ගෑණු ළමයි බලන්න යනවා කියලා මතක් වෙනකොටත් මහේලට ඔලුව කැක්කුමයි. සති අන්තේ ලං වෙනකොට පුදුමාකාර මානසික වදයක් දැනෙනවා. ඒත් අම්මා ගේ හිත හදන්න නම් ඒ ගමන් වලට කොහොමම හරි සහභාගි වෙන්නත් වෙනවා.
මහේලට අවුරුදු තිස් පහක්. පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ නිළධාරියෙක්. රාජකාරි කටයුත්තකට කොළඹින් පිට ගිය වෙලාවක වුණ රිය අනතුරක් නිසා මහේල ගේ වම් කකුලේ පොඩි ඇදයක් තියෙනවා. ඇවිදිනකොට ඒක ටිකක් තදට පේනවා. මහේල ඒ ඇදය නිවැරදි කරගන්න සෑහෙන්නම තරමක මුදල් වියදම් කරන්න සුදානමින් හිටියා වුනත් වෛද්‍ය නිර්දේශ වුනේ ඒ නිවැරදි කිරීම නිසා සමහරවිට මහේලට ඒ කකුලේ චලනයක් වලට පවා බලපෑම් ඇති කරගන්න වේවි කියන එක. ලංකාවේදී ඒ සැත්කම කරන එක අවධානම් බව තහවුරු කරගත්තාට පස්සේ මහේල ඇමරිකාවේ සහ සිංගප්පූරුවේ ඉන්න මිතුරන් ලවා ඒ ගැන විස්තර හොයන ගමන් ඉන්නේ.
ඒ අතරේ තමයි මහේලගේ අම්මට මහේලගේ විවාහය ඉතාම හදිසි කාරණාවක් විදියට දැනෙන්නේ. ඒකට පලවෙනි හේතුව මහේලගේ කේන්දරේ බලපු ජෝතිශ්‍යවේදියෙක්, තිස් හයට කලින් විවාහ නොවුනොත් මහේල සදාකාලිකවම තනියෙන්ම ඉඳීවි කියලා කිව්ව කතාව. අම්මා හැමදාම හවසට ඔය කතාව මතක් කර කර හූල්ලන් නිසා මහේල තමන්ගෙර් මානසික නිදහස පැත්තකට දාලා අම්මගේ සැනසීමට ඉඩ හදලා දුන්නා.
මහේල මේ වෙනකොට මනමාලියෝ පහළොවක් විතර බලන්න ගිහින්. ඒ හැම කෙනෙක්ම මහේලට උඩින්ම කැමති වෙන මේ හැමෝම මහේලව හරි හැටි දැක්කට පස්සේ ටිකක් පහු බහිනවා.
“කකුලේ පොඩි ඇදයක් තියෙනවා නේද පුතාගේ…”
අන්තිමේදී පහුවෙනිදා එහෙම ඇමතුමක් එනවා.
මහේලට දැන් ඒක ගානකට නෑ වගේ. මේ වතාවේ මනමාලිත් හවස් වෙනකොට ඒ පණිවිඩේ එක්කම කතා කරන බව දන්න නිසා මහේල ට වෙනසක් තිබුණේ නෑ. හවස ගෙදර ඇවිල්ලා කෙටි නින්දක් දාලා ඇහැරෙනකොට මහේලට කෙටි පණිවිඩයක් ඇවිල්ල තිබුණා
“මම අයේශ්මා…”
විනාඩි කිහිපයක් කල්පනා කරත් මහේලට එහෙම කෙනෙක් මතක් වුනේ නැහැ. කන්ටැක් ලිස්ට් එකේ බැලුවම තමයි නම අහු වුණේ . කාලෙකට කලින් තමන්ගේ පෞද්ගලික සහායිකාවක විදියට ආව තරුණියක්. මේ වසර ගණනාවකට පස්සේ. ,
“ඔව් මිස් අයේශ්මා ?”
මහේල පිළිතුරු යැව්වා.
“මිස් ?”
හැරෙන තැපෑලෙන් එහෙම ඇහුවා.
“ඕහ් සොරී .. දැන් මිසිස් ද ?”
මහේලගේ දෙතොල් අග්ගිස්ස හිනා වැස්සකින් තෙමුණා.
“නෑ.. වෙන්න මිසිස්…”
“සෝ ?”
“ඇත්තටම මාව දන්නේ නැතුවද ?”
මහේල පිළිතුරු නොයවා අංකය ටෲ කෝලර් යෙදවුමට දාලා පරික්ශා කලා. අයේශ්මා පානදුර. අංකය පෙන්වූයේ එහෙම.
පානදුර අයේශ්මා…… මහේලට එකපාරටම ගැලපුණා. අද උදේ බලන්න ගියපු යුවතිය ඈ.
මහේල, සුරතෙන් නළලත පිරිමැදගත්තා. ඇයත් කෙලින්ම කියන්න සූදානම් වෙන්නේ මොකක්ද කියන ඉඟිය මහේලට දැනෙනවා. ඒත් අනෙක් හැම වතාවකම, අකමැත්ත කියවුණේ අම්මලාගෙන් අම්මාට. මේ වතාවේ ඇය කතා කරන එකේ නුහුරක් තියෙනවා කියලත් මහේලට දැනුනා.
“අනේ..සොරි නංගී .. මට අමතක වුනා….”
මහේල පෙරළා පිළිතුරු යවලා බලාගෙන හිටියා.
“එච්චරට නංගිලා ඉන්නවා නේද අය්යට ?”
නෝක්කාඩු ස්වරූපයකින් මහේල ඒ පණිවිඩය කියෙව්වේ. ඒ පණිවිඩය ඇය එවන්න ඇත්තෙත් ඒ ස්වරයෙන්ම වෙන්න ඇති කියලා මහේලට හිතුණා.
මහේල ට හරිම පොඩි හිනාවක් වැටුණා .
“ඔව් ඉතින් සතිපතා අලුත් නංගිලා එකතු වෙනවනේ …”
මහේලත් එතනට ගැලපෙනම තාලෙන් එල්ලුවා. අයේශ්මාගේ මන්දහාස හිනාවක් ගැන ඉඟියක් මහේලට මතක් වුනත්, හරිහැටි යුවතිය සිහිපත් වුනේ නැහැ.
“මම ඔයාට කැමති … අම්මාටත් කිව්වා මම… අම්මා ඔයාලාගේ අම්මටත් කිව්වා කිව්වා…”
එකපාරටම එහෙම පණිවිඩයක් ආවා. මහේලගේ අතින් ජංගම දුරකතනය වැටෙන්න ගියා. ඒ හීනෙකින්වත් බලාපොරොත්තු වුණ උත්තරයක් නෙවෙයි.
මහේල ඊට පස්සේ එක කෙටි පණිවිඩයකටවත් පිළිතුරු යැව්වේ නැහැ. අම්මායි, අක්කයි, මස්සිනායි සතුට සමරන එක මහේලට මහා වෙහෙසක් වගේ දැනුණා. අන්තිමේදී මහේල අයේශ්මා ව මුණ ගැහෙන්න තීරණය කලා.
“වන් ගෝල් ෆේස් එකට එන්න.. මගේ ලොකේශන් එව්වා…”
ඊළඟ සෙනසුරාදා මහේල ජීවිතේ පලවෙනි වතාවට අලුත් මනමාලියක් වෙනුවට පරණ මනමාලියක් බලන්න ගියා. අයේශ්මා හරි පහසුවෙන් ඇවිල්ලා මහේලගේ ඉස්සරහින් වාඩි වුණා. මහේලගේ අත් වාරුව මේසෙට එහයින් තියෙනවා අයේශ්මා දැක්කා.
“තැන්ක් යූ ආවට.. මොනවද බොන්නේ ?”
“තැන්ක් යූ එන්න කිව්වට.. ඔයා ආස දෙයක් අද බොමු…”
මහේල බලාපොරොත්තු නොවුණ ඉක්මවා යෑමකින් අයේශ්මා එහෙම කිව්වා .මහේල දෙන්නාටම චොකලට් මිල්ක් ශේක් දෙකක් ගෙනාවා.
දෙන්නා මුලින්ම කතා කලේ රැකියා ස්ථාන වල විස්තර. ඉන් පස්සේ ගෙවල් වල කතන්දර ඉතාම කෙටියෙන් හුවමාරු වුණා. මහේලට තමන් ආව කාරණාව වෙනුවෙන් වචන ගැලපෙන එක ටික ටික ආපස්සටම ගියා.
ඒත් පැයකට හමාරකට පස්සේ මහේල ඒ ගැන කිව්වා.
“නංගී.. මං එක්ක මේ තත්වෙන් ජීවිතේ ඔයාට පහසු වෙන්නේ නෑ.. ඔයා හොඳ රෙපියුටේශන් එකක් එක්ක ජීවත් වෙන කෙනෙක්… මං එක්ක ගෙවන්න බලාපොරොත්තු වෙන ජීවිතේ ඇතුලේ ඔයාට සෑහෙන්නම වෙනස් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා…
ඇත්තටම ඒ වෙනස්කම් මම අත්විඳිනවා.. ඒවා සල්ලි වලින්වත්, වෙන කිසිම දේකින්වත් වැහෙන්නේ නෑ…
කොටින්ම අපේ අක්කගේ පොඩි එකාට ඉස්කෝලේ පොඩි උන් කියනවලූ, ඔයාලාගේ මාමා කොරෙක් නේ කියලා …
එතකොට ඔයා හිතන්න… ඔයාට සෑහෙන්නම වෙනස් විදියක් පෙන්නලා මා එක්ක ජීවත් වෙන්න තීරණය කරන්න පුලුවන් …ඒත් පැවතෙන්න පහසු වෙන්නේ නෑ..
මට කවදා , කොහොම මේ තත්වෙන් මිදෙන්න පුලුවන් වෙවිද දන්නේත් නෑ… ඒ නිසා ප්ලීස්.. අපේ අම්මලාට කියලා තියෙන කතාව වෙනස් කරන්න…”
අයේශ්මා හිටියේ මහේල දිහාම බලාගෙන.
“ප්‍රශ්නයක් නෑ. අය්යාට පුලුවන් ඔයා මට කැමති නෑ කියන්න …”
මහේලගේ කෝපය හිස් මුදුනටම නැඟෙන්න දීලා අයේශ්මා එහෙම කිව්වා.
“සිංහල තේරෙනවද ?”
“ඇයි මේ තරහ ගිහින් .. දැන් අපි එකට නොඉන්න ඕනි ඔයාටනේ… ඉතින් ඒක ඒ විදියට හදාගන්න එක ඔයාගේ වැඩක්…”
අයේශ්මා හරිම ඍජු පිළිතුරක් දුන්නා. මහේල නිරුත්තර උනා.
“ඔයාට කොහොමද පැහැදිලි නැත්තේ ? පෝරුවට නඟින තැන ඉඳන්, මේ ප්‍රශ්නේ අපි දෙන්නා අතරේ තියෙනවා …”
මහේල තව පැහැදිලි කලා. අයේශ්මා හිනා වුණා.
“ඔයාට තියෙන්නෙ ඔයා ගැන හීන මානයක්… ඒක නැති කරගන්න.. ඊට පස්සේ අපි කතා කරමු…”
අයේශ්මා මහේලගේ ඇස් වලටම එබිලා කිව්වා. අයේශ්මාගේ ඇස් වලින් මහේලට තමන්ගේ දුර්වලකම පෙනුණා.
“ඇයි මෙහෙම ළමයෝ ?”
“මිස්ටර් මහේල… මං ඔයා දිහා බලන් ඉන්නේ අවුරුදු හතරක ඉඳන්… ආදරේ කරන්නේ අවුරුදු හතරක ඉඳන්… ඔයාට මතක නෑ.. ඒත් මට අමතක නෑ… මීට අවුරුදු හතරකට කලින්, ඔයාගේ ඇසිස්ටන් ජොබ් එකට මම ඉන්ටර්විව් ආවා.. ඔයා මාව තෝරගත්තා.. ඒත් මගේ වැඩ දුර්වලයි කියලා ඔයා මට අයින් වෙන්න කිව්වා..
මම මෙච්චර කල් ඔයා දිහා බලාගෙන, ඔයාට ගැලපෙන්න දියුණු වුණා…
මට මගේ ආදරේ විශ්වාසයි … ඒත් හීන මානයක් තිබුණා.. ඔයාට නොගැලපෙනවා කියලා .. මං මෙච්චර කල් ගත්තා ඒක නැති කරන් ඔයා ඉස්සරහට එන්න…”
ඔයාට කොච්චරක් කල් ඕනිද ?…”
මහේල ගැස්සුණා.
“එක තත්පරයක් වත් එපා…”
මහේල එහෙම කිව්වා.
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |