සන්නාලි

“දුශේනිගේ අම්මා ගාර්මන්ට්  එකක මහන්න යනවලු … “

ඔය ආරංචිය පන්තිය පුරා පැතිරිලා ගිහින් තිබුණේ හය වසරේ  පන්ති රැස්වීමෙන් පස්සේ. දුශේනි පන්තියේ පලවෙනියා වීම ගැන ඉරිසියාවෙන් උන්න පන්තියේ ළමයෙක්ගේ අම්මා කෙනෙක්ම තමයි ඒ ආරංචිය පන්තියට  එවලා තිබුණේ. පලවෙනි දවසේ එහෙන් මෙහෙන් කසු කුසු ඇහුනට දුශේනිට ඒක වැටහුනේ නැහැ. ඒත් පහුවෙනිදා දුශේනිට හැමදේම වැටහුනා. දවස් කිහිපයල් මේක දරාගෙන උන්නත්, ඉන් එහාට දුශේනිගේ ඉවසීම ණැති වුනා. දුශේනිගේ පොඩි හිතට මේ කතන්දර ගලපා ගනන්  බැරි වුණා. අම්මා ගැන දරාගන්න බැරි කෝපයක් එක්ක තමයි දුශේනි එදා ගෙදර ගියේ.

පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය උසස්ම විදියට සමත් වුන නිසා දුශේනිට නගරයේ බාලිකා පාසැලකට යන්න අවස්තාව ලැබුනා. තමන්ගේ ජීවිතේට අධ්‍යාපනයෙන් ලැබෙන තටු අහිමි වුනාට , තමන්ගේ දරුවාට එහෙම වෙන්න දෙන්නේ නෑ කියලා දුශේනිගේ අම්මා තීරණය කරලා තිබුනේ. ඒ නිසාම අම්මා පුලුවන් උපරිම තරම් දේවල් කරමින් උන්නේ.

දුශේනි ගෙදර ඇවිල්ලා අත්තම්මාටත් මුහුණ නොදීම උන්නේ. අම්මා  ගාර්මන්ට් එකක රෙදි මහන්න යෑම තුළ තමන් කොයි තරම් නම් අපහසුවකට පත් වෙනවාද කියන කාරණේ විතරමයි දුශේනිට වැටහුණේ.  රිය අනතුරකින් ආබාධිත වෙලා, සදාකාලිකවම අබ්බගාත වුන තාත්තාවත් බලාගෙන අම්මා කරන කැප කිරීම දුශේනිට වැටහුනේ නැහැ.

” කෙල්ල ඉස්කෝලේ ඉඳලා ආවේම මූණ නරක් කරගෙන .. මොකෝ දන්නේ නෑ …”

අත්තම්මා දුශේනිගේ අම්මා ගෙදරට එනකොටම එහෙම කිව්වා. අම්මා දුශේනිව හොයාගෙන ගියේ හිතත් ගැස්සිලා තියෙද්දී.

” ඇයි පුතේ ..”

දුශේනි හිටියේ ඇඳේ ගුලිවෙලා. අම්මාගේ හඬ ඇහුනත් දුශේනි හැරිලාවත් බැලුවේ නැහැ. අම්මා දුශේනි ලඟින් ඉඳගත්තා.

” ඇයි පුතේ ?.. ඉස්කෝලේ මොකක් හරි ප්‍රශ්නයක්ද ?..”

” ඔව් …”

දුශේනි මහ සද්දේට එහෙම කියාගෙන අනෙක් පැත්ත හැරිලා ඉඳගත්තා. අම්මා දුශේනි දිහා බලාගෙන හිටියේ පුදුමෙන්.

” ඇයි .. ඇයි පුතේ …?”

අම්මා හිතේ කලබලයෙන් අහනකොට, අත්තම්මාත් ඇවිල්ලා දොරෙන් එබෙනවා දුශේනි දැක්කා. දුශේනිට අත්තම්මා එක්කත් දැනුනේ කෝපයක්.

” මට ඒ ඉස්කෝලේ යන්න බෑ …”

දුශේනි එහෙම කියනකොට අම්මා පපුවත් අල්ලගෙන ඒ දිහාව බලාගෙන හිටියේ. බාලිකා ජාතික පාසැලට දුශේනිව ඇතුලත් කරගන්න බව කියලා ලියුම ආව දිනය සිහි වෙලා ඇස් වල කඳුලුත් පිරුණා.

” ඇයි … ඇයි පුතේ..?..”

” මට බෑ ..බෑ කිව්වාම බෑ ..”

දුශේනි මහ සද්දෙන් කෑ ගැහුවා.

” අනේ මගේ රත්තරන් පුතේ .. අම්මට කියන්නකෝ මොකක්ද වුනේ කියලා?.. අම්මා ඉස්කෝලේට ඇවිල්ලා ටීචර්ට කතා කරන්නද ?.. නැත්නම් අත්තම්මාට එන්න කියන්නද ?..”

අම්මා එහෙම අහනකොට දුශේනි තව තරහ ගත්තා.

” එපා එපා .. කවුරුත් එන්න ඕනි නෑ.. ඔයා දෙමාපිය රැස්වීමට ඇවිල්ලා ගාර්මන්ට් යනවා කියලා ජොබ් එක ඇහුවම …”

” ඔව් පුතේ ඉතින් .. අම්මා ගාර්මන්ට් නේ යන්නේ …”

” ඔව් ඔව් ඉතින් .. ඒ ඉස්කෝලේ ලමයි ඔක්කොමලාගේ අම්මලා ඩොක්ටර්ස්ලා, ටීචර්ස්ලා, එක්කෝ ලොකු වාහන වලින් යන්නේ එන්නේ, ඔයා විතර්‍යෛ ගාර්මන්ට්, අත්තම්මා පොලේ බඩු විකුනන්නේ …. ඔයාලා හින්දා පන්තියේ ළමයි මට හිනා වෙනවා…. ගාර්මන්ට් එකේ රෙදි මහන එක්කෙනාගේ ළමයා කියලා කිව්වා මට … ඒගොල්ලෝ දැන් මා එක්ක සෙල්ලම් කරන්නේත් නෑ.. මාව අන්තිම පේලියට දාන්න කතා වෙනවා මම අහගෙන…  ඒගොල්ලෝ මාත් එක්ක කැන්ටින් යන්න එන්නේත් නෑ.. මට ඒගොල්ලෝ හොරෙන් හිනාවෙනවා… මට ඇති වෙලා තියෙන්නේ .. මං යන්නේ නෑ ඉස්කොලේ ආයේ …”

අම්මා අඬන්න ගත්තා. අත්තම්මාත් කුස්සියට ගිහිල්ලා අඬන්න ගත්තා. මේ කතාව අහගෙන උන්න දුශේනිගේ තාත්තා අම්මට කතා කලා.

” මං මොකක්ද මහත්තයෝ කරන්නේ ?…”

අම්මා අඬ අඬා එහෙම අහනකොට දුශේනිගේ තාත්තත් අසරණ වුනා. පහුවෙනිදා දුශේනි ඉස්කෝලේ යවාගන්න කිසිම කෙනෙක්ට පුලුවන් වුනේ නැහැ. ගාර්මන්ට් එකේ කලමණාකාරතුමාට සිද්දිය කියලා දුශේනිගේ අම්මා ඉස්කෝලේට ගිහින්  පන්තිභාර ගුරුතුමියව මුණ ගැහුණා. ගුරුතුමිය අම්මාගේ හිත හැදුවා.

” අම්මා කලබල වෙන්න එපා.. මේ ළමයි එක එක සමාජ තල වල ඉඳලා මේ සමාජේට බහින ගමන් නේ ඉන්නේ … ඔහොම තමයි .. අනෙක් එක එතන රැස්වීමේ උන්න අම්මා කෙනෙක් තමයි මේ කතාව දරුවන්ට කියලා, මෙතන දුශේනිව අපහසුවට පත් කරලා තියෙනේ.. මම ඒ ඔක්කොම බලාගන්නම් .. මම ගෙදරට ඇවිල්ලා හරි දුශේනිට කතා කරන්නම් …”

ගුරුතුමිය අම්මාලා කිහිප දෙනෙක්ට කතා කරලා හවස හමුවක් යොදාගත්තා.

” ඔයගොල්ලෝ හැමෝම දන්නවා අධ්‍යාපනය කියන්නේ දරුවන්ට ලෝකේ දකින්න තියෙන අවස්තාව .. ඒත් ඔයාලා කවුරුම හරි හරිම ආත්මාර්තකාමී විදියට වැඩ කරලා තියෙනවා කියලා මට පැහැදිලියි …. දුශේනිගේ අම්මා  ගාර්මන්ට් ගිහින් සල්ලි හොයනවා කියන එක ඒ ළමයාව පන්තියේ කොන් කරන්න අවස්තාවක් හදන විදියට දරුවන්ව පොළඹවන්න ඇත්තේ අනිවාර්යෙන්ම ඕගොල්ලෝ. මේක කොයි තරම් නිවැරදිද කියලා ඔයාලාම හිතලා ළමයින්ට පැහැදිලි කරලා දෙන්න …”

දුශේනි එක්ක තරහට ඒ කතාව පැතිරෙන්න දුන්න සමාධිගේ අම්මා කිසිම දෙයක් නොකියාම අහගෙන හිටියා. තමන්ගේ අම්මා තමන්ටයි, මල්ලිටයි උගන්නන ගෙවල් වල වැඩට ගිය අතීතේ මතක් වුනා.

” පුතේ … අම්මලා දරුවෝ වෙනුවෙන් ඕනෑ තරම් කැප කිරීම් කරනවා… දුශේනිගේ තාත්තා පැරලයිස් වෙලාලු ඉන්නේ.. ඉතින් ඒ අංකල්ට ජොබ් එකක් කරන්න බෑලු .. ඒ නිසා දුශේනිගේ අම්මා තමයි ඒ පවුලම බලාගන්නේ .. ඒක ලේසි වැඩක් නෙවෙයි නේ ..එහෙම වෙලත් ඒ අම්මා උදේ හවස වෙහෙසිලා  මැශින් එක්ක හැප්පිලා එහෙම සල්ලි හොයන්නේ දුශේනිට හොඳට උගන්නන .. ඉතින් අපි ඒ දෙන්නාටම වැඩිපුර ආදරේ වෙන්න ඕනි ..”

” ඉතින් අම්මා කිව්වේ ගාර්මන්ට් යන අයගේ ළමයි එක්ක ආශ්‍රයක් ඕනි නෑ කියලා..”

සමාධි ඇහුවා.

“අම්මාටත් වැරදුනානේ පුතේ…ටීචර් තමයි අම්මටත් කියලා දුන්නේ….”

අම්මා පැකිලීමක් නැතුවම කිව්වා. සමාධි ඒක වටහාගෙන පහුවෙනිදා පන්තියේ ළමයිනට ඒක පැහැදිලි කරන විදිය ගුරුතුමිය අහගෙන උන්නේ සතුටින්.

ගුරුතුමිය පහුවෙනිදාම  ගිහින් දුශේනිට කතා කරලා හැමදේම පැහැදිලි කරලා දුන්නා. දුශේනි අම්මාව බඳාගෙන ඇඬුවා. අත්තම්මාව බඳාගෙනත් ඇඬුවා. ඊට පස්සේ තාත්තාගේ ඇඳේ එක පැත්තට වෙලා වාඩි වෙලා උන්නා.

” අම්මාගේ හිත රිද්දන්න එපා පුතේ කවදාවත්, අම්මා ඔයා වෙනුවෙන් එයාගේ ජීවිතේම වුනත් දේවි …. අම්මා ගාර්මන්ට් ගිහිල්ලා ඇවිල්ලා කකුල් අමාරුවට තෙල් ගාගන්නවා එහෙම දැක්කොත් පුතාට අම්මා විඳින දුක තේරෙවි .. ඒ හැමදේම අපි දෙන්න වෙනුවෙන් නේ පුතේ …”

දුශේනි තාත්තා වගේම ගුරුතුමිය කියපු දේත් වටහාගෙන, අම්මා ගැන තව ආදරෙන් පිරුනා.

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles