වියෝ ගී ගැයෙනා හදේ – 25

0
4113

උපන්දිනේ දවසෙ උදේම අම්මාත් එක්ක ගුණරත්න අංකල් විසින් ඩ්‍රයිව් කරගෙන ගිය කාරෙකේ අම්මගෙ උකුලෙ වාඩි වී පෙත්මලී උන්නේ සතුටෙනි. “ඔයා නෝටි බබෙක් නිසා තමයි තාත්ති ඔයාව දාලා ගිහින් තියෙන්නෙ” කියා කිව්ව රිතූට පෙන්නන්නත් එක්කම අද තාත්තා ලඟටම වී ඉන්නත්, කේක් කපද්දී තාත්තට තමන්ව වඩා ගන්න කියා කියන්නත් බොහෝ අදහස් පෙත්මලීගේ හිතේ තිබුණාය. 


“අම්මි ඉන්ටර්වල් එකට එනවා නේද?” 

“ඔව් බබී මං එනවා”

“තාත්තිත් එනවා නේද?”

“ඔව් බබී තාත්තිත් එයි”

“අම්මි තාත්තිවත් කොහොමහරි එක්කන් එන්න තාත්ති ප්‍රොමිස් උනා බබීට එනවා කියල” කියා පෙත්මලී හිනා වීගෙන ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුලට යද්දිත් මේධාවිණී කලේ හිනා වී හිස සැලුව එකය. චිරත් එන නොඑන එක තමන්ට ප්‍රශ්නයක් නැති බව ඇත්තක් උනත් ඒක පෙත්මලීට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් බව දන්න හන්දාම මේධා කෝකටත් කියා චිරත්ට කෙටි පණිවිඩයක් තැබුවාය. ඒ පණිවිඩය එද්දිත් චිරත් කොහොමත් උන්නේ ගෙදරට වී පෙත්මලීගෙ උපන්දින සාදය වෙනුවෙන් අඳින්න ඕන කරන ඇඳුම අයන් කරන ගමන් ය.

ඉස්කෝලෙට යන අතරවාරෙම කේක් එකත් අයිස්ක්‍රීමුත් අරගෙනම යන්න පුලුවන්කම තියෙන නිසා කලින්ම ගෙදරින් පිටත්වෙන්න හිතාගෙන චිරත් සමීරගෙන් කාරෙකත් ඉල්ලගෙන තිබුන එක ඇත්තකි.

පෙත්මලී උන්නේ වෙනදට වඩා සන්තෝසයෙන් බව නදීකා මිස් දැක්කාය. ඒකට හේතුව අද ඇගේ උපන්දිනය වීමත් ඇගේ අම්මාත් තාත්තත් දෙන්නම ඒ සඳහා සහභාගි වෙන එක නිසත් කියා හිතාගන්න නදීකාට අපහසු උනේ නැත. අම්මත් තාත්තත් අතර ප්‍රශ්න තිබීම කුඩා දරුවෙක්ට කොච්චර දුරට මානසිකව නරක අයුරින් බලපානවද කියා කියන්නට අත් දැකීම් නැතත් කියවා ඇති බොහෝ දේද, ෆේස්බුක් ලේඩීස් ගෘප් වල අහන්න දකින්න ලැබෙන දේවල්ද එක්ක ඒ නරක බලපෑම කුමනාකාරයේ එකක්ද කියා තේරුම්ගන්න බැරිකමක් නදීකාට තිබුනේ නැත. අද පාසලේ උපන්දින උත්සවය අවසන් වුණු පසුව පෙත්මලීගේ අම්මා සහ තාත්තා එක්ක කතාකරන්න නදීකා හිතුවේ අන්න ඒ නිසාමය. කුඩා දරුවන්ට කුඩා කාලයේ පවුල් සංස්තාව ඇතුලේ මෙන්ම සමාජය ඇසුරේ අහන්න දකින්න ලැබෙන දේවල් ටිකෙන් ටික උස්මහත් වී ට්‍රෝමා විදියට මතුවන්නට හැකියාව තිබෙන බව කුමක් හෝ සයිකොලොජි සම්බන්ධ ආටිකල් එකක කියවා තිබුන බව නදීකාට ඒ මොහොතේත් මතක් උනාය.

පෙත්මලීගේ උපන්දින සාදයට ඉඩ සලසමින් පාසලේ විවේක වෙලාව වෙනුවෙන් බෙල් එක නාද වුනේ එවන් කල්පනාවන් සහ වැඩ රාජකාරි බොහොමයක් අතරේය.

අම්මත් තාත්තත් දෙන්නම එකට එකම වෙලාවේ ඒවි යැයි කියා බලාපොරොත්තුවෙන් උන්නත් රෝස පාට බාබි කේක් එකක් සහිත පෙට්ටියක් උස්සගෙන, අනෙක් ආතින් අයිස්ක්‍රීම් ටබ්ස් සහිත මල්ලක් උස්සගෙන තාත්තා මතුවෙද්දී ඒ අසලින්ම අම්මා ඉන්නවද කියා බලන්න පෙත්මලී වැය කලේ තප්පරේකටවත් වඩා අඩු කාලයකි. මේ ඇවිත් ඉන්නේ තාත්තාය. තමන්ගෙ ඉස්කෝලෙ බොහෝ දේවල්වලට එන්න බැරිඋන තාත්තාය. දැන් වීකෙන්ඩ් එකේ විතරක් හමුවන තාත්තාය. “තාත්ති බිසීනෙ බබී” කියා නිතරම කියන තාත්තාය. කෙල්ල දුවගෙන දුවගෙන ගියේ “තාත්තී” කියා කෑගසමිනි. තාත්තා විසින් කේක් සහිත බෑග් එකත් අයිස්ක්‍රීම් මල්ලත් බිම තියා පෙත්මලීව වඩාගනිද්දී වහා හිස හරවා පෙත්මලී බැලුවේ “ඔයා නෝටි නිසා තමයි තාත්ති ඔයාව දාලා ගිහින් තියෙන්නෙ” කියා හිත රිද්දුව රිතූ මේකා දකිනවද කියා බලන බලාපොරොත්තුවෙනි. ඒ දර්ශනය දිහා බලාගෙන ඉන්නෙ රිතූ පමනක් නොවනවා යැයි දැනගැනීම පුංචි කෙල්ලගේ හිතේ මතුකලේ අමුතුම ආකාරයක සන්තෝසයකි.

“අපි කේක් එක කොහෙන්ද තියන්නෙ බබී” කියා තාත්තා තමන්ගෙ අහද්දී දුවගෙන ගොස් වෙනදට යාලුවන්ගේ අම්මල තාත්තලා ඇවිත් උපන්දින පාටිවලට කේක් තියෙන මේසෙ වෙත යන්න පෙත්මලී අමතක කලේ නැත. අම්මාත් ආච්චිත් අනෙක් කෑම සහිත ප්ලැටර්ස් අරගෙන පංති කාමරයේ දොරටුවෙන් මතු උනේ පෙත්මලී තාත්තා එක්ක එකතු වී මේසය මත කේක් ගෙඩිය පරිස්සමට තබා ඒ දෙස ආසාවෙන් බලාගෙන ඉද්දීය. පෙත්මලී යාලුවො ටිකත් වටකරගෙන මේ කේක් ගෙඩිය මේ විදියට හදන්න තාත්තට කිව්වේ තමන් බව කියන කතන්දර අස්සේ චිරත් උන්නෙ මේධාවත්, ඇගේ අම්මා වූ කමලිනීටත් සංග්‍රහ කර යුත්තේ කුමනාකාරයේ සිනාවකින්ද කියා හිතාගන්න බැරුවය.

ඒ මොහොත තිදෙනා අතරම හුවමාරු උනේ අපහසුකාරි හැඟීම් සමුදායකින් වටවුණ වාතාවරණයකි. හිනාවෙනවද, හිනා නොවෙනවද, කතා කරනවද, කතා නොකරනවද කියන ප්‍රශ්න බොහොමයක් හිත් තුනක් අස්සේ මාරුවෙන් මාරුවට මතුව එද්දී ඒ අපහසුතාවය බිඳ දමන්නට මෙන් මේධා “කලින්ම ආවද?” කියා අහන ගමන් චිරත් දෙසට එක තප්පර ගානක බැල්මක් යවා හිනාවීගෙන ගුරුවරිය වෙත ගියේ පාටියේ ඉතුරු වැඩ ටික වෙන විදිය ගැන කතාකරගන්න හිතාගෙනය. තමන්ගේ පැත්තෙන් සහභාගි වී ඉන්නෙ තමන් පමනක් නිසාවෙන්ම චිරත් උන්නේ දඬු අඬුවකට හිරවුණ හැඟීමකිනි. මේධාවිනී ගුරුතුමිය එක්ක කතාකරද්දී නැන්දම්මා උන කමලිනීත් එයට ලං වුනේ ඇයටත් තමාටත් කතා කරන්න දෙයක් එදා තිබ්බෙ නැති එකේ අද කොහොමත් එහෙම කතාකරන්න දෙයක් නැති බව දන්න හන්දාය. පෙත්මලී උන්නේ යාලුවන් එක්ක කේක් ගෙඩියේ සිරි විසිතුරු බලමිනි. පංති කාමරයේ දොරටුව අද්දරට වී දුරකතනයෙන් එක එක දේවල් බල බල උන්නු චිරත් තප්පරේකට ගැස්සුනේ කැමරාවක් අතින් ගත් අඩි හයක් විතර උස තරුණ පෙනුමැති හාදයෙක් තමන්ගේ ඇඟේ යාන්තමට වැදීගෙන පංති කාමරයට යනවා දුටුවයින් ය. 

“මේධාවිණී කිව්ව ෆොටෝ ග්‍රැෆර් වෙන්න ඇති” කියා හිතුන සිතුවිල්ල එක්ක ඔහු දිහාව බලද්දී හිත ගැස්සුනේ ඔහුව දැක, ඔහුට සංග්‍රහ කරනු පිණිස මේධාවිණී මුහුන මත ඇඳත් සිනාව දුටුවයින් පස්සේය.

ඒ සිනාව අයිති අතීතයටය. ඉස්සර විශ්ව විද්‍යාලයේ දේශන අවසන්ව තමන් ඇය වෙත එද්දීත්, ගෙවල්වලට හොරෙන් එලියෙදි මුණ ගැහෙද්දිත්, විවාහ වූ අලුතත් තමන් වෙනුවෙන් නැගුන ඒ සිනාව සෑහෙන කාලයකින් තමන් වෙනුවෙන් ඇගේ මුව මත නොනැගුන බව ඒ දසුන දකිද්දී චිරත්ගේ හිත හීනියට කොනිත්තා රිද්දුවේය.

“අම්මා මේ ඉන්නෙ වලාකුලු වීරවර්ධන, අපේ ඔෆිස් එකෙ ශූට්ස් වලට එහෙම අපිට ගොඩක් උදව් කරනවා” කියා වලාකුලුව අම්මාට අඳුන්වා දෙද්දිත් මේධාවිණීට චිරත් මේ දෙස බලා ඉන්නවාය කියන දෙය මතක් උනේ නැත. කොටින්ම කියනවා නම් වලාකුලුගේ සුන්දර කඩවසම් රුව පංති කාමරයේ දොරෙන් මතුවෙනු දකිද්දි ඔගුට එහා පැත්තෙන් චිරත් උන්නාය කියන එකවත් මේධාවිණීගේ නෙත් වලට හසු උනේ නැත. චිරත් උන්නේ මේධාවිණීට නොපෙනෙන මානයකය. එහෙත් චිරත් ගේ දෙනෙත් තිබුනේ එක තප්පරේකටවත් මේධාවිණීගේ වතින්වත් ඇඟේ සුන්දර සිනාවෙන්වත් ගලවාගන්නට බැරි තරම් ඇලී ගැලීය.

“තාත්ති තාත්ති අපි යන්ද කේක් කපන්න” කියා පෙත්මලී ඇවිත් කලිසමෙන් අදිමින් කියද්දී ආපසු වතාවක් චිරත් ඒ මොහොතට ආ බව ඇත්තක් උනත් හිත තිබුනේ අර හීනි කෙනිත්තීම නිසා නැගුන වේදනාව මැඩ පවත්වාගන්න බැරුවය.

කේක් කපද්දිත්, පෙත්මලී විසින් අම්මාටත් තාත්තාටත් ආච්චිටත් කේක් කවද්දිත් ඒ සියලුම නිමේශයන් වලාකුලු වීරවර්ධන විසින් කැමරාවට හසුකරගත්තේය. “මේ අංකල්ටත් කේක් කවන්න බබී” කියා අම්මා කියද්දි පෙත්මලී තාත්තාගේ අතේ හිඳම මදක් නැවී ඒ අංකල්ට කේක් කවද්දී වලාකුලුගේත් චිරත්ගේත් දෙනෙත් තිබුනේ එකිනෙකා හා යාවි එකිනෙකාව තේරුම් ගන්න උත්සහ ගනිමිනි.

ඒ උත්සහය වචන කරන්න පෙරමුණ ගත්තේ වලාකුලුමය.

“හායි මචං මම වලාකුලු වීරවර්ධන” කියා වලාකුලු එක් අතකින් කැමරාව අල්ලගෙන අනික් අත දිගු කරද්දී චිරත් ඒ අත තමන්ගේ අතට හසු කරගත්තේ වඩා පරිශ්‍රමයක් දරා ඇඳගත් සිනාවට දෙතොල් ග්‍රහණය කරගන්නට ඉඩ දෙමිනි.

“මම චිරත් ගුණවර්ධන” 

“නයිස් ටු මීට් යී මචං. උඹේ වට්සැප් ඉන්න ෆෝන් නම්බර් එකක් දීපන්කො. මම ෆොටොස් ටික ඩොකියුමන්ට් කරලා එවන්නම්” කියා වලාකුලු සුන්දරව සිනාසෙමින් කියද්දි චිරත් යන්ත්‍රානුසාරයෙන් මෙන් තමන්ගේ දුරකතනය වලාකුලු වෙත කියද්දිත් කියාගන්නට නොතේරෙන මොකක් හෝ හැඟීමක් හිත අස්සේ පොරකමින් තිබූ බව චිරත්ට මතක තිබුනේය.

එහෙත් ඒ කුමනාකාරයේ හැඟීමක්ද කියා නොතේරුනත් ඒ වනාහී තමන්ට හිමි දෙයක් අහිමි වෙන්නට යන, නැතිනම් කෙනෙකු සොරා ගන්නට යන ආකාරයේ හැඟීමක් බව පමනක් චිරත්ට තේරුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here