විෂ පවුල්

නිරාශා කාමරේට  ඇවිල්ලා  දොර වහා  ගත්තේ  හරිම කලකිරීමෙන්. අම්මයි, තාත්තයි තමන්ට මේ විදියට වෙනස්කම් කරන්නේ ඇයිද කියලා නිරාශාට  තවම හිතා ගන්න බැහැ. මතක ඇති කාලේ ඉඳන්ම පවුල වෙනුවෙන් අනේක විද කැප කිරීම් කරපු නිරාශාට තවමත් අම්මයි තාත්තයි ඇනුම් පද කියන්නේ ජීවිතයේ එකම එක දවසක ඇය අතින් වුනු අත් වැරදීමක් හින්දා. ඒත් ඒ අත්වැරදීම පවා ජීවිතයේ යහපත් විදියට යොදා ගන්නා නිරාශාට පුළුවන් වුණා. හැබැයි, අම්මයි තාත්තයි නංගියි අක්කයි, තවමත් ඒ සිදුවීමම ඉස්මතු කරමින් නිරාශාට වද දෙනවා.

නිරාශා සංකල්පට ඇමතුමක් ගත්තා ඔහු අන් ඇමතුමක හිටියේ. ඒ නිසා නිරර්ශ ආයෙම ඇමතුම විසන්ධි කරලා සයනයේ  උඩු බැලි අතට හාන්සි වුණා. උසස් පෙළ ඉවර කරලා පොඩි රැකියාවකට ගියපු දවසේ ඉඳන් ගෙදර වෙනුවෙන් තමන් කරපු කැපවීම් නිරාශාට  එකින් එක මතක් උනා.

 නංගිගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ,අක්කගෙ සරසවි කටයුතු වෙනුවෙන්, අම්මගේ තාත්තාගේ බෙහෙත් වෙනුවෙන් විතරක් නෙවෙයි ගෙදර ඉන්න සුරතල් සතුන්ගේ වැඩ කටයුතු වෙනුවෙනුත් නිරාශා එක එක තරමින්  වියදම් කළා. හැබැයි ඒ හැම වෙලාවෙදිම නිරාශාට නිරාශාව මග ඇරුණා. ඒත් නිරාශා ඒ  ගැන පොඩ්ඩක්වත් කලබල වුනේ වත් පසුතැවුනෙවත් නැහැ. නිරාශාගේ  හිතේ නිතරම තිබුණේ තමන් වටේ ඉන්න අය සතුටින් ඉන්න ඕනි කියන අදහස. ඒක එහෙම උනත් නිරාශාගේ වටේ ඉන්න අය විශේෂයෙන්ම නිරාශාගේ පවුලේ අය නම් නිරාෂාගේ සතුට ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැහැ.

“ඇටෙන් පොත්තෙන්  එළියට එන්න කලින් මගුල් විසේ ගැහුවනෙ ඔළුවට……. ඉතින් කොහෙද හරියට පොතක් පතක වැඩක් කරන්න වෙලාවක් තිබුණේ. ඒක හින්දනේ මේ ජීවිතයේ මෙච්චර දුක් විඳින්නේ අපිත් …”

නිරාශාගේ අම්මා කට පාඩම් කරගෙන වගේ දවසට දෙතුන් වතාවක් ඔය කතාව කියලාම දැන් අම්මා  කතාව කියන්න පටන් ගන්නකොටම නිරාශාට ඒකෙ ඉතුරු ටික මතකයි.

දැන් නිරාශ මේ කල්පනා කරන්නේ  එකොළහ වසරෙදි ජීවිතයට දැනුණු නැවුම් හැඟීමක් වෙනුවෙන් ලියපු ලියුමක් විදුහල්පතිනියට අහුවෙලා විදුහල්පතිනිය අම්මවයි තාත්තවයි ගෙන්නලා ඉස්කෝලෙදිම අම්මටයි තාත්තටයි ඇහෙන්න ඇහෙන්න තමන් ලවාම කියවලා තමන්ව පත් කරපු අපහසුතාවය  ගැන. ඒ නිසා තමන්ගේ ජීවිතේට වුණු පාඩුව ගැන, තමන්ගේ ජීවිතේ කොච්චරක් ආපස්සට ගියාද කියන එක ගැන කතා කරන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ නේද කියලා නිරාශා කල්පනා කලා. එතනින් පස්සේ නිරාශාගේ ඉස්කෝලේ ගමන නැවතුනා. නිරාශාට ඉස්කෝලේ යන්න වුවමනාවක් තිබුණේත් නැහැ. නිරාශා උසස් පෙළ කරෙත් පෞද්ගලික අයදුම්කරුවෙක් විදියට. උසස් පෙළ සමත් වෙන්න පුළුවන් වුනත් නිරාශාට  සරසවි ප්‍රවේශ වෙන්න  තරම් ලකුණු තිබුණේ  නැහැ. ඊට පස්සේ නිරාශා කරේ රැකියාවක් සඳහා සුදුසුකම් හදාගත්ත එක. දැන් නිරාශා ඇඟලුම් කර්මාන්ත ශාලාවක මානව සම්පත් කළමනාකරන අංශයේ වැඩ කරන යම් ඉහළ විධායක මට්ටමක නිලධාරිනියක්.

ඒ උනත් නිරාශාගේ  අම්මගෙයි තාත්තගෙයි නංගිගෙයි අක්කගෙයි ඇනුම් පද වලට නම් ඒක ඒක ප්‍රමාණවත් වෙලා නැහැ. හැමතිස්සෙම නිරාශාව පහත් කරලා කතා කරන එක ගෙදර අයට දැන් පුරුද්දක් වෙලා. ඒ කොච්චර උනත් නිරාශා ගෙදර අයට තියෙන ආදරේ අඩුවක් කරේ නැහැ. පඩි ගන්න දවසට නංගිගේ අක්කගේ අවශ්‍යතා සියල්ලක්ම වෙනුවෙන් මුදල් වෙන් කරන්නත් අම්මයි තාත්තයි කියන හැමදේම ගෙදරටම ගෙනල්ලා දෙන්නත් නිරාශා තවමත් අමතක කරන්නේ නැහැ. ඒ වගේම අම්මයි තාත්තයි අක්කයි නංගියි නිසා වෙන සිත් රිදීම් ගැන සංකල්ප ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එක්ක කතා කරන්නත් නිරාශා කටයුතු කරන්නේ නැහැ.

සංකල්ප ඇමතුම එනකොට නිරාශා  සයනය අනිත් පැත්තට හැරිලා ඇමතුම පිළිගත්තා.

“ආයුබෝවන් ගෑනු ළමයා  මොකද උදේ  පාන්දර ? “

“ජීවිතය හරිම නිස්සාරයි කියලා හිතනවා සංකල්ප……. අපි කොයිතරම් ආදරෙන් වැළඳ ගන්න මිනිස්සු උනත් අපි ගැන ඒ තරමට ආදරයක් නෑ කියලා දැනෙන්න එක හරිම වේදනාවක්. “

නිරාශා  මේ විදිහට මානසිකව ඇද වැටෙන කතා කියන්නේ මොන වගේ සිදුවීම් උනහමද කියල දැන් සංකල්ප හොඳටම දන්නවා. සංකල්ප කිසිම දෙයක් කියන්නේ නැතුව නිරාශාට කතා කරන්න ඉඩ දීලා අහගෙන හිටියා.

” උදේ පාන්දර අම්මා කියනවා කොල්ලොන්ට ලියුම් ලියන එක නම් හොඳට පුළුවන් ගෙදර දොර වැඩක් කරගන්න ගියහම තමයි එහෙට මෙහෙට වෙන්නේ කියලා. ඊයේ  ෆැක්ට්‍රි  තුනකම විසිට්  ගියපු නිසා මට ඇඟට හරිම අමාරුයි. මං ඉතින් පරක්කු වෙලා ඇහැරුනේ. අම්මත් ඇහැරිලා නැහැ. ඇහැරිලා මම තේ හදන්න යනකොට දැක්කේ නංගි ඊයේ කුස්සියවත් අස් කරලා නෙමෙයි නිදාගෙන තියෙන්නේ. ඒ ඔක්කොම අස් කර කර ඉන්න අතර තමයි අම්මා ඇවිල්ලා ඕක කිව්වේ . මට හරියට දුක හිතුණා සංකල්ප…… ඇයි අම්මා එහෙම කියන්නේ? නංගි ගෙදර කිසිම දෙයක් කරන්නේ නෑ එයා කරන්නේ ෆෝන් එක ඔබා ඔහේ ඉන්න එක… මම  නංගිගෙ වැඩත් කරනවා අක්කගේ වැඩත් කරනවා අක්කගේ පොඩි උන් දෙන්නගේ වැඩත් කරනවා. බැරිවෙලාවත් අයියා ගෙදර හිටියනම් එහෙම වැඩ කරන්න වෙන්නෙත් මට ඒ ඔක්කොම කරන අතර රස්සාවත් කරන්න එපැයි. .”

සංකල්ප අහගෙන හිටියා. නරාශා තවදුරටත් මුකුත් කියන්නෙ නෑ කියලා හිතුණු නිසා සංකල්ප කතා කරන්න පටන් ගත්තා.

” අහන්න නිරාශා. මං ඔයාට හැමදාම කියනවා. අපි බඳිමු. ඊට පස්සේ පුංචියට හරි ඉඩක් තියෙන තැනක් අරගෙන අපි දෙන්නා එතන ජීවත් වෙන්න පටන් ගනිමු. ඒ අතර වාරය අම්මලාට අක්කට නංගිට පුළුවන් විදියට උදව් කරමු. මම ඒකට මුකුත් කියන්නේ නැහැ. ඒත් ඔයා ඔය ගෙදරට වෙලා ඉන්නකල් ඔයාට වෙන්නේ හැමදාම ඔන්න ඔය වගේ හිත රිදෙන කාරණා වලට මුහුණ දිදී අඬ අඬා දවස විනාශ කරගන්න.

මම ඇවිල්ලා ඕගොල්ලන්ගේ අම්මටයි තාත්තටයි කතා කරන්න අපේ පැත්තෙන් කතා කරන්නේ මාමයි නැන්දයි විතරයි නේ ඒ දෙන්නා මේකට කිසිම විරුද්ධත්වයක් නැහැ. ලොකුවට වෙඩින්  එකක් ගන්නත් අපි දෙන්නගෙ අදහසක් නැති එකේ අපි  දැන් ජීවිතේ ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න ඕනේ. ඔයාට ඔහොම ඉඳගෙන ඒක කරන්න අමාරුයි…… ඔයාගේ නංගිවත් අක්කවත් ඔයාට සහෝදරියක් විදියට සලකන්නෙ නෑ කියලා මම හොඳටම දන්නවා. ඔයා කොයිතරම් දේවල් කරත් කවදාවත් ඔයාට ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා එන්න මගේ ළඟට අපිත් ජීවත් වෙමු. මං ඔයාට සතුටට යන පාර හොයාගන්න උදව් කරන්නම්. “

සංකල්ප හැමදාම වගේ ආයෙමත් නිරාශාට  කිව්වා. නිරාශා  සංකල්ප එක්ක  තව ටිකක් කතා කර කර ඉඳලා ඇමතුම විසන්ධි කරලා කල්පනා කරන්න පටන් ගත්තා. නිරාශාට තේරෙනවා සංකල්ප කියන කතාව ඇත්ත කියලා. කොච්චර දවස් බලාගෙන හිටියත් අම්මවත් තාත්තවත් අක්කවත් නංගිවත් තමන්ම තේරුම් ගන්නවත්,  තමන් ඔවුන් වෙනුවෙන් කරන දේවල් වල වටිනාකම  දකින්නව්ටහ්  සූදානම් වෙන්නේ නැහැ. අන්තිමේදී නිරාශා තීරණය කරා සංකල්පයක විවාහ වෙලා ඔහුත් එක්ක ජීවිතය අලුතෙන් පටන් ගන්න. තමන් වෙනුවෙන් ජීවත් වෙන්න.

දවස් දෙක තුනකට පස්සේ නිරාශා  අම්මටයි තාත්තටයි කිව්වා තමන් සංකල්පයක විවාහ වෙන්න තීරණය කරපු බවත් විවාහ මංගල උත්සවයක් ගන්න තීරණයක් නැති නිසා නැකතක් බලලා ලියාපදිංචි කිරීමේ කටයුතු විතරක් සිදු කරන බවත්.

” මොන ලැජ්ජාවක්ද මේ? අක්කා දවස් හතක් මඟුල් කාලා තමයි බැන්දේ. එහෙව් එකේ ඔය ළමයා ඔහොම කරන්න ගත්තහම අපට තියෙන තත්වෙ මොකක්ද නෑ නෑ. එහෙම මේ නිකන් එන්ගේජ්  වෙලා විතරක් යන්න බෑ. අඩු ගානේ හෝට හෝටලේක පොඩියට හරි මගුලක් කන්න ඕනි……”

අම්ම එහෙම කියලා අවධාරණය කරනකොට අක්කයි නංගි දෙන්නමත් කිව්වේ අනිවාර්යෙන්ම පොඩියට හරි මගුලක්ගන්න ඕනි කියලා ඔෆිස්  වල යාලුවන්ට නැත්නම් මොනවද කියන්නේ කියලා දෙන්නම දිග දිගටම දිගින් දිගටම  නිරාශාගෙන් ප්‍රශ්න කරා .

හැබැයි නිරාශාට  නම් ඒ ගැන වගක් තිබුණෙ නැහැ.මොකද නිරාශා  එයාගේ විවාහ උත්සවය ගැන තීරණය අරගෙනයි තිබුණේ . සංකල්පගේ නැන්දල බලපු නැකතකට ඊට මාසෙකට පස්සේ සංකල්ප නිරාශා එක්ක  විවාහය ලියාපදිංචි කළා.

ගෙදර ඇවිල්ලා ගැන කිව්වහම නිරාශාට  ලැබුණේ වෙනදට වෙනදා වගේම බැනුම් වැස්සක්. ඒත් ඇය  කිසිම දෙයක් ගැන කම්පාවට පත් වුණේ නැහැ. ඇය තේරුම් අරගෙන හිටියා දැන් ඇය වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ කියලා. ඒ සතියකට පස්සේ සංකල්ප එක්ක කුඩා ගෙදරක පදිංචි වෙන්න ගියා.

ජීවිතේ සතුටම කාලය උදා වුනේ ඊට පස්සේ. සංකල්ප නිරාශාගේ  බිඳුනු ළමා වියත්,  බිඳුනු තරුණ වියත් පහු කරගෙන එළැඹෙමින් තිබුණු තරුණ වියේ අග කාලය වෙනුවෙන් හොඳම ආයෝජනයන් කරමින් සිටියා. රැකියාව  එක්ක ජීවිතය සමබරව ගෙනියන විදිය ගැන සංකල්පගෙන් නිරාශා හොඳට ඉගෙන ගත්තා. හැබැයි නිරාශාගේ  අම්මයි තාත්තයි අක්කයි  නංගියි  නම් නිරාශාට සැනසීමෙන් ඉන්න ඉඩ දුන්නේ නැහැ

“අම්මලා ඉල්ලන්නෙ සල්ලිනේ ……….ඔයා ඒ වෙලාවට ඔයාට දාන්න පුළුවන් මුදලක් අම්මලා වෙනුවෙන් දාන්න හැබැයි ඒකත් අනිවාර්යය නැහැ. “

සංකල්ප කිව්වේ එහෙම ඒත් අම්මලා දිගින් දිගටම කියන කතා එක්ක නිරාශා පුදුමාකාර තරමේ මානසික පීඩාවකටත් පත්වුණා

“දස මාසයක් කුසේ තියාගෙන තමුන්ව හදපු එක ගැනත් මම කම්පාවට පත්වෙනවා නිරාශා. අක්කයි නංගි කියන්නේ කොච්චර හොඳ දරුවෝ දෙන්නෙක්ද අක්ක විවාහ වෙලත් තවම මගේ ගෙදර මගෙත් එක්ක ඉන්නවා ඉන්නවා. අයියා රට යන්න යන කාලෙ ඉඳන්ම පිළිවෙලකට හිටපු කෙල්ලෙක් නෙවෙයිනෙ එක අතකට උඹ හම්බෙච්ච එක ගැනත් පුදුම නැහැ. මට සැක උඹ වගේ පව්කාරියක් කොහොම මගේ කුසේ ඉපදුණාදකියලා …”

හවස ගෙදර එන ගමන් මේ පණිවිඩය කියවපු නිරාශා ට දරාගන්න බැරි වුණා. නිරාශා  ගෙදර ඇවිල්ලා එහෙට මෙහෙට ඇවිද ඇවිද ඊළඟට කරන්නේ මොකක්ද කියලා කල්පනා කරා. ඇයට ජීවිතේ ගැන මහ කලකිරීඉමක් දැණුනා.

නිරාශා ඊට  පස්සේ සංකල්පට දිග පණිවිඩයක් ලියලා තිබ්බා. සංකල්පය වෙනකොට හිටියේ ගෙදර එන ගමන්. නිරාසාගේ මේ පණිවිඩය කියෙව්වහම සංකල්පටත් යම් අඳුරු සේයාවක් දැනුන නිසා සංකල්ප වහාම වේගයෙන් නිවසට ආවා. සංකල්ප ගේට්ටුවෙන් ඇතුල් වෙලා නිවසට ඇතුල් වෙනකොටම නිරාශා ගේ ඉස්සරහට  දුවගෙන ආව.

“මට සමාවෙන්න සංකල්ප ඇත්තට මම එහෙම කරන්න හිතුවේ නැහැ. ඒත් මට ඒ වෙලාව පහු කරගන්න හරි අමාරු වුනා හැම දේ ගැනම මහ පුදුම දරාගන්න බැරි තරමේ කලකිරීමක් ඇතිවුණා.”

මේ නිරාශා  සංකල්පය වැළඳ ගෙන එහෙම කිව්වා. සංකල්ප නිරාසයට ඇති තරම් කියවන්න දීලා කිසිම දෙයක් නොකියා අහගෙන හිටියා

ඊට පස්සේ සංකල්ප නිරාශාව උපදේශන සේවාවකට යොමු කලා. ඒ අතරේ සංකල්පත් නිරාශා වෙනුවෙන් හැකි තරම් කාලය වෙන් කලා.

විෂ සහිත පවුලකින් ඈතට නිරාශා හෙමි හෙමින් ජීවිතේ හුස්ම අල්ලන්න පටන් ගත්තේ ඊට පස්සේ.

අපේක්ෂා ගුණරත්න

More Stories

Don't Miss


Latest Articles