රන් මල් දම් – 34

‘………….. සරත් නැති වුනාම මම ආයේම ඔයාවත් අරගෙන මීගමුවේ ගියා. මම ගියා නෙවෙයි, අයියලා මාව එක්කන් ගියා. ..දැනුන අසරණ කමටයි, තරහටයි නිසාම මම කිසිම දෙයක් ප්‍රශ්නකලේ නෑ… සුදු පුතා විරුද්ධ වෙද්දී මීගමු යන්න මම යන්නම ඕනි කිව්වෙත් … අනේ මන්දා…”

ස්වර්ණා වැඩි වේලාවක විවේකයක් ගත්තාය. තමා වරදක් කල බව ඇගේ දෑස් වලින් පෙනෙමින් තිබුණි.

“…… ඒ අතරේ දවසක් මට ප්‍රියලාල්ගේ හොඳම යාලුවා මුණ ගැහුනා… මට ප්‍රියලාල්ගේ සොහොනට යන්න ඕනේකම හැමදාම තිබුනා. මම ඒ ගැන ඇහුවම ඒ යාලුවා කලේ මට මහ වැරදිකාරියෙක් ගානට දාලා බැණපු එක.. මම දෙවෙනි දවසෙත් යාලුවාව හොයාගෙන ගියා. ඒ ගියාමයි දැනගත්තේ අපේ අයියලා ,  බාප්පලා මාව කොච්චර රවට්ටලාද කියලා..

ප්‍රියලාල් මැරිලා තිබුනේ නෑ. ඒත් එයා මාව අතෑරලා වෙන කෙනෙක්ව කසාද බැඳලා දරුවෙකුත් හදලා තිබුනා.. ඒ ගැන අහන්න  තරම් සිහියෙ උන්න මාමාගෙන් මම කෙලින්ම ඒ ගැන ඇහුවා. මොකද අයියලා මුකුත්ම කීවේ නැහැ… ඒ මාමා එතකොටයි කිව්වේ වතු, වාහන වලට ලෝභ කමෙන් ප්‍රියලාල් මාව අතෑරියා කියලා.මාමලා දුන්න සෑහෙන්න දේපළ ගත්තා කිව්වා….. දරුවා නැතිවෙන විදියට මාව ලිස්සන්න කාමරේට  දාම් ළෑල්ලේ පවුඩර් ඉස්සෙත් ප්‍රියලාල් කියලා කිව්වා .. ලෙඩ ඇඳේ උන්න මාමා බොරුවක් කියන්නේ නැති වෙය් කියලා මම හිතුවා.. පස්සේ අයියලාත් ඇවිල්ලා ඒ කතාවම කිව්වා ….

මගේ හිතේ ප්‍රියලාල් ගැන තිබුන ආදරේ වෛරයක් වුනා. මට පලිගන්න ඕනෑ වුනා පුතේ .. ඒත් මට ඔයාගේ වගකීම තිබුනා… ඒ නැතත්, ඔයාගේ තාත්තාට එක වතාවක් සමාව නොදෙන්න මගේ හිත ගලක් වෙච්ච තරහ තිබුනා… මට දැනුනෙම ප්‍රියලාල්ලා වගේ අවස්තාවාදී මිනිස්සු අතරේ සරත් වගේ නිවැරදි වෙන්න උත්සාහ කල මිනිහෙක්ව මම මරාගත්තා නේද කියන පසුතැවීම ….”

ස්වර්ණා පසෙක තිබූ වතුර වීදුරුව ගෙන එක හුස්මට බීවාය. මන්දාරම් උන්නේ අම්මාගේ කඳුළු වල දියවෙමිනි.

” මගේ ජීවිතේ ඔයා විතරක්ම වුනා… ඔයා කැම්පස් ගියා, රට ගියා, ආයේ ආවා… ඔය හැමදේම අතරේ ආයෙම මම රැවටිලා උන්න බව කියන්න කෙනෙක් මගේ ජීවිතේට ආවා.. ඒ ප්‍රියලාල්ගේ වයිෆ්.. එතකොට එයාට කැන්සර් එකක් .. එයා උන්නේ අසීරුම අඩියක.. එයා ඉල්ලුවේ එක දෙයයි.. ප්‍රියලාල් කවදාවත් මට වරදක් නොකල බව විතරක් විශ්වාස කරලා එකම එක වතාවක්  හරි ප්‍රියලාල්ව මුණ ගැහෙන්න කියලා..

ඒ මුණ ගැහීමෙන් පස්සේ කාන්ති නැතිවෙනකල්ම, සෑහෙන වතාවක් අපි දෙන්නා මුණ ගැහුනා.. ඒත් ප්‍රියලාල් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ… කාන්ති නැති වුනාම මම මළ ගෙදර ගියා… මට නොගිහින් බැරි වුනා … එදා ප්‍රියලාල්ව මුණ ගැහුනා….”

මන්දාරම් අම්මා වැළඳගත්තේය. වැඩිහිටි මිනිස්සුන්ගේ අමන තීරන නිසා ජීවිත කීයල නම් ගිණි ඇවිලී තිබෙන්නට ඇතිදැයි මන්දාරම් හඬමින්ම අම්මාගෙන් විමසුවේය. තාත්තාට ආදරේ කරන්නට තමන්ට නොහැකි වූ නමුත් ප්‍රියලාල් නමින් සිටින  සුලු පියාට ආදරේ කරන්නට තමාට හැකි බව පවසන විට දෙදෙනාම එකිනෙකා පරදාලන හඬකින් හඬමින් උන්නෝය.

තෙවන බියර් බෝතලය හිස් වන විට මන්දාරම් චානකට විස්තර කරමින් උන්නේ, කාන්තිගේ මළ ගෙදර ගිය අම්මාට ප්‍රියලාල් මුණ ගැසුණ බවය. චානක, වැකියක් පාසා හූල්ලමින් උන්නා මිසෙක කිසිවක් විමසන්නට තරම්වත් එඩිතර වූයේ නැත. එතෙක් කතාව ගලා ආ හැටියට අවසානයේ ඇති සත්‍ය කුමක්දැයි ඔහුට සිතාගන්නට වත් හැකි වූයේ නැත.

” කෝමහරි අම්මායි ප්‍රියලාල් මාමයි ටික ටික ක්ලෝස් වෙලා තියෙනවා.. එතනදී ප්‍රියලාල් මාමා අම්මට කියලා එයාගේ බාප්පලා ප්‍රියලාල් මාමාගේ මල්ලිවයි, නංගිවයි පදනම් කරලා මාව අතාරින්න කියලා තර්ජනය කල බව.එහෙම නැත්නම් ඒ දෙන්නව බේරන්න බැරි වේවි කියලා තර්ජනයම කරාලු …. ඒ වගේම දරුවා නැති වුන නිසා, ඒ වෙලෙදිම අම්මත් නැති වුනා කියලා අනෙක් අයට කියලා අම්මවත් මරලා දානවා කියලාත් තර්ජනය කරලා  …..ප්‍රියලාල් මාමා ආයේ කවදාවත් අම්මගේ ඇස් ඉස්සරහට නේන්න පොරොන්දු වෙලා සියඹලාණ්ඩුව  පැත්තේ යාලුවෙක්ගේ ගෙදර ගිහින් ..කාන්ති නැන්දා එහෙදි මුණ ගැහිලා තියෙන්නේ.. දෙන්නා එකට ඉඳන් ජීවිතේ ගොඩ දාගෙන  වෙලා කොලඹ ඇවිල්ලා.. ඔය ජිනේන්ද්‍රයා හම්බෙලා තියෙන්නේ සියඹලාණ්ඩුවේදිලු…’

කොහොම හරි, කාන්ති නැන්දා ගැන අම්මාගේ වගේම ප්‍රියලාල් මාමාගේ හිතෙත් පට්ට ආදරයක් තියෙන බව පේනවා..අම්මාම කියනවා ඒක..”

චානක ඒත් කිසිවක් විමසුවේ නැත. මන්දාරම් සිව් වැනි බියර් බෝතලයද අඩක් නිම කර තිබුනේය.

“.. අම්මා කියන විදියට අම්මගෙයි, ප්‍රියලාල් මාමාගෙයි හිත් වල තිබුන දේවල් ආයෙම එලි වැටෙන්න අරගෙන කල් යනකොට .. දෙන්නා මුණ ගැහිලා කතා බහ කරලා තියෙනවා…. මම රට උන්න දවස් වල අම්මා රට එන්න කලින් දෙන්නා එක ගෙදරක ඉඳලා .. පස්සේ ප්‍රියලාල් මාමා රේස් එකක ජජ් කරන්න ගිහින්  ඇක්සිඩන්ට් වෙලා වීල් චෙයාර් වැටුනහම අම්මා කෑම ජාති හදාගෙන එහෙ යන්න අරගෙන තියෙන්නේ.. එහෙම ගිය වතාවක තමා අම්මාගේ  ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ…”

” තව තියෙනවාද බං ..?”

චානක අවසානයේ ඇසුවේය. මන්දාරම් වියළි සිනහවක් පෑවේය.

” දැනට සාරාංශය එච්චරයි. අම්මාගේ ඇක්සිඩන්ට් එකට සීසීටීවී බලන්න මම ඒ ගෙදරටම ගියපු එක පට්ටම *& සීන් එක… හ්හ් … තේරෙන්නේ නෑ බං …”

” උඹ දැන් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ?…”

” හෙට ජිනේන්ද්‍රව හම්බෙලා, මේ කතාව සහසුද්දෙන් ඌට කියලා, උගේ තාත්තා ගැන උගේ හිතේ තියෙන අවුල ලිහලා දානවා .. ඉස්සෙල්ලාම ඒක …”

” ඊට පස්සේ ?..”

” ඒ හැමදේම මගේ පාලනයෙන් තොරව වේවි බං .. අම්මා වගේම ප්‍රියලාල් මාමා කියන්නේත් ස්වාධීන ජීවිත ….. අම්මයි මායි පවුලක් තමයි. ඒත්, මං වෙනුවෙන් අම්මා තව කොච්චර කල් ඔහොම විඳවන්නද ?… එයාට සැනසීමක් ලැබෙන්න ඕනි…”

” ඒත් බං ….”

” අනෙක් ඔක්කොම අමතක කරපං .. උඹයි, මායි, අර ජිනේන්ද්‍රයයි, අම්මයි, ප්‍රියලාල් මාමයි සාලේ කෑම මේසෙ වටේ වාඩි වෙලා ඉන්නවා මවා ගනින් … එතකොට මටයි , ඌටයි අපි දෙන්නාටම ආයෙම අම්මයි තාත්තයි දෙන්නාම ඉන්නවා…  උඹට නැන්දාට අමතරව බෝනස් ආර්කිටෙක්චර් ඇන්ඩ් රයිඩර් මාමා කෙනෙක් ලැබෙනවා… අම්මයි, ප්‍රියලාල් මාමයි, ඒගොල්ලොන්ට අහිමි වෙලා ගිය අවුරුදු තිහම වෙනුවෙන් ඉස්සරහ දවස් ටික  ජීවත් වෙනවා… ඇතිනේ බං …”

” මට තේරෙන්නේ නෑ උඹ කියන්නේ මොකක්ද කියලා බං …”

” හිතන්න එපා .. හොඳම දේ වෙයි ..”

” එතකොට උඹ අරකිටත් කියනවාද ?…”

 මන්දාරම් චානක දෙස බැලුවේය. ඔහු බලා උන්නේ මන්දාරම්ගේ පිළිතුර බලාපොරොත්තුවෙනි.

” නිම්නාවීට ?…”

” ඔව් ..”

” නැහැ… දැන්ම ඕනි නැහැ …”

චානක එයට එකඟ වන බැල්මක් සමඟ ඉන් පසුව එල්ලුනු විශ්මයාර්තී බැල්මක්ද පෙන්වූයේය.

” ඒකිට මෙහෙ ජොබ් එකක් සෙට් කරලා දීලා ඒකිව මෙහෙ තියාගන්නෝනි චානා …  ජොබ් එකක් හොයපං …”

” මොකක්ද උබ කියන්නේ ?..

චානක සිතුවේ මන්දාරම් වෙරි මතින් කියවනවාවිය යුතු බවය.

” නිම්නාවීට යන්න දෙන්න  බෑ චානා … ඒකි ගියොත් ආයේ එන එකක් නෑ .. මට මඟෑරගන්න බෑ..  මං ඒකිගේ කොලිෆිකේශන් ටික සෙට් කරගන්නම් ….උඹ මට වැඩේ කරලා දීපං…”

” උඹට පිස්සු හැදිලාද බං .. ඒ ආන්ටිව බලාගන්න එන නර්ස් …”

” ඉතින්, උඹමනේ කිව්වේ ඒකි ඊට වඩා දෙයක් තියෙන කෙනෙක් කියලා.. ඒක මොකක්ද කියලා අම්ං හොයාගන්නකල්, උඹ මම කියපු දේ කරපං ..”

” උබ සිහියෙන් නේද බං ඉන්නේ ?… මොනවද මේ කියන්නේ කියලා අවබෝධෙකින්ද ඉන්නේ ?…”

” ඔව් ..හොඳටම අවබෝධෙන් ඉන්නේ …..”

” ඒකි යකෝ …”

” ඒකි තමා බං කෙනා .. ඒකි තමා … මට නිම්නාවීව ඕනි චානා .”

මන්දාරම් අවසාන වචනය එය ලෙසින් කීවේය.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles