වලාකුලුත්, පෙත්මලීත්, මේධාවිණීත් මූද බැලීම සඳහා ට්‍රිප් එක යොදාගත්තේ මේධාවිණීට ලොකුවටම “වලාකුලු අංකල් හොඳයි කියන එක” පෙත්මලීට ඔප්පු කරන්නට වගේමා වලාකුලුත් පෙත්මලී අතර සමීප සබඳතාවයක් ගොඩ නගන්නට පියවරක් ඉදිරියට තැබීම පිණිසය. පෙත්මලී කොහොමත් දැන් තමාගේ ජීවිතයේ ඉන්න නිසා තමන් ඉදිරියට තබන ඕනම පියවරකදී ඒ කුඩා පියවර ද තමන්ට එහා පැත්තෙන් රැඳෙන බව දැන දැන එය නොසලකා හරින්නට හැකියාවක් මේධාවිණීට තිබුනේ නැත.
“දැන් මට එකපාර නිකන්ම කෙල්ලව සෙට් කරගන්න බෑනෙ. ඔයා මට කියල තියන්න පෙත්මලී මොනවටද ආස, කන්න ආස මොනවගේ ඒවද එහෙම මෙහෙම කියලා” වලාකුලු අහද්දී පෙත්මලී වඩාත්ම ආදරය කරන කාටුන් කැරැක්ටර් එක වෙන්නෙ ප්‍රින්සස් එල්සා බවත්, නිල් පාට ඇගේ ප්‍රියතම පාට බවත්, නිල් පාට කප් කේක්, අයිස්ක්‍රීම් කන්න කෙල්ල ආස බවත් මේධාවිණී ගුරු මුශ්ටි තියාගන්නෙ නැතුවම වලාකුලු එක්ක බෙදා හදාගත්තාය.
“එයා ඉතින් වෙනද ඔය වගේ තැන්වලට ගියේ එයාගෙ තාත්තා එක්ක හන්ද තාත්ත ගැන මොනවහරි කිව්වොත් ඔයා තරහ ගන්න එපා හොඳේ” කියා මේධාවිණී හීන් හඬින් දෙනෙත් ඔසවා බලා කියද්දී වලාකුලු තමන්ගේ මනස්කාන්ත සිනාවෙන් ඇයව සනසවන්නට හිතුවේය.
“මට කවදාවත් පෙත්මලීගේ ලෝකෙ චිරත් ඉන්න තැනට එන්න ඕන නෑ මේධා. මට ඕන ඔයාගෙ ලෝකෙ චිරත් උන්න තැනට එන්න විතරයි. එතන හැමදාම රැඳෙන්න විතරයි. එහෙම නැතුව දරුවෙක්ගෙ හිතේ එයාගේ තාත්තා ඉන්න තැනට එන්න කිසිම උවමනාවක් නෑ මේධා. ඔයා ඒක ගැන පොඩ්ඩක්වත් බයවෙන්න එපා” කියා වලාකුලු කියද්දී මේධාවිණී ඒ වචන දරාගත්තේ ඉමහත් ආදරයකින් ය. වලාකුලු තමන්ට ආදරය කරනවා යැයි කිව් වෙලේ “මට ඕන ඔයාටයි පෙත්මලීටයි දෙන්නටම ආදරෙයි කියන්න, කරන්න” කියා කිව් කතාව බොරුවක් නොවන බවත් වලාකුලු වනාහී විශ්වාසය තබන්නට හැකි අන්දමේ පිරිමියෙකු බවටත් සිතුවිල්ලක් හිත ඇතුල සිසාරා යද්දී මේධාවිණි කලේ හීන් හඬින් හිනා වී තමන් ඒ වචන පිළිගත් බව වලාකුලුට අඟවන එකය.
“දැන් ඔය විදියට යන්නෙ ඔයාලා මොන මොනවහරි කතාකරගෙනද ඉන්නේ?” කියා අම්මා ට්‍රිප් එක යන්නට කලින් දවසේ රෑ කෑම වෙලාවෙදි අහද්දි මේධාවිණී කෑම අණන ගමනුත් කල්පනා කලේ අම්මා ඇසූ ප්‍රශ්නයට දිය යුතු උත්තරය කුමක් විය යුතුද කියාය.
“ඒව කතාකරගන්න වෙන්නැති ඉතින් යන්නෙ” කියා තාත්තා කියද්දි මේධාවිණී තරමටම කමලිනීත් පුදුම වුණි. කෑම මේසය සිසාරා ගිය මනුර සුමතිපාලගේ ඒ වදන්වල තිබුනේ මේධාවිණීත් වලාකුලුත් අතර කුමනාකාරයේ කතා බහක් සිදුවුනද මනුර සුමතිපාල එයට එරෙහි නොවන බව තේරුම් ගන්නට බැරිකමක් කමලිනීටත් මේධාවිණීටත් තිබුණේ නැත. එහෙත් චිරත්ට එච්චරටම අකමැති වුණ තාත්තා වලාකුලු විෂයෙහි මෙතරම් ලිහිල් පිළිවෙතක් දරන්නේ කෙසේද කියන එක ඇත්තටම මේධාවිණීටටම තේරුම් ගන්නට අපහසු වුණාය.
“වලාකුලු දියුණු වෙන්න බලන මනුස්සයෙක්. අනික ඔය සමහරු වගේ මම මගේ කකුල් දෙකෙන්ම ගොඩ නැගෙනව කියන බොරු බයිලා සීන් මිනිහගෙ නෑ. උදව්වක් ඕන නම් කෙලින්ම කියල ඉල්ලන ජෙනුයින් පොරක්” කියා තාත්තා තවදුරටත් කියාගෙන යද්දි තමන් නොදැන උන්නු බොහෝ දේ තාත්තත් වලාකුලු අතර හුවමාරු වි ඇති බව පමණක් මේධාවිණී තේරුම් ගත්තාය. ඒ සිතුවිල්ලට හිත ඇතුලෙන් නැගී ආ සතුටක අංශු මාත්‍රයක් මුහුවුණේ තාත්තා වලාකුලුට අකමැති නොවන බව හිතෙන එකත් එක්කමය.
“ඒ උනාට ඉතින් දෙයක් වෙන්න ඕන පිලිවෙලක් තියෙනවානෙ. දැන් මේ එක පාරක් ජීවිතේ වැරදි තීරණයක්….”
“වැරදුණාට පස්සෙ තමයිනෙ ඊලඟට දෙයක් තෝරගනිද්දි, කරද්දි, වැරදෙන්න පුලුවන් තැන් මොනවද කියල තේරෙන්නෙ. ඒ නිසා ඉතින් වරදින්නෙ නැතුව මිනිස්සුන්ට තීරණ ගන්න බෑනෙ. වැරදෙයි කියල බයෙන් ඉන්න ගියොත් ඉඳින් සදහටම ගේ අස්සට වෙලා තමයි ඉන්න වෙන්නෙ. අපිටත් ඕන තරම් වැරදුණානෙ. වැරදි වැරදි තමයිනෙ මේ තැන්වලට ආවෙ. ඒ නිසා වරදියි කියල බයට තීරණ ගන්නෙ නැතුව ඉන්න එපා” කියා මනුර සුමතිපාල කතාව අවසන් කරන ලීලාවෙන් ඉඳුල් පිඟාන එතැන තබා කෑම මේසයට එහා පැත්තෙන් තිබූ සින්ක් එකෙන් අත සෝදාගෙන කෑම කාමරයෙන් පිටව යද්දිත් කමලිනී සහ මේධාවිණී උන්නේ කෑම මේසයේ වාඩි වී තම තමන්ගේම කල්පනා ලෝකයන් වල සිර වීය. එතන තිබුනේ දෙදෙනාට එකිනෙකාගේ මූණ දිහා බලන්නට බැරි අපහසුතාවයකි. අසහනකාරී වටපිටාවකි. ඒ මැද්දෙත් කමලිනී තමන්ගේ කට හඬ අවදි කරවා මේධාවිණී දෙස බලන්නට කටයුතු කලේ මවක් ලෙස තමන්ගේ යුතුකම ඉටු කරනු පිණිසය.
“තාත්තල දූලට ඕන දෙයක් කරගන්න කියල මට කටවහගෙන ඉන්න පුලුවන් මේධාවිණී. කලින් වතාවෙත් තාත්තා දාහක් දේවල් කියද්දි මම එවෙලෙත් ඔයාට සපෝට් කරා. අන්තිමේ වෙච්ච දේවල්, ඔයා ගත්ත තිරණවලදිත් අපි ඔයා එක්ක හිටියා. අනික අමතක කරන්න එපා ඔයා දැන් මොන විදියෙ තීරණයක් ගත්තත් ඒ තීරණේ එක්ක එන ඕනම දේකට මූණ දෙන්න කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මෙතන පොඩි ළමේකුත් ඉන්නවනෙ කියන එක.
මමත් අම්මා කෙනෙක් මේධා. ඔයාට දුකක් කරදරයක් වෙනවට මම කොච්චර අකමැතිද ඒ තරම්ම මම පෙත්මලී ගැනත් හිතෙනවා අන්තිමේ නිකන් ඔයාලා ගන්න වැරදී තීරණ හන්දා අහිංසක දරුවන්ගෙ ළමා කාලෙ අස්සට ප්‍රශ්න අරගෙන එන්න එපා” කියා අම්මා අත සෝදාගෙන කෑම මේසයෙන් නැගිට යද්දිත් මේධාවිණී උන්නේ තමන් කල යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරුවය. වලාකුලු එක්ක මේ ගමන යන්න හිත අස්සෙන් කොච්චර ආසාවක් තිබුනත් අම්මා කියන කතා අහගෙන හිඳිමින් හිතු තරම් හිත නිදහසේ ඒ ගමන යන්නට හැකියාවක් නැති බව මේධා දැනගෙන උන්නාය.
මේධා එවන් සිතුවිලි කදම්බයක් අස්සේ හිරව ඉද්දී රෙස්ටුරන්ට් එකේ වැඩ අස්සේ කෙතරම් කාර්‍යබහුල උනත් චිරත් උන්නේ එදා අවන්හලේදී මේධාත් වලාකුලුවත් දැක්ක දසුන හිතෙන් අමතක කරගන්නට බැරුවය. මොන දේ උනත් තමන් ජීවිතයේ වඩාත්ම ආදරය කල ගැහැණිය මේධාය යන කාරණාව තමන් මේධා එක්ක දික්කසාද වූ පසුවත් නොවෙනස් වූ බව දැනගෙන උන්නේ චිරත් පමණකි. මේධා විසින් හිතේ ඉතුරු කර ගිය හිස්තැන පුරවන්නට කෙනෙක් හොයාගන්නට චිරත්ට උවමනා නොවුනේත් ඒ සිතුවිල්ල කිසිම වෙනසක් නොකර හිත අස්සේ තිබුණ නිසාවෙනි. ආයෙම වතාවක් ජීවිතේට මේධා එන්නට ඉඩක් නැති බව කෙතරම් හොඳින් දැනගෙන උන්නත් මොකක් හෝ විස්මිත දෙයක් සිදූ වූ ඒ අතීතය ආයෙ වරක් තමන්ගේ අනාගතයට අරගෙන එන්නට හැකියාවක් තමන්ට තිබේ යැයි චිරත් හිතාගෙන උන් බව ඇත්තෛ. එහෙත් ඒ සියල්ල සිතුවිල්ලක් පමණක් වන බව චිරත් තේරුම් ගත්තේද එදා අවන්හලේදි මේධාවත් වලාකුලුවත් දුටුවයින් පස්සේය.
“මං හිතන්නෙ දැන් කරන්න ඕන එකම දේ උඹත් හැම පැත්තෙන්ම මූව් වෙන්න හිතන එක මචං. උඹ තාම තරුණ කොල්ලෙක්. එකපාරක් කසාද බැඳල ඩිවෝස් වෙනව කියන එක ආයෙම වතාවක් කසාදයක් බැඳගන්න පිරිමියෙක්ට ප්‍රශ්නයක් නෙවෙයිනෙ මචං” කියා චානකත් සමීරත් කොච්චර කිව්වද චිරත් කලේ එයට අවඥාසහගතව සිනාවෙන එක පමණකි.
“මං කසාද බැඳල එකපාරක් ඩිවෝස් වෙච්ච මනුස්සයෙක් විතරක් උනා නම් මට ලේසියෙන් ඒ වගේ මූව් ඔන් වෙන්න තිබ්බා. හැබැයි මචං අමතක කරන්න එපා වගේම මට අමතක වෙලා නෑ මට දරුවෙක් ඉන්නව කියන එක. මේධාවිණී ඔච්චර ඉක්මනට මූව් ඔන් වෙන්න හිතුව එක වරදක් නෑ මචං. ඔව් ඇත්ත මට දුක හිතුනා එයා එහෙම කරාම. ඒත් මගෙ දරුවට එකම වෙලාවෙ අම්මවයි තාත්තවයි දෙන්නවම නැතිවෙන්න බෑ මචං. මං ඒක කරන්නෙ නෑ. මේධා කාව බැන්දත් මගෙ දරුවට මං ඉන්නව හැමදාම”