ඒ ලෙවල් ඉවර කරලා අමාලි වෘත්තිය පුහුණු අධිකාරියේ පාඨමාලා කිහිපයක්ම කරන්න උත්සාහ කරා. නමුත් ඒ එකක් වත් අමාලිට ආස හිතුන විදිය වුණේ නැති නිසා අමාලි දිගින් දිගටම ඒ ගැන හිතුවේ නැහැ.
ඒ අතරේදී තමයි අමාලිට දැනගන්න ලැබුණේ බේකරි පාඨමාලාවක් ගැන. ඒත් ඒ වෙනුවෙන් පොඩි ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා නිසා අමාලිට එක පාරටම ඒ වෙනුවෙන් යොමු වෙන්න ඉඩ ලැබුනෙත් නැහැ. අමාලි ඊට පස්සේ කරේ තාත්තට කතා කරලා ණයක් අරගන්න පුළුවන් විදියක් හොයන එක. එදාවේල ගැට ගහගන්න විතරක් රැකියාවක් කරපු අමාලිගේ අම්මටයි තාත්තටයි අමාලිට වුවමනා කරපු මුදල හොයලා දෙන්න පුළුවන් විදියක් මතක් උනේම නැහැ.
ඊට පස්සේ අමාලි කළේ පන්තියේ යාලුවෝ කිහිප දෙනෙක්ට කතා කරලා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් මේ ණය ගන්න පුළුවන් වෙයිද කියලා හොයපු එක. එතනදි අමාලිට උදව් කරන්න අමාලි ගේ යාලුවෝ කිහිපදෙනෙක්ගෙම තාත්තලා ඉදිරිපත් වුණා. උවමනා කරපු රුපියල් තිස්පන්දාහක මුදල ඔවුන් කීපදෙනෙක් එකතු වෙලා අමාලිට සපයලා දුන්නා
ඒ ඒ මුදල අමාලිගේ ජීවිතය වෙනුවෙන් කරන හොඳම ආයෝජනයක් කියලා ඔවුන්ටත් හිතුණු නිසා. දෙවනි වර උසස් පෙළ කරන්න කොහොමටවත් අමාලිට බලාපොරොත්තුවක් නොතිබුණු නිසා අමාලි ජීවිතේ ඉස්සරහට යන්න නම් ඇය යම්කිසි හැකියාවක් ප්‍රගුණ කරගන්න ඕනේ කියලා අමාලිගේ මිතුරන්ගේ දෙමාපියන් හොඳටම වටහාගෙන හිටියා.
“අමාලි ඉගෙනගන්න දක්ෂ නැති දරුවෙක් නෙවෙයිනේ. ඒ නිසා තමයි මම අමාලිට කිව්වෙ දෙවැනි පාරත් විභාග කරන්න කියලා. ඒ උනාට ඉතින් අමාලි ඒකට කැමති නැහැනේ. අමාලි ඒ වෙනුවට වෙන පාරක් තෝරගන්න සූදානම් වෙන වෙලාවේ අපි අමාලිට අනිවාර්යයෙන්ම උදව් කරනවා… අපිට මතකයිනේ අමාලි අනිත් යාලුවන්ට උදව් කරපු විදිය. …”
අමාළිගේ මිතුරියන්ගේ දෙමාපියෝ හැමෝම අමාලි ගැන කිව්වේ එහෙම කතාවක්. ඊට පස්සේ අමාළලි මේ මුදලත් අරගෙන ගිහිල්ලා වෘත්තිය පුහුණු අධිකාරියේ ඒ කියපු පාඨමාලාවට ලියාපදිංචි වුණා. ඊට පස්සේ අමාලිගේ ජීවිතේ වැදගත්ම මාස හය උදාවුනා.
හැමදාම උදේ අටේ ඉඳන් හවස පහ වෙනකන් අමාලි ජීවිතේ කවදාවත් කරන්න නොහිතපු දේවල් ගැන ඉගෙන ගත්තා. බේකරි කර්මාන්තය එක්ක බැඳුණු සාම්ප්‍රදායික වගේම නූතන ප්රවේශයන් ගැන ඉගෙන ගන්න අමාලිට මේ පාඨමාලාවේදී හොඳටම ඉඩකඩ ලැබුණා. මේ වෙනකොට මේ කර්මාන්තය ගැන අමාලිගේ හිතේ තිබුනේ පුදුම ගෞරවයක් වගේම දරා ගන්න බැරි තරම් ලොකුබලාපොරොත්තුවක්. අමාලි ඊට පස්සේ කරේ ගමේ බේකරියේ ඉන්න අමාලගේ තාත්තාගේ හිතවතාවත් මුණගැහෙන්න ගිහිල්ලා ඒ ඒ තාක්ෂණික ක්‍රම ශිල්ප ගැනත් හෙමි හෙමින් කතා බහ කරලා ඉගෙන ගත්ත එක. ඒ අතරේ ගමේ මිනිස්සු අමාලිට ඇනුම් පද කියන්නත් අමතක කරලා තිබුණෙ නම් නැහැ.
” ආ ගුණපාලයාගේ ලොකු කෙළි බක්කරේක වැඩට යනවායි කියන්නේ. පාන් පුච්චන්න යනවලු…….. ඕවා ගෑණුන්ට කරන්න පුළුවන් වැඩද ? කොහොමටත් ඔය කෙළි එක විදියක්… ගුණපාලත් ඔය කෙලීගේ රස්නෙන් නේහ් කොහොමටත් ඉන්නේ..මෙදා පාර රස්නේ බහී …”
ගමේ මිනිස්සු ඔහොම කියන බව ආරංචි වුනත් අමාලි ඒ කිසිම දෙයක් වගකටවත් ගත්තේ නැහැ. මොකද අමාලි ඒ වෙනකොට විශ්වාසයෙන් දැනගෙන හිටියා තමන් මේ ගමන් කරන්නේ තමන්ට අනිවාර්යෙන්ම ළඟා කර ගන්න පුළුවන් ඉලක්කයක් පස්සේ කියලා.
සයමාසික පාඨමාලාව අවසාන වුණහම අමාලිලාට ඒ හා අදාළ වන හෝටලයක සේවය කරන්න පුහුණු කාලයක් ලැබුණා. ඒ කාලයේදී ලැබුණු මුදල බොහොම පොඩි මුදලක් වුණත් අමාලි ඒ මුදල පිරිමහගෙන එතනින් ගන්න පුළුවන් උපරිම අත්දැකීම ජීවිතයට එකතු කරගන්න අමතක කරේ නැහැ.
අමාලිට සඳකැළුම් මුණ ගැහෙන්නේ මේ හෝටලේ තවත් පුහුණු ලාභියෙක් විදියට. සඳකැලුම් හොඳට වත් පොහොසත්කම් තිබුණු පවුලක බාලම පුතා. විදෙස්ගත වෙලා හොඳ උපාධියක් කරන්න ඕනෑවටත් වඩා ඉඩකඩ තිබුණත් සඳකැලුම්ගෙ තෝරා ගැනීම වෙලා තිබුණේ ආහාර සකස් කරන ශිල්පය හදාරලා ඒ හා සම්බන්ධව ඉදිරියට යන්න. ඒකට සඳ කැලුම්ගෙ දෙමාපියන්ගෙන් වගේම සහෝදරයන් දෙදෙනාගෙනුත් ලැබුණු සහයෝගය නේ අවුරුදු පාඨමාලාවක් අවසාන කරලා තමයි පුහුණු කාලය වෙනුවෙන් සඳකැළුම් අමාලි වැඩ කරපු හෝටලයටම ඇවිල්ලා හිටියේ.
“මම ඔයා තරම් දේවල් දන්නේ නැහැනේ.”
දවසක් කතා කර කර ඉන්න ගමන් සඳ කැළුම්ට අමාළි එහෙම කිව්වා
“ඔක්කොම දේවල් කියලා දෙන්නම්. ඔක්කොම දේවල් ඉගෙන ගන්න ටික කාලයක් ඔහොම ඉන්නකෝ. ඉස්සෙල්ලාම මෙතන ට්‍රේනින් ඉන්න එක ඉවර කරගෙන ඉමු….”
සඳකැලුම් කියන්නේ නගරය වත් පොහොසත්කම් තියෙන පවුල බාලම පුතා කියලා දැනගෙන හිටපු නැති අමාලි සඳ කැලුම් එක බොහොම හිතවත් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියා.
ඔහොම යන අතරදී පුහුණු කාලසීමාවක් අවසන් වුණා. ඊට පස්සේ මේ දෙන්නා ඔවුන්ගේ අනාගත සැලසුම් ගැන හෙමි හෙමින් කතා කරන්න පටන් ගත්තා. මේ වෙනකොට සඳ කැළුම්ගේ හිතේ අමාලි ගැන පුංචි ආදරයක් කොනිති ගහන්න පටන් අරගෙන තිබුනේ. ඒත් ඔහු දැනගෙන හිටියා ඇය ඉන්නේ ඒ ගැන කතා කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි කියලා. ඇයගේ කරපිට ඇගේ බාල සහෝදරයන් දෙදෙනාගෙත් බාල සහෝදරියගේත් වගකීම තියෙන බව සඳකැළුම් මේ වෙනකොට දැනගෙනයි හිටියේ. ඒ නිසා සඳ කැලුම් ඉස්සෙල්ලාම උත්සාහ කරේ අමාලට ජීවිතේ ඉස්සරහට යන පාර හොයාගන්න උදව් කරන්න.
අමාලි ගැන ඉස්සෙල්ලාම සඳ කැලුම් කිව්වේ ලොකු අයියගෙ බිරිඳට.
“ආ කියලා ගියේ නම් ට්‍රේනින් එකට කියලා. ඒ කෙල්ලෙකුත් හොයාගෙන ආවද ?…”
සරදමට වගේ එහෙම කිව්වට ලොකු අයියගේ බිරිඳ සඳකැලුම් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානමින් හිටියේ.
“අමාලිලා හරිම අමාරු ජීවිතයක් ගෙවන්න අක්කේ. මම මේ වෙලාවේ එයාට ආදරෙයි කියලා කිව්වොතින් අනිවාර්යෙන් එයා මගේ යාළුකමත් අතහැරලා දාලා පාඩුවේ පැත්තකට වෙනවා. එහෙම නවතින එකෙන් මට එයාට උදව්වක්වත් කරන්න බැරි වෙනවා.එනිසා මට ඉස්සෙල්ලාම ඕනේ එයාගේ හිතේ තියෙන හීන ටික ක්‍රියාත්මක කරන්න එයාට උදව් කරලා ඉන් පස්සේ හෙමි හෙමින් මේ ගැන එයාට කියන්න..”
සඳකැළුම් අක්කට එහෙම කිව්වා. අක්කා ඊට පස්සේ අයියලා දෙන්නයි අම්මයි තාත්තයි හැමෝම මේ ගැන දැනුවත් කරලා සඳකැළුම්ගේ සැලසුම් වෙනුවෙන් උදව් කරන්න පවුලක් විදියට ඒ ඔක්කොමලා සඳකැළුම්ගේ පිටිපස්සෙන් හිටගත්තා.
අමාරලි බලාපොරොත්තු උනේ, නගරයට පිවිසෙන හරියෙන් තිබුණු පොඩි කඩකාමරයක් අරගෙන එතන පොඩි කෑම කඩයක් දාන්න. කෑම කඩයක් කිව්වට මේක ටිකක් වෙනස් විදියට සූදානම් කරන්න තමයි අමාලිගේ සැලසුම තිබුනේ. නමුත් ඒ වෙනුවෙන් උපකරණ මිලදී ගන්න තැන දක්වාම සෑහෙන ක්‍රියාදාමයක් තියෙන බව අමාලි දැනගෙනටියා. ඒ වෙනුවෙන් වුවමනා කරන මුදල් සපයා ගන්නේ කොහොමද කියන එක ගැන අමාලිට කිසිම අදහසක් තිබුණේ නැහැ. ඒ වගේමයි අමාලිගේ අම්මටවත් තාත්තටවත් අමාලි වෙනුවෙන් කිසිම දෙයක් කරන්න පුළුවන්කමක් තිබුණෙ නැති බවත් අමාළි දැනගෙන හිටියා. ආයෙම වතාවක් මිතුරියන්ගේද මවුපියන්ගෙන් උදව් ඉල්ලන්න අමාලිගේ කිසිම කැමැත්තක් නොතිබුණ නිසා අමාරි දස අතේ කල්පනා කරේ කොහොමද මේ හීනය වෙනුවෙන් පළවෙනි අඩිය තියන්නේ කියලා. ඇය ඒ ගැන හොයන එක නැවැත්තුවේ නැහැ.
එක දවසක් අමාළිව හොයාගෙන ග්‍රාමීය සංවර්ධන බැංකුවෙන් ආවා. ඔවුන් කිව්වේ තරුණයන් තරුණ ව්‍යවසායිකාවන් නගා සිටුවන වැඩසටහනක් යටතේ ඔවුන්ට අමාලිට යම්කිසි සහනදායී පොලි මුදලකට ණයක් ලබා දෙන්න පුළුවන්කියලා. ඔවුන් ඒ වෙනුවෙන් අමාලිට ලක්ෂ පහේ ඉඳන් දහය වෙනකල් මුදලක් තෝරගන්න කියලත් කිව්වා. නමුත් අමාලි එක පාරටම ඒ ගැන විශ්වාස කලේ නැහැ. මේ ණය ලබා ගත්තට මේ ණය ගෙවන්න පටන් ගන්නේ කොහොමද කියන එක ගැන අමාලිට තිබුණ ප්‍රශ්නාර්ථයක්.
ඒ කොහොම වුණත් නොහිතපු වෙලාවක ලැබුණු අවස්ථාව මග අරගන්නත් අමාලි කැමති වුණේ නැහැ. ඒ නිසා අමාරි සඳකැලුම්ට ඇමතුමක් අරගෙන මේ ගැන කිව්වා
“ඔයා බය නොවී ලෝන් එක ගන්න…… බැරිවෙලාවත් වාරිකයක් ගෙවා ගන්න බැරිය ඇරියස් උනෝතින් මම ඔයාට උදව් කරන්නම්. ඒත් මට විශ්වාසයි. එහෙම වෙන්නේ නැහැ. කොහොමටත් ණය ගෙවන්න ඕනේ ණය අරගෙන මාස තුනකට පස්සේ ඉඳන් නිසා ඒ වෙනකොට ඔයාට මේක කරගන්නම පුළුවන්. මාසෙකට ගෙවන්න තියෙන 15000 ගෙවන්න තරම් ආදායමක් අනිවාර්යෙන් ඔයාට මුල ඉඳන්ම ලැබෙනවා..”
ග්‍රාමීය සංවර්ධන බැංකුව එක්ක කතා කරල අමාලිට ණය මුදල අරගෙන දෙන්න මැදිහත් වුණේ තමන්ගේ පියා බව දන්න නිසා සඳකැළුම් හරිම විශ්වාසයෙන් එහෙමකිව්වා.
අමාළි ණය මුදල ලබා ගත්තා. කඩ කාමරේ කුලියට ගත්තා. ඇයගේ හිතේ තිබුණු විදියට අවශ්‍ය කරන සැකසුම් කරන්න ඕන කරන පොඩි අවන් එකක්, ඒත් එක්කම අවශ්‍ය කරන අනිත් ද්‍රව්‍යත් ඇය සඳ කැලුම් එක්කම ගිහිල්ලා මිලයට ගත්තා. ඒ වෙනුවෙන් ඇය කලින් වැඩ කරපු හෝටලයේ හෝ කළමනාකාරතුමත් ඇයට උදව් කලා.
මාස දෙකක් ඇතුළත අමාලි ට අමාලි රස මැදුර විවෘත කරන්න පුළුවන් වුණා. උදේට දවල්ට හවසට වගේම රෑටත් වෙන වෙනම රස මැවෙන විදියට ඉතාමත් කෙටි ඒත් එක්කම පහසුවෙන් සකසා ගන්න පුළුවන් ආහාර වේල් කිහිපයක් තමයි අමාලි මුල් මාසය වෙනුවෙන් සැලසුම් කරලා තිබුණේ. පටන් ගත්ත දවසේ සඳකැළුම්ගේ යාලුවෝ ඔක්කොම අමාලි රස මැදුර පිරෙන්න ඉතිරුණා. ඔවුන් හැමෝම ඒ වෙනකොටත් යම් යම් රැකියාවල නියැලෙමින් උන්න නිසා අමාළි වෙනුවෙන් හිටින මුදල් තෑගි එකතු කරන්නත් මට අමතක කරේ නැහැ
“ඒ ආවේ ඔයාගේ යාළුවෝ කියලා මට විශ්වාසයි. ඒත් ඇයි එයාලා එච්චර වසර සල්ලි මට දුන්නේ….රුපියල් 450 කෑමක ගත්ත එක අයියා කෙනෙක් රුපියල් 5000ක් දුන්න කොච්චර සූදානම් වුණත් ඉතුරු ගන්න ලෑස්ති වෙලාම තිබුණේ නැහැ. එහෙම වෙන්න බැහැ…. සඳ කැළුම් මට කියන්න මොකක්ද මේකට හේතුව…”
සඳකැලුම්ට වැටහුණත් තව දුරටත් අමාලිට මේ බොරුව කරන්න පහසු වෙන්නේ නැහැ කියලා. ඒත් සඳකැලුම් තවදුරටත් ඉවසන්න ඕන කියන තීරණය අරගෙන තිබුණේ එකපාරටම මේක දැනගන්න එකෙන් අමාලි තමන් එක්ක අමනාප වෙන්නත් පුළුවන්කමක් තිබුණා කියලා දැනගෙන හිටපු නිසා
“ඔයා ඔච්චර ලොකුවට හිතන්න එපා. උන් කොහොමත් සල්ලිකාරයෝ උන් කොහොමත් එහෙමයි. අනිත් එක ඔයා මේක අමාරුවෙන් පටන් ගත්ත දෙයක් කියලා උන් දන්නවා. ඒ නිසා තමයි උන් එහෙම කරන්නේ නැත්තේ. ඔයාටත් කවද හරි තියෙන දවසක ඔයත් එහෙම කරන්න .”
සදකැලුම් බොහොම අමාරුවෙන් අමාලිගෙ හිත හැදුවා
ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ ඉඳන් සඳකැලුම් අමාලි රස මැදුරේ සහායක චෙෆ් කෙනෙක් විදියටත් ආවා. අමාලි ඒ වෙනුවෙන් සඳකැළුම්ට වැටුපකුත් ගෙව්වා.
ඒ අතර සඳකැලුම් වෙනුවෙන් ඔහුගේ පියා හදමින් උන්නු රස මැදුරේ කටයුතුත් ඉතාමත් වේගයෙන් කෙරෙමින් තිබුණේ. සඳකැළුම් ඒ ගැනත් හොයලා බලන ගමන්ම අමාරි රස මැදුර කටයුතු වෙනුවෙනුත් නොපිහිටලා වෙහෙසුනා.
අමාරි දවසක් මුහුණු පොතේ සැරිසරමින් ඉන්න අතරේ අහම්බෙන් වගේ සඳකැලුම් උන්නු ඡායාරූපයක් දැක්කා.
එච්චර කාලයක් අමාලි මුහුණු පොතේ සක්‍රීයව හිටපු කෙනෙක් නොවුනත් ඇයට වසර දෙකක් විතර පැරණි මුහුණු පොත් ගිණුමක් නම් තිබුණා.
අමාලි නිකං ආසාවට වගේ සඳකැලුම්ගෙ ගිණුමට එබුණා ගිණුමේ පල්ලෙහාට යනකොට තමයි අමාළිට වැටහුනේ. තමන් ඉඳලා තියෙන්නේ මොන තරම් ලොකු රැවටීමකද කියලා. සඳ කැළුම් කියන්නේ නගරයේ ලොකු ව්‍යාපාරිකයෙක්ගේ බාල පුතා.
අමාලි සඳකැලුම්ට ඇමතුමක් ගත්තා
“ඔයා මොනවද හිතුවේ? මාව සල්ලි වලට ගන්න පුළුවන් කියලද?ඇයි මෙහෙම කරේ ?ඇයි මාව මෙහෙම රැවට්ටුවේ. ?මං හිතුවේ ඔයා මගේ හොඳ යාලුවෙක් කියලා. මම ඔයාව විශ්වාස කරා. ඔයා නිසංක මුදලාලිගේ පොඩි පුතා කියලා ඒ මට නොකිව්වේ…?.”
සඳකැලුම්ට වැටහුණා තවදුරටත් කිසිම දෙයක් හංගගෙන ඉන්න ඉඩ ලැබෙන්නේ නැහැ කියලා. සඳකැළුම් ඒ ගැන අයියලා දෙන්නයි අක්කයි එක කතා කරා. ඊට පස්සේ අම්මයි තාත්තයි එක්කත් කතා කරා. දවස් දෙකකට පස්සේ අමාලිව ඉල්ලගෙන සඳ කැළුම්ගේ පවුලේ හැමෝම අමාලිගෙ ගෙදර ආවා
අමාලිගේ අම්මයි තාත්තයි හිටියේ මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව.
අමාලිගේ තාත්තා හැමෝම වෙනුවෙන් හැමදේම පැහැදිලි කරන්න ඉදිරිපත් වුණා.
“අපේ පොඩි පුතා අමාලි දුවව දැකලා තිබුනේ හොටෙල් එකේ ට්‍රේනින් එකක ඉන්න වෙලාවේ. අමාලිගේ ධෛර්යය වන්තකම අමාලිගේ උත්සාහවන්තකම වගේම අපට තවත් නොකියන මොනවා මොනාහරි කාරණාවලට සඳ කැලුම් අමාළි ගැන කැමැත්තක් ඇති කරගෙන තිබුණා. ඒ වගේම සඳකැලුම් මුලදිම අපිට ඒ ගැන කිව්වා..
ඒත් ඒ ගැන අමාලිට නොකියා ඉන්න තීරණය කරේ එක පාරටම අමාලිට ඒ ගැන කිව්වොත් අමාලි සඳ කැළුම් එක්ක අමනාප වෙයි කියලා බයට සඳ කැලුම්ට ඉස්සර වෙලාම ඕන වුණේ අමාළිගේ ජීවිතේ අමාලි බලාපොරොත්තු වෙච්ච විදියට ගොඩනඟා ගන්න ඉඩ දෙන්න………..”
අමාලි කාමරේට වෙලා මහා හයියෙන් අඬ අඬා හිටියා. දැන් නම් අමාලිට වැටහෙනවා එකපාරටම ග්‍රාමය සංවර්ධන බැංකුවෙන් ණය දෙන්න ඉදිරිපත් වුණේ ඇයි කියලා. තමන් ගැන දැනුනේ දුකක් නෙවෙයි නෙවෙයි. තමන්ට ආදරේ කරපු කෙනෙක් තමන් වෙනුවෙන් ඒ තරම් කැප කිරීමක් කරන්න සූදානම් වුණා කියන සතුට. එතරම් ඉවසීඉමක් තියෙන ආදරයක් තමා මතට වැටීමේ ප්‍රීතිය.
අම්මලාගේ අවසරයක් නැතුවම සඳ කැලුම්ගේ අක්කා අමාලි හිටපු කාමරේ ඇතුලට ආවා.
“ඔයා චුට්ටක් වත් දුක හිතන්න එපා චූටි ළමයෝ…… තේරුනාද ඔයා හරිම ධෛර්යවන්ත උත්සාහවන්ත ගෑණු ළමයෙක්……….. ඉතින් අපි හරි ආදරෙන් බලන් ඉන්න ඔයාව අපේ නෑනා කරගන්න …. සඳකැලුම් ඔයා වෙනුවෙන් සෑහෙන දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේමයි අපිට විශ්වාසයි ඔයත් සඳකැලුම් වෙනුවෙන් සෑහෙන දේවල් කරයි. මට මතකයි දවසක් ඔයාගේ අමාලි රස මැදුරේ වැඩ කරනකොට මල්ලි අසනීප වුනහම ඔයා යාව බලාගෙන තිබුණු විදිය.පපුවට තට්ටු කරලා අහලා බලන්නකෝ ඇත්තටම ඔයත් අපි මල්ලට ආදරේ කරනවා..”
අමාලි රතු වෙච්ච ඇස්වලින් අක්ක දිහා බැලුවා. අමාරිගේ ඇස්වල තිබුණු කතාව තේරුම් ගන්න අක්කාට අපහසු වුණේ නැහැ. අක්කා සඳ කැලුම්ට කාමරේ ඉඩ දීලා කාමරයෙන් එළියට ගියා
“ඇයි එහෙම කරේ..?”
අමාලි ඇහුවා
“ආදරේට ආදරේ වැඩිකමට”
අමාලිට ඉන් එහා කිසිම දෙයක් කියන්න ඉඩ නොදී සඳ කැළුම් එහෙම කිව්වා.
ජීවිත ආදරෙන් බැඳෙන්න කැපකිරීම් වලින් කොයි තරන් නම් එළියක් ලැබෙනවාද කියලා ඇස් පනාපිටම පේන්න ගත්තා.
අපේක්ෂා ගුණරත්න