වියෝ ගී ගැයෙනා හදේ – 27

0
4237

හවස් වරුවේ පාටි එක වෙනුවෙන් පෙත්මලීව අන්දවන්න මේධාවිණී භාරගත්තේ පෙත්මලී වෙන කාටවත් ඇගේ ලා නිල්පාට එල්සා ප්‍රින්සස් පාටි ෆ්‍රොක් එක අල්ලන්නවත් දෙන්න අකමැති වෙච්ච හන්දාය.

“බෑ බෑ බෑ, අම්මි අන්දවන්න බබීට ප්‍රින්සස් ෆ්‍රොක් එක” කියා පෙත්මලී ඇඳ උඩට වී කකුල් ගහ ගහ නටද්දී මේධාවිණී සෝමා අතේ තිබුන ගවුම අරගෙන පෙත්මලී ලඟට ආවේ බාගෙට ඇඳ පැලඳගෙනය. කමලිනී සුමතිපාල උන්නේ පෙත්මලී දිහා බලාගෙන හිත ඇතුලෙන් “මේ ළමයගෙ නම් පුදුම මුරණ්ඩුකමක් තියෙන්නෙ” කියා හිතමිනි.

“තාත්ති කිව්ව තාත්තිට පාටි එකට එන්න වෙන්නෙ නෑ කියල. සෝමා ආච්චි ඔයා තාත්තිට කේක් කෑල්ලක් කපලා තියෙනවද නෙක්ස්ට් වීකෙන්ඩ් තාත්තිව බලන්න යද්දි අරගෙන යන්න?” කියා පෙත්මලී අහද්දී සෝමා කලේ කාමරයේ ඇඳ ලඟ උන්නු මේධාත් දොර ලඟ හිටගෙන උන්න කමලිනීත් දිහා මාරුවෙන් මාරුවට ඇස් යවමිනි. කමලිනීත් මේධාත් අතර බැල්මක් හුවමාරු වෙනු සෝමා දැක්කත් ඒ බැල්මේ තැවරී තිබුන කතාව මොකද්ද කියා තේරුම්ගන්න තරම් අවිවාහක ස්ත්‍රියක් වුණ සෝමා විවාහය ගැනවත්, විවාහය හා පවුල් සංස්තාවෙ බැඳීම් අතරවත් තෙම්පරාදු වී තිබුණේ නැත.

“වීකෙන්ඩ් එකේ කේක් අරගෙන යන්න තියන්න බෑනෙ බබී. කේක් නරක් වෙයි” කියා මේධා කිව්වේ ඒක ඇත්ත හන්දාය. ඒ උනාට පොඩි ලමයින්ගේ ඔලු අස්සෙ ඇත්ත එහෙමත් නැතිනම් යතාර්තය ගැන හැඟීමට තියෙන්නෙ ඉතාම කුඩා ඉඩක් බවත්, යතාර්තය තේරුම් ගැනීමට පොඩි දරුවන්ට හැක්කේ ඉතාම කුඩා ප්‍රමාණයකින් බවත් මේධාට එවෙලේ මතක් උනේ නැත. නැතිනම් මතක් උනත් මේධා ඒ වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න ඉඩක් ගන්න කැමති උනේ නැත.

“අනේ අම්මි එහෙනම් අපි අද තාත්තිට එන්න කියල කේක් දෙමුකො”

“අද තාත්තට දැන් එන්න කියන්න බෑනෙ ළමයො. අපි පස්සෙ වීකෙන්ඩ් එකේ යද්දි තාත්තිට දෙන්න වෙන කේක් කෑල්ලක් ගමුකො”

“බෑ බෑ  මට ප්‍රින්සස් එල්සා කේක් කෑල්ලක්ම තමයි තාත්තිට දෙන්න ඕන”

“හරි හරි, සෝමා අම්මා ඔයා කේක් කෑල්ලක් කපලා ෆ්‍රිජ් එකේ දාලා තියන්නකො අපෙ බබීට වීකෙන්ඩ් එකේ යද්දි ගෙනියන්න” කියා කමලිනී ඒ කතාව මැද්දට පැන්නේ මේධා ඔය කතාව තව දිගට කරගෙන යන්න හිතුවොත් මේ දවස පාටියකින් ඉවර කරගන්න සිදුවෙන්නෙ නැති තරමේ ප්‍රශ්න පත්තරයක් දිගාරින්න පෙත්මලීට බැරිකමක් නැති බව දන්න හන්දාය.

“සෝමා ආච්චීඊඊඊඊ, ඔයා අයිසින් ගොඩාආඅක් තියෙන කෑල්ලක් කපලා ෆ්‍රිජ් එකේ දාන්න බබීට තාත්තිට අරගෙන යන්න” කියා නිල් පාට එල්සා ප්‍රින්සස් ගවුම ඇඳගෙන ඇඳ උඩ හිටගෙන ඉන්න පොඩි බේබි කියද්දී සෝමා හිනාවෙමින් කාමරයෙන් එලියට ගියේ පාටියට කලින් ගේ දොර අස්පස් කර තබන්න හිතාගෙනය.

වලාකුලු වීරවර්ධන ආවේ අනික් අමුත්තන් ගෙදෙට්ට එන්න කලියෙන් ෆොටෝශූට් එක ලස්සනට කරගන්න බලාපොරොත්තුවෙනි. මේධා විසින් පෙත්මලීගේ සමස්ත පාටි එකම ලා නිල් පාටෙන් ප්ලෑන් කර තිබූ නිසාවෙන් පෙත්මලී ඇඳගෙන උන්නු ලා නිල් පාට ගවුමට ගැලපෙන ලා රෝස පාටකින් මේධා ද මනුර සුමතිපාල, කමලිනී සුමතිපාල යන අය ඒ පැස්ටක් කලර්ස් දෙකට ගැලපෙන ලා පාට ඇඳුම් වලින්ද සැරසී උන්නේ කලින් කතා කරගත්ත විදියටය. 

මනුර සුමතිපාලගේ විසල් නිවසේ හොඳින් කොල පාට ගස් වවා අලංකරණය කරන ලද ගෙවත්ත ලා කහ පාට ලයිට් බල්බ් දමා සරස තිබෙද්දී ඒ ගෙවත්තේම සැඳෑ කුටියක් ලෙස සකසා තිබූ තැනක ඇණවුම් කරන ලද ආහාර පාන සහ ප්ලැටර්ස් සැකසෙමින් තිබුනේ පාටිය ඇරඹෙන්නට ඔන්න මෙන්න තියෙද්දීය. ලා නිල් පාටින් හැඩ කල කේක් ගෙඩිය ඉදිරියෙන් තබා අම්මාගේ අතට වී සිනාසෙමින් පෙත්මලී ගත් ජායාරූප වල එහා පැත්තෙන් චිරත් උන්නා නම් ඒ පින්තූර වඩා පරිපූර්ණ වන්නටද සුන්දර වන්නටද ඉඩක් තිබුනා නොවේද කියා හිතන්න කෙනෙක් එතන උන්නේ නැත. සියල්ලන්ටම කලින් ඒ පින්තූර දුටු වලාකුලු වීරවර්ධන ගේ සිතුවිලි අස්සේ එවන් ගැටලුවලට කොහොමටවත් ඉඩක් තිබුනේ නැත. එතන උන්නු පිරිසෙන් චිරත් කියන කෙනෙකු පිලිබඳ අංශු මාත්‍ර මතකයක් හෝ තිබුනා නම් ඒ පෙත්මලීගේ හිතේ තාත්තිට කේක් ගෙනියන්න ඕන කියන හැඟීම විතරමය.

“සී අයි ටෝල්ඩ් යූ, ඔයා වයිට් අඳින්නෙ නැතුව පින්ක් ඇන්ද එක හොඳයි” කියා වලාකුලු වීරවර්ධන ලංව කැමරාවෙ ගත් ජායරුප වල මේධාවීනී ඉන්න තනි පින්තූර වල රෝ ෆයිල්ස් පෙන්වද්දී වලාකුලු තරම් තමන්ව හොඳින් තේරුම් ගත් වෙන කෙනෙකු නෑ නේද කියන කතාව මේධා හිතෙන් හිතපු එක ඇත්තකි.

“ඒක තමයි, ඔයාලා ඉතින් කැමරා එක්ක වැඩ කරන මිනිස්සුනෙ. අපිට වඩා හොඳට මැච් කරන්න දන්නව කලර්ස් එහෙම. ඔයාට ෆොටෝග්‍රැෆර් කෙනෙක් නෙවෙයි ඩිසයිනර් කෙනෙක් වෙන්නයි තිබුනෙ”

“ඊටවඩා හොඳ නැද්ද ඇඳුම් කඩ ගොඩක් තියෙන කෙල්ලෙක්ට ෆැශන් සෙන්ස් එක කියල දෙන ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන එක” කියා වලාකුලු ඇහැක් ගසා කියද්දී මේධාවිණී ඔච්චමට හිනා වී ඉදිරියට එන තාත්තාට වලාකුලුව හඳුන්වා දෙන්න යුහුසුලු වුනාය.

“තාත්ති මේ ඉන්නෙ වලාකුලු වීරවර්ධන. අපි අර ගෝල් ෆෝට් වල කරපු වැලන්ටයින්ස් ශූට් එක කරෙත් වලාකුලුගෙ ප්‍රඩක්ශන් හවුස් එකෙන්”

“ආහ් මට මතකයි. ශූට් එක ඇත්තටම ලස්සනයි. මට ඉන්ඩස්ට්‍රි එකෙ ගොඩක් අය කිව්වා කවුරුවත් ඒ වගේ ශූට් එකක් මීට කලින් දැකල නෑ කියල. ජොබ් වෙල් ඩන්. වලාකුලු ඉස්කෝලෙ බර්ත් ඩේ එකත් කවර් කරන්න ආව කියල මගේ මිසිස් මට කිව්වා” කියා මනුර සුමතිපාල අත දිගු කරද්දී වලාකුලු වීරවර්ධන ඒ බිස්නස් ලෝකයේ දැවැන්ත නමක් සනිටුහන් කර උන් මිනිසාගෙ අතෙන් අල්ලාගත්තේ මේධාවිණී දෙසට සුන්දර සිනාවක් පා කර හරිමින් ය.

“තැන්ක්‍යු වෙරි මච් සර්. ඇත්තටම මමත් සෑහෙන එන්ජෝයි කරපු වැඩක්”

“අපිට ඉතින් ඕව තේරෙන්නෙ නෑනෙ මිස්ට වීරවර්ධන. මෙයාල තමයි ඉතින් ඔය අලුතෙන් එන ෆැශන් ඒවයි ට්‍රෙන්ඩ්ස් ගැනයි දන්නෙ. මම ඉතින් කොහොමත් තාම පරණ බිස්නස් කාරයනෙ”

“පරණ අදහස් තමයි සර් අද කාලෙත් ඇත්තටම වැදගත් කරන්නෙ. පරණයි කියල සර් කිව්වට අපි නම් කියන්නෙ වෙල් එක්ස්පීරියන්ස්ඩ් කියලනෙ. අනික ප්ලීස් සර් වගේ කෙනෙක් මට මිස්ට කියන්න එපා. වලාකුලු කිව්වම හොඳටම ඇති” කියා වලාකුලු වඩා නිහතමානී බවක් ආරෝපණය කරගෙන තාත්තා එක්ක සිනාසී කතාකරද්දී මේධාවිණී උන්නේ ඒ දිහා මද හසරැල්ලක් සමග බලාගෙනය.

තාත්තාත් චිරත් අතරත් මෙයාකාර සහ සම්බන්ධයක් දකින්න තමන්ට කොච්චර උවමනා කර තිබුනත් ඒ වනාහී කවදාවත් ඇත්තක් උනේ නැති, ආයෙ කවදාවත් ඇත්තක් වෙන්නෙ නැති දෙයක් බව මතක් වෙද්දී ඒ මන්දහාසය සුසුමක් එක්ක පා කර යවන්න මේධාවිණීට සිද්ද වුණ එක ඇත්තකි. ජීවිතේ එහෙම බව හිතා හිත හදාගන්නවා ඇරෙන්න ආපහු වතාවක් අතීතයේ වැරදුන තැන් දිහා හැරී බලා හිත රිද්දගන්න එක තේරුමක් නැති බව මේධාවිණී ඒ සුසුම් අතරේ හිතුවාය.

වලාකුලුත් තාත්තාත් ව්‍යාපාර ගැන කතා බස් කරමින් ඉද්දී, එතන තවදුරටත් රැඳෙන්නට තමන්ට ඇති එකම හේතුව තාත්තා එක්ක කරන කතා බහ අතරේ වලාකුලු විසින් තමන් වෙත පා කර එවන මන්දහාසයක් රැඳුණ නෙත් බැල්ම පමණක් වුනත් තාත්තා ඉදිරියේ ඒ බැල්ම දරාගන්න අපහසු බවක්, කෝල බවක් දැනුන හන්දාම මේධාවිණී එතනින් ඉවත් වී ආපහු වතාවක් පෙත්මලීගේ යාලුවන්ගේ මව් දෙමව්පියන් ඉන්නා තැන වෙත ඇවිද ගියාය.

“යු ආර් නෝටි, යූ හර්ට් මී” කියමින් පෙත්මලී රීතුට කෑ ගසා විසල් එල්සා කේක් ගෙඩිය සහිත තට්ටුව දෙතුන් පාරක් වෙර දමා බිමට තල්ලු කර ගේ ඇතුලට දුව ගියේත් පැමිණ උන් සියලුම දෙනා මාරුවෙන් මාරුවට විම වැටී විසිර ගිය අයිසින් කේක් ගෙඩියත්, අඬ අඬ ගෙට දුව යන පෙත්මලී දිහාත්, ප්‍රශ්නාර්තයක් මූණෙ ඇඳගෙන ඉන්න මේධාවිණී දෙසත් මාරුවෙන් මාරුවට බලද්දී මේධාවිණී උන්නේ උනේ කුමක්ද කියා හිතාගන්න බැරුවය.

“පෙත්මලී එහෙම තරහ ගන්න දරුවෙක් නෙවෙයිනෙ. මොකද මේ එකපාර උනේ?” කියන ප්‍රශ්නෙ ගොඩක් දෙනෙකුගේ හිත අස්සේ ඇඳුනත් ඒකට හේතුව මොකද්ද කියා තේරුම්ගන්න ඒ බොහොමයක් දෙනාට පුලුවන් උනේ නැත.

දෙමව්පියන්ගේ ප්‍රශ්න මැද්දේ දරුවන් අසරණ වන්නේ ආන් එහෙමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here