Not Without You – 17

0
4873

මිතුරියන් හමු වීමේ දැඩි නො ඉවසිල්ලක් මට දැනෙමින් තිබිණ. පිටතින් අසීමිත නිශ්චල බවක් දැරුවාට මගේ ඇතුළාන්තයෙහි වූයේ සුළි සුළඟක කැළඹුමකි. කාමරයට වී පොතක් කියවන්නට තැත් කළෙමි. නමුත් කියවූ වචනයක්වත් මනසෙහි රැඳුණේ නැත. ගීතයක් අසන්නට හැදුවෙමි. වෙනදාට මහත් අභිරුචියකින් සමවැදෙනා ගීයක් පවා හදවතෙහි කිසිදු හැඟීමක් දැනවූයේ නැත. බරාඳයට විත් සති අන්ත පුවත්පත අතට ගතිමි. එහි කිසිදු රසයක් නැති සේ දැනිණ. අන්තිමට මම දමා ගසා කාමරයට ගොස් මුද්‍රා ට දුරකතන ඇමතුමක් ගතිමි.

“ලන්ච් ටයිම් එකේ එළියට එන්න පුළුවන්ද…”

එහා ඉම මඳ තත්පර වීමකි. ඒ නිශ්ශබ්ධතාවයේ හඬ පවා මගේ සවන් රිදවී ය.

“පුළුවං”

අවසන ඒ වචනය ඇසිණ. මට ඇය හමුවීමේ අවශ්‍යතාවයක් නො වන්නේ නම් මෙසේ එවන් හදිසි ඉල්ලීමක් නො කරන බව මුද්‍රා දන්නී ය. අප අතරේ කොන්දේසි විරහිත එකඟතා තිබේ. බැඳීම් තිබේ. අපට අප ඕනේ කරන මොහොතක මොන රාජකාරී තිබුණත් අපි අප වෙනුවෙන් එහි හිඳිමු.

මගදී මගේ රියට පීහු ගොඩවූවා ය. අපි මුද්‍රා ගේ කාර්යාලය අසල බොජුන් හලට ගියෙමු. අප ගොස් සුළු වෙලාවකින් ඇය එහි ආවා ය.

“මොනාද කන්නෙ…”

මට ඔවුන් හමු වන්නට ඕනෑ කී බවක් ඔවුන් මතක් කළේ හෝ නැත. එසේ හමු වීමේ අවශ්‍යතාවය කුමක් ද කියා ඇසුවේත් නැත.

“අද නාසි කමු”

ඔවුහු කෑම ඇනවුම් කළහ. ඊට පෙර ජින්ජර් බියර මේසයට පැමිණියේ ය. මම එක හුස්මට ඉන් බාගයක් ම හිස් කොට උදරය සිහිල් කොටගතිමි.

“ආදිල්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් උදේ කෝල් කළා”

හදිසියේ ම බෝම්බයක් පුපුරා යාමෙන් පසු ඇති වන දැඩි නිශ්චලත්වය අප අතරේ පැතිර ගියේ ය. නමුත් විදාරණය නිසා හටගත් සුන් බුන් හා තුවාල වල වේදනා හාත්පස ඉතිර පැතිර තිබිණ. මාරක තුවාලයක විලාපය ද නෑසුණා නොවේ.

“එදා කිව්වෙ අෆෙයා එකක් තිබුණ කියලනෙ…”

“ආදිල් ඒක නතර කරල වුණාට ඒ ගර්ල් එහෙම කරල නෑ”

මා කතා කළේ මන්දස්මිතයකිනි. නමුත් එය පවත්වාගෙන යාම විලාපයක් තරමට ම මූසල හැඟීමක් දැනවී ය.

“ලව් එකක් කියන දේ එක පැත්තකින් විතරක් කන්ටිනිව් කරන්න බෑනෙ ඉතිං. එක්කෙනෙක් විතරක් කැමති වෙලා බෑනෙ”

පීහු මිමිණුවා ය. නමුත් එය ඉතා ම දුර්වල හඬක් සේ මට දැනිණ.

“ඔව් ඉතිං තනි අතිං අප්පුඩි ගහන්න බෑනෙ”

“ඒකනෙ ඉතිං… එක්කෙනෙක්ට විතරක් නතර කරන්න ඕන වුණාට තනි කැමැත්තට සම්බන්දයක් නතර කරන්නත් බෑනෙ”

“අනේ මේ ආන්‍යා. මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්නෙපා බං. අනිත් එක ගෑනියෙක්ගෙ හුස්ම පොදක් වැදිල නැති පිරිමි හොයන්න අපි එහෙම ගෑනුද…කසාද බැඳල වුණත් එතනිං අයිං වෙලා යන්න පුළුවන්නෙ. සම්බන්ධතා කියන දේවල් අවස්ථානුකූලයි. අද තියන එකක් හෙට නැති වෙන්න පුළුවන්. එතනිං ඉස්සරහට යද්දි පරණ මළකුණ කර ගහගෙන යන්න බෑ. තනි කැමැත්තට සම්බන්ධයක් නතර කරන්න බෑ කියන්නෙ… දැං තමුසෙ නතර කළේ හසන්තගෙ කැමැත්ත ඇතුවද…එක්කෙනෙක්ට හරි ඒ ගමන යන්න බෑ වගේ දැනෙනවනං දෙන්නට එකට යන්න බෑම තමයි. ඕක තේරුං අරගෙන වෙන් වෙන්න තරං ඕන මිනිහෙක් ගෑනියෙක් නිහතමානී වෙන්න ඕනෙ. දෙපතුළ ළඟ වැටිල අනේ මාව දාල යන්න එපා කියල හරි උඹ ගියොත් මං මැරෙනව කියල හරි ගියොත් තෝව මරණව කියල හරි යන එකෙක් නවත්තන්න හදන එක මහ මෝඩ වැඩක්. යන්න හිතපු එකෙක් යන එක සක්කරයටවත් නවත්තන්න බෑ”

මුද්‍රා ආවේශ වී සිටියා ය. නමුත් පීහු කතා කළේ නිවුණු හඬිනි.

“කලබල වෙන්නෙපා සකී. ටික කාලයක් එහෙම පස්සෙන් ආවත්… කඩාගෙන යන සරුංගලයක් නතර කරගන්න බෑ කියල ඒ ගර්ල් තේරුං ගන්න දවසක් එයි”

“නෑ ඉතිං… මං කලබල වුන්නෑ. මට කලබල වෙන්න හේතුවකුත් නෑ. මං කියන්න ආවෙ… ඔය මනුස්සය ගැන කියල මටනං විහිළු කරන්න එපා කියලයි”

“නෑ අපි කොහොමත් විහිළුවක් කළෙ නෑ. හොරාට කලින් කෙහෙල්කැන වැට පන්නන්නැතුව හිටාං ගොනී”

“කොහෙවත් යන කුණ්ඩවාල මගෙ ඇඟට දාගන්න ඕනකමක් නෑ”

මම මූණ දික් කොටගතිමි. මුද්‍රා හා පීහු උනුන් ගේ මුහුණු දෙස බලාගත්හ. පීහු කට කොන් සිනහවක් නගා ගත්තා ය.

“ඕනමනං එහෙම එකක් තිබුණා වුණත් කඩන්න බැරිකමක් නෑනෙ”

“මට ලබන ආත්මෙටත් පව් රැස්කරන්න ඕනම නෑ. මේං වැන්දා. ආදිල්ට දැනෙන්නට අනවශ්‍ය දේවල් කියන්නෙ එහෙම නෑ මීටපස්සෙ. හරිද… අනිත් එක අපිත් ගෑනුනෙ. තව ගෑනු ළමේක්ට දැන දැන වරදක් කරන්න ඕනම නෑ”

“ළඟදි නවල් එකක්වත් කියෙව්වද…”

ඔවුහු හඬ නගා සිනහ වූහ. මම රවාගතිමි.

“දැං පීහුගෙ හස්බන් එක්ක වෙන ගෑනුකෙනෙක් පැටලිලා කියල සැකේට හරි අපි ඒ ගෑනු කෙනාට සාප කරන්නැද්ද… අම්මෝහ්… ආදිල් ඉක්මනට බෝඩිමක් හොයාගත්තොත් හොඳයි”

සත්තකට ඒ මගේ අවංක පැතුම වූයේ ය. ඔහු ඉක්මනින් අපේ ගෙදරින් නික්ම ගියොත් මේ සියල්ල නිමාවට පත් වේ.

“සාපෙට ලක්වෙන්න බයේ”

මගේ මිතුරියෝ සිනහ වූහ.

“මගෙ මනුස්සයට වෙන කෙනෙක් ගැන ආදරයක් තියනව කියල මට කිව්වොත් එයා යන්න ඉස්සල්ල මමයි යන්නෙ සකී. මට ආදරේ කරන්නැති මනුස්සයෙක්ගෙං වෙන් වෙන්න මං දෙපාරක් හිතන්නෑ. හැබැයි මේ මනුස්සය කියන්නෙම එහෙම සම්බන්දයක් නෑ කියල. ඒක ඔප්පු කරගන්න බැරුව මට මුකුත් කරන්නත් බෑ. ආදිල්ටත් ඒ ගෑනු ළමය හරියන්නෑ කියල හිතෙනවනං වෙන් වෙන්න අයිතියක් තියනව. ඒක පාපයක් නෙවේ”

ඉන් ඔබ්බට මා තර්ක කරන්නට ගියේ නැත. නමුත් මගේ හිතට අස්වැසිල්ලක් දැනිණ. සැහැල්ලුවක් දැනිණ. නිදහසක් දැනිණ.

හැන්දෑවේ ආච්චා පෙර මග බලා සිටියේ ආදිල් එනතුරු ය.

“මේ ළමය තාමත් නෑනෙ”

“මේ ළමය රෑ වෙයිද මන්ද”

යනුවෙන් මට ඇසෙන සේ ඇය කිහිප වරක් ම කීවා ය. මම පිළිවදන් දෙන්නට නො ගියෙමි. මානෙල් හවස තේ පිළියෙල කරන්නට හැදූ විට පවා,

“අර ළමයත් ආවහම බොමු”

යයි කියනු මට ඇසිණ. හවස් වූ වෙලාවේ පටන් ඈ සිටියේ බරාඳය මැද රෝද පුටුව නවතාගෙන ගේට්ටුව දෙස බලාගෙනයි. ආදිල් ගේ රිය ගේට්ටුව ළඟ නතර වෙන්නටත් පෙර ඕ මානෙල්ට හඬගෑවා ය.

“මානෙල්… මානෙල්… අර ළමය ඇවිත්. දුවල ගිහිං ගේට්ටුව ඇරියනං”

මානෙල් දිව යනු මා බලා සිටියේ යටපත් කරගත් සිනහවෙනි. ඇය යන විට ඔහු රියෙන් බසිමින් සිටියේ ය. පෝටිකෝව යටට පැමිණ නතර වූ රියෙන් ආදිල් බැසගත්තේ බෑග් මලු කිහිපයක් ගෙනයි. මේසය ළඟ පුටුවේ හිඳ මම ඔප්පුවක පත්තිරු පරීක්ෂා කරමින් සිටියෙමි.

“ආදිල් පුතා ප්‍රමාද නිසා මං මේ බල බලා හිටියෙ කෝල් එකක්වත් දෙනවද කියල හිත හිතයි”

“අද ඉන්ටීරියර් ඩිසයිනින් වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වුණා ආච්චා. ටිකක් පරක්කු වෙනකල්ම වැඩ ටික ඉවර කළා”

“ඒක හොඳයි. මහන්සිත් ඇතිනෙ. වොශ් දාං එන්නකො පුතා. තේ එකක් බොන ගමං කතාකරමු”

බෑග් ටිකත් ඔසවාගෙන ආදිල් කෙළින් ම පැමිණියේ මා සිටි මේසය වෙතටයි. ඔහු ඒවා මේසය මතින් තැබුවේ ය. එළවළු, පළතුරු, ජෑම්, බටර්, පිටිකිරි වැනි දෑ විනිවිද පෙනෙනා බෑග් තුළින් මම දුටිමි.

“ඇයි මේ…”

මගේ ඇස් කුඩා වී ආදිල් දෙස බලන්නට ඇත. ඔහු ඇස් කොනෙන් මගේ බැල්ම පිළිගත්තේ ය.

“මාත් ඉතිං කන බොන මනුස්සයෙක්නෙ”

“ඒත් මෙහෙට මොනාත් උස්සං එන්න එපා ආදිල්”

ඔහු දෑත් මේසය මතින් තබා මවෙත නැඹුරු වූයේ ය. මම නො පැරදී ඒ දෑස් අල්වාගෙන ම සිටියෙමි.

“පැහෙන්නැතුව ඉන්නවද…”

ඔහු ළඟින් සුවඳක් හැමුවේ ය. උදයේ ගැල්වූ, දහදිය හා මුහු වී පරණ වී ගිය විලවුන් වල සුවඳ! ගැහැනියක ආශක්ත කරවනා පිරිමි පෞරුෂයේ සුවඳ! මා හුස්ම ගත්තේ ඉතා ම හෙමිහිට ය. ඒ සුවඳ කෙරේ මොකක්දෝ වසඟයක් දැනුණා වූ බැවිනි. ඒ සුවඳ තුළ අතරමං වීමේ දී ආදිල් ට කිව යුත්තකට වචන හොයා ගන්නට මට අමතක වී තිබිණ. ඔහු හැරී කාමරය දෙසට නික්ම ගියේ ය. මේසය මත වූ පත්තිරු කිහිපය මතින් මම නිකට තබා ගතිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here