ජීවිත අවබෝධය

 මධුර ගෙවන ජීවිතේ එක්ක තමන්ට පෑහෙන්න බැරි බව වටහාගත්තට පස්සේ සඳමාලි තීරණය කලා මධුරගෙන් ඈත් වෙන්න. සිතුවිලි වලට වහල් වෙලා මේ වෙලාවේ කටයුතු කලොත් අනාගතයේ දෙන්නාගේම ජීවිත වල පැටලීමක්ම විතරක් ඉතුරු වෙන බවත් සඳමාලි තේරුම් ගත්තා. ඒ ගැන කිහිප වතාවක්ම මධුර එක්ක කතා කරන්න ඇය උත්සාහ කලා.

” මං මේ කියන එක ඇයි ඔයා තේරුම් නොගන්නේ මධුර ?…”

සඳමාලි අවසානේදි මධුරව බලෙන්ම කතා බහකට නතු කරගන්න හිතාගෙන හවස් වරුවක අවන්හලක හමු වුනා.

” ඔයා ආයේ ආයේ එකම කතාව කියන එකේ තේරුමක් නෑ සඳා … කියන්න තියෙනවා නම් වෙන කතාවක් කියන්න මම අහගෙන ඉන්නම් … එකම කතාව නම් ආයේ ආයේ කියන්න එපා.. මට ඒක අහන්න ඕනිත් නෑ .. ඒ වගේමයි මට ඒ ගැන කියන්න තියෙන දේවල් මම කියලයි තියෙන්නේ ..”

” ඔයා එහෙම කිව්වාට මේක අපි හිතන තරම් ලේසි වෙන්නේ නෑ ..ඔයා බිස්නස් ගෲප් එකක එකම පුතා .. මම සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක ලොකු දුව ….  මට වගකීම් ගොඩක් තියෙනවා… මම බලා කියාගන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා…. මට ඔයාලාගේ අම්මලා බලාපොරොත්තු වෙන වත් පොහොසත්කම්වත්, සමාජ තත්වේවත් අරගෙන එන්න පුලුවන්කමක් නෑ … එතන මං හින්දා මහ ප්‍රශ්නයක් ඇති වෙන්නේ …”

” මං ඔයාට ආදරෙයි කියනකොට ඔයා ඔය මුකුත් නොදැනම මට අකමැති වුනා… පස්සේ හෙමි හෙමින් ඔයාම මට ලං වුණා.. දැන් ඔයාම ආයේ යන්න ඕනි කියනවා… මොකක්ද සඳා ?…”

” මම ඔයාට අකමැති බව පෙන්නුවේ බොරුවට බව මම කියලා තියෙනවානේ. ඒත් මේ අකමැති වීමක් නෙවෙයි මධුර .. මම කියන්නේ යතාර්තය .. අපේ අම්මලා වුනත් කොච්චර නම් අපහසුවකට හෙලෙනවද අපේ මේ තීරණේ නිසා…”

සඳමාලි හිත අඬ අඬා කෑ ගහද්දි එහෙම කිව්වා. මධුර සඳමාලි දිහා බැලුවේ දැඩි බැල්මකින්.

” හරි ..ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරගන්න …. ඔයාට ඕනි මේක මෙතනින් නැවතෙන්න නම් ඒක ඒ විදියට වෙන්න දෙන්න .. මම ආයේ ඔයාට කරදර කරන්නේ නැහැ කිසිම දෙයක් කියලා… ඔයාගේ අම්මලාව අපහසුවක හෙලන්න මට කොහොමටත් කිසිම උවමනාවක් නැහැ … ඔයා ඔහොම වද විඳ ව්ඳ මා එක්ක ඉන්න උවමනාත් නැහැ … “

මධුර එක පාරටම එහෙම කියනකොට සඳමාලිට හිතාගන්න බැරුව ගියා . සඳමාලි ඇස් වල කඳුලු පුරවගෙන මධුර දිහාව බලාගෙන හිටියා. ඉන් එහාට දෙන්නාම කතා කලේ නැහ.

සඳමාලිව ගෙදරින් ඇරලවලා වෙනදා හාදුව හිතලාම අමතක කරලා මධුර සමුදුන්නා. සඳමාලි කාමරේ ඇතුලට වෙලා හොඳටම ඇඬුවා.

” මට සමාවෙන්න මධුර .. මට වෙන කරන්න දෙයක් නැහැ.. ඔයාගේ අම්මලා කීයටවත් මේකට  කැමති වෙන්නේ නැහැ … ඒක මට නොතේරෙනවා නෙවෙය් .. එහෙමයි කියලා අම්මලාගෙන් හිතුවක්කාරව මේක කරගන්න තැනකට ඔයාව ගේන්නත් මට බැහැ .. එහෙම කලොත් ඔයාගේ අම්මාගේ කඳුලු වල සාපෙන් මට ඊළඟ ආත්මෙත් විඳවන්න වේවි ..ඔයාම කියලා තියෙනවානේ අම්මයි තාත්තයි ඔයාට කොච්චරක් නම් ආදරේද කියලා .. අනෙක් අතට ඔයාලා වගේ පවුලකට පැහෙන්න දේපලක් අපේ ලඟ නෑ හිතලා අපේ අම්මයි තාත්තයි නැති පීඩනයක් හදාගන්න එක මට ඉවසන්නත්  බැහැ .. අපි දෙන්නා එකතු වුනොත් අපේ පවුල් වල අය සෑහෙන්නම මානසික වද වේදනා විඳීවි මධුර .. ඒත් අපි දෙපැත්තට වෙලා උන්නොත් එහෙම වෙන එක හරි නැති වෙයි .. ඔයා නැතුව, ඔයාට කතා නොකර, අපි මින් ඉස්සරහට ආගන්තුකයෝ කියලා හිතාගෙන ජීවත් වෙන එක මට ලේසි වෙන්නේ නෑ .. ඒත් කොහොමම හරි දරාගන්නම් මම …”

සඳමාලි වෙනදා වගේම වැඩ කරන්න පටන් ගත්තා. ඒත් ඇස් වල කඳුලු, හදවතේ තියුණු තිගැස්ම හැදෙන එක නම් නවත්තගන්න ඇයට පුලුවන් වුනේ නැහැ. මධුර කිව්ව විදියටම කිසිම ප්‍රතිචාරයක් නැතිවම ඉන්න ගන්න එක ගැන ඇයට කරන්න කිසිම දෙයක් තිබුනේත් නැහැ.

සඳමාලි මධුරට කතා කරන්න දැනෙන හැම සිතුවිල්ලක්ම අසීරුවෙන් පාලනය කරගෙන සති තුනක්ම ගෙව්වා.

එක සෙනසුරාදාවක උදේ සඳමාලිගේ අම්මා සඳමාලිට කිව්වා සාරියක් ඇඳගෙන සූදානම් වෙන්න කියලා.

” ඒ මොකටද අම්මේ ?..”

” ඒක පස්සේ බලන්න බැරියැ… ඔයා ලෑස්ති වෙන්නකෝ  ලොකු පුතේ ..”

” අනේ මේ නිවාඩු දවසේ එහෙ මෙහෙ යන්න බෑ .. මං මෙහෙම ඉන්නම්.. අම්මලා ගිහින් එන්න …”

සඳමාලි එහෙම කිව්වා. නංගිලා දෙන්නා ඇවිල්ලා සඳමාලි වටේ කුටු කුටු ගාන්න  ගත්තාම සඳමාලිට දැනුනේ තමන් ගිණි ගන්නවා වගේ.

” මොකද්ද ලොකු නංගී ඒ කතාවේ තේරුම ?..”

” ඊයේ අම්මයි, ලොකු අම්මයි කැවිලි හැදුවා,.. ඔයාට පේන් නැද්ද ගෙවල් පේන්ට් කරලා තියෙන්නේත් …. “

” ගෙවල් පේන්ට් කලේ දානෙට කිව්වනේ..”

” දානේ තියෙන්නේ තව මාස දෙකකින් නේ ..”

සඳමාලි අම්මව හොයාගෙන ගියා. මුලු කුස්සියම මඟුල් ගේකට සූදානම් වෙනවා. ලොකු අම්මයි, නැන්දයිත් ඇවිල්ලා. සඳමාලිට මධුරගේ මූන මැවුණා.

“අනේ අම්මේ මට බැහැ .. අනේ මට නම්  බැහැ ..”

සඳමාලි මහ සද්දෙන් එහෙම කිව්වා. ඒත් අවනත වෙන්නම වෙන තාත්තාගේ හඬ පස්සෙන් ඇහුනා.

” ඒ මිනිස්සු එන්නේ බලලා යන්න මිසක් කැන්දන් යන්න නෙවෙයි නේ .. ලොකූ අකමැති නම් එහෙම කියන්න ..”

” අනේ මට ඕවා ඕන් නෑ තාත්තේ ..”

” හරි .. ඒත් එන මිනිස්සුන්ට මූණ හරවන්න බැහැනේ.. දැන් සූදානම් වෙන්න .. දහය වෙනකොට ඒ කාණ්ඩේ ඒවි ..”

සඳමාලි කාමරේ දොර වහගෙන මධුරට ඇමතුම් කිහිපයක්ම ගත්තා. ඒත් ඒ එක ඇමතුමකටවත් පිළිතුරු ලැබුනේ නැහැ. අන්තිමේදි සඳමාලිට සිද්ද වුනා සූදානම් වෙන්න.

ටික වෙලාවකින් වාහනයක් ඇවිල්ලා නැවතෙන හඬ ඇහෙනකොට සඳමාලි ආයේ ආයෙම මධුරට ඇමතුම් ගත්තා. ඒත් පිළිතුරු ලැබුනේම නැහැ. තමන් මේ ඇමතුම් ගන්නෙ ඇයිද කියලා වැටහීමක් නැතිවම ඇය දිගටම ඔහුව ඇමතුවා.

” යමු ..”

අම්මා ඇවිල්ලා එහෙම කියනකොට සඳමාලි ජංගම දුරකතනය ඇඳ උඩට දාලා අම්මා දිහා බැලුවා. සඳමාලි උන්නේම එපා වීමක් පෙන්නගෙන.

” ඔහොම මූණ දෙක කරගෙන ඉන්නෙපා .. ඒ මිනිස්සුන්ට හිතෙයි අපි මේ ඕනෑවට එපාවට කියලා..”

” ඕනෑවට එපාවට තමයි අම්මේ..”

” කෑ ගහන්න එපා දරුවෝ …”

සඳමාලි අම්මත් එක්ක කාමරෙන් එලියට ආවා. අම්මා එක්කම ඇවිදගෙන ගියා. ඇය හිස එසෙව්වේවත් නැහැ.  අම්මාගේ මඟ පෙන්වීමෙන් කෙනෙක් ළඟට ගිහින් නැවතුනා. ඒ කෙනා නැගිටිනවා සඳමාලි දැක්කත් ඇය හිස ඔසවලා නොබලා අතේ තිබුන වතුර වීදුරුව තියලා තිබුන පීරිසිය දිහාම බලාගෙන උන්නා. ඒ පීරිසියට අත තියලා  ආපස්සට ගත්ත අත දැක්කම ඇය එක පාරම තිගැස්සුනා. අම්මා ඒත් එක්කම වතුර වීදුරුව ගත්තා.  ඇය ඉදිරියේ උන්න කෙනා ඇය අතේ මල් පොකුරක් තියලා බලෙන්ම ඇයව වැලඳගත්තා. එහෙන් මෙහෙන් හිනා සද්ද ඇහුනා.

” මොකද දිගටම දිගටම කෝල් ගන්නේ… ෆෝන් එකේ රිඩයල් බට්න් එකක් තියෙනවාද ?… “

ඇගේ සවන් ලඟින්ම එහෙම ඇහෙනකොට සඳමාලිට දැනුනේ තමන්ගේ දෙපා අවසඟව යන බව.

” දෙයියනේ …”

ඇය උන්නේ වචනයක්වත් කතා කරගන්න බැරුව. හැමෝම ඉතාම ප්‍රීතියෙන් කතා බස් කරමින් උන්නා. සඳමාලි මධුර ලඟ අසුනේ වාඩි වෙලා උන්නා.

” යන්න යන්න .. එලියට ගිහින් දෙන්නා එක්ක කතා බහ කරගන්න ..”

මධුරගේ අම්මට සඳමාලිගේ අපහසුව වැටහිලා වගේ  එහෙම කිව්වාම, මධුර පස්සෙන් ඇලිලා සඳමාලිත් එලියට බැස්සා. ඇය නිදහසේ හුස්මක් ගත්තේ ඊට පස්සේ.

” ජීවිතේ හැමදේම ඔයා හිතන දේම නෙවෙයි … මං කිව්වානේ ඔයාට, මං අම්මට එකතු මිනිහෙක් .. ඔයාට ආදරේ කියන්න කලින්, මම අම්මා එක්ක සැහෙන දේවල් කතා කලා.. මං තේරුම් ගත්තා එයාලට ඕනි මගේ ජීවිතේ සතුට කියලා.. අනෙක් එක අම්මායි තාත්තයි  සම්බන්ධතා මනින්නේ සල්ලි, තරාතිරම්වලින් නෙවෙයි කියලත් මම දැනගෙන උන්නා.. ඒත් ඔයාට ඕක තේරුම් කරන එක මට ලේසි නොවෙන බවත් මම තේරුම් ගත්තා..”

” මට හිතාගන්න බෑ..”

” ජීවිත අවබෝධය තියෙන මිනිස්සු අපේ අම්මලා වගේම ඔයාලාගේ අම්මලත් … මම ඇවිල්ලා සිද්දිය කියලා, මගේ ප්ලෑන් එක කිව්වම අම්මලා එක පයින් මට උදව් කලේ ..”

සඳමාලි මධුරගේ හිනාවෙලා උඩ පනින ඇස් දිහාව බලාගෙන උන්නා.

” දැන් ඔක්කොම හරි..ඔයාත් හිතන විදියෙන් එලියට ඇවිල්ලා ලෝකේ ඇත්තටම වෙන්න ඕනි දේ හිතන්න සඳා .. එතකොට ඔක්කොම ලේසි වෙනවා..”

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles