එකම එක හාදුවක් – 11

0
4897

“එහෙනම් ආයෙම කාටවත් එහෙම කියන්න ඉඩ දෙන්න එපා. මං කැමති නෑ කවුරුවත් ඔයාට මෙච්චර ලං වෙනවට”

ඒ වචන අස්සේ හැංගී තිබුණේ අයිතිකරගන්නා හැඟීමක සේයාවක්ද කියා නොහිත ඉන්නට ශාර්වරීට පුලුවන් උනේ නැත. කෙනෙක් තව කෙනෙක්ට “මං කැමති නෑ කවුරුවත් ඔයාට මෙච්චර ලං වෙනවට” කියා කියන්නේ තමන්ගෙන් ඒ අඩුව පිරිමසන්න තමන් බලාපොරොත්තු වෙන බව කියන හන්දා නොවේද? එහෙත් නෙවින් සේනාරත්න වනාහී උස් ගහකි. එවන් උස් ගහකට තමන් හිටගෙන ඉන්න පොළොවේ ඉතාම පල්ලෙහා තැනක පිපී හිඳින බිම්මලක් වන් තමාගෙන් කිසිම ප්‍රයෝජනයක්ද, තමාට ලංවීමෙන් කිසිම දෙයක්ද අත් පත් නොවන බව ශාර්වරී දනී.

එහෙත් ශාර්වරී උන්නේ “ඇයි එහෙම දෙයක් කිව්වේ?’ කියා අහන්න බැරි තරම් තිගැස්සීය. තමන් බොහෝ වෙලාවක් තිස්සේ නෙවින් ගේ තුරුලට වී ඔහුගේ දෙනෙත් අස්සට එබී හිඳ තිබෙන බව ශාර්වරීට තේරුනේ මධුර සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් පිඟාන අරගෙන මුලුතැන්ගෙයි සිට බාර් එක පැත්තට එද්දීය.

“ඔයා තාම සර්ට බියර් එක ඔෆර් කරේ නැද්ද?” කියා මධුර ඇහුවේ කලබලයෙන් මෙන් කවුන්ටර් එකේ එහා පැත්තේ සිට ඇතුලටද දුවගෙන වගේ එන ශාර්වරී දිහා බලාගෙනය.

“මට බැහැගන්න බැරි උනානෙ ස්ටූල් එකෙන්. ඔයා එකපාර ගියානෙ අනේ මාව බස්සවන්නෙ නැතුව. මං බලාගෙන හිටියා ඔයා දැන් ඒවි දැන් ඒවි කියලා. ඒ උනාට ආවෙ නෑනෙ” කියා ශාර්වරී නෝක්කාඩු කිව්වේ හීන් හඬින් උනත් ඒ කතාව කවුන්ටරයෙන් පිට හිටගෙන උන්නු නෙවින්ටත්, කවුන්ටරයෙන් ඇතුලෙ හිටගෙන උන්නු මධුරටත් හිනාවෙන්න හොඳ තරමටම ඇහුන එකකි.

“අඩි පහක් වත් උස නැති බට්ටන්ව වැඩට ගත්තම තියෙන ප්‍රශ්න නේද මල්ලි?” කියා නෙවින් සේනාරත්න මධුර කවුන්ටර් ටොප් එක උඩ තිබ්බ බියර් වීදුරුව අතට අරගන්න ගමන් හිනාවෙන අතරේම ඇහුවේ හීන් සැරේ දෙනෙත් සැරයක් ශාර්වරී දෙසට යවමිනි. එහෙත් බිම බලාගෙන වෙන මොකක් හරි වැඩක් කරන ගමන් උන් ශාර්වරී නම් උන්නේ නෙවින් දිහා වැරදිලාවත් බලන අදහසක නොවේ. එහෙත් දෙනෙත් යා නොවුනාට නෙවින් කියූ කතාව ඇවිත් දෙසවන් වල හැපෙද්දී දෙතොල් ඈත් මෑත් වී හිනා මල් පිපිච්ච එක නතර කරගන්න විදියක් නම් ශාර්වරී දැන උන්නේ නැත. මේ හැමදේම අමුතුය. අලුත් ය. 

“මෙයාව ඔය ස්ටූල් එකේ වාඩිකරන එකයි, ස්ටූල් එකෙන් බස්සවන එකයි දෙකම මගෙ එජොබ් ඩිස්ක්‍රිප්ශන් එකේ තිබුනෙ නැති උනාට මම කරනවා සර්” කියා මධුර නෙවින් ගේ වචන වලට හිනා වෙවී උත්තර දෙද්දී මූණ ඇද කර මධුරට නෝක්කාඩු පෙන්නන කෙල්ලගේ හුරතල් නෙවින්ට බියර් වීදුරුවට වඩා රසවත් ය.

“වැඩිපුර කීයක් හරි ඉල්ලගත්ත නම්  හරි නේද මැනේජ්මන්ට් එකෙන්? එහෙම නැත්තම් අපි මෙයාට බොරු කකුල් දෙකක් අරගෙන දෙමු” කියා කියද්දී නම් ශාර්වරීට නෙවින් දිහා බලා “අනේ මේ” කියා නොකිය ඉන්න පුලුවන්කමක් තිබ්බේ නැත. නෙවින් උන්නේ බියර් වීදුරුව මුවගට ලං කරගෙන හිනාවක් ඒ අස්සේ හංගන්න වෙර දරමිනි.

“මම සර් මේ ෆුඩ් ඕඩර් එක උඩ අපාට්මන්ට් එකකට දීලා එන්නම්. ශාරා සර්ට මොනව හරි ඕන නම් බලලා දෙන්න” කියා මධුර සමුගනිද්දී නෙවින් උන්නේ මේ බටු ඇට කෙල්ලගේ නම දැනගන්න උවමනාවකිනි. 

“ශාරා…” කියා කියන ගමන් නෙවින් හීන් සැරේ බාගයක් වී අවසන් කල බියර් වීදුරුව සද්දයක් නොඇසෙන ලෙසින් බාර් කවුන්ටර් එක උඩින් තිබ්බේය. ශාර්වරී නෙවින් දිහා බැලුවේ ඒ හඬ ඔස්සේය.

“සර්” කියා අහන්න හේතු උනේ ඔහු තමන්ගේ නම කිව්වේ මොනවා හෝ දෙයක් ඉල්ලා ගන්න බලාපොරොත්තුවෙන් යැයි හිතුව හන්දා නමුත් නෙවින් උන්නේ බොහෝ දේ අසා දැනගන්නා පිපාසයකිනි. එහෙත් ඒ පිපාසාවට හේතුව කුමක්ද කියා ඇත්තටම නෙවින් දැන උන්නේ නැත. කිසිදිනක කිසිවෙකුගේ දෙනෙත් අස්සේ නුදුටුව තමන්ව ඇඳ බැඳ තබාගන්නා කුමක් හෝ මායාවක් තමන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් බොහෝ පුංචි මේ කෙල්ලගේ ඇස් අස්සේ හැංගී තිබෙන බව පමණකුත්, ඒ මායාව රෑ නින්ද පවා තමන්ට අහිමි කර තිබෙන බව පමණකුත් ඒ මොහොත වෙද්දී පමණක් නෙවින් දැන උන්නේය.

ඇයට තිබෙන්නේ බොහෝ ගැහැණුන් වත්සුණු තවරා වඩා සුන්දරව මෙන්ම, ඇඟේ නූල් පොටකුදු නැතුව වඩා සරාගීව මෙන්ම දැක ඇති පිරිමියෙකුගේ සිත සසල කරන අන්දමේ රුවක් නොවේ. සාමාන්‍ය කෙට්ටු ශරීරයකි. ගැහැණියක්ගේ ලස්සන යැයි කියන්නට හැකි අන්දමේ උස් පපුවක්වත්, වටකුරු නිතඹක්වත්, සුදු පැහැ සමක්වත් නැති වුණද ඝනකම් ඇහි බැමක් යට, එතරම්ම ඝනකම් ඇහි පිහාටු අස්සේ සැඟවුණු මනස්කාන්ත, මායාකාරී දෙනෙත පමණක් පිරිමි දහසක් වුව දෙදණින් ඇය ඉදිරියේ වට්ටවන්න හේතුවන්නට හැකි බව නෙවින් එවෙලේ සිතුවේය

“සර්” නෙවින් කල්පනා ලෝකයෙන් මිදුණේ ශාර්වරී දෙවන වරටත් තමන්ට එහෙම කතා කරද්දීය.

“ඉයස්”

“සර් මොනවා හරි ඕන වෙලාද මට කතා කරේ?”

“ආහ් නෑ, මුකුත් ඕන වෙලා නෙවෙයි. ඔයාගෙ නම මොකද්ද? මං දන්නෙ නෑ ඔයාගෙ නම”

“ශාර්වරී සර්”

“ශාර්වරී… මොකද්ද ඒකෙ තේරුම?”

“ශාර්වරී කියන්නෙ හැන්දෑවට සර්. හැන්දෑව කියන්නෙ අර twilight කියලා කියන්නෙ. අන්න ඒකට. ඉන්දියන් නමක් සර්”

“අම්මද නම දාලා තියෙන්නෙ?”

“ඔව් සර්”

“ඉන්දියන් නමක් දාල තියෙන්නෙ මොකද ඉතින් ලංකාවෙ කෙල්ලෙක්ට?” කියා නෙවින් අහද්දී නම් ශාර්වරීට ඒ ප්‍රශ්නයට දෙබල්න්න උත්තරයක් තිබ්බේ නැත. කරන්න තිබ්බ එකම දේ ඔලුව බිමට නවාගෙන හිනාවෙන එක විතරය.

“ඔයා මෙහෙ වැඩ කරන්නෙ පාට් ටයිම් ද?”

“ඔව් සර්”

“එතකොට ෆුල් ටයිම් මොකද කරන්නෙ?”

“මං එච් එන් ඩී එකේ හොටෙල් කෝස් එකක් කරන ගමන් පාට් ටයිම් එක මෙහෙ කරනවා සර්”

“එතකොට එදා අතන හිටියෙ ඇයි?”

“කොතනද සර්?”

“අර ඔයා මට අංකල් කියලා කිව්වෙ. අන්න එතන. වෝටර්ස් බේ එකේ” කියා නෙවින් හිනාවෙද්දී තමන් කරන්න ඕන කුමක්ද කියා ඇත්තටම ශාර්වරීට හිතාගන්න පුලුවන් උනේ නැත. එදා තමන් එහෙම කිව්ව එක වෙනුවෙන් එදාම ඔහුගෙන් සමාව ගත්තත් ඒ සමාව තමන් කල දේට හිලව් වෙනවද කියන සැකය ශාර්වරීගේ හිතේ නොතිබ්බා නොවේ. එය එහෙම නම් මේ ඇවිත් තියෙන්නේ ඔහුගෙන් හිතේ හැටියට එදා අංකල් කිව්ව එකට සමාව ගන්න හොඳම අවස්තාව බව දැන උන්නත් ඒ කියන්න වචන හොයාගන්න විදියක් නැතුව ශාර්වරී ලතවුණාය.

“එදා වෙච්ච දේට අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි සර්. මම දන්නෙත් නෑ ඇත්තටම මම එදා එහෙම දෙයක් කිව්වෙ ඇයි කියලා. මට නිකන්ම එහෙම කියවුණා. ඇත්තටම අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි. එදා සර්ගෙ යාලුවොත් ඉඳියා එතන. මං එහෙම කිව්ව එක ඇත්තටම හරි නෑ කියල මට තේරුනේ අනිත් අය බනිද්දි තමයි” 

ලා රෝස පාට දෙතොල් එහෙ මෙහෙ කර කර ශාර්වරී සමාව ඉල්ලද්දී පහත් වී ඒ දෙතොල් සිපගන්න තිබුණා නම් හොඳ යැයි කියා සිතුනේ කී වෙනි වතාවටද කියා ඇත්තටම නෙවින්ටවත් මතකයක් තිබ්බේ නැත. එතන හරි වැරැද්දක කතාවක් තිබ්බේ නැත. තිබ්බ එකම දේ හැඟීමක් පමණකි. 

“ඔයා වැඩ ඇරෙන්නෙ කීයටද?” නෙවින් ඇහුවේ බියර් වීදුරුවේ අන්තිම උගුරත් උගුරට හලාගන්න ගමන් ය.

“අද ද සර්? අද ඉතින් ගොඩක් වෙලාවට 12 පහු වෙනවා සර්. අද නයිට් ශිෆ්ට් එකක්නෙ තියෙන්නෙ”

“එතකොට ගෙදර යන්නෙ කොහොමද?”

“ට්‍රාන්ස්පෝට් දෙනවා සර්”

“ඒ ඇරෙන්න වෙන කවුරුවත් නැද්ද ගෙදරට ගෙනිහින් ඇරලවන්න?”

කෙවින් ඇහුවේ මෙච්චර වෙලා කවුන්ටරයට යොමු වී තිබූ දෙනෙත් උස්සා ශාර්වරී දෙස බලමිනි. කවුන්ටරය ඇතුලේ සේදුව කෝප්ප කිහිපයක් සර්වියට් එකකින් තෙත මාත්තු කරමින් උන් ශාර්වරී ඒ දෙනෙත් අස්සේ වූ කැළඹීම නොදැක්කේ ඒ හන්දාමය.

“ඉන්නවා සර්”

තමන් කලබල වුණේ ඇයි කියා නෙවින්ට නොතේරුන නමුත් මොකක් හෝ කියාගන්න බැරි හිත් වේදනාවක් පපුව අස්සේ ඇදුම් කන බව පමණක් තේරුණේය. එහෙත් ඒ කැළඹීම දකින්නට,නෙවින්ගේ දෙනෙත් අස්සේ වූ වේදනාව දකින්නට ශාර්වරී උන්නේ නෙවින් දිහා බලාගෙන  නොවේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here