හතරයි කාල

කවින්දි දඬි බිඩියේ කාර්‍යාලයෙන් පිට වුණා. හරියටම වෙලාවට කාර්‍යාලයෙන් පිට වෙන එක් ගැන කවින්දිට අපූරු පැහැදිලි කිරීමුත් තියෙනවා. 

” අහපල්ලකෝ.. අපිට පඩි ගෙවන්නේ නියම්ත පැය අට වැඩ කරනවාට… ඊට වඩා මේවාගේ ලැගගෙන,පැල් බැඳගෙන ඉන්නවා කියන්නේත් ඉතින් අපි අපිටයි, රටටයි දෙකටම කරන්නේ හානියක්.. ඒ හින්දා හොඳම වැඩේ තමයි හතරයි කාල වෙනකොට එලියට බැහැලා යන එක …”

කවින්දි මන්තරේ වගේ ජප කරන කතාවක් ඒ. 

” හරි… ඒක හරිමයි කියමුකෝ.. ඒත් ඔය කියන පැය අට හරියට වැඩකරනවාද කවින්දි මිස් ..?”

එක දවසක් ඔය කතාව අහගෙන හිටපු කෙනෙක් එහෙම ඇහුවේ ඇත්තටම කාර්‍යාලය ඇතුලේ කවින්දි ගේ කල්කිරියාව ගැන දැනගෙන උන්න නිසා. 

” නැතුව.. ඇයි .. දැන් සේපාලි මිස් කියන්නේ මම වැඩ කරන්නේ නැහැ කියලාද ?..”

” අයියෝ.. මම එහෙම එකක් කිව්වේ නෑනේ…”

සේපාලිත් රණ්ඩුවකට පැටලෙන්න අකමැතිකමට එහෙම කියලා ලෙස්සලා ගියා. ඒත් පස්සේ කට්ටිය කෑම විවේකේ එකතු වුනාම මාතෘකාව වුනේ කවින්දි.

” අර වෙලාවේ සේපාලි මිස් කට වහ ගත්තේ අපරාදේ.. කවින්දි මිස්ට මතක් කරලා  දෙන්න තිබුණේ අනේ චරියාව..”

” අනේ මට ඔය කියවිලි, කෑ ගැහිලි වලට පැටලෙන්න ඕනි නෑ.. ආයේ මම කවින්දි මිස්ට එක එක එව්වා කිව්වා නම් එහෙම සතියක් යනකල් මට ආඩපාළි අහනවා ඇරෙන්න වෙන දෙයක් කරගන්න ලැබෙන්නේ නෑ…”

“ඒක නම් එහෙම තමයි .. ඒ වුනාට ඉතින් කිව යුත්ත කියන්න එපැයි .. මම වෙලාවක ඕක කවින්දිට කියලාම දානවා…”

තව කෙනෙක් එහෙම කිව්වා. 

”  අනේ නෙවෙන්නම්… කවින්දි අටයි  විසි නවයට එනවා.. ආව ගමන් වොශ් රූම් ගිහින් විනාඩි පහළොවක් විතර මේක් අප් එක එහෙම දාලා හැඩවෙලා එනවා.. ලියුම් ටික එහෙ මෙහෙ කරලා කෑම එක මේසේම තියාගෙන කනවා…  ඊට පස්සේ එහෙට මෙහෙට හැරි හැරි තියෙන වැඩ ටිකක් කරනවා…  එකොළහ වෙනකොට සෞඛ්‍ය එකේ ඉන්න යාලුවා එක්ක තේ බොන්න යනවා… ආයේ දෙක වෙද්දී කන්න ගියාම එන්නේ නෑ පැයකට… තුන හමාරට විතර ආයේ ආප්ප කන්න යනවා…..ඒ අස්සේ මැඩම්ගේ කැබින් එකේ විනාඩි දහයේ පහලොවේ ඒවා කීයක්ද ?. ගානට හතරයි කාල වෙනකොට ඕෆ්…”

තව කෙනෙක් කට පාඩමින් වගේ එහෙම කියනකොට සේපාලි මිස්ටත් හිනා ගියා. 

” ඔය ඔක්කොමත් එක්ක තමන්ගේ වැඩ ටිකවත් නූලට ඉවර කරනවා නම්…  ෆයිල් එකේ කරන්න තියෙන ලියුම් ගොඩ දැක්කම මටනම් හිසරදේ…”

“අනේ .. අනුන්ගේ ලියුම් වලට හිසරදේ හදාගන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගන්න ළමයි..”

සේපාලි මිස් කතාව එතනින් අවසන් කලා. ඒත් කවින්දිලා වගේ නිළධාරීන් එන්න එන්නම රාජ්‍ය ආයතන වල මුල් බහිනකොට, සේවය සපයාගන්න එදිනෙදා එන දුප්පත් මිනිස්සු මුහුණදෙන අපහසුතා ගැන කල්පනා වෙලා සේපාලි මිස්ට සුසුමක් හෙලුණා. 

ඔය අතරෙදි කෙටි කාලීන විදෙස් පුහුණු වෙනුවෙන් කාර්‍යාලයේ නිළධාරීන් ට සහභාගී වෙන්න  පුලුවන් කියන ආරංචිය එක්කල ඔක්කොමලා ආයෙම කලබල කාලේකට පත් වුණා. මාසේකට කිහිප දෙනා බැගින් ඉල්ලුම් කරන අනුපිළිවෙලට නිළධාරීන් ට විදෙස් පුහුණු වෙනුවෙන් අවස්ථාව හිමි වුනා. 

කවින්දිත් මාසයක පුහුණු වැඩසටහනකට අයදුම් කරා. නමුත් ඒ වැඩසටහන සඳහා වන උපරිම බඳවාගැනීම් සැපිරිලා නිසා ඇයට වෙනත් වැඩසටහනක් සඳහා ඉල්ලුම් පත් ඉදිරිපත් කරන්න කියලා ඊ මේලයක් ඇවිල්ලා තිබුණ.

” හය්යෝ.. අපරාදේ ඒක.. මම ආසාවෙන් හිටියේ ඒට්‍රේනින් එක…”

කවින්දි ඒ ගැන ඇත්තටම කණගාටු වුනා. ඒත් ඊළඟ වැඩසටහනක් වෙනුවෙන් අයදුම් කරන්න සූදානම් වුණා. 

පුහුණු වැඩසටහන පටන් ගන්න දින දෙකකට කලින් කවින්දිට ආයේම ඊ මේල් හරහා කැඳවුමක් ඇවිල්ලා තිබුණා.

” මේ බලන්නකෝ අනේ.. අර ට්‍රේනින් එකට දෙන්නෙක් රෙජිස්ටර් වෙලා නැතිලු… මට එන්න පුලුවන් කියලා මේල් එකක් එවලා.. ඊයේ එවලා තියෙන්නේ.. මම දැක්කේත් නෑ ඒක….”

කවින්දි එහෙම කිව්වාම කට්ටියම මේල් එකට එබිලා ඒක කියෙව්වා

” මෙහෙන් ලියුම ගහලා දෙන්නම්.. ඔයා  හාල්ෆ් ඩේ දාලා අතේ අරගෙන ගිහින් අමාත්‍යාංශයේ අනුමැතිය දාගෙන එහෙමම ප්‍රධාන ලේඛම් එකෙනුත් අනුමැතිය දාගෙන එන්න.. බැංකුවට ලියුම මෙහෙන් හදලා දෙන්නම් ඉන් පස්සේ..”

පරිපාලනය නිළධාරීනිය එහෙම කිව්වා. කවින්දි  අඩ නිවාඩුවක් අනුමත කරගෙන ලියුමත් අරගෙන අමාත්‍යාංශයට ගියා. හැමෝම ඉතාම කාර්‍යබහුලව ගෙවුණ දවස් නිසා කවින්දි හිතපු ඉක්මනින් වැඩ කරගන්න වුණේ නැහැ

” මම තවම දවල්ට කාලත් නෑ අනේ….”

ප්‍රධාන ලේඛම් කාර්‍යාලයේ  නිළධාරිනියක් එහෙම කියනකොට කවින්දි වෙලාව බැලුවා. 

” තුනයි කාලයි…”

කවින්දිම වෙලාව කියෙව්වා. තමන් කාර්‍යාලයේ ඉන්නකොට නම් හවසට ආප්පයක් කන්න යන වෙලාව බව් කවින්දිට මතක් වුනා. ඒ නිළධාරිනිය කෑම තව පස්සට දා කවින්දිගේ ලියුම සකස් කරලා අත්සන් කරවලාම ගෙනල්ලා දුන්නා.

” බොහෝම ස්තූතියි …”

කවින්දි එහෙම කිව්වේ ලැජ්ජාවක් එක්කමයි. 

ඊට පස්සේ කවින්දි ඇගේ කාර්‍යාලයට යනකොට  වෙලාව හතරයි තිස් පහයි. 

” දැන් මම කොහොමද බැංකුවේ ලියුම හදාගන්නේ .. ඒක අද හදාගත්තොත් හෙට එහෙමම සල්ලි අරගෙන මට එයාර් පෝර්ට් යන්න පුලුවන් … හෙට උදේ  ඔෆිස් ඇවිල්ලා ලියුම හදාගෙන යනකොට දහයවත් වේවි….. ටිකට් බුකින් එක නම් හරිනේ… මට තේරෙන්නේ නෑ.. අන්තිම මොහොතේ මේක කරගන්න බැරි වෙයි…”

කවින්දි එහෙම හිත හිත යනකොට, සේපාලි මිස් කාර්‍යාලයේ ඉන්න බව දැක්කා. 

“සේපාලි මිස්… පහටත් කිට්ටුයි නේ..”

” ඔව් ඔව්ව්. මම මේ කවින්දි මිස්ගේ ලියුම ගහලා දෙන්න උන්නේ.. ඒ ඕ මිස් කීවා ලියුම හදලා මැඩම්ට කියලා අද අත්සන් කරවලා දෙන්න කියලා.. ඉතින් හරියටම හතරයි  කාලට යන පුරුද්ද මට නෑනේ.. මම හිටියා.. දවසට නියමිතම වැඩ ටික කරලා ගියාම හිතටත් හොඳයි… ඇත්තටම….”

කවින්දි ට ඉන් එහා පැහැදිළි කිරීම් අවශ්‍ය වුනේ නැහැ. 

රාජකාරිවල සීමාව හතරයි කාල තමයි. ඒත් ඒ සීමාව ඇතුලේ තමන්  වැඩ කරන්න ඕනි කොහොමද කියලාත් ඇය තේරුම් ගත්තා. 

අද සේපාලි මිස් හතරයි කාලටම ගියා නම් , තමන්ගේ හෙට දවස අතිශය කලබලකාරී වෙන බව කවින්දි දන්නවා.

” මේ ගමන ගිහින් මම එන්නෙ අලුත් වෙලා..”

කවින්දි ලියුම් ටික සේපාලි මිස් අතට දෙන ගමන් එහෙම හිතුවා 

More Stories

Don't Miss


Latest Articles