ශාර්වරී දැම්ම රික්වෙස්ට් එක එද්දී නෙවින් උන්නේ හැමදාම සතියෙ දවස්වල උදේට ෆිට් මොඩ්ලින් වලට යන ආයතනයේය. ඒකෙත් ඉන්න තරමක් ෆැශන් ඩිසයිනර්ස්ලා ද මර්චන්ඩයිසර්ස්ලාද ඉන්නේම තමන්ට ඇහැ දාගෙන බව නෙවින් ඉතින් නොදන්නවා නොවේ.
“නෙවින් ඔයා පොඩි රෙස්ට් එකක් ගන්න. අපි ඊලඟ ගාමන්ට්ස් සෙට් එක රෙඩි කරගෙන එනකම් ෆිෆ්ටීන් මිනිට්ස් විතර ඔයාට බ්‍රේක් එකක් ගන්න පුලුවන්.” කියා එතන උන්නු කෙල්ලක කියද්දී සිනා සී එයට හිස වැනූ නෙවින් දුරකතනය අතට ගෙන කෙලවරක තිබූ සෙටිය වෙත ගියේ ඒ ලැබිච්ච බ්‍රේක් එකේ ඉතින් කරන්න තියෙන එකම දේ ෆෝන් එක අස්සට ඇස් දෙක ඔබාගන්න එක විතරක් හන්දාය.
ශාරා රයිට්ස් ලෙස නම් කර තිබූ ඉන්ස්ටග්‍රෑම් ගිණුමකින් තමන්ව ෆලෝ කරන රික්වෙස්ට් එකක් ඇවිත් තිබෙන බව දැක්කම නම් නෙවින්ට උඩ පනින්න හිතුන එක ඇත්තකි. මෙච්චර දවසකට කිසිම කෙල්ලක වෙනුවෙන් කටෙන් එලියට පිටකලේ නැති හිනාවක් දෙතොල් අස්සෙන් එලියට පැන්නේත් ඒ සන්තෝසෙටය
තමන් මෙච්චර දවසක් ශාර්වරී කියා සර්ච් කරාට ඇය ඉන්ස්ටග්‍රෑම් එකේ හිඳ තිබෙන්නේ ලියුම් කියුම් සඳහා භාවිත කරන නමකින් බවත් ඒ ෆලෝ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කර ඇයට ෆලෝ රික්වෙස්ට් එකක් යවන අතරවාරයේත් නෙවින් කල්පනා කලේය. එහෙමකට කියා පෞද්ගලික පින්තූර ආදිය දමා නැති ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පුරාවටම තිබුනේ ඇය විසින් ලියන ලද කවි, නිසදැස්, කෙටිකතා ආදී එකතුවකි. ඒවයින් සමහරක් ඒවා ඇය විසින් මුදල් සඳහා භාරගත් ඇණවුම් බව ඒවා යටින් එකතු කර තිබූ කමෙන්ට් ආදිය කියවා නෙවින් තේරුම් ගත්තේය.
“හැම රෑම මා දකින හීනවල හිඳින්නේ
දහවලේ හමුවනා මට අහිමි ඔය රුවයි
නිදි නැතුව හැම රෑම මා සුසුම් හෙලන්නේ
දහවලේ ලංවෙන්න වරම් නැති ඔබ ගැනයි”
ඈ අන්තිමටම ස්ටෝරි එකක් ලෙස අප්ලෝඩ් කර තිබෙන අඳුරු කැෆේ හෝ රෙස්ටුරන්ට් එකක පින්තූරයක් පසුබිම් කරගත් කවිය තමන් වෙනුවෙන් ලියූ එකක් බව හිතන එක හිතට සැනසීමක් බව නෙවින් හිතුවේය.
“මේ ලියලා තියෙන්නෙ කවුරු ගැනද?” කියා නෙවින් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පණිවිඩයක් යැව්වේ ස්ටෝරි එකට රිප්ලයි එකක් විදියටය. විනාඩි පහලව ගෙවුණෙ ශාර්වරී තමන් යැවූ කෙටි පණිවිඩයට දැන් දැන් උත්තරයක් එවනු ඇතැයි හිතමින් උනත් විනාඩි පහලව අවසන් වන තුරුත් එයට උත්තරයක් ආවේ නැත.
“මං එයා පස්සෙ එනවා කියල හිතලා එයා රිප්ලයි කරන එකක් නැද්ද දන්නෙ නෑ” කියා හිතෙද්දී නම් යැව්ව මැසේජ් එක අන්සෙන්ඩ් කර දමා තමන් කිසිම පණිවිඩයක් නොයෙව්ව අයුරින් ඉන්න හිත දුන්නත් අනෙක් පැත්තට නෙවින් හිතුවේ “හදිසියේ හරි ඔය මැසේජ් එකක් මං එව්ව කියන එක නොටිෆිකේශන් එකක් විදියට දැකලා පස්සෙ මං මැසේජ් එක අන්සෙන්ඩ් කරාට පස්සෙ මං නිකන් හෙන බොළඳ මිනිහෙක් කියල එයා හිතාවිද දන්නෙ නෑ” කියා හිත කිව්ව එකම එහෙම නොකර සද්ද නැතුව ටිකක් ඉවසගෙන ඉන්න නෙවින්ට යෝජනා කලේය.
ඊළඟ බ්‍රේක් එක එනතුරු නෙවින් උන්නේ නොඉවසිල්ලකිනි. වෙනදා නම් මේ වගේ වෙලාවක වටේ ඉන්න කෙල්ලන් එක්ක කොමල කර කර විහිලු කර කර ඉන්න එක කරා උනත් අද ගත මෙතන තිබ්බත් හිත නම් තිබ්බේ වෙන අහකය.
“ඔයා ඕකේ ද නෙවින්? වෙනදා වගේ නෙවෙයි ඔයා අද මයින්ඩ් එක වෙන තැනක තියෙන්නෙ” කියා කිව්වේ එතන උන්නු සීනියර් ඩිසයිනර් කෙනෙක් වෙච්ච කෙලී ය. බර්ගර් කෙල්ල වෙච්ච කෙලී කීප අවස්තාවකම එලියට යමු ද කියා අසා තිබ්බත් වැඩ කරන තැන්වල කෙල්ලන් එක්ක සම්බන්දකම් තියාගන්න එක රස්සාවේ අනාගතයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් බව දන්න හන්දා නෙවින් කිසිම දවසක ඒ වගේ ඇරයුමක් භාරගත්තේ නැත. අනෙක් අතට එකම කණ්ඩායමේ උන් කෙල්ලන් දෙන්නෙක්ම තමන් වටේ කැරකෙන බවත් එකිනෙකා කෙරේ ඉරිසියාවෙන් ඉන්න බවත් නෙවින්ට නොරහසකි. තමන් එක්කෙනෙක් එක්ක ටිකක් වැඩිපුර කතා කල දවසට අනෙක් කෙල්ලගේ මූණ කුණ්ඩ හට්ටිය වගේ වෙනවා නෙවින් අනන්ත වාරයක් දැක තිබේ.
“අනේ අම්මපා මෙහෙමත් ගෑණු” කියා වෙනදාට නම් හිතෙන් ඕවට හිනාවෙවී උන්නත් අද නෙවින්ට වටේ පිටේ වෙන කිසිම දෙයක් ගැන කිසිම අදහසක් තිබ්බේ නැත. අද ඒ සම්පූර්ණ මනසම යොමු වී තිබුනේ ශාර්වරී මොන විදියට තමන් යැව්ව පණිවිඩයට පිළිතුරු එවාවිද කියන එක වෙතය.
“නෑ නෑ එහෙම අවුලක් නෑ. අයෑම් ඕකේ” කියා කිව්වට තමන් පොඩ්ඩක්වත් ඕකේ නැති බව දන්නෙ ඉතින් තමන් ය.
“වෙන්න බෑ. මාර වෙනස් අද ඔයා. මොකද කවුරුහරි කෙල්ලෙක්වත් සෙට් කරගත්තද?” කියා කෙලී අහද්දී “මුන්ටත් ඕන නැති රෙද්දක් නෑ” කියා හිතෙන් හිතුවට නෙවින් ඕවා කටෙන් එලියට දාන්න ගියේ නැත.
“ඇයි එකපාර එහෙම ඇහුවෙ?”
“නෑ ඔයා වෙනදට වඩා කලබලයි. හැබැයි මාරම හැපි මූඩ් එකක ඉන්නෙ. වෙනදා ඉන්න අර මැචුවර්ඩ්, ප්‍රොෆෙශනල් මනුස්සයා නෙවෙයි. අද නිකන් පොඩි කොල්ලෙක් වගේ සීන් එකක ඉන්නෙ”
“අපි ඉතින් ගතින් වයසට ගියාට හිතෙන් වයසට යන අය නෙවෙයිනෙ කෙලී. එන්න එන්න තරුණ වෙනවා”
“අම්මෝ ඔව් ඒක නම් ඉතින් අපිට හොඳට පේනවා. අපිත් ආසයි ඉතින් එහෙම තරුණ ස්පිරිට් එකක් එක්ක හැන්ග් අරවුන්ඩ් කරන්න. ඒ උනාට කෝ ඔයාලගෙ පැත්තෙන් ඉතින් අපිව කෙයා කරන්නෙ නෑනෙ” කියා කෙලී එන්නෙ සුපුරුදු රේල් පීල්ලට බව තේරුණත් වෙනදා වගේම අදත් තමන් කියන කෝච්චිය ඒ රේල් පීල්ලෙ යන්න සූදානම් නැති බව නෙවින් දන්න හන්දාම සද්ද නැතුව හිනා වෙවී උන්නේය.
ඊලඟ බ්‍රේක් එක ආවේ පැය ගාණකට පස්සේ බව නෙවින්ට හිතුනේ එච්චර වෙලාවක් ඔලුව ඇතුලෙන් දහසක් දේවල් හිතන්න වෙච්ච හන්දාය. ඒ සිතුවිලි සියල්ලම මේ කොහෙවත් ඉන්න පොඩි කෙල්ලෙක් වටේ එතිච්ච එක එක පැත්තකින් හිතට කොච්චර ලොකු ප්‍රශ්නයක් වුනත් අවුරුදු තිස් අටක් වුණාට පස්සෙ ආයෙම වතාවක් කැම්පස් යන කාලයේ තිබ්බ විදියේ කික් එකක් හිතට ආ එක ගැන නම් නෙවින් උන්නේ පුදුම ආතල් එකකිනි.
නෙවින් සේනාරත්න තමන් ලියූ කවියකට අර වගේ දෙයක් අසා එවාවිය කියන අදහස ශාර්වරීගේ හිතේ කිසිම තැනක තිබ්බෙ නැති එකකි. ඔහුට පොරොන්දු වෙච්ච් විදියට රික්වෙස්ට් එක දාද්දිත් ශාර්වරී යටි හිත මොනවා හිතුවත් කිව්වත් උඩු හිතට තරවටු කලේ “මං මේ නිකන් අර කිව්ව හන්දා රික්වෙස්ට් එක දාන්නෙ. ඒ ඇරෙන්න වෙන දෙයක් හන්දා නෙවෙයි” කියාය. ඒ උනාට නෙවින් සේනාරත්න තමන් ලිව්ව කවියකට අර වගේ දෙයක් අසා මැසේජ් එකක් එවා තියෙනවා දැක්කම නම් හිත පුරා ඇඳිච්ච හිනාව දෙතොල් අස්සෙන් එලියට පනින්න හදන එක ශාර්වරී නවත්ත ගත්තේ ටිකක් විතර මහන්සි වෙලාය.
“මං ඒක ලිව්වෙ නිකන්. කාටවත් නෙවෙයි”
“මං හිතුවෙ අරයා වෙනුවෙන් ලියපු එකක් කියලා”
“කවුරු වෙනුවෙන්ද?”
“අර එදා කිව්වෙ ඔයාව අරගෙන යන්න කෙනෙක් ඉන්නවා කියල රෑ වැඩ තියෙන දවසට”
“ආහ් ඔව් ඉතින්?”
“ඉතින් මං හිතුවා එයාට ලිව්ව කවියක් කියලා”
“මං මොකටද එයාට කවියක් ලියන්නෙ?” කියා ශාර්වරී ඇත්තටම කියාගත්තේ තමන් ටය. එදා නෙවින් සේනාරත්න “රෑ වෙච්ච දවසට ගෙදර එක්කරගෙන යන්න කෙනෙක් නැද්ද?” කියා ඇහුවම තමන් “ඉන්නවා” කියා කිව්ව එක ඇත්තකි. ඒ උනාට ඒ වෙන කවුරුවත් නොව තමන්ට අයියා කෙනෙක් විදියට සලකන මධුර බව තමන් ඔහුට නොකිව්ව එක මෙච්චර දුර හිතන්න මනුස්සයව පොළඹවා ඇති බව හිතද්දී හීනි හිනාවක් හිත අස්සෙන් නැගුනේ “අනේ මොට්ටයා” කියා කියන ගමන් ය.
මේවා ඒ මනුස්සයට ඇහෙන්නෙ නැත්තේ හොඳ වෙලාවටය.
“ආහ් නෑ මේ කවිය ලිව්වෙ එයාට නෙවෙයි” කියා ශාර්වරී ටයිප් කර යැව්වේ මේක පොඩ්ඩක් විතර දිගට ගන්න ඕන ආතල් එකක් බව හිතන ගමන් ය. ඒ උනාට ඉතින් ශාර්වරී ලියා එවූ අකුරු ඇවිත් නෙවින්ගේ හිතේ වැදුණේ පිහි තුඩු තරම් වේදනාවකින් ය.
“එයාට කවි ලියන්නෙ නැද්ද?”
“ලියනවා. ඒවා පබ්ලිශ් කරන්නෙ නෑ. ලියලා එයාට යවනවා”