දිසාපාමොක්

පාටලීගේ පලවෙනි පත්වීමම දුෂ්කර සේවයට වුන එක ගැන අම්මලා හිටියේ හිත් හොඳ නැතුව. තාත්තාට තිබුණ සම්බන්ධතා වලින් පාටලීගේ පත්වීම හම්බන්තොට නගරයේ පාසැලකට හදලා දෙන්න පුලුවන්කම තිබුණත් පාටලීගේ තීරණය වුණේ මුල් අවුරුදු පහ පත්වීම ලැබුන පාසලේම සේවය කරන්න. ඒක වෘත්තීයමය බවට එහ ගිය වගකීමක් ගානට පාටලීගේ හිතට දැනුණා. 

පාටලීගේ පස් අවුරුදු ප්‍රේමයේ හිමිකාරයා වුන අචින්තත් පාටලීගේ තීරණේ එක්කම හිටිය නිසා පාඨලි තව ධෛර්යමත් වුණා. ලුණුගම්වෙහෙර නගරයේ ඉඳන් කිලෝමීටර් පහලොවක් විතර ඈතින් තිබුණ පාසලක  ඉංග්‍රීසි ගුරුවරිය විදියට  පාටලී පත්වීම බාරගන්නේ ඒ විදියට. 

පාසැලේ විදුහල්පතිනිය ඒ ගමේම කෙනෙක් වුණ නිසා පාටලීට ඇගේ නිවසේම කාමරයක නවාතැන් ලැබුණා. පාසැලේ ඟුරු මණ්ඩලයේ පාටලී ඇරුණම තව ගුරුවරුන් හතර දෙනෙක් හිටියේ. ඒ හැමෝම දුෂ්කර සේවය අවසන් වෙනකල් මේ පාසැල වෙනුවෙන් කැප වෙන්න තීරණය කරලා තිබුණ අය. 

ඉස්කොලේට ඉංග්‍රීසි ගුරුවරියක් ඇවිල්ලා තිබුණේ අවුරුදු හතරකට විතර පස්සේ වුණ නිසා පාටලී එක්ක ඒ හැමෝම ඉක්මනින් කුළුපග වුණා. එක ශ්‍රේණියේ ඉඳන් පහ ශ්‍රේණිය වෙනකල් පන්ති පහේ උන්න පොඩ්ඩෝ සීයම පාටලීගේ වගකීම් වත්කම් ගොඩට වැටුණා. 

ඉංග්‍රීසි කියන්නේ මොකක්ද කියලාවත් හරි අවබෝධයක් නැති පොඩ්ඩෝ තමා වැඩිපුරම හිටියේ. හතර පහ ශ්‍රේණි වල දරුවන්ට නම් පන්තිභාර ගුරුවරුන්ම ප්‍රශ්න පත්‍ර වෙනුවෙන් යම් ඉගැන්වීම් කරලා තිබුනත් සම්පූර්ණ ඉංග්‍රීසි හෝඩිය දැනගෙන උන්න දරුවෝ උන්නෙත් කිහිප දෙනයි.

පාඨලි ඉස්සෙල්ලම කලේ විදුහල්පතිනිය මුණ ගැහිලා මේ ගැන කතා කරපු එක. ඊට පස්සේ අනෙක් ගුරුවරු එක්කත් කතා කලා. 

“හැමදාම උදේට පැය භාගයක් මුලු ඉස්කෝලේම ළමයි මට දෙන්න .. ඉස්සෙල්ලාම අපි ඉංග්‍රීසි හෝඩිය උගන්නලා ඉමු… දවස් විසි හයකින් අපි ඒ ඉලක්කේට යන්නෝනි… දවසට අකුරක් ගානේ…දවස් විසි හයට….ඔයාලා හැමෝම උදව් කරනවද මට ?”

පාටලීට උදව් කරන්න විදුහල්පතිනිය වගේම අනෙක් ගුරුවරුත් එක පයින්ම එකතු වුණා.  පැය බාගේ වෙනුවට පැයක්ම වෙන් කලා. පොඩි උන් ඉංග්‍රීසි අකුරු එක්ක හරි හරියට පැටලුණා. 

දවස් විසි හයේ ඉලක්කය සැලසුම් කලාට වඩා වැඩි සාර්ථක ප්‍රතිඵල එක්කයි ඉවර වුනේ. පාටලී දවසින් දවස සැලසුම් වෙනස් කරමින්, අනෙක් අයගේ යෝජනා මුහු කරගනිමින් ලුණුගම්වෙහෙර පුංචි පැටවුන්ට ලෝකේට යන පාරවල් හදන එක වෙනුවෙන් වෙහෙසුණා. 

මාසේ දෙක තුන ගෙවිලා  ගියා. පෙළ පොත් වල ඉංග්‍රීසි වචන මහ සද්දේට කියවන පොඩ්ඩොන්ගේ හඬෙන් ඉස්කෝලේ වටපිටාව පිරුණා. පහ වසරේ පොඩ්ඩො විසි දෙනාම  ඉස්කෝලෙන් අයින් උනා. ඒ හැමොම ලකුණු සීයට වැඩියෙන් අරගෙන විභාගය සමත් වෙලා තිබුණත් අවශ්‍ය පරිසාධන ලකුණු මට්ටමට ලඟා වෙලා තිබුනේ නම් නැ.

“අනේ ටීචර්.. ලොකු ඉස්කෝලේත් ඉංග්‍රීසි වලට ටීචර් කෙනෙක් නෑලූ.. ඒ ටීචර් මාරු වෙලා….”

පොඩි උන් පාටලීට නෝක්කාඩු කියන එකේ ඉවරයක් තිබුනේ නැහැ. පාටලීට ඒ වෙනුවෙන් උත්තරයක් තිබුනෙත් නැහැ. 

“අපිට මේ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැද්ද මැඩම්…”

අන්තිමේදී පාටලී විදුහල්පතිනිය හමුවුණා. විදුහල්පතිනිය පාටලී එක්ක කලාප කාර්‍යාලයට ගියා.කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා හමුවුණා. ලොකු ඉස්කෝලේ වෙනුවෙන් පාටලීට දින දෙකක අනියුක්තයක් වෙන් වුණා. පාටලී හවස තුන වෙනකල් පැකිලීමක් නැතුවම වැඩ කලා. පාටලීගේ උදව්වට රැකියාවෙන් එහා සේවයක් වෙනුවෙන් කැප වෙලා උන්නු ගුරුවරු කිහිප දෙනෙක්ම හිටියා. 

අවුරුදු පහකට පස්සේ, අද පාටලී ලුණුගම්වෙහෙර අහසට සමුදෙනවා. කලාප, පළාත්, සමස්ත ලංකා වගේම විවිධ මාධ්‍ය ආයතන වලින් සංවිධානය කල තරඟ වලින් ඉංග්‍රීසි මාධ්‍ය ලුණුගම්වෙහෙර ඉස්කෝලේ දරුවන්ට  ජයග්‍රහණ එක පිට ලැබුණා. පාසැල් නාට්‍ය තරඟයේ ඉංග්‍රීසි මාධ්‍ය දෙවෙනි ස්ථානය හිමිවීමත් එක්ක ඔවුන්ට ලැබුණ අවධානය අතිශය ඉහළ ගියා.

පාටලීගේ මාරුවීම එක්ක, අලුත් ඟුරු පත්වීමක් ස්ථාවර වෙනකල්  ලුණුගම්වෙහෙර දරුවන්ට සූම් තාක්ෂණය ඔස්සේ ඉංග්‍රීසි භාෂාව සමීප කරන්න ඉදිරිපත් වෙලා උන්න ගුරුවරු කිහිපදෙනෙක්ම හිටියා. ඔවුන්ම ඒ වෙනුවෙන් පහසුකම් තියෙන පන්ති කාමරයක් සකසලා උපකරණ ගෙනල්ලා සවි කලා.  දරුවෝ වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා කඳවුරු සංවිධානය කෙරුණා. ලුණුගම්වෙහෙරින් පටන් ගත්ත වෙනස හම්බන්තොට දුෂ්කර යැයි සැලකුණු පාසැල් කිහිපයකටම බෝ වෙලා තිබුණා. මාරුවීම් හදා නොගෙන දරුවෝ වෙනුවෙන් අවුරුදු කිහිපයක් කැප වෙන ගුරුවරු ඒ පාසැල්වලත් නැවතුණා. 

පාටලී ආපහු පාරක් හැරිලා බැලුවා. පොඩි උන් ගේ ජීවිත වලට වැටෙන්න නියමිත එලිය පාටලීට පෙණුනා. මහා වෙනසක් වෙනුවෙන් පුංචි තීරණයක් බලපාන විදිය පාටලී තේරුම්ගත්තා. ගුරු වෘත්තීය කියන්නේ තවත් එක් රැකියාවක් විතරක් වුණාට, ඉන් එහා වගකීමක් පටවගෙන වැඩ කරන මිනිස්සු නිසා ලෝකේ ලස්සන වෙන හැටි පාටලී තේරුම් ගත්තා. 

දිසාපාමොක් ඇඳුරු පරම්පරා වල ඉවරයක් නොවෙන්නේ එහෙම මිනිස්සු නිසා.

ජීවිතේ ලස්සන පාට තැවරෙන් වෙනස කරපු ගුරුතුමන්ලා,ගුරුතුමියන්ලා වෙනුවෙන් කතාව බෙදා හදාගන්න අමතක කරන්නෙපා..!!

| අපේක්ශා ගුණරත්න |

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles