ශාර්වරී එදා වැඩ ඇරී ගෙදර ගියේත් එක්තරා විදියක මානසික වියවුලක පැටලීය. එදා දහවලේ ඒ අපාට්මන්ට් එකට ආ ඕඩර් එක ගෙනිහින් දෙද්දි මෙහෙම දෙයක් හීනෙකින්වත් වෙයි කියා නොහිතුව එකේ මේ වෙච්ච දේ ශාර්වරීට ටිකක් විතර දරාගන්න අපහසු වෙච්ච හැඟීමකි.
“ඒ මනුස්සයා මට බැන්න නං ඉවරයි. මං වැටෙන්න ගිය වෙලාවෙ කන්න වගේ මගෙ මූණ බලාගෙන හිටියෙ මොන මගුලකටද?” කියා හිතෙන් නෙවින්ට බනිද්දිවත් ඒ මොහොතේ තමන් කලේත් ඒ විදියටම නෙවින්ගේ මූණ දිහා බලාගෙන උන්නු එක බව ශාර්වරී හීන් සැරේ අමතක කර දමා තිබුණාය. එහෙම නැත්තම් ලැජ්ජාවට එහෙම දෙයක් මතක් කරගන්නේ නැතුව උන්නාය.
බස් එකෙන් බැස මහ පාර දිගේ ඇවිද අවුත් කුණු කාණුව උඩින් දමා තිබෙන පාලම දිගේ ඇවිත් කොහිලවත්තට එන අතරේත් ශාර්වරී එක මොහොතකටවත් නෙවින් සේනාරත්නගේ රුව තමන්ගේ මතකයෙන් පිටත් කර හැරියේ නැත. කොටින්ම නෙවින් මාධූර්‍ය්‍ය සේනාරත්න වනාහී තමන් වාසය කරන කොහිලවත්තට තමන්ගේ හිත අස්සේ හැංගි හෝ එලියට එන්නට උවමනා නොවන කෙනෙක් බව දැන උන්නත් නෙවින්ව හිතෙන් අයින් කර හිතන්න ශාර්වරීගේ සිතුවිලි ශාර්වරීට ඉඩ දුන්නේ නැත.
“යන යන තැන වැටෙන්න යන හන්දනෙ ඒ මිනිහගෙන් කතා අහගන්න උනේ” කියා තරහෙන් හිතන්න හැදුවත් දෙතොල් පීරගෙන හිනාවක් එලියට එන එක වලක්වාගන්න ශාර්වරීට පුලුවන් උනේ නැත. මේ කතන්දර කාට හෝ කියා හිත නිදහස් කරගන්න තිබුණා නම් හොඳයි කියා හිතුනත් නංගී ඇරෙන්න මෙහෙම දෙයක් කතාකරන්න කෙනෙක් ශාර්වරීට වෙන නැත.
අක්කාගේ මූණෙන් එලියට මතුවෙන්නෙ හිත අස්සේ හැංගිලා තියෙන මොකක් හරි කතාවක් බව තේරුම්ගන්න පුලුවන් තරමට අයෙශ්වරී පැහිලා උන්නාය. අක්කා මොකක් හෝ හිත කිතිකවන හැඟීමක් හන්දා කලබල වී ඉන්න බව දැක්ක නමුත් ආපු ගමන් ඕක අහන්න යන්නෙ නැතුව බත් කාලා අහවර වී, අක්කා ඇඟ හෝදගෙන එනතුරුත් ඇඳට වෙලා පොතක් කියවන්න පුලුවන් ඉවසිල්ලත් ආයෙ මොකෝ අයේශ්වරීට හොඳටම තිබ්බාය.
“මොකෝ සීන් එක?” කියා අයේශ්වරී අක්කාගෙන් ඇහුවේ ශාර්වරී කාමරේට ඇවිත් හෝදන්න තියෙන ඇඳුම් ටික බාල්දියට දමා එලියෙන් තියන අතරවාරයේය.
“මොන සීන් එකක්ද?” කියා ශාර්වරී ඇසුවේ ඇත්තටම නංගි මේ අහන්නෙ මොන කෙහෙල්මලක් ගැනද කියා හිතාගන්න බැරිම තැනය.
“ඔය හිත අස්සෙ හංගගෙන ඉන්න හදන, ඒ උනාට මූණෙන් එලියට පනින්න හදන සීන් එක” කියා නංගි කියද්දී ශාර්වරී මූණ අල්ලා බැලුවේ ඇත්තටම ඔය කියන විදියෙ දෙයක් තමන්ගේ මූණෙන් පේනවාද කියාය. එහෙම කල එකේ ගොංකම කොච්චරද කියා ශාර්වරීට තේරුණේ නංගිගේ මූණෙ ඇඳිලා තිබිච්ච හිනාව දැක්කමය.
“කටෙන් නෑ කිව්වට මූණ අල්ලල බැලුවෙ, හිත අස්සෙ හංගගෙන ඉන්න හදන දෙයක් එලියට මතුවෙලා පෙනෙයිද කියන බයටනෙ. අනේ අනේ අක්කේ. කාවද මේ තම්බන්න හදන්නෙ”
“අනේ මේ මං කාවවත් තම්බන්න හැදුවෙකක් නෑ. පිස්සු විකාරනෙ ඔයාගෙ.ගෙදරට වෙලා මුකුත් වැඩක් නොකර පොත් කියව කියව ඉද්දි ඔය වගේ පිස්සු විකාර හිතෙනවා තමයි”
“ආහ් මට පිස්සු? හරි හරි හරි. ඔය දැන් කියන්නෙ මේ මට හංගන දෙයක් නෑ කියලනෙ. කමක් නෑ අක්කෙ. කමක් නෑ. හංගං ඉන්නකො. කවදහරි දවසක් ඒවි ඉතින් මේ නංගිගෙ උදව්ව,ඔය අක්කට මහමෙරක් වගේ දැනෙන” කියමින් අයෙශ්වරී නාට්‍යානුසාරයෙන් ඒ වචන රඟ දක්වා පෙන්වද්දී ශාර්වරීට හිනා ගිය එක සාධාරණය.
“තමුසෙ එක්ක බෑ ඕයි”
“ඔහොම කියන්නෙ මං කිව්ව කතාව ඇත්ත හන්දනෙ. මොකද්ද සීන් එක. ඔයාගෙ මූණ අද වෙනස් අනිත් හැම දවසටම වඩා. ලොකු දුකක් එක්ක මොකක් හරි ආතල් සීන් කෝන් එකකුත් ගෑවිලා තියෙනව කියන එක තමයි මට පේන්නෙ. කියනවකො අක්කෙ අගේ නොකර, මොකද්ද වුනේ කියලා” අයේශ්වරී මෙච්චර වෙලා අතේ තියාගෙන උන්නු පොත පැත්තකින් තබා ඇඳේ දණ ගහගෙන බිත්තියට හේත්තු වි අහද්දි ශාර්වරී තෙත තුවාය ඇඳුම් රැක් එක මතට දමා ඇඳෙන් ඇවිත් වාඩි වී පොඩි වැස්ලින් බෝතලයෙන් බිංදු දෙක තුනක් අතට අරගෙන කකුලේ තැන් තැන්වල තබා හෙමින් අතුල්ලන්නට වුණාය.
“ලොකු දෙයක් නෙවෙයි උනේ. මට අද අර මනුස්සයව හම්බුනානෙ නංගි” ඒ වචනවල ඕනවට වඩා කෝල බවක් රැඳී තිබෙනවද කියා සැක හන්දාම ශාර්වරී නංගීගේ මූණ දිහා නොබල ඉන්න උපරිම උත්සහයක් දැරුවාය.
“මොන මනුස්සයවද?”
“අර එදා මං අංකල් කිව්වෙ. අන්න එයාව”
“නෙවින්ව? නෙවින් සේනාරත්නව? අම්මටසිරි කොහෙදිද?”
“අපේ රෙස්ටුරන්ට් එකේ උඩ තට්ටුවෙදි”
“රෙස්ටුරන්ට් එකේ උඩ තට්ටුවෙ කිව්වෙ? උඩ තට්ටුවල තියෙන්නෙ අපාට්මන්ට්ස් නේද?”
“ඒකක තමයි”
“මිනිහා ඉන්නෙ කාල්ටන් අපාර්ට්මන්ට්ස් වලද? අම්මටසිරි මං දැනන් හිටියෙ නෑ අක්කෙ මොඩ්ලින් වලින් එච්චර සල්ලි හොයන්න පුලුවන් කියලා. ඉතින් මිනිහා ඔයාට බැන්නද?”
“මොකටද බනින්නෙ?”
“එදා ඔයා අංකල් කිව්ව එකට?”
“නෑ බැන්නෙ නෑ. මුකුත් කිව්වෙ නෑ.” කියා කියද්දිත් දෙසවන් අස්සෙත් හිත අස්සේත් ලං වී උන් ඒ තප්පර ගාණේ ඇසුණ නෙවින්ගේ ගැඹුරු හඬ නින්නාද දෙමින් රෝම කූප අවදිකරන හැඟීමක් ගත කිලිපොලා යන බවක් ශාර්වරීට දැනුනාය.
“මුකුත් කිව්වෙ නැත්තම් ඔයා මොකද ඔච්චර මගෙන් මූණ හංගන්න හදන්නෙ?”
“මොනවා හංගන්නද අනේ?”
“අක්කෙ, මේ අහන්නකො. මං දන්නෙ නෑ ඔයා මට මොනවහරි හංගන්න හදනවද කියල. ඔයා මගෙ අක්ක උනාට ඔයාටත් පෞද්ගලිකත්වයක් තියෙනවනෙ. ඒ නිසා මං ඕනවට වඩා හාරවුස්සල බලන්න හදන්නෙ නෑ. ඒ උනාට හිතේ බරක් තියාගෙන ඉන්නවට වඩා හොඳ නැද්ද අක්කෙ ඕක කියල දාන එක” කියා අයේශ්වරී වඩා මුදු කටහඬකින් අහද්දි උනත් ශාර්වරී කලේ කිසි සද්දයක් නැතුව කාමරේ ලයිට් එක නිවා දමා නංගීට එහා පැත්තෙන් ඇඳේ හාන්සි වෙච්ච එකය.
අක්කත් නංගිත් දෙන්න දන්න කාලෙක, මතක ඇති කාලෙක ඉඳල නිදාගත්තේ මේ ඇඳේ එකටය. ඔලුව රිදෙන දවස්වල ඔලුවද හිත රිදෙන දවස්වල හිතද සනසගන්නට එකිනෙකාට උන්නෙ එකිනෙකා විතරමය්. ඒ නිසා අක්කා නංගීව කොච්චරක් දැන උන්නද නංගී කොච්චරක් අක්කාව දැන උන්නද ඒ දෙදෙනාම හෙලූ කඳුලු, දරාගත් වේදනාවන්, බෙදාගත් සන්තාපයන්, සංවේදනාවක්, සන්තෝසදායක කාරණාවන් සියල්ල මේ කුඩා කාමරය එපමණක් හොඳින් දැනගෙන ඉඳියහ.
ලයිට් එක නිවා දමා නිදාගන්න ඇස් දෙක පියාගන්න කොච්චර උත්සහ කරත් ශාර්වරී උන්නේ නින්දකට අවශ්‍ය පරිද්දෙන් හිත සනසගන්න පුලුවන් තැනක නොවේ. ඇස් වහගන්න උත්සහ කරත් ඇස් ඇරගෙන ඉන්න උත්සහ කරත් කුමක් හෝ නොතේරෙන හේතුවක් හන්දා එය කරන්නට බැරිකමකුත්, නෙවින්ගේ සොඳුරු එහෙත් ගැඹුරු හිස්බවකින් පිරිච්ච දෙනෙත තමන්ගේ නෙත් ඉදිරියේ මැවී යන එකත් වළක්වාගන්න විදියක් ශාර්වරීට තිබුණේ නැත.
උගුර අස්සේ ගිලගන්න බැරි කෙල ගුලියක් හිර වී තිබෙන අන්දමේ හැඟීම ශාර්වරීට නුපුරුදුය. ඒ එක්තරා විදියක සොඳුරු වේදනාවකි. එහෙත් ඒ වේදනාවෙන් මිදෙන්න තිබුනා නම් හොඳය කියා එක්වරම හිතිච්ච හැඟීම ඒ සියලුම කාරණා වචනවලට හරවන්නවත් වඩා සැහැල්ලු හිතකින් දෙනෙත් පියා නින්දට පිවිසෙමින් උන් අයේශ්වරීව අවදි කරන්නටත් හේතු වුණාය.
“මට නින්ද යන්නෙ නෑ නංගි” කියා අක්කා කිව්වේ වෙනදාක කියන අන්දමේ හඬකින් නොවන බවකුත් ඒ හඬ එහා පැත්තේ හාන්සි වී හිඳින අක්කාගෙන් ඇසෙන්නකට වඩා බොහෝ ඈතක හිඳ සිහිනයෙන් ඇසෙන්නක් බව අයේශ්වරීට හිතුනාය.
“ඇයි අක්කේ?” කියා අයේශ්වරී ඇසුවේ ඒ ධ්‍යානගත හැඟීමෙන් තමන්වත් අක්කාවත් මුදවාලන්නේ නැතිවන පිණිස බිඳක්වත් තමන්ගේ සිරුර සොලවන්නේ නැතුවය.
“දන්නෙ නෑ නංගි, මට තේරෙන්නෙ නෑ. නිකන් හිතේ මොකක් හරි ලොකු බරක් තියෙනව වගේ. ඒත් ඒ මොකද්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ”