වගවීම

අමන්දා පරිපාලන සේවා විවෘත විභාගය උසස් සාමාර්තයක් එක්ක සමත් වුණා. සීමාවාසික පුහුණු කාලයෙන් පස්සේ අමන්දාට පත්වීම් ලැබුණේ කොළඹින් දුර ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයක සහකාර ප්‍රාදේශීය ලේකම් විදියට වැඩ කරන්න. කොළඹින් සෑහෙන දුරක් වුනත්, පැය දෙක තුනෙන් ආපහු කොළඹ එන්න පුලුවන් තරමට දැන් ලංකාවේ ප්‍රවාහන සේවය දියුණු වෙලා තියෙන එක ගැන අමන්දාට ජීවිතේ පලවෙනි වතාවට අස්වැසිල්ලක් දැනුනා.

පලවෙනි දවසේ වැඩ භාරගන්න ගියාම, අමන්දාට නුහුරක් නොදැනුණා නෙවෙයි. ඒත් මේ සමාජය ඇතුලෙන් ජීවිතේට පන්නරය ගන්න අමන්දා තීරණය කරලා ඉවරයි. ප්‍රාදේශීය ලේකම්වරිය අමන්දාව පිළිඅරගෙන ඇගේ රාජකාරි වපසරිය ගැන යම් අවබෝධයක් ලබා දුන්නා.  දවසේ වැඩ අවසන් වුනාම අමන්දා අම්මලත් එක්කම ගිහින් ඇය කලින් දවසේ සොයාගෙන තිබුන නවාතැනේ නැවතුනා.

” ඔයාට මේක ලොකු අභියෝගයක් වේවි පුතේ .. ඒත් කැපවෙලා වැඩ කරන්න .. ඔයා ආස වුණ විදියේම විධායක නිළධාරියෙක් වෙන්න …”

විධායක ශ්‍රේණියේම  විශ්‍රාමික නිළධාරියෙක් වුන අමන්දාගේ තාත්තා අමන්දාට එහෙම කියලා පහුවෙනිදා උදෙන්ම අමන්දාගෙන් සමුගත්තා. ජීවිතේ පලවෙනි වතාවට අමන්දා ගෙදරින් සෑහෙන දුරක අලුත් පසක පැලවෙන්න  සූදානම්. අවුරුදු විසි නවයකට මේ ලැබුණ බර වැඩියි කියලා හිතෙනවා වුනත්, අමන්දා තීරණය කරලයි තිබුනේ තමන්ට හැකි උපරිමයෙන් මේ සියල්ල වෙනුවෙන් කැප වෙන්න,

” අලුත් මිස් නම් හරි හොඳයි .. කතා බහ කරලා ඕනි වැඩක් කරන්න පුලුවන් …”

” අලුත් මිස් එක්ක නම් බෑ…. හදිසියට එලියට ගියත් ඒකට හේතු කියන්න ඕනි…”

මාස දෙක තුනක් යනකොට අමන්දා ගැන ඔහොම කතා කියන දෙපිරිසක් හැදුණා. අමන්දා ඒ දෙපිරිසම ගැන උපේක්ෂාවෙන් කටයුතු කලා. ඒත් ඇය අමතක කලේ නැහැ, රාජ්‍ය නිළධාරින් විදියට තමන්ට තියෙන වගකිම අනිවායෙන්ම ඉටු කරන්න නිළධාරින් සියලුම දෙනා බැඳිලා ඉන්න බව.

අමන්දා කෙටි නිවාඩුවක් අරගෙන කාර්‍යාලයෙන් පිටතට යන්න ආවේ සිකුරාදා නිසා වේලාසන ගෙදර යන්න පිටත් වෙන්න. එතකොට තමයි අමන්දා දැක්කේ කාර්‍යාලයේ පිවිසුම්  ගේට්ටුව ලඟ අවුරුද්දක විතර දරුවෙකුත් වඩාගෙන ඉන්න තරුණියක් සහ තරුණයෙක්. අමන්දා මද වෙලාවක් නැවතිලා ඔවුන් දිහාව බලාගෙන  හිටියා. ඔවුන් යම් කාරණාවක් ගැන කතා බස් කරමින් උන්න බව අමන්දාට වැටහූනා. මෙවෙලේ ඔවුන්ගෙන් ඒ ගැන විමසන එක යුතු නොවේද කියන සැකෙත් හිතේ තියෙද්දීම අමන්දා ඔවුන්ට ලං වුණා.

” මොකක් හරි ප්‍රශ්නයක්ද ?…”

අමන්දා ඇහුවේ පොදුවේ දෙන්නාගෙන්ම. අමන්දා කියන්නේ ඒ කාර්‍යාලයේ දෙවෙනි වගකීම් සහිත නිළධාරිනිය බව නොදන්න තරුණිය ඇගේ දුක් ගැනවිල්ල ඇයට කිව්වා.

” අපි මේ මෙයාලාගේ ආචිචි  අම්මාගේ අස්වැසුම දීමනාවේ බැංකු පොතේ අංකේ වැරදිලා ඒක හදලා යන්න ආවේ  නෝනා.. අපි මෙහෙන් සෑහෙන දුර… මේ දරුවා දාලා එන්න කෙනෙක් නැතුවට බයික් එකකට තෙල් ගහගෙන දරුවාත් එක්කම ආවේ …. මෙයාගේ අම්මයි, තාත්තයි දෙන්නම නෑ..ආච්චි තමයි මෙයාලාව බලාගෙන තියෙන්නේ.. අපි පුලුවන් විදියට ආච්චිව බලාගන්නවා..ඉන්නේ අපේ ගෙදරමයි … ආච්චිගේ  බෙහෙත් වලට තමයි අස්වැසුමේ සල්ලි ඕනි … ගිය මාසෙත් සල්ලි වැටිලා තිබුනේ නැ .. මගේ කරාබු දෙක උකස් කරලා බෙහෙත් ගත්තේ … දැන් මේ මාසෙත් සල්ලි නෑ .. ඇවිල්ලා බැලුවම තමයි , අංකේ වැරදිලා කියලා දැක්කේ…”

අමන්දා කතාවට සවන් දුන්නා. ඇයට වැටහුනේ නැහැ තවමත් ඇයට මේ වෙනුවෙන් කල හැකි දේ.

” ඔව් ..ඉතින්…”

” ඒ සම්බන්ධව බලන මිස් අද නැහැලු .. හෙටත් ඒවිද කියන්න බැරිලු .. ටෙලිපෝන් අංකෙකුත් නැතිලු … අපිට කියනවා සඳුදා එන්න කියලා… මෙයැයි අදත් වැඩපළෙන් නිවාසු අරන් ආවේ නෝනා .. දැන් ආයේ සඳුදාත් නිවාඩු ගන්න බැරි වේවි .. මට තනියෙන් එන්නත් දන්නේ නෑ .. අනෙක මේ දරුවා එක්ක …”

අමන්දා ගැඹුරු හුස්මක් ගත්තා. ඇගේ නිවාඩුව මොහොතකට අමතක කලා.

” හරි .. ඇවිල්ලා අර ඇතුලෙන් ඉඳගන්නකෝ .. මම බලලා කතා කරන්නම්..”

ඔවුන් දෙදෙනාගේම මුහුණු වලට වැටුණ එලිය අමන්දා දැක්කා. අමන්දා කෙලින්ම ගියේ අදාල කටයුතු කෙරෙන අංශයට. අමන්දාව දැකපු නිළධාරින් ඇය පවසන්න යන දේ දැනගන්න බලාගෙන උන්නා.

” කෝ අද දිලීපා මිස් . එයා නේද අස්වැසුම සබ්ජෙක්ට් එක කරන්නේ ?…”

අමන්දා එහෙම අහනකොට කිහිප දෙනෙක් එකිනෙකාගේ මුහුනු බලාගන්නවා අමන්දා දැක්කා. ඒත් කිසිම කෙනෙක්  කිසිවක් කිව්වේ නෑ.

අමන්දා බැහැර යෑමේ ලේඛනය අරගෙන පරික්ෂා කලා.

” එළියට යන බවක් ලියලා නෑනේ.. මට  මතක විදියට අද උදේ හිටියා… නිවාඩු ඇපෲ කරගත්ත බවක් මතකත් නෑ …”

අමන්දා එහෙම කියද්දී කිහිප දෙනෙක් මුහුණු වල බැරෑරුම් පෙනුම් හදාගත්තා.

” කෝල් එකක් ගන්න බලන්න ..”

අමන්දා එහෙම කියද්දී දෙන්නෙක් විතර ජංගම දුරකතන අතට ගත්තා. ඒත් ඇමතුමට ඇය සම්බන්ධ නොවෙන බව කිව්වා.

” මෙතන වැරදි කොච්චරක්ද කියලා ඔයාලාට තේරෙනවාද ?…  දිලීපා මිස් රාජකාරි වෙලාවේ සීට් එකේ නෑ .. එයා හදිසි නිවාඩුවක් හරි දාලා ගෙදර ගිහින් නම් ඒ බවට සඳහනකුත් නෑ.. ඒ වගේම බැහැර ගිය බවට සටහනකුත් නෑ… මහ දුරක් ගෙවාගෙන තමන්ගේ පවුලේ ඉන්න වයසකම මනුස්සයාගේ ගිණුම් අංකය නිවැරදි කරගන්න ආව මිනිස්සුන්ට තග දාලා ඕගොල්ලෝ ඔහේ නිකන් ඉන්නවා… හොඳයි, දිලීපා මිස් ඉතාම හදිසියකට එලියට ගිහින් කියමු .. දිලීපා මිස්ගේ රාජකාරි ආවරණය කරන කෙනා මෙතන ඉන්න ඕනි නේද ?… ඒ මිනිස්සු මේ රාජ්‍ය ආයතන වල පටිපාටිය නොදන්න නිසාද ඕගොල්ලෝ අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන්නේ ?..”

අමන්දා කෝපයෙන් ඇහුවා. කිසිම කෙනෙක් වචනයක්වත් නොකියා ඇය දිහාව බලාගෙන හිටියා.

” මම වයසින් ඔය හැමෝටම වඩා අඩු ඇති .. සර්විස් එක අතිනුත් ඔයාලා තරම් නැතුව ඇති .. ඒත් මට ඔය ගොල්ලෝ ගැමෝමට වැඩියෙන් මේ රටේ මිනිස්සු ගැන, මේ රාජ්‍ය සේවය ගැන හැඟීමක් තියෙනවා… ඔයාලා වැඩ කරත් නැතත් ඔයාලට පඩි වැටෙනවා තමයි .. ඒත් ඒ පඩිය ඔයාලය දෙන්න මේ රටේ මිනිස්සු කී දෙනෙක් නම් උදේ හවස වැඩ කරනවාද කියලා හිතලා  තියෙනවාද ?.. ඒ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්, ඒ මිනිස්සුන්ටම හයිකාරකම් පෙන්වන්න පුලුවන්ද ඔයාලට …”

අමන්දා අන්තිමේදී එහෙම ඇහුවේ පහත් හඬකින්.

” සමාවෙන්න පොඩි මිස් .. මම ඒ වැඩේ බලලා කරන්නම් ..”

එක නිලධාරියෙක් එහෙම කියලා නැගිට්ටා.  අමන්දා හිස සැලුවා. ඒ නිලධාරියා තරුණ යුවලව කාර්‍යාලයේ අදාල කවුන්ටරය අසලට ගෙන්වගෙන වැඩේ ඉවර කරන විදිය අමන්දා බලාගෙන උන්නා. විනාඩි කිහිපයකින් ඒ වැඩේ ඉවර වෙලා ඔවුන් අමන්දාට නොසෑහෙන්න ස්තූතිවන්ත වෙලා නික්මුනා.

” තමන්ගේ වගකීම වෙනුවෙන් වග වෙන්න .. එතකොට ජීවිතේ හරි සැහැල්ලු වෙනවා… ජීවිතේ ඉස්සරහටම යනවා…”

මඟ හැරුණු අධිවේගී බසය වෙනුවට ඊළඟ බසය තියෙන වෙලාව ගැන හිතන ගමන් අමන්දා කාර්‍යාලයෙන් පිට වුනා. බසය මඟ හැරුනත්, රාජකාරිය මඟ නොහැරෙන්න තරමේ වගවීමක් නිලධාරින් කිහිප දෙනෙකුට හරි ඇති වෙන්න ඇති කියලා ඇයට හිතුණා.

අපේක්ෂා ගුණරත්න. 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles