“මොන මගුලක්ද යකෝ උඹ කියන්නෙ? උදේ ඉඳල හවස්වෙනකම් උඹ මහන්න යනවා කියලා මොන මගුලෙද යන්නෙ? බැලුවොත් ඇත්තන් අතේ සතයක් නෑ. හම්බෙන ඒව ගිලිනවද උඹ?”
“මමද මිනිහො ගිලින්නෙ? මං උදේ ඉඳන් හවස වෙනකම් නැහිලා නැහිලා මහලා අරගෙන එන සොච්චම උඹ නේද මිනිහො හැමදාම හවසට බීලා නාස්ති කරගන්නෙ. උඹට හවසට බොන්නෙ මගෙ සල්ලිවලින් කියන එක උදේ පාන්දර වෙරි හිඳුනම මතක නෑ නේද?” කියලා අම්මයි තාත්තයි උදේට රණ්ඩුවෙද්දි තාම පහ වසරෙ ඉන්න කෝලිත ඉස්කෝලෙ යන්න ගෙදරින් එලියට බහින්නෙ හරිම ලැජ්ජාවෙන්.
පුංචි ළමේක් වුණත් අම්මයි තාත්තයි මෙහෙම ලැජ්ජ වෙන අහල පහල මිනිස්සුන්ට ඇහෙන විත්තිය, ඒ මිනිස්සු තමන්ට හිනාවෙන බව කෝලිතට නොතේරුණා නෙවෙයි.
“උඹලගෙ අම්මලා ගෙදරදි උදේට මරාගන්නව නේද? ඊයා ඊයා, හූ හූ” කියලා ඉස්කෝලෙ යාලුවො ලැජ්ජ කරද්දි කෝලිතට හරි ලැජ්ජයි. සමහර වෙලාවට ඇඬෙන්නත් වගේ. ඒ උනාට ඒක අම්මලට කිව්වා කියලා වැඩක් තියෙනවද?
දවසක් උදේ අම්මයි තාත්තයි ඔහොම රණ්ඩු වෙද්දි කෝලිත “අනේ රණ්ඩු වෙන්න එපා අම්මෙ” කියල කිව්වට පස්සෙ අම්මා හොඳටම ගැහුවා. එදා කෝලිත ඉස්කෝලෙ ගියෙත් නෑ. හොඳටම ගුටි කාල අඬ අඬ අම්මා ආයෙ ගහවි කියල බයට ඇඳ අස්සෙ රිංගල උන්නු කෝලිතට එහෙමම නින්ද ගියේ දවල්ට කන්නෙත් නැතුව.
කොච්චර රණ්ඩු වුණත් අම්මයි තාත්තයි කොහෙ හරි යද්දි කිසි ලැජ්ජාවක් නැතුව එලියට බැහැලා මිනිස්සු එක්ක හිනාවෙවී යන්නෙ කොහොමද කියලා කෝලිතට පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙද්දිවත් තේරුණේ නෑ.
ඔහොම කාලෙ ගෙවෙද්දි තමයි කෝලිතලගෙ ගෙදර ඉස්සරහා ගෙදරට අලුතෙන් පවුලක් පදිංචියට ආවෙ. ඒ පවුලෙ හිටපු පිරිමි ළමයත් කෝලිතගෙ වයසෙමයි. එයාගෙ නම ශනිත්. ශනිත්ලා කෝලිතලගෙ ගෙවල් පැත්තෙ පදිංචියට ඇවිල්ලා තිබුනෙ එයාලගෙ තාත්තට ඒ පැත්තෙ ඉස්පිරිතාලෙට පත්වීමක් ලැබිලා තිබිච්ච හන්දා. කෝලිතට ඒ නිසාම ශනිත්ගෙ තාත්තාගෙ වාහනේ නැගලා ශනිත් එක්කම ඉස්කෝලෙට යන්න පුලුවන්කම ලැබුණා.
මුල් දවස් ටිකේ වාහනයක් එහෙම තියෙන ශනිත්ගෙ අම්මල එක්ක කතාබහ කරලා හොඳට ඉන්න කෝලිතගෙ අම්මලා එහෙමත් කටයුතු කරා. කෑම බීම එහෙම හුවමාරු උනා. හිතවත්කතා ඇතිඋනා. ගෙදර ඉඳගෙන ඔන්ලයින් රස්සාවක් කල ශනිත්ගෙ අම්මා තමන්ගෙ අම්මලට වඩා වෙනස් උනාට, ෆැශන් කරන කෙනෙක් උනාට, ඒ ආන්ටි ශනිත්ට ආදරෙන් කතා කරන හැටි, යාලුවෙක් වගේ විහිලු තහලු ඒව කරද්දි ඇත්තටම අම්මා කෙනෙක් නම් එහෙම වෙන්න ඕනද කියන එක කෝලිතට නොහිතුනා නෙවෙයි.
“ඒ මිනිස්සු මෙයාවත් වාහනේ දාගෙන එක්කරං යනවා. සමහර දවසට කන්න බොන්නත් දෙනවා” කියලා අම්මා තාත්තට කියනවා අහගෙන උන්නම කෝලිතට හිතුනා අම්මලත් අවුලක් නෑ කියලා තමන් එහෙ යන එනවට. අනික දෙන්නම පවුලෙ එකම ළමයි හන්දා වෙන කතාකරන්න කෙනෙක් අහල පහල උන්නෙ නැති හන්දත් ශනිතුයි කෝලිතයි අතරෙ තිබ්බෙත් හොඳ යාලු කමක්. පාඩම් කරෙත් එකට. ඉස්කෝලෙ වැඩ කාරෙත් සෙල්ලම් කරෙත් එකට. දෙන්නගෙ උපන්දිනේට ශනිත්ගෙ අම්මා ශනිත්ට ගන්නව වගේම හොඳ තෑග්ගක් කෝලිතටත් දුන්නෙ තමන්ගෙ ළමේක් වගේම හිතලා. තමන්ගෙ ගෙදර අම්මයි තාත්තයි රණ්ඩු වෙච්ච දවසකට ශනිත්ලගෙ ගෙදර ගිහින් ඒ මිනිස්සුන්ට මූණ දෙන එක ලැජ්ජාවක් හන්දම කෝලිත ඒ වගේ දවස්වලට හැංගිලා වගේ තමා ඉන්නෙ. ඒත් කෝලිත ආයෙ එහෙ ගියාට පස්සෙවත් ශනිත්වත් අම්මලවත් නෙවෙයි කෝලිතගෙන් ඕව ගැන ඇහුවෙ.
ඔය අතරෙ තමයි ශනිත්ගෙ අම්මලගෙ විවාහ ඇනිවසරි එක වෙනුවෙන් එයා ගෙදර පාටියක් දුන්නෙ.ආන් එදා තමයි පැණි වරකා ගහට හෙණ ගැහුවෙ.
කේක් එක කපලා ඉවරවෙලා හැමෝම ඉස්සර ශනිත්ගෙ තාත්තා අම්මව බදාගෙන කිස් එකක් දුන්නම තමන්ගෙ අම්මලගෙ මූණු නරක් වෙනවා කෝලිත දැක්කා. ශනිත් නම් ඒක දිහා හිනාවෙවී බලාගෙන හිටියට “එහෙම හැමෝම ඉස්සරහ කල එක හරිද?” කියන එක එහෙම දෙයක් කවදාවත් නොදැක්ක කෝලිතටත් නොහිතුනා නෙවෙයි.
“හැමෝම ඉස්සරහා ඔහොම ඉඹගන්න මුන්ට ලැජ්ජ නැද්ද? මහලොකු දොස්තර. වනචරකමනෙ. උඹ හෙම ආය ඔය ගෙදෙට්ට අඩිය තියන්නෙ නෑ” කියල ගෙදර ආව ගමන් අම්මා කියද්දිත් කෝලිත කරේ සද්ද නැතුව උන්නු එක. දවස් ගණන් කෝලිත ශනිත් හම්බෙන්න නොයා ඉද්දි, බොරු කියල ශනිත් යන්න කලින් එයාව මග ඇරලා ඉස්කෝලෙට යන්න පටන් ගත්ත කෝලිත දවසක් ගෙදර එද්දි ශනිත්ගෙ අම්මා එයාලගෙ ගෙදර ඇවිත් හිටියා.
“කෝලිත දැන් එහෙ එන්නෙ නැත්තෙ ඇයි?” කියලා අහද්දි කෝලිතගෙ අම්මා නම් කිව්වෙ “එදා පාටිය දවසෙදි අපි දැක්කනෙ නෝන. ඔය වගේ විගඩම් දැකල අපෙ ළමයිවත් හදාගන්න බැරිවෙයි” කියලා කිව්වා.
ආන්ටිට තරහා යාවි කියල කෝලිත හිතුවට එයා කරේ හිනා වෙන එක විතරයි.
“කෝලිතගෙ වයසෙම පුතෙක් ඉන්න අම්මා කෙනෙක්නෙ මම. ඒ නිසා මගෙ දරුවට නරකක් වෙන දෙයක් මගෙ අතෙන් වෙන්නෙ නෑ. මෙච්චර දවස් දෙන්න හොඳට එකතුවෙලා වැඩ කරානෙ. ඒක කඩාකප්පල් වෙන්න දෙන්න එපා. කෝලිතට එහෙ එන්න දෙන්නකො.
අනික කෝලිතගෙ අම්මෙ, අපේ ඇනිවසරි එක දවසෙ මගෙ හස්බන්ඩ් මාව බදාගෙන නළල ඉම්බ එක වරදක් කියල හිතනවනම් දරුවො ආදරේ දකින එක වරදක් නෑ. ඊට වඩා ලොකු වරදක් දරුවන්ගෙ මනසට හානි කරන දෙයක් තමයි අම්මලා තාත්තල නරක වචන කිය කිය රන්ඩු වෙන එක.
එහෙම දේවල් නිතර දෙවෙලෙ දකින ගෙදරක දරුවෙක් ගෙ ඔලුවට දැනටම කොච්චර හානියක් වෙලා ඇතිද?” කියලා සුපුරුදු විදියට හිනාවෙලා තමන්ගෙ ඔලුවත් අතගාලා ශනිත්ගෙ අම්මා යද්දි කෝලිත හිතුවෙ එක දෙයක් විතරයි.
“දරුවො දේවල් ඉගෙන ගන්නෙ අම්මල තාත්තලගෙන්. හැම දරුවෙක්ගෙම පළවෙනි ඉස්කෝලෙ වෙන්න ගෙදර. ඒකයි ගෙදර පරිස්සම් තැනක් වෙන්න ඕන”
ReplyForwardAdd reaction |