හීන් නිළි වැස්සක් ඉහිරෙමින් තිබේ. උදේ සිට ම එහෙම ය. හයියෙන් වැස්සේ නැතිවාට ආකාසය මන්දාරම් වී වැහි ගැබක් දරාගෙන හිඳී. කවර මොහොතක හෝ ඔය සිරිපොදය නවතා අහස කඩාහැලෙනු ඇත.
ඝණ වලා වියනකින් ආකාශය වැසී ඇති නිසා සූර්යයා සැඟවී ගොසිනි. හිරු කිරණයක් දවසේ ම පොළොවට ළඟා වන්නට අපොහොසත් වූයෙන් වායු ගෝලය ආර්ද්‍රතාවය දරාගෙන සීතලෙන් සීත වී හිඳී. තුරු පතක් සෙලැවෙන්නේ වැහි බින්දුවක ගැස්මට මිස සුළඟක දඟයකට නොවේ.
මම බරාඳ පුටුවකට වැටී ඔහේ මිදුල දෙස බලා සිටියෙමි. ඇතැම් විටෙක පාළුවට ඇස් පියවේ. පිරිත් පිංකමට වූ වෙහෙසත් නිදි වැරීමේ කෙඩෙත්තුවත් තවම සිරුර අතැර ගොස් ද නැත. ආච්චා විටින් විට නිදයි. නැවත අවදි වී පැමිණෙයි.
පිරිත් පිංකමත් සාංඝික දානයත් නිමා වූයේ පෙර දා ය. අස් පස් කොට යථා තත්වයට පත් වීම් තවමත් මුළුමනින් නිමා වී නැත. විදුලි සැරසිලි කළ ආයතනය විසින් ඔවුන්ගේ කලමණා ඉවත් කරගෙන ගියේ මීට මඳ වෙලාවකට පෙරයි.
දැන් ගෙදරත් වත්තත් පාළු ය. සුනාමියක් ඇවිත් ගියා වාගේ නිශ්චල ය. හදවත ඊට වැඩියෙන් පාළු වී දැයි මට නො සිතුණා ම නොවේ. කොහොමත් මිතුරු ඇසුරේ සිට තනි වූ විට මට ඔය හුදෙකලාව දැනේ.
ආදිල් ගේ මෝටර් රථය ගේට්ටුව ළඟ නතර වෙනු දකිත්දී එතෙක් හදවතේ සැරිසැරූ හුදෙකලාවේ සලකුණු අතුරුදන්ව ගොස් මා අසුනෙන් නැගිටිණ. නමුත් මා මිදුලට බසිත්දී ආදිල් රියෙන් බැස ගේට්ටුව විවර කරමින් සිටියෙන් යළිත් මම බරාඳයට ගොඩ වී කුළුණකට හේත්තු වී ගතිමි. රිය ගරාජයට දමා පැමිණි ආදිල් මවෙත බෑගයක් පෑවේ ය. ඒ තුළ වන්නේ බඳුනක් බව බැලූ බැල්මට දැකිය හැකි විය.
“මොනාද”
කියා අසමින් ම මම බෑගයට එබුණෙමි. ඔහු මා සමීපයෙහි දෑත් කලිසම් සාක්කු වල බහාගනිමින් සිටියේ ය. ඔහු ළඟ දැනුණේ හැන්දෑ සුවඳ යි. හැන්දෑවට ආදිල් ගෙදර එන වෙලාව වෙත්දී දැන් මට මේ සුවඳ දැනේ. පිරිමි හෝමෝන වල සුවඳ ද විලවුන් නිශ්පාදනයේ දී යොදා ගැනෙතැයි සිතිය හැකි පිරිමි ෆෙරමෝන සුවඳ ද පිරිමි දහදිය සමග නිකුත් විය හැකි ෆෙරමෝන වල සුවඳ ද මුහු වූ විට ඒ ‘හැන්දෑ සුවඳ’ හෙවත් ‘ඔහු සුවඳ’ ඇති වේ. ඒ සුවඳ බරාඳයෙන් ගෙට ගොඩවෙන තුරා මා තුළ නො සන්සුන් බලාපොරොත්තුවක් නොවෙතැයි කිව හැකි ද?
“අච්… චාරු…”
මගේ මුවින් ඒ තනි වචනය දෙකඩ වී කියවුණේත් රතදරතර ඉසිහින් මඳහසක් උපන්නේත් එකට ම ය.
“ඔයා ආසවෙයි කියල හිතිල ගත්ත”
ආදිල් මගේ ඇස් වල කිමිදෙනා උත්සාහයකින් කීවේ ය.
“අච්චාරු ජාති පහක් මික්ස් කරල ඕකට දැම්මෙ. අන්නාසි… පැණි සියඹලා… දිවුල්… ඇඹරැල්ල… ජම්බු…”
ඔහු එහෙම කියනා විටත් මගේ ඛේට ග්‍රන්ථි සක්‍රිය වන්නට වූයේ ය. මම මහත් අභිරුචියකින් අච්චාරු බඳුනෙහි පියන විවර කළෙමි. එයින් රස සුවඳක් එළියට පැන්නේ ය.
“ඊයෙ කෑමත් එක්කම ඉඳල අද කන්න අප්පිරියාවෙ හිටියෙ. මේක හොඳයි”
මා තුළ සිටිනා ළදැරිය මා පරයා ඉස්සර වෙමින් සිටියා ය. මහපටැඟිල්ලෙන් හා දබරැඟිල්ලෙන් අල්වා ගත් අන්නාසි කැබැල්ලක් මම මුවෙහි ලා ගතිමි. එයින් මිහිරි පැණි රසයක් ද තුනී ඇඹුල් රසයක් ද වෑහිනි.
“ආ…”
ඊළඟ අන්නාසි කැබැල්ල සියඹලා තැවරුම සමග ම කුඩා ලී හැන්දෙන් ගෙන මම ආදිල් වෙතට පෑවෙමි. ඔහු මගේ අතැඟිලි ආසන්නයෙන් ම හැන්ද අල්වා අච්චාරු ටික මුවෙහි ලා ගත්තේ ය. තවත් කටක් ඔහු වෙතට පෑව ද ආදිල් හිස සලා ඒ ප්‍රතික්ෂේප කළේ ය.
“ඔයා කන්න”
“ඒක හොඳයි. නැත්තං මට මදිවෙයි”
ඔහු හයියෙන් සිනහ වූයේ ය. අච්චාරු ඇඹුලට ද මන්දා මා සිනහ වූයේ දෙතොල් තෙරපාගෙන උරහිස මතින් කම්මුල තද කරගෙනයි. ආදිල් මඳහසකින් කාමරය දෙසට පිය නැගුවේ ය.
“තේ හදන්නාං”
කියාගෙන මා මුළුතැන්ගේ දෙසට ගියේ උඩ පනිමින් වාගේ ය. මා තුළ සිටි ‘ඇඹුලිය’ එක මොහොතකින් අවදි වී සිටියා ය. අපේ වත්තේ ඕනෑ තරම් පළතුරු ගස් තිබේ. ඒවා ඒ ඒ පළතුරු වාරයන්හි දී ඉදී, අපමණ බිම වැටී යයි. වවුලන් හා වෙනත් සතුන්ගේ හප බවට පත් වෙයි. ආච්චා ගේ උවමනාවට අඹ ගසකින් පැසුණු ගෙඩි කිහිපයක් මානෙල් ලවා කඩවා ඉදෙන්නට කාඩ්බෝඩ් පෙට්ටියක බහා තබන්නී ය. කෑම වේලකින් පසු මානෙල් ඒවා කපා පිඟානක තබා තිබෙන විට මම කැබැල්ලක් දෙකක් කමි. එපමණකි.
නමුත් මගේ ළමා විය එහෙම නොවේ. පාසල් නිම වී පැමිණි ගමන් මා කරන්නේ පේර ගහට නැගෙනා එකයි. පේර පැසීදැයි මා බලන්නේ ගහේ තිබියදී ම ගෙඩියේ පැත්තකින් කෑල්ලක් හපා ය. කොටසක් අඩු හා දත් ගැසූ පේර ගෙඩි සෑහෙන කාලයක් ගත වන තුරු පේර ගසේ දකිත හැකි විය.
වත්තේ වැවුණු ගස් වල සෑම ගඩා ගෙඩියක් ම රස විඳීම ළමා වියෙහි මගේ පුරුද්ද වූයේ ය. ඇතැම් විට සචින් අයියා ද මට එක් වේ. අපි ජම්බු වාරයට රතු වූ ලොකු ම ගෙඩි මල්ලක් කඩාගෙන ලුණු කුඩු හා මිරිස් කුඩු පිඟානකට දමා ගෙන ගොස් මිදුලේ වාඩි වී කුස් පිරෙනා තුරු කන්නෙමු. අමු සියඹලා කෑම මා බෙහෙවින් ආශා කළ දෙයකි. සචින් අයියා සියඹලා ගසට පොලු ගසා කරල් වලු පිටින් කඩයි. බිලින්, කාමරංකා, සැපතිල්ලා, මැංගුස්, රඹුටන් වැනි ගඩා ගෙඩි වාර වලදී මගේ හවස් වරු ගෙවෙන්නේ වත්ත පහල තුරු ගොමුවේ ය. එක කාලයක් ඉදී වැටෙනා ගොරකා ගෙඩි ඇහිඳීම මගේ ප්‍රියතම විනෝදාංශයක් විය. ගොරකා මද කන හැටි මට කියා දුන්නේ සචින් අයියා ය. ඔහු ගොරකා ගෙඩියේ මුදුන සිදුරු කොට කෝටු කැබැල්ලකින් මදය පාදා ගනී. කෝටු කැබැල්ලෙන් මදය කුරුටු ගා දිය කරගත් විට එයින් විඳිත හැක්කේ දිව්‍යලෝක රසයකි. ළමා වියෙහි ඒ රස මතකයන් යොවුන් වියට එළඹි පසු අපට අමතක වී ගියේ ඇයි? එම යුගය තුළ වන අවශ්‍යතා හා කාර්යබහුල වීම් අතරේ ඒවා සැඟවී ගියේ ද?
තේ හදාගෙන මා බරාඳයට යන විට ආච්චා හා ආදිල් එහි කතා කරමින් සිටියහ.
“මං මේ ආදිල් පුතාට කිව්වෙ සකී… ගෑනු ළමයෙක්ට ලැබෙන්න ඕන ජාතියෙ පිරිමියෙක් තමයි පුතා කියල”
මා දෝතින් දරා උන් තේ බන්දේසිය ගැස්සී යන්නට ඇත. මගේ ඇස් වහා ම ආදිල් වෙත යොමු විය. ගැහැනු හදවතක් තුළ හැඟුම් සයුරක රළ බිඳිණි. ඔහු ඇස් වලින් සිනහ වූයේ ය. මට නම් සිනහ වෙන්නටවත් හැකි වූයේ නැත. මගේ මුහුණේ පේශීන් ඒ මොහොත තුළ ගල් වී තිබුණා විය යුතු ය.
“මේ කාලෙ ඉන්න ළමයි හරි අමුතුයි. පිරිමි ළමයි විශ්වාස කරන්නම බෑ. හිත් වල මොනා තියං ඉන්නවද කියල හිතාගන්න බෑ. කීයටවත් හිතුවෙ නැති තැනක තමයි අන්තිමට අපිව අතරමං කරල යන්නෙ. අපිට වුණත් එහෙම පිරිමි පරාණ ගැන අත්දැකීම් තියෙනවනෙ… නේද සකී…”
මගේ උගුර හිර වී තිබිණ. ආච්චා මා රැගෙන ගියේත් බලාපොරොත්තු නොවූ කඳු මුදුනකට ය. හසන්ත පිළිබඳ සිදුවීම් දාමයක් එකට පැටලී හිත ළඟට ඇවිත් ගියේ ය. මම උණුවෙන් කට පිච්චි පිච්චී තේ උගුරු කිහිපයක් බීගෙන ගියෙමි.
“එහෙම පිරිමි බොහොමයක් අතරෙ හොඳයි කියල කටපුරා කියන්න පුළුවන් කොල්ලොත් අතලොස්සක් නැත්තෙ නෑ”
මම කවරක් නම් පවසන්නෙම් ද? කනප්පුව මත තිබූ ආදිල් ගේ ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ හොඳ වෙලාවට ය. මම යළිත් වරක් ඒ නම දුටිමි. කල්පනී!
ආදිල් පළමු වර දුරකතන ඇමතුම බිඳ දැමුවේ ය. මගේ කුස ඇතුළේ උණු තේ ගොජ දමමින් උතුරනු මට දැනිණ. යළිත් දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය.
“කමන්නෑ පුතා කතා කරන්න”
ආච්චා කීවා ය. ඉතින් ආදිල් ට ඒ ප්‍රතික්ෂේප කරන්නට බැරි විය.
“කියන්න”
ඔහු එසේ කීවේ නො සැලකිලිමත් ලෙසයි.
“මං කොළඹ ආව”
ඒ ගැහැනු හඬ මට පැහැදිලි ලෙස ම ඇසිණ.
“මොකද්ද…”
ආදිල් තරමක් වික්ෂිප්ත වූයේ ය.
“මං කොළඹ ආව අනේ. ලොකු නැන්දලෑ දිහා නතර වුණා. ජොබ් එකක් හොයාගන්නව හෙමීට”
ආදිල් අසුනෙන් නැගිට ගත්තේ ය. ඔහු ගේ එක අතක් තේ මග් එක අල්වාගෙනයි. අනිත් අතින් දුරකතනය සවනට තියාගෙනයි. යන්තම් හඬ නැගෙන සේ මා ලොකු හුස්මක් ගෙන තිබිණ. ආපසු ඇදගත හැකි නම් සත්තකට මම ඒ මොහොතේ ඒ හුස්ම යළි මා තුළට ඇදගමි.
“පිස්සුද ඔයාට… ජොබ් එකක් හම්බ වුණාමනෙ එහෙනං එන්න ඕනෙ”
ඊට පස්සේ කල්පනී පැවසූ කිසිත් මට ඇසුණේ නැත.
“කොහේ හිටියත් කමක් නෑ මට කරදරයක් වෙන්නනං හදන්නෙපා කල්පනී. මට ආයෙ ආයෙත් කියන්න තියෙන්නෙ එක දෙයයි. මං ඒක කියල ඉවරයි”
ඔහු දුරකතන සම්බන්ධය බිඳ දමා බරාඳ පඩිය මත හිඳ පිටත බලාගෙන තේ උගුරක් බීවේ ය. ඒ තේ ටික මගේ උගුරේ මැද හරියේ හිර වූවා සේ මට දැනුණේ ඇයි?
“ලැබෙන්න ඕන ගෑනු ළමය ඔය ඇවිත් ඉන්නෙ ආච්චා”
කියා කියන්නට මට අවැසි විණි. නමුත් එහෙම කියාගන්නට තබා හුස්ම ගන්නටවත් අපහසු ලෙස මගේ සිරුරේ සම් මස් පේශි අස්ථි හා රුධිරය ද ග්ලැසියරයක මිදී යමින් තිබුණේ ය. ඒ වන විටත් උණුවෙන් ම තේ එක බී හමාර කොට සිටි මම කිසිදු වෙනසක් නො හැඟවෙන සේ නැගිට “දෙන්න කෝප්ප” ලෙස පවසමින් ඔවුන් ගේ හිස් තේ කෝප්ප ඉල්ලා සිටියෙමි. ආදිල් බන්දේසිය මතින් කෝප්පය තැබුවේ බයාදු දෑසක් මගේ ඇස් වල එල්ලමිනි. මම දෙතොල් තද කොට සිනහවක් තිළිණ කළෙමි. නමුත් ඇත්තට ම මම සිනහ වූයෙම් ද?