෑසන චර්යාවේ ඔබ වෙනුවෙන් වෙන් කරන කුඩා කාල සීමාවට එකතු කිරීමට හෝ පුද්ගලික කටයුත්තක් සඳහා හෝ රැකියා කටයුත්තක් සඳහා වෙන් කර ගැනීමට ඔබට පුළුවන්.
මීට අමතරව ඔබේ සියලුම කාර්යයන් සඳහා නියමිත කාල සීමාවන් සකස් කළ යුතු අතර ඒවා අදාළ පැය අට තුළ නිසි ලෙස පෙළගස්වා ගැනීම කළ යුතු වෙනවා.