එකම එක හාදුවක් – 31

0
3572

“කලින් මං උන්නු කෙල්ලන්ව අයින් කරන එක මට ප්‍රශ්නයක් නෑ. ඒත් මට ඒ පිරිමි ළමයින්ව අමතක කරලා දාන්න බෑ ශාරා”

“ඇයි ඒ?”

“මොකද මට එහෙම කොල්ලො එක්ක සම්බන්ධයක් නැති හන්දා” කියා කියද්දි ආයෙම වතාවක් කාරෙක ඇතුලේ වාතාශ්‍රය පිරෙන්න වගේ මහ හයියෙන් හිනාවෙන ගමන් කිණ්ඩියට ශාර්වරී දිහා බැලුවේය.

“ඔයා නම් මහ මෝඩ කෙල්ලෙක්. මගේ අපාට්මන්ට් එකේ කොල්ලෙක් ඉන්නව දැක්ක හන්දා මම කොල්ලො එක්ක ඉන්නව කියල හිතනවද? අනික ඔය මම කලින් මගෙ පස්සෙන් ආව කෙල්ලෙක් අතෑරගන්න කියපු ඔය වගේබොරු තව දාහක් ඔයාට ඉස්සරහට ආරංචි වෙච්ච පුලුවන්. ඒ නිසා එහෙම දෙයක් ආරංචි උනාම ඒකට කලබල වෙලා රියැක්ට් කරන්න කලින් ඔයා මගෙන් ඒක අහන්න හරිද

ප්‍රොමිස් මම බොරු කියන්නෙවත්, රවට්ටන්නෙවත් නෑ. ඔයා මගෙන් මොන දේ ඇවිල්ලා ඇහුවත් මම පොරොන්දු වෙනවා මම ඒකට ඇත්තම කියනවා කියලා” 

“එතකොට ඔයා ඉස්සෙල්ලා ඇයි කිව්වෙ නෑ ඔයා එහෙම අහපු එක වැරදි නෑ. අනික ඒ කියපු කතාව බොරුවකුත් නෙවෙයි. ඒක ඇත්ත කියලා?”

“ආහ් ඒ පොඩ්ඩක් ඔයාව අවුස්සන්න හිතාගෙන මම එහෙම කිව්වෙ. ඒකෙන් හැබැයි පාඩුවක් උනේ නෑනෙ. මෙච්චර දවසක් මට ලොකු සීන් දාගෙන, අනේ මං ඔයා වගේ ජරා මිනිහෙක්ට කැමති නෑ කියල පෙන්නගෙන හිටියට එක්කෙනෙක් ඉඳල තියෙන්නෙ මට මාර ආදරේකින් කියල මට දැනගන්න ලැබුනෙ ඒ වගේ පොඩ්ඩක් බොරුවක් කරපු හන්දනෙ” කියා නෙවින්  ආයෙම වතාවක් කිණ්ඩි හිනාවක් තමන්ගේ දිහාවට පා කරන ගමන් ම කාරෙක ගෙදර වෙත යන කුඩා පාර අද්දර නතර කලේය. ඒත් ශාර්වරී උන්නේ වාහනෙන් බැහැලා ගෙදරට යන්න කලබලේක නොවේ.

“තමුසෙ මහ පිස්සෙක්” කියා ශාර්වරී කියද්දී නෙවින්ට ආයෙම වතාවක් හිනා ගියේය. තරහ ගිය වෙලාවටත් ලැජ්ජ හිතිච්ච වෙලාවටත් ශාර්වරීගේ කම්මුල් රතු වුණාම කොච්චර ලස්සන ද කියන එක නෙවින් මෙච්චර ලඟට දැක්කෙ අද පළමු වතාවටය.

“තමුසෙ?” 

“ඔව්”

“ආහ් එච්චර සීන් එකෙන් ද කතාකරන්නෙ දැන්? හරි හරි නෝන මහත්තයා දැන් යන්නකො ගෙදර රෑ වෙලානෙ. මං අල්ලගන්නම්කො ළඟදිම ඔය පුංචි කටෙන්” කියා නෙවින් ආදරේ වෑහෙන ඇස් වලින් බලාගෙන ඉද්දි ඒ නෙත් සැරය විඳගන්න බැරි තැනම ශාර්වරී දෙනෙත් පල්ලෙහට කරගෙන ගෙදර දිහාවට අඩිය තිබ්බාය. ඒ යන ගමනුත් හැරි බලපු අවස්තා දෙකකදීත් නෙවින් එතන කාරෙක නතර කරගෙන ඉන්නවා දැක්ක එක හිතට අරගෙන ආවේ මහ අමුතු හැඟීමක් බව එදා වඩා සුව පහසුව නිදාගන්න අතරවාරයේ ශාර්වරී කල්පනා කරාය.

එතැන් පටන් ඇරඹුණේ ආදරයේ හනිමූන් පීරියඩ් එක බව ශාර්වරීත් නෙවිනුත් දෙන්නාම පිළිගත්තේ එකසිතිනි. “නෙවින් වගේ කෙනෙක් එක්ක නිතරම එළිය පහළියෙ පේන්න යන එක නෙවින්ට ප්‍රශ්නයක්” කියා ශාර්වරීත් “මං ඒ කෙල්ල එක්ක එළියෙ පේන්න එහෙම යන එක පරණ කේස් එළියට එන්න හේතුවක්” වෙයි කියා නෙවින් ද හිතපු හන්දා ආදර කතාව වැඩිපුර කෙරුණේ දුරකතනය ඔස්සේය.

“මං ඔයාව වැඩිය හම්බුවෙන්න එන්නෙ නැති එකට ඔයා තරහද?” නෙවින් ඇහුවේ කලින් වැඩ ඉවර වෙච්ච දවසක රැයේ ශාර්වරී පාඩම් කරන අතරවාරයේ ගත් කෙටි දුරකතන ඇමතුමක් අතර වාරයේදිය. කොහොමත් පුංචි ගෙදර මේ කාමරේ ඉඳන් කතා කරන ඒව එහා පැත්තෙ මැහුම් කාමරේට අල්ලපු කාමරේ ඉන්න අම්මාට ඇහෙන හන්දා දුරකතනයෙන් උනත් කරන සංවාදයක් ශාර්වරීට කරන්න වුණේ හොරෙන් ය. 

“නෑ, ඔයා එහෙම එන්නෙ නැති එක හොඳයි” කියා ශාර්වරී කියද්දි නෙවින් පුදුම වුනේ ඒක ඉතින් මලාට කෙල්ලෙක් තමන්ගෙ කොල්ලට කියන්නෙ නැති දෙයක් හන්දාය. එක අතකින් බලද්දී තමන් කොල්ලෙක් නොවෙන අංකල් කෙනෙක් වෙන හන්දා ශාර්වරී එහෙම කිව්වද දන්නෙත් නැත.

“ඇයි එහෙම කිව්වෙ?” කියා නෙවින් ඇහුවේ හරියටම ඒකට උත්තරේ දැනගන්නය.

“නෑ ඔයා නිතරම මාත් එක්ක ආව ගියොත් මිනිස්සුන්ගෙ ඇස් වහ වදීවි. ඒ නිසා අපි මෙහෙම කතා කරමු”

“පිස්සු විකාරනෙ. එහෙම ඇස් වහ වැදුණා කියල ඔයා හිතන්නෙ මම ඔයාව අමතක කරලා දාවි කියලද?” කියා නෙවින් ඇහුවට ශාර්වරී ඒකට හරියාකාර උත්තරයක් දුන්නේ නැත.

“මං අහපු දේට උත්තරයක් නුදුන්නෙ හිතේ මං ගැන සැකයක් තියෙන හන්දා නේ?” කියා අහද්දී හීනියට විතර හිත පොඩ්ඩක් රිදුනත් තමන් වගේ අතීතයක් තියෙන මනුස්සයෙක් එක්ක යාලුවෙන මොන ජාතියේ කෙල්ලෙක් උනත් එක පයින් තමාව විශ්වාස කරන්න පෙළඹෙන්නෙ නැති බව දන්න හන්දා නෙවින් ඒ දුකට එතනින් එහාට පපුව උඩ පැතිරෙන්න ඉඩ හැදුවේ නැත.

“ඔයා එක පැත්තකින් ඉතින් එහෙම හිතන එකේ වරදක් නෑ. මං ගැන දැනගෙන මාත් එක්ක යාලුවෙන මොන කෙල්ලෙක්ට උනත් ඒ ප්‍රශ්නෙ ඇතිවෙන්න පුලුවන්නෙ. මං කොච්චර කිව්වත් මං ඔයාගෙ හිත රිද්දන්නෙ, ඔයාව දාලා යන්නෙ නෑ කියල ඒක මට ඇත්තක් කියල ඔප්පු කරගන්න පුලුවන් වෙන්නෙ මැරෙනකම් ඔයත් එක්ක ඉඳලා විතරනෙ. ඔයාට ඒක පිළිගන්න, තේරුම්ගන්න පුලුවන් වෙන්නෙ ඉතින් මාත් එක්ක ජීවත්වෙලා ඉඳලම තමයි. ඒ නිසා මම තරහා වෙන්නෙ නෑ ඔයා මං ගැන එහෙම හිතුවට”

“මට තියෙන්නෙ එහෙම ඔයා ගැන සැකයක් නෙවෙයි”

“එහෙනම්?”

“මට වෙලාවකට හිතාගන්න බෑ අපි දෙන්න අතරෙ සම්බන්ධයක් තියෙනවා කියන එක ඇත්තමද කියලා?”

“ඇයි ඒ?”

“මට ඔයාට ආදරේ කරන්න හේතු ගොඩක් තියෙනව. අඩුම ඔයාට හිතන්න පුලුවන් නෙ ඔයා හොඳ පෙනුම තියෙන, කොළඹ ඉන්න තැනක් තියෙන, සල්ලි තියෙන, ප්‍රසිද්ධ මනුස්සයෙක්. එහෙම එකේ මං වගේ කෙනෙක්ට ඔයා එක්ක යාලුවෙන්න හේතුවක් නැතිවෙන්න විදියක් නෑ. මට නෙවෙයි ඕනම කෙල්ලෙක්ට ඔයත් එක්ක යාලු වෙන්න හේතුවක් හදාගන්න එක හොයාගන්න එක මහ අමාරු දෙයක් නෙවෙයි. මං ඔයාට ආදරේ හන්දා මිසක් එහෙම වස්තුව දේපල බලාගෙන යාලු නොඋනට අපි ඕනම කෙනෙක් මුලින්ම තව කෙනෙක්ට ආකර්ෂණය වෙන්නෙ එයාගෙ පෙනුමටනෙ. මම උනත් මුලින්ම දැක්කෙ ඒකනෙ.

ඒත් ඔයාට ඇත්තටම හේතුවක් තියෙනවද මාත් එක්ක යාලුවෙන්න කියන එක මට ප්‍රශ්නයක් නෙවින් අයියෙ” කියා ශාර්වරී කියද්දී මුලින්ම ඒකට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියන එක හිතන්න පොඩි වෙලාවක් ගන්න හිතාගෙන නෙවින් මෙහෙම කිව්වේය.

“ඒ ප්‍රශ්නෙට දෙන්න ඕන උත්තරේ හිතාගන්නයි හදාගන්නයි මට පොඩි වෙලාවක් දෙන්න. එතකන් මෙන්න මේක පොඩ්ඩක් අහන්නකො. දැන් ඔයා මට නෙවින් අයියා කියලනෙ කතා කරේ. මම ආස නෑ ඔයා මට එහෙම කතා කරනවට. එක්කො අයියා කියන්න. එක්කො නෙවින් කියන්න. නෙවින් අයියා කියද්දි නිකන් ඔයා මගේ නෙවෙයි වගේ” කියා කියද්දිත් ශාර්වරී කරේ හීන් සැරේ හිනාවෙච්ච එකය. නෙවින් ඔය වගේ සූකිරි කතා කියන්නේ තමන්ගේ හිතේ යම් වේදනාවක් තියෙනම් ඒක නැති කර දමන්න බව දන්නවා උනත් “නෙවින්ට ඇත්තටම මට ආදරේ කරන්න හේතුවක් නැතුව එයා මාත් එක්ක යාලුවෙලා ඉන්නෙ මොනවා බලාපොරොත්තුවෙන්ද?” කියන ප්‍රශ්නෙ හිතේ වේදනාව තප්පරෙන් තප්පරේ අලුත් කරන්නට හේතු කාරණා විය. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නෙ නැතුව මේ සම්බන්ධෙ තව දුරටත් කරගෙන යන්න බැරි බව ශාර්වරී ඒ මොහොතේ හිතුවාය.

“දෙවනි ප්‍රශ්නෙට උත්තරේ තමයි මට ඇත්තටම හේතුවක් නෑ තමයි ඔයා එක්ක යාලුවෙන්න. ඔයා කිව්ව දේ ඇත්ත” නෙවින් කවදාවත් එහෙම කියාවි කියා බලාපොරොත්තු නොවිච්ච හිත ආයෙ අලුතෙන් රිදුණාය.

“එහෙනම් අපි මේ සම්බන්ධෙ නතර කරලා දාමු” කියා ශාර්වරී ඇමතුම කට් කර දුරකතනය විසන්ධි කලේ ඒ දුක නිසාවෙන්මය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here